IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


වෙළෙඳ පොළ නමස්කාරය

වෙළඳපොළ සහ රාජ්‍යය පිළිබඳ චරිත හේරත් මිතුරා සහ මා අතර ඇතිවී තිබෙන සංවාදය අතිශයින්ම පැහැදිලි තැනකට පැමිණ ඇත. මේ සංවාදය තුළ මට නැති බාධා සහ සීමා චරිතට ඇති බව දනිමි. ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයෙකි. ඔහු සතු ලිවීමේ වපසරියට එය එක්තරා ආකාරයක සීමාවකි. බාධාවකි. ඔහු ලිවිය යුත්තේ පවතින ආණ්ඩුවේ සිත නොරිද්දා ය. ආණ්ඩුවේ තීරණ පරෙස්සම් කරමින් ය. ඒ නිසාම ඔහු රාජ්‍යයට එරෙහිව ආණ්ඩුව සහ වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටී. 

එය බොහෝවිට ආණ්ඩුවට වඩා වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටීමකි. තිබෙන ආණ්ඩුව වෙනුවෙන් ඔහු පෙනී සිටියත් “ආණ්ඩුව” නැමති ආයතනය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එනම් ඔහු පවතින ආණ්ඩුව වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටින ගමන් වෙළඳපොළ වෙනුවෙන් දෘෂ්ටිවාදීමය ව පෙනී සිටී. එහි බරපතළම පරස්පරය වන්නේ රාජ්‍යයේ එක් අංගයක් වන ආණ්ඩුව, රාජ්‍යයට එරෙහිව සහ වෙළඳපොළට පක්ෂව ක්‍රියාත්මකවීම සහ ක්‍රියාත්මක කිරීම චරිත අතින් සාධාරණීකරණය වීම ය. එනම් රාජ්‍යයට එරෙහිව ආණ්ඩුව කටයුතු කළ යුතු ය යන චරිතගේ ස්ථාවරය ය. 

මෙය කෙසෙල් ගසේ තේරවිල්ලට සමානය. කෙසෙල් මලක් පිපෙනවා යනු කෙසෙල් ගසේ අවසානය ළඟ ළඟ ය යන්න කියාපාන්නකි. විශේෂයෙන්ම ජනයා විසින් තම පරමාධිපත්‍යයෙන් කොටසක් යොදවා පිහිටුවනු ලබන ආණ්ඩු අතින් විය යුත්තේ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් සහිතව රාජ්‍යය ශක්තිමත් කිරීමය. ජනරජවාදී රාජ්‍යයක ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ මහජන නියෝජිතයන් පෙනී සිටිය යුත්තේ ඒ වෙනුවෙනි. ආණ්ඩු සහ ආණ්ඩු නියෝජිතයන් පෙනී සිටින්නේ වෙළඳපොළ බලහත්කාරය සහ හිතුවක්කාර කම වෙනුවෙන් නම් ඔවුන් මහජන නියෝජිතයන් ද වෙළඳපොළ තැරැව්කරුවන් ද යන්න අප නැවත නැවත ඇසිය යුතු ප්‍රශ්නයකි. අපගේ සංවාදය පොර බදන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍යය ජනරජවාදයකට ගෙන යනවා ද නැතහොත් වෙළඳපොළවාදයකට ගෙන යනවාද යන අති මූලික කරුණු දෙක සමඟය. එහි දී කිසිදු පැකිලීමකින් තොරව වෙළඳපොළවාදී මාවතක චරිත ගමන් කරමින් සිටී. මම ජනරජවාදී මාවතක ගමන් කරමින් සිටිමි.

චරිත ගේ යෝජනාව වන්නේ වෙළඳපොළ යථාර්ථය අප බාරගත යුතු බවය. චෝදනාව වන්නේ අප ඒ යථාර්ථය දැනගෙනත් නොදන්නවුන් සේ සිටිනවාය, හොරගල් අහුලනවාය යන්න ය. වෙළඳපොළ යථාර්ථය හොඳටම දන්නේ ඔහු ය. එය දන්නා ඔහු සිය දබර ඇඟිල්ල දිගු කරමින් කියා සිටින්නේ ප්‍රශ්න නො අසා ඊට අනුගත වන ලෙස ය. වෙළඳපොළ නිදහස් වූ රටක ආණ්ඩුවකට කළ හැකි දෙයක් නැති බවත් රාජ්‍යය වෙළඳපොළ අණසකට යටත් විය යුතු බවත් ඔහු පෙන්වා දෙන යථාර්ථයේ එක පැතිකඩක් ය. එම දැක්ම සහිත භාවිතාවේ ඇති අනතුරු චරිතට නොපෙනේද දැක නොදැක්කා සේ සිටින්නේද යන්න මෙරට ජනයා වෙනුවෙන් අප ඇසිය යුතු පැනයක් ය. එහි තවත් පැත්තක් ඇත. එනම් අසීමිත වෙළඳපොළ නිදහස හෝ හිතුවක්කාරකම හමුවේ රාජ්‍යයට සහ ආණ්ඩුවට කළ හැකි දෙයක් නොමැති නම් පාර්ලිමේන්තුව අහෝසිකොට වෙළඳ ඒජන්සියකට රට පාලනය කිරීම බාරදීම වඩාත් උචිතය යන්න චරිතලා නොකියා කියන දෙය විය හැකිය යන්න ඒ පැත්තය.

අපි වෙළඳපොළ යථාර්ථය නොදන්නවුන් නොවෙමු. එසේම එය දැක නොදැක්කා සේ හොරගල් අහුලන්නන් ද නොවන්නේ ඒ යථාර්ථයට අභියෝග කරමින් වෙළඳපොළ බලහත්කාරයට එරෙහිව එය නියාමනය හෝ පාලනය හෝ කිරීම සඳහා වන ප්‍රජාතන්ත්‍රීය දේශපාලන ආකෘතියක් සහ `ජනරජවාදී රාජ්‍ය තන්ත්‍රයක් වෙනුවෙන් පෙනී සිටින්නවුන් නිසා ය. අපි ප්‍රජා විරෝධී රාජ්‍ය-ආණ්ඩු බලහත්කාරයට සේම වෙළඳපොළ බලහත්කාරයට ද එකසේ විරුද්ධ වන්නෙමු. ආණ්ඩුවක් කළ යුත්තේ මේ බලහත්කාරකම් දෙකෙන්ම ජනයා ආරක්ෂා කිරීමය. මේ මොහොතේ ප්‍රගතිශීලී දේශපාලනය යනු පවත්නා පීඩාකාරී යථාර්ථය නඩත්තු කිරීමට ගැළපෙන ලෙස සමාජය කපාකොටා තලා සකස් කිරීම නොව ඒ යථාර්ථය වෙනස් කිරීම සඳහා ක්‍රියාත්මක වීමට ජනයා පෙලගැස්සවීම ය, දැනුවත් කිරීමය. මේ අදහස ඌනිතවාදී අදහසක් ලෙස චරිතට පෙනේ නම් වැල යන අතට මැස්ස ගැසීම සමස්තවාදී අදහසක් විය යුතු ය. ලෝකය සහ සමාජය අලු‍ත්වැඩියා කළ යුතු වුවත් එය කළ යුත්තේ ජනයාගේ සතුට සහ යහපැවැත්ම අරමුණු කරගෙන මිස පීඩා වැඩි දියුණු කිරීම උදෙසා නොවන බව අප වටහා ගත යුතුය, එය අන් අයට ද වටහා දිය යුතු ය යන්න චරිත ද පිළිගන්නවා ඇත.

රාජ්‍යයයේ බලය සීමා කොට ආණ්ඩුවේ පාලනය අඩුකොට වෙළඳපොළ බලය අසීමිත කළ විට සහ ඊට හිතු දෙයක් කිරීමට ඉඩ හැරිය විට රාජ්‍යයේ සහ ආණ්ඩුවේ කාර්යභාරය කුමක්ද යන්න වඩාත් නිශ්චිතව චරිතලා ජනයාට පැහැදිලි කළ යුතු ය. අපට ඇති ප්‍රශ්නය වන්නේ වෙළඳපොළ යථාර්ථය නො තේරීම නොව ඒකට චරිතලා වැනි ශාස්ත්‍රාලීය පරිචයක් ද තිබු බුද්ධිමතුන් හෝ වියතුන් දක්වන ගෞරවය සහ වන්දනාමාන කිරීමය. මගේ මිත්‍රයාට මග පෙන්වන්නේ ජනහිතකාමී දේශපාලන පරමාර්ථ නොව වෙළඳපොළ සහ වෙළෙන්ඳන් වීම මගේ කනස්සල්ලට හේතු වන්නකි.

චරිත කියන යථාර්ථයක සිදුවන්නේ රාජ්‍යය සහ ආණ්ඩුව වෙළඳපොළ ක්‍රමයේ පීඩාව ආවරණය කරන හෝ ජනතාවට සඟවා තබන දෙපිටකාට්ටු මුහුණත් තහඩු බවට පත්වීම ය. කැලෑ ඇඳුමක් බවට පත්වීම ය. එවැනි පසුබිමක මහජන නියෝජිතයා යනු මහ බොරුවකි, ව්‍යාජයකි. මන්ද ඔවුන්ට නියෝජනය කිරීමට සිදුවන්නේ මහජනයා නොව අසහාය බලැති වෙළෙඳපොළ ක්‍රමය ය. එවැනි වපසරියක සිදුවන මතවාදීමය ක්‍රියාවලිය පැහැදිලි කිරීමට ප්‍රංශ සමාජවාදී චින්තකයකු සහ සමාජවාදී  ක්‍රියාකාරිකයකු වූ ලු‍වී අල්තුසර් ඉදිරිපත් කළ දෘෂ්ටිවාදය ප්‍රති-නිෂ්පාදනය කරන දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණ නැමති සංකල්ප ගත කිරීම තරමක වෙනසකට ලක් කොට උදව්වට ගැනීමට කැමැත්තෙමි.

අල්තුසර් ට අනුව නිෂ්පාදන ක්‍රමයක සහ රාජ්‍යයක පැවැත්ම සඳහා ඒ පැවැත්ම දෘෂ්ටිවාදීමය වශයෙන් නිතර නිතර සමාජය තුළ තහවුරු කළ යුතු ය. ඒ සඳහා පැවැත්මට අදාළ දෘෂ්ටිවාද නැවත නැවත නිෂ්පාදනය කළ යුතුය. ඒ සඳහා වූ යාන්ත්‍රණ අල්තුසර් නම් කරන්නේ දෘෂ්ටිවාදීමය රාජ්‍ය යාන්ත්‍රණ ලෙසිනි. චරිත වැනි වෙළඳපොළවා දී බුද්ධිමතුන් දැන් මේ කාර්ය බාරගෙන ඇත. ඔවුන් කරමින් සිටින්නේ අධ්‍යාපනය, දේශපාලනය, කලාව, ක්‍රීඩාව, සංස්කෘතිය, සංගීතය, වෘත්තීය සමිති, සන්නිවේදන මාධ්‍ය වැනි දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණ ඉතාම සීරුමාරුවට දෘෂ්ටිවාදී වෙළඳපොළ යාන්ත්‍රණ බවට පත් කිරීමය. ඒ අනුව මෙවැනි බුද්ධිමතුන් සහ මහජන නියෝජිතයන් තවදුරටත් රාජ්‍යය සහ ආණ්ඩුව යන සංකල්පීය ආයතන වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. මන්ද මොවුන්ට වෙළඳපොළ යථාර්ථයක් වී රාජ්‍යය සහ ආණ්ඩුව ව්‍යාජයක් ලෙස පෙනෙන නිසා ය. ඔවුන් කරමින් සිටින්නේ රාජ්‍යය, ආණ්ඩුව සහ ජනසමාජය යන ත්‍රි-පාර්ශවීය ව්‍යුහය ප්‍රගතිශීලී ලෙස ප්‍රති-ව්‍යුහගත කිරීමට අදාළ දෘෂ්ටිවාදී පදනම් සැකසීම නොව නග්න වෙළඳපොළ ක්‍රමයට අවශ්‍ය දෘෂ්ටිවාද ප්‍රති-නිෂ්පාදනය කිරීම ය.

වෙළඳපොළ නියාමනය හෝ පාලනය කළ නොහැකි බව චරිත පෙන්වා දෙන්නේ ඉතාම අසරණ ලෙස ය. ඔහුගේ පහත කියමන ගැන අවධානය යොමු කරමු.“නීති මගින් රාජ්‍යයේ මැදිහත් වීම පිළිගැනීමට එකඟ නොවන තැනක් පැමිණි විගසම වෙළෙන්දන් කරන්නේ ඒ ක්ෂේත්‍රයේ නිෂ්පාදනයෙන් හෝ ආනයනයෙන් ඉවත් වීමය. පසුගිය මාසයේ සීනි සහ සහල් සම්බන්ධයෙන් රජය සහ පෞද්ගලික වෙළෙඳ අංශය අතර සිදු වූ ගැටුම මගින් පෙනී ගියේද ඒ කාරණයමය. සීනිවලට උපරිම සිල්ලර මිලක් නියම කරන විට ඒ වෙළඳාමෙන් ඉවත් වෙන්නට සීනි ආනයනකරුවන් පෙළෙඹුණේ ඒ නිසාය. සහල් සම්බන්ධයෙන් තත්ත්වය ද එයටම සාමාන්‍යය. සහල් මිල පාලනයක් එන විටම සහල් නිෂ්පාදකයන් කරන්නේ වී කොටන එක නැවැත්වීමය”.ඒ සඳහන් කළේ චරිතගේ ප්‍රකාශය ය. 

චරිත, දැන් එතකොට අප ප්‍රශ්නය විසඳාගත යුත්තේ කෙළින්ම වෙළදපොළ සහ වෙළෙන්දන් සමඟ පොර බැදීමෙන් ද?එතනදී ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව, නැහැ වඩාත් විධිමත්ව කියන්නේ නම් ව්‍යවස්ථාදායකය, විධායකය, සහ අධිකරණය යනු වෙළඳපොළ ට වාසිසහගත පිටියක පැවැත්වෙන වෙළෙඳපොළ සහ ජනතාව අතර ගැටුමේ ජය පැරදුම තීරණය කරන තරඟ තීරකයන් පමණක් ද? ඒවා ට ජනයා වෙනුවෙන් ඊට වඩා වගකීමක් කාර්යභාරයක් නැති ද? එහෙම නැතිනම් අප ඒවා නඩත්තු කරමින් පවත්වාගෙන යනුයේ කුමකට ද? අපටත් ඒවා තිබෙනවාය කියා කාට හෝ පෙන්වීමට ද? නැතහොත් ජනතාව දැවී ගියා කියා කියන්නට ද?

චරිතගේ චොක්ලට් උදාහරණය රසවත් නැත. චොක්ලට් නිෂ්පාදකයන් ඒවා නිෂ්පාදනය කරන්නේ ඒවා පරිභෝජනය කරන්නන් ගැන අනුකම්පාවෙන් නොව ලාභය අරමුණු කරගෙනය යන්න චරිත කියාපාන්නේ ‘‘බක්කරේ පාන් හදන්නේ මිනිස්සු බඩගින්නේ තැබීම හොඳ නැති නිසා නොව ලාභ ලැබීමට ය’ යන පැරණි කියමන අපට සිහිපත්වන ආකාරයෙන් ය. එහෙත් ඒ චොකලට් සහ පාන්වල ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මකභාවය තීරණය කිරීම සහ ආරක්ෂා කිරීම රාජ්‍යය සහ ආණ්ඩුවේ වගකීමක් යන්න ඉතා කරුණාවෙන් මා මිතුරාට අප කියා දිය යුතු ය. එහෙත් ඉන් පලක් නොවනු ඇත. මන්ද මෙරට වෙළඳපොළ ද  පාර්ලිමේන්තු දේශපාලනය තරමටම පිරිහී ඇති නිසා ය. ඇත්තටම දැන් සිදුවන්නේ රාජ්‍යය හෝ ආණ්ඩුව විසින් වෙළඳපොළ නියාමනය කිරීම නොව වෙළඳපොළ විසින් රාජ්‍යය සහ ආණ්ඩුව නියාමනය සහ පාලනය කරනු ලැබීමයි. ඒ නිසා මහජන නියෝජිතයෝ ජනයා වෙනුවෙන් නොව වෙළඳපොළ සහ එහි අරමුණු වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටිති.

ඒ නිසා මා මිත්‍ර චරිත හේරත්ගෙන් පිළිතුරක් නොලැබුණු පැරණි ප්‍රශ්න මාලාව යළි ඇසීමට සිතේ. එනම්,රාජ්‍යය මොකට ද? චරිතලා සිතන පතන ආකාරයට එහි කාර්යභාරය කුමක්ද? රාජ්‍යය කාගේ ද? රාජ්‍යයේ වපසරිය සීමා කළ යුතුය යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? සීමා කළ යුත්තේ කවර බලයක් ද? ඒවා ඊට පසු ලබා දෙන්නේ වෙළෙන්දන්ට ද? නැතහොත් රාජ්‍යය විසින් ජනතා අභිලාෂ මත නියාමනය කරන වෙළඳපොළ ක්‍රමයකට ද? රාජ්‍යයට වඩා වෙළඳපොළ උත්තරීතරද? රාජ්‍යය කටයුතු කළ යුත්තේ වෙළඳපොළ නියාමනය යටතේ ද? වෙළඳපොළ පරම අධිකාරිය නම් පාර්ලිමේන්තුව සහ ආණ්ඩුව නොතිබිය යුතු ආයතන නේද ? රාජ්‍යය සතු බලය සහ වපසරිය සීමා කළයුතු බව කියන විට ඒවා බාර ගන්නා වෙළෙන්ඳන් ගැන තිබෙන විශ්වාසය කුමක් ද? එවැනි පසුබිමක මහජන නියෝජිතයන් ගේ කාර්යභාරය සහ වගකීම් මොනවාද? ඉතින් චරිත මාලබේ ස්ලිට් හෙළිදරව්ව ගැන නැවතත් ස්තුතිවන්ත වෙමි. එහෙත් එය තවම නිසිලෙස සමාජගත වී නැති බව ද දන්වනු කැමැත්තෙමි.

 


කොළඹ විශ්වවිද්‍යාලයේ  දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ, ධම්ම දිසානායක



අදහස් (2)

වෙළෙඳ පොළ නමස්කාරය

ලුම්බිණි Saturday, 23 October 2021 04:59 AM

පෙනෙන විදියට ඇපල්, දොඩම් සමග සමාන කිරීමට උත්සාහ ගන්නවා වගෙයි...

:       0       2

Nuwan Sunday, 24 October 2021 11:50 AM

චීනය සහ ඇමරිකාව යන දෙකම අද වෙළදපොල රාජ්‍ය වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’
2024 ජුලි මස 09 5991 8

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, ඊයේ (08) මියගිය අතර ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ ධනූට කියන්න


ෂැංග්හයි සහයෝගීතාව යුරේසියාවට
2024 ජුලි මස 02 397 1

ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ (SCO) සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව, ජූලි 3 සහ 4 දෙදින කසක්ස්තානයේ, ඇස්තානා අගනුවර දී පැවැත්වෙයි. මෙය, ෂැංග්හයි සහයෝගීතා සංවි


‘පන්නෛයි පක්කම්’ කියමින් දකුණ ඇල්ලූ උතුරේ ටික්ටොක් තරුව ශෝජන්
2024 මැයි මස 10 2098 1

මම සිංහල වේග රිද්මයේ ගීතත් අහනවා. එහෙම අහපු ගීතයක් තමයි “මේ කමනි” ගීතය. ඒ ගීතයේ සංගීතයට මං ආස වුණා. මුලදී මම ඒ ගීතයට බටහිර නර්තනයක් ඉදිරිපත් කළා. පස්සේ මට


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 5533 5

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා



දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3904 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 88 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 925 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1809 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site