මානව විද්‍යා විෂයයන් කප්පාදුවට ලක්වෙමින් තිබෙන බවට චෝදනාවක් පසුගිය කාලයේ වරින් වර මතු වූ සංවාදයකි. සාහිත්‍ය කලාව ඇතුළු මානව විද්‍යා විෂය ක්ෂේත්‍රවල වැදගත්කම ඇතැම් විද්වතුන් දිගින් දිගටම පෙන්වා දුන්නේ මෙහි වටිනාකම් සලකාගෙනය. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා දිනය ද පසුගිය 26 වැනිදා පැවැත්වුණි. මතු දැක්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍ය්‍යන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා සමඟ භාෂාව, සාහිත්‍ය කලාව ඇතුළු මානව විද්‍යා විෂ්‍යයන්ගේ නූතන සමාජ අවශ්‍යතාව ගැන අප කළ සංවාදයකි.


• මානව විද්‍යාව යනු කුමක් ද? මානව විද්‍යා විෂය ක්ෂේත්‍රය මිනිසාගේ සංස්කෘතික ජීවිතයට කරන බලපෑම කෙබඳු ද?
මානව විද්‍යාව යනු විද්‍යාවන් අතර වඩාත් ම මානව වාදී වූත්, මානව ශාස්ත්‍රයන් අතර වඩාත් ම විද්‍යාත්මක වූත් විෂයයි. ඒ. එල්. ක්‍රෝබර්ගේ අදහස එය යි. මිනිසා සම්බන්ධ ව සිදු කරනු ලබන පරිපූර්ණ විද්‍යාත්මක අධ්‍යයනය මානව විද්‍යාව යනුවෙන් සරලව හදුන්වන්න පුළුවන්. මිනිසා සතෙක්. දෙපාවා, දෙපා සතා යැයි කියනවා. පොළොවට සිරස්ව ගමන් කරනවා. මිනිසාගේ භෞතික හා සංස්කෘතික අංශ දෙක විද්‍යාත්මකව මෙහි දී අධ්‍යයනය කෙරෙනවා. වෙසෙසින් ම සත්ත්ව ලෝකයේ මිනිස් සතාගේ ස්ථානය ගැන ස්වාභාවික හා සමාජීය විද්‍යා දෘෂ්ටිකෝණයෙන් හදාරනවා. ශ්‍රී ලංකාවේ මානව විද්‍යා උපාධියක් නිල වශයෙන් දිනා ගත්තේ නන්දදේව විජේසේකරයි. ඒ 1936 දී ය. ඔහු විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන්ට ඒ කාලයේ මානව විද්‍යාව උගන්වා තිබෙනවා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති සර් අයිවර් ජෙනිංග්ස්, ලංකාවේ ශිෂ්‍යයන්ට මානව විද්‍යාව උගැන්විය යුතු යැයි පවසා තිබෙනවා.

එසේම මෙහි අවශ්‍යතාව දැනගත් මාර්ටින් වික්‍රමසිංහයන් සිංහල ලකුණ, සිංහල සකස්කඩ, මානව විද්‍යාව හා සංස්කෘතිය, සත්ත්ව සන්තතිය වැනි පොත් ලිව්වා.  
භාෂාව සංස්කෘතියේ විශිෂ්ටතම අංගය යි. මාපටැඟිල්ල, දබරැඟිල්ල, මැදඟිල්ල එක් කොට ගත් කල නැටුම්-වැයුම්, ඉවුම්-පිහුම්, මැහුම්-ගෙතුම්, ඇඹුම්, ලීවීම්, මැවීම් සෑම කුසලතා හැකියාවක් ම කළ හැක්කේ මිනිසාට පමණයි. පුද්ගලයකු සොබා දහමට එරෙහි ව, අනෙකාට එරෙහි ව, තමාට ම එරෙහි ව අරගල තුනක් කරතැයි බර්ට්‍රන්ඩ් රසල් පැවසුවා. මෙම විෂය කරන කොට පුද්ගලයා තමා ජීවත්වන සංස්කෘතියේ සාරධර්ම, ප්‍රතිමාන, ආචාරධර්ම සම්බන්ධ ව ඉසියුම් ලෙස හැදෑරීමටත්, එය ඇගයීමට බඳුන් කිරීමටත් එලෙසම අනෙකුත් ආගන්තුක සංස්කෘතීන් රස විඳීමටත්, ඊට ගරු කිරීමටත් ඒවායේ සාර අර්ථ ගවේෂණය කිරීමේ වැදගත් කමත් ගැඹුරින් වටහාගන්නවා.

• නව යුගයට අදාළව තාක්ෂණික විෂයන්වලට තැන දෙමින් මානව ශාස්ත්‍ර විෂයන්වලට අදාළ පැරණි ඉගැන්වීම් පසෙකට තල්ලු වීම අද දකින්න පුළුවන්. මේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?
සොක්‍රටිස් පඬිවරයා ග්‍රීක සමාජය පුබුදු කරන විට ජීවිතයේ එක් පසෙක ක්‍රීඩාවත්, අනෙක් පස සෞන්දර්යය ක්‍රියාකාරකමුත් ඇති බව පැවසුවා. මේ උභය අංශය සමබර වූ විට පුද්ගල, සමූහ, ප්‍රජා, ජන සමාජය නිරෝගී හා සතුට පිරුණු ජීවිත බවට පත්වෙනවා. බටහිර රටවල සාහිත්‍යය, කලාව, අධ්‍යාත්මික චින්තන සම්ප්‍රදාය ගැන වඩාත් උනන්දු වන්නේ පවතින අසහනය, විලෝපනය, කඩා වැටීම්, ආතතිය, විෂාදය වැනි සංකීර්ණතාවලට පිළියම් වශයෙන්. අද සියදිවි නසා ගැනීම්, ඝාතන, මංකොල්ලකෑම් බහුල යි. මනුස්ස වටිනාකම්, ධර්මතා නැවත ඉස්මතු කළ යුතු යි. ඒ සඳහා කතාන්දර, කවි, සංගීතය, චිත්‍ර, මූර්ති, සාහිත්‍ය මෙන් ම ක්‍රීඩාව ද උපයෝගී කොට ගැනීම අවශ්‍යයි. හිරි ඔත්තප්පය එනම් නරක නපුර කිරීමට ලැජ්ජා වීම හා බිය වීම, මෙත්තා කරුණා මුදිතා, උපේක්ෂා ආදී සිව් බඹ විහරණය, ප්‍රේමය, සහජීවනය, සහෝදරත්වය, අත්තහිත, පරහිතකාමීභාවය ගැන නැවත මිනිසාට කියා දිය යුතු යි. ඒ සඳහා මානව විද්‍යා විෂයයන් අවශ්‍යයි. මේ විනයක් නැති සමාජයට මුල කලාව සාහිත්‍යවගේ විෂයයන්  මිනිසාගෙන් ඈත්වීමයි.

•  ඔබ ඔය කියන සමාජ ප්‍රචණ්ඩත්වය, සමාජ සබඳතා බිඳවැටීම ඇතුළු සමාජ පැවැත්ම දුරස් කරන තවත් කාරණා රැසක වර්ධනයක් දුටු ඇතැම් බටහිර රටවල් නැවත මානව ශාස්ත්‍ර විෂයයන් දෙස අවධානය යොමු කළ ආකාරය පසුගිය කාලයේ පෙනුණු දෙයක්. මේ ප්‍රවණතා සැලකිල්ලට ගෙන අපේ රටට මේ සම්බන්ධයෙන් ඔබ කරන යෝජනා මොනවා ද?
තමන් උපමා කොට අනෙකාට පහර නො ගැසීම, විලෝපනය නො කිරීම, සූරා නො කෑම, පොදු දේපල සම්පත් ගසා කන්නේ නැතිව සරල ව එළැඹි සිහියෙන් මේ මොහොතේ දිවිපෙවෙත ගත කිරීම, සාමය, සතුට, ශාන්තිය, සමගිය, සහජීවනය තමන් පමණක් නො වේ, ලොවේ තවත් අය ජීවත්වන බව, අනෙකාට ජීවත්වීමට අයිතියක් ඇති බව, ආදි කරුණු ගැන මේ මොහොතේ අපගේ අවධානයට නතුවිය යුතුයි. නිර්මාණශීලීව, ශාස්ත්‍රීය ලෙස මිනිස් වග වෙත කියා පෑම දැනුවත් කිරීම, ක්ෂය වෙමින් පවතින ලෝක සම්පත් ආරක්ෂා කිරීමට පියවර ගැනීම, තමන් කවුරු ද? මේ ලෝකයේ තමන් කුමක් කරන්නේ ද? මියගිය පසු තමන්ට කුමක් සිදුවන්නේ ද යන්න නැවත සොයාබැලිය යුතුයි. එදා මෙදා තුර මිනිසා ඇසූ ප්‍රශ්නවලට මානව විද්‍යාවෙහි සාර්ථක පිළිතුරු ලබා දී ඇති බව ලොවට දැනුම් දීමෙන් සක්‍රීය, සජීවී, පරහිතකාමී ජන සමාජයක් බිහිකිරීමට අපට කළ හැකි කාර්යභාරය ඉටුකිරීම අපේ වගකීම නො වේ ද? ඒ සඳහා අපට සාහිත්‍යය කලාව භාවිත කරන්න වෙනවා.

• භාෂාව, සාහිත්‍ය, කලා විෂය ක්ෂේත්‍ර අයත් වන්නේත් පොදුවේ මානව විද්‍යා විෂ්‍ය ක්ෂේත්‍රවලට යි. විශේෂයෙන් අද භාෂා භාවිතයේ පරිහානියක් ගැන නිතර කියැවෙනවා. භාෂා පරිහානිය මානව පරිහානියක් ලෙස සැළකෙන්නේ ද?
ජීවිතය, රට, ආගම ආදි ප්‍රපංච වටහා ගැනීමට භාෂාව අවශ්‍ය යි. භාෂාවේ දැඩි වෙනස්වීමක් පවතිනවා. ඇතැම්අය එය පිරිහීමක් ලෙස හුවා දක්වනවා. එහෙත් මේ ලෝකයේ පවතින අනිත්‍යතාවට අප සියලුදෙනා ම ගොදුරු වෙනවා. අප රටේ බොහෝ ශාක, මල්, පළතුරු, සත්ත්ව වර්ග අභාවයට ගිහින්. භාෂාවේ පද, වචන, එහි රටා සමුදාය ඉගෙන නො ගන්නේ නම් අතහැරී යනවා. ගසක් සිටුවීමේ දී එහි සෙවණ, බුදුපුදට දෙවිපුදට මලක් ලබාගැනීම, පළතුරක් ලබාගැනීම, දැව ලබා ගැනීම, සතුන්ට හෝ ප්‍රයෝජනයක් තිබීම වැනි කරුණු පහක් සැලකිල්ලට ගත යුතු යැයි තම සීයා පැවසූ බව මානව විද්‍යාව හදාරන, උගන්වන ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි පැවසුවා. අප රටේ ආහාර සංස්කෘතිය ගැන වෙහෙසෙන ආචාර්ය පබිලිස් සිල්වා මානව විද්‍යාවේ වැදගත්කම වටහාගත් සුධීමතෙක්. ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පරිසරය ආරක්ෂා කරගැනීමට මානව විද්‍යා අධ්‍යයනාංශය හා අත්වැල් බැඳගත් වියතුන්. කරුණාපාල නම් අංගම්පොර ගුරුතුමා අපේ හටන් කලාව අංගම්පොර ශාස්ත්‍රය උගන්වනවා. ඒත් මිනිසාගේ රුදුරු ආත්මාර්ථය නිසා තමාත්, අවට ලෝකය භාෂා, නීතී, සංස්කෘතික සමාජීය ආකෘතිය ආදිය මෙහෙම විනාශ වනු ඇති.

• මානව සමාජයේ වර්ධනය වෙනුවෙන් සාහිත්‍ය කලා ක්ෂේත්‍ර නියෝජනය වන අධ්‍යාපන, සංස්කෘතික මාධ්‍ය වැනි අංශවලට මේ මොහොතේ පැවරී ඇති වගකීම කෙබඳු ද?
මහාචාර්ය නන්දසේන රත්නපාල, මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා, එඩ්වින් ගණිහිගම, මහාචාර්ය ස්වර්ණලතා පෙරේරා වැනි විද්වතුන් අපට මඟ පෙන්වූයේ සමාජ මෙහෙවර සඳහා සමාජ මානව විද්‍යාව උපයෝගී කොට ගැනීමටයි. අසාධාරණ ලෙස මුදල් හරිහම්බ කොට විනාශය කරා යෑමට නො වේ. ඒ බව තේරුම්ගත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා, ආචාර්ය ජයන්ත ජයසිරි, මහාචාර්ය චාමලී නහල්ලගේ, ආචාර්ය සේපාල සමරසේකර, ආචාර්ය නෙලුම් කාන්තිලතා, ආචාර්ය තාරකා ආනන්ද ඇතුළු අප අධ්‍යයනාංශ කණ්ඩායම මානව විද්‍යාව ඇසුරින් ශ්‍රී ලාංකික ජන ජීවිතයේ සමාජ සංස්කෘතික අභ්‍යුදය සඳහා විවිධ පර් යේෂණ කරමින් ඒවා ප්‍රායෝගිකව භාවිත කිරීමට ජනතාව පුරුදු පුහුණු කිරීමට වෙහෙස වෙමින් සිටීම විශේෂයෙන් පැවසිය යුතු යි. මුද්‍රිත, විද්‍යුත්, ජනමාධ්‍ය හා සමාජීය මාධ්‍යයන්ගේ සාධනීය ක්‍රියාකාරීත්වයෙන්, පූර්ණ මැදිහත්වීම් හා අනුග්‍රහයෙන් අධ්‍යාපන හා දේශපාලනික සන්දර්භය දැනුවත් කොට නව ජන සමාජයක්, ලෝක සමාජයක් බිහිකිරීමට, විශ්වය ආරක්ෂා කරගැනීමට දායකවීමට හැකිනම් කොතරම් අගනේ ද?


(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)