ඇස්, මස්, ලේ, ඇට, ඇට මිදුළු, පේෂි, ශ්ලේෂ්ම පටල, කාටිලේජ්, උඩු හනුව, යටි හණුව වෙන්ව මස් වැදලි එල්ලෙමින් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ තරුණයකුගේ ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමේ විශ්මිත ශල්‍යකර්මයක් කළ ඉසිවරු පිරිසක් පිළිබඳව අපට දැන ගන්නට ලැබිණි. 


කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ශල්‍ය ඒකකයේදී අපි ඔවුහු මුණ ගැසුණෙමු. 


හදිසි අනතුරකින් හෝ උපතින් සිදුවූ ශරීර අවයවයන් යථා තත්ත්වයට පත් කර ගැනීමේ අටියෙන් රෝහල් ගත කරන දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ශරීර කොටස් නැවත තිබූ පරිදිම සකස් කිරීමේ කර්තව්‍යයේ වගකීම එක් පසකින් තිබියදී විශ්මිත ශල්‍යකර්මයකින් සැඟව ජීවත්වීමට සිදුවූ තරුණයකුට ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමේ ගෞරවය හිමිවන වෙදදුරුවරුන් සමඟ අපි කතා කළෙමු. ඒ අය ලද පුංචි ඉඩකදීය. 


බරපතළ කැපුම් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරුණු විසිහතර හැවිරිදි තරුණයකුගේ ජීවිතය බේරා ගැනීමේ භාරධුර වූත්, වගකීම් සහිත වූත්, කර්තව්‍යයක ආරම්භය සටහන් වූයේ ඉකුත් සෙනසුරාදාය.


මුහුණේ වම් ප‍්‍රදේශයේ අක්ෂි කුහරයේ සිට දකුණු පස යටි හනුව දක්වා ප‍්‍රදේශය කැපී තිබීම නිසාම රෝගියා බේරා ගැනිමේ පළමු අදියර වශයෙන් ශරීරයෙන් වෙන්වූ සියලූ කොටස් මුහුණට සවිකර එකිනෙකට තබා මැහුම් දැමීය. 


පපු ප‍්‍රදේශයටත් පිට ප‍්‍රදේශයටත් සිදුව තිබූ කැපුම් තුවාලවලට ප‍්‍රතිකාර කිරීම රෝගී ප‍්‍රතිකාරයේ දෙවැනි පියවර වී තිබුණි.
පුද්ගල ශරීරයේ පෞරෂත්වය පෙන්නුම් කරන එක් සාධකයක් වන මුහුණ විශේෂයෙන්ම තරුණයකුගේ මුහුණ මැහුම් ගොඩකින් වෙළා සකස් කිරීම ප‍්‍රායෝගික විසඳුමක් වන්නක් නොවීය.


කැපුම් පහරකින් දෙබෑ වුණ මුහුණ නැවත සකස් කර යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කමක් කළ යුතු බවට හදිසි අනතුරු අංශ වෛද්‍යවරු තීරණය කළහ. එම තීරණාත්මක තීරණය කි‍්‍රයාත්මක කළ දිනය වූයේ 2013 ජනවාරි 28 වැනිදාය.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක මහතාගේ මූලික අධීක්ෂණය යටතේ ආරම්භ කළ විශ්මිත ශල්‍යකර්මයේ පුරෝගාමින් ලෙස ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි අමිල සිරිවර්ධන, විශේෂඥ නිර්වින්දන වෛද්‍ය අලූත්ගේ මහතා ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමද ඊට එක්වූහ. 


වෛද්‍ය රාජපක්ෂ, වෛද්‍ය ලකිත් විජේකෝන්, වෛද්‍ය විමල් රාජන්, යන වෛද්‍යවරුනුත්, ප්ලාස්ටික් ශල්‍යාගාරයේ හෙද කාර්යය මණ්ඩලයත් කනිටු සේවක පිරිසත් එකා මෙන් සන්නද්ධ වූයේ මුදලට මැනිය නොහැකි උතුම් මිනිස් ජීවිතයක් බේරා ගැනිමේ අටියෙනි.ශ්‍රී ලංකාව වැනි පුංචි රටක යුරෝපය වැනි දියුණු රටක දහස් ගණන් වියදම් කර කරනා උසස්ම තත්ත්වයේ ඉහළ ප‍්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් සැත්කමක් කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේදී කිරීමට අවශ්‍ය සියලූ පහසුකම් විශේෂඥ වෛද්‍ය පුහුණුව බිහිකරලීමේ කටයුත්තේ මහ නියමුවා වන්නේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරාය. 


ඒ නිසාම මෙවැනි අවස්ථාවක ඔහු පිළිබඳ සටහනක් තැබීම අපගේ යුතුකමක් යැයි සිතමු.

වෛද්‍ය දුලිප් පෙරේරා


වායු සමන යන්ත‍්‍රවලින් ශීතලවූ ශල්‍යාගාරයේ ප්ලාස්ටික් සැත්කමට අදාළ සියලූ ශල්‍ය උපකරණ යන්ත‍්‍ර සූත‍්‍ර, පහසුකම් සූදානම් වෙද්දී, වෛද්‍යවරුන් සියලූ දෙනාමත්, හෙද කාර්ය මණ්ඩලයත්, ශල්‍යාගාරයේ කටයුතුවලට නන් අයුරින් සහය දෙන සියලූ දෙනාටත් කොළ පැහැ වර්ණයෙන් ශල්‍යාගාර ඇඳුම් ඇඳ පෙළ ගැසුණේ එකම අරමුණක් සාක්ෂාත් කර ගැනිමේ අටියෙනි.


පියවි සිහියෙන් බැහැර කළ රෝගියාට ප්ලාස්ටික් සැත්කම කිරීමට පෙර ස්වසන නාලය විවෘත කර කෘති‍්‍රම බටයක් දමා පහසුවෙන් හුස්ම ගැනීමට සැලැස්වීමට රෝහලේ උගුර කන නාසය ඒකකයේ වෛද්‍යවරු පියවර ගත්හ.

වෛද්‍ය අමිල සිරිවර්ධන


එවැන්නකින් ශ්වසන නාලයට රුධිරය වහනය වීමෙන් ජීවිත අවදානමක් ඇතිවීම අවම කිරීමත් රෝගියාට හුස්ම ගැනීමට පහසු කිරීමත් එම ශල්‍යකර්මයේ මූළික අරමුණ විය. 


කැපීම් තුවාලයෙන් රෝගියාගේ මුහුණේ මාංශ පේෂි, ශ්ලේශ්මල පටල, කාටිලේජ වලට පවා විශාල වශයෙන් හානි සිදුව තිබූ නිසාම ඒ සියලූ දේ අස්ථිවලට සවි වන පරිදි බද්ධ කිරීම ප්ලාස්ටික් ශල්‍යකර්මයේ එක් පියවරක් විය.
මුහුණේ ඇට බද්ධ කිරීමේදී රෝගියාගෙන් කළව ප‍්‍රදේශයෙන්ද ශරීර කොටස් ලබා ගැනීමට සිදුවිය.
අක්ෂි කුහරය දෙබෑ වී තිබූ නිසාම අක්ෂි රෝහලෙන් වෛද්‍යවරුන් පැමිණ සුළු සැත්කමකින් සුදු ඉංගිරියාව රඳවා තබා ගැනීමට සුළු ශල්‍යකර්මයක් ශල්‍යාගාරයේදී කළහ.

වෛද්‍ය ගයාන් ඒකනායක


මුහුණේ අස්ථි නැවත සකස් කිරීමේදී ප්ලාස්ටික් සැත්කම් සඳහාම යොදා ගන්නා ටයිටේනියම් ලෝහයෙන් සකස් කළ පතුරු විශේෂයක් සහ ඇණ භාවිත විය.


වම්පසින් ඇලව සිටින ආකාරයට අක්ෂි කුහරය, නාසය, උඩුහනුව, යටි හනුව, දිව දක්වා දරුණු ලෙස කැපීමෙන් මස් වැදලි එල්ලී තිබුණ මුහුණ යථා තත්ත්වයට පත්වීමේ හාස්කමක් බඳු ප්ලාස්ටික් සැත්කම සිදුවූයේ ඒ අයුරිනි. 


ජීවිතයේ එක් සුළු නිමේෂයකදී සිදුවූ අනතුරකින් මුළු ජීවිත කාලයම වන්දි ගෙවනවා වෙනුවට, විකෘති වූ, අනතුරට ලක්වූ ශරීරයෙන් වෙන්වූ කොටස් බද්ධ කර යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම කොළඹ ජාතික රෝහලේ ආරම්භ කර ඇත්තේ මීට වසර හතළිස් පහකට පනහකට පෙරදීය.


ප්ලාස්ටික් ශල්‍ය ඒකකය මගින් වසරකට ශල්‍යකර්ම දෙදහස් පන්සියයක් තුන් දහසක් (2500-3000) අතර ප‍්‍රමාණයක් කරන අතර සුළු වශයෙන් ප‍්‍රතිකාර ගන්නා පිරිස වසරකට දස දහසකට වැඩිය.


ප්ලාස්ටික් සැත්කමක් කියූ සැනින් අප මතකයට නැගෙනුයේ රූපලාවන්‍ය හා බැඳුණු මාතෘකාවක් ලෙසය. 
එහෙත් ඉන් එහා ගිය පුළුල් සේවාවක්, ප්ලාස්ටික් සැත්කම් මගින් ලබාගත හැකිය.
ප්ලාස්ටික් සැත්කම් හා අදාළ කොටස් සංඛ්‍යාව විස්සකට වැඩිය. 


උපතින්ම හෝ හදිසි අනතුරකදී හිස් කබලට හෝ මුහුණට සිදුවන අනතුරු, ඇදවීම්, විකෘතිතා යථා තත්ත්වයට පත් කිරීමට කපාල හා හනුක සැත්කම් ප්ලාස්ටික් ශල්‍ය ඒකකය තුළ සිදුවන විශේෂිත ශල්‍යකර්මයන්ය. 


ස්නායු පර්යන්ත පද්ධතියට සිදුවන විවිධ ආකාරයේ අනතුරු වලදීත්, ලේ නහරවලට සිදුවන හානිවලදීත් ප්ලාස්ටික් ශල්‍යකර්ම මගින් ප‍්‍රතිකාර කෙරේ.


අක්ෂි බද්ධය, උඩුතොල, යටිතොල පැළීමෙන් මුහුණේ විකෘතිතා වූ විට යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන්ද, ප්ලාස්ටික් සැත්කම් ඒකකය මගින් ශල්‍යකර්ම සිදුවේ.


ප්ලාස්ටික් ශල්‍ය ඒකකය මගින් සිදුවන තවත් විශේෂම සැත්කමක් වනුයේ පිළිකා රෝගයට ගොදුරු වූ රෝගීන්ට ශල්‍යකර්මයකින් විකෘති වූ පිළිකා කොටස් ඉවත් කිරීමෙන් පසුව හිස්ව විකෘති වූ එම ප‍්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීමයි. 


විවිධ අනතුරුවලින් අතේ මැණික් කටුවේ පහළ කොටසට සිදුවන අනතුරු යථා තත්ත්වයට පත් කිරීමද ශල්‍ය ඒකකයේ සිදුවන තවත් ප‍්‍රතිකාර ක‍්‍රමයකි.


අන්වීක්ෂ ආධාරයෙන් කුඩා නහර බද්ධ කිරීමත්, ශරීරයෙන් වෙන්වූ ඇඟිලි බද්ධ කර සවි කිරීම, ගැලවී වෙන් වූ අත් නැවනත් සවි කිරිමද කොළඹ ජාතික රෝහලේ ශල්‍ය ඒකකයේදි කර ගත හැකි ප‍්‍රතිකාර අතර කිපයකි.


ජලයෙන්, ගින්නෙන්, විෂ රසායනයන්ගෙන්, හුමාලයෙන් ආදි විවිධ අයුරින් සිදුවන පිළිස්සුම් සඳහා ප‍්‍රතිකාර ලබාදී රෝගීන්ට ඇතිවන විකෘතිතා අවම කිරීමද මෙහිලා සිදුවෙයි.


 ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සිදුවූ තවත් කාර්යයන් පිළිබඳවද අපි තොරතුරු දැන ගැනීමට අමතක නොකළේ එහි වටිනාකම වර්තමානයට තීව‍්‍ර වශයෙන් දැනී ඇති බැවිනි.


ශල්‍ය වෛද්‍යවරුන්ගේ අත්වල රැඳුණු අත් ආවරණ රතු රුධිරයෙන් නැහැවි, ඔරලෝසු කටුව තත්ත්පරයෙන් තත්ත්පරය ගෙවී ගොස් පැය දොළහකට ආසන්න කාලයක් ගෙවා දමද්දී පියවරෙන් පියවර කළ ශල්‍යකර්මයේ නිමාව සටහන් වූයේ එලෙසිනි.

 

සටහන - සුන්තා එදිරිසූරිය