(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන  විද්‍යා සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ - ධම්ම දිසානායක)

”බලයට පත්කිරීමට මා ද දායකවූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සමත්කම දක්වන්නේ තම අසමත්කම් ප‍්‍රදර්ශනය කිරීමට ය.” මේ ප‍්‍රකාශය මගේ ගුරුවරයා වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ගේ ය. ජනවාරි ආණ්ඩු වෙනස සඳහා ඔහු දැක්වූ සහයෝගය ජාතික මට්ටමින් ප‍්‍රදර්ශනාත්මක නොවුවද තීරණාත්මක දායකත්වයක් සපයා ඇති බව ඒ ප‍්‍රකාශයෙන් පෙනී යයි.

සති අග පුවත්පතකට ඔහු ලියා ඇති ලිපියෙහි සාරය දෙස බලන විට පෙනෙන්නේ ‘ජනවාරි බුද්ධිමතුන්ගෙන්’ බොහෝ පිරිසක් ඔවුන් අපේක්ෂා කළ යහපාලන ප‍්‍රතිමාන ඉටු නොවීමේ සාංකාවෙන් පෙළෙන බවය. එසේම තම ප‍්‍රතිමානාත්මක සමාජ දේශපාලන ප‍්‍රර්ථනා ඉටු කිරීමේ යම් විභවතාවක් තවමත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සතුව පවතින බවට වූ විශ්වාසයක් මොවුන් සතුවන බවය.

විවිධ මට්ටමේ ආණ්ඩු විරෝධීන්ගේ නොමඳ නින්දා ගැරහුම්වලට ලක්වන ජනවාරි දේශපාලන දායකයන් දෙස සාධාරණ  මැදහත් දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුය. යන්න ඇඟවීම මෙවර ලිපියේ එක අරමුණකි. එසේම කඩා වැටෙන ආණ්ඩුවෙන් පසු දේශපාලනය කවරාකාර විය යුතුද යන්න විමසා බැලීම තවත් අරමුණකි.

ජනවාරියේ දේශපාලන වෙනසට දායක වූ බුද්ධිමතුන්ට ඒ සඳහා සාධාරණ හේතු තිබුණි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට රාජපක්ෂ පාලනය විසින් සිදුකොට තිබූ අනිසි මැදිහත්වීම් එහිදී ප‍්‍රධාන විය. උපකුලපති තනතුරු පමණක් නොව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති පත්කිරීම සම්බන්ධව පවා එකී පාලනය කාලයේ අනිසි මැදිහත්වීම පිළිබඳ සරසවි ආචාර්ය ප‍්‍රජාව සිටියේ දැඩි කල කිරීමකිනි.

එකී ක‍්‍රියාවලිය වෙනස් කිරීමට එවක ආණ්ඩුවේ විවිධ තනතුරු දැරූ මා ද ඇතුළු සරසවි ආචාර්යවරුන් කීප දෙනකු උත්සාහ ගත්තද එය සාර්ථක නොවීය. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ  උපකුලපතිවරිය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ධුරයට පත්කොට ඇයගේ ස්වාමියා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත්කිරීම සිදුවූයේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ දැඩි විරෝධය මැදය.

එකී උපකුලපතිවරිය සහ උපකුලපති, රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඒ තනතුරට පත් කරනු ලැබුවේ ඒ දෙවාරයේම ඔවුන් දෙදෙනාට වඩා ඡන්දය ලබා ගත් මහාචාර්යවරයාට ඒ අවස්ථාව ලබා නොදෙමිනි. මේ කරුණ සහ අනෙකුත් විශ්වවිද්‍යාලවල සිදුකළ මේ ආකාරයේ පත්වීම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බලවත් අප‍්‍රසාදය සහ පිළිකුල ආණ්ඩුව වෙත එල්ලවීමට ප‍්‍රබල හේතු විය.

එසේම ඒ පත්වූ අය ආණ්ඩුවේ හිත දිනාගැනීම සඳහා ආණ්ඩුවේ පදයට නැටීම මිස විශ්වවිද්‍යාල අරමුණු සඳහා එතරම් අවධානයක් යොමු නොකිරීම සහ අදාළ ඇමැතිවරුන්ගේ දඩබ්බර සහ අගතිගාමී ක‍්‍රියා සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයම අර්බුදයට ගෙන ගියේය (මේ තත්ත්වය මේ මොහොතේ ද  ඒ විධියටම පවත්නා බවට එක් උදාහරණයක් වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කිරීම සිදුවූ ආකාරයයි).

2005 ජනාධිපතිවරණයේ දී සියයට අනූපහක්ම සහ 2010 ජනාධිපතිවරණයේ දී සියයට හැත්තෑපහක් පමණ මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මතු කී හේතු නිසා 2015 ජනාධිපතිවරණයේදී සියයට අනූනවයකින්ම පෙළ ගැසුණේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන්ය (රටේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයන් රාජපක්ෂ පාලනයට එරෙහි වුණේ තම ආයතනවල ඉහත කී අකාරයේ අභ්‍යන්තරික ප‍්‍රධානීන්ගේ දඩබ්බර සහ අනුවණ හැසිරීම් සහ ඒවාට ජනාධිපතිගේ පාලනය වගකිවයුතුය යන මතයේ පිහිටාය).

ආචාර්යවරුන්ගේ තීරණය සාධාරණය. එවැනි අයහපත් තත්ත්වයක් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට යළි යළිත් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පුර්ණ ආණ්ඩු වෙනසක් වෙනුවෙන් සියයට හයේ (6%) අලංකාරිකය හෝ වෙස්මුහුණ පෙරටු කරගෙන රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඔවුන් ජන සමාජය ඒකරාශී කරන්නේ තවත් බොහෝ යහපාලන මූලධර්ම විධිමත් අලංකාරික ලෙස භාවිතා කරමිනි. ඔවුන්ගේ අරමුණ නිර්ව්‍යාජ එකකි. අවංක එකකි. එහෙත් මේ නිර්ව්‍යාජ සහ අවංක සමාජ ව්‍යාපාරය ගෝලීය සහ එහි දේශීය සහචර ධනවාදයේ කුමන්ත‍්‍රණකරුවන්ගේ, වාඩිලා ගැනීමේ මාගලක් වීම වළක්වා ගැනීමට තරම් සංයමයක් සහ කල්බැලීමක් මේ බුද්ධිමතුන් සතු නොවීමත්, හදිස්සියත්, සමාජයට අත්කර දුන්නේ මාරාන්තික ප‍්‍රතිවිපාකයෝ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සේවය කරන මා මිත‍්‍ර ආචාර්ය ගුණරුවන් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය පිළිබඳ ප‍්‍රමුඛ බුද්ධිමතෙකි. ශාස්ත‍්‍රීය පර්යේෂකයෙකි. එසේම ඒ ක්ෂේත‍්‍රය සහ තවත් බොහෝ සමාජ ආර්ථික දේශපාලන කටයුතු පිළිබඳ ජාතික මට්ටමේ අවංක මැදිහත්කරුවෙකි. රාජපක්ෂ පාලන සමයේ ටික කලකට ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු ඉන් ඉල්ලා අස්වී නැවත විශ්වවිද්‍යාල සේවයට ආවේ අදාළ ඇමැතිවරයාගේ හිතුවක්කාර ක‍්‍රියාවලට සහ ඊට එරෙහිව කටයුතු කිරීමට ජනාධිපති රාජපක්ෂ මහතා ක‍්‍රියා නොකරන බවට ප‍්‍රබල චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කරමිනි.

ඉන් නොනැවතුණු ඔහු ජනවාරි යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පෙරමුණේ රාළ කෙනෙක් ලෙස කටයුතු කළේ නැවත එවැනි දුෂිත අමාත්‍යාංශයක් හෝ ආණ්ඩුවක් නොදැකීමේ අරමුණෙනි. යහපාලන ආණ්ඩුවේ ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නැවතත් පත්වූ ඔහු ටික කලකින් අර චෝදනා ම නඟා ඉල්ලා අස්වූයේ ආණ්ඩුව පෙරළා දැමීම හැර වෙනත් විකල්පයක් නැත යන්න අප වැනි මිතුරන්ට සහ සමාජයට පවසමිනි. දැන් ඔහු ක‍්‍රියා කරමින් සිටින්නේ ඒ වෙනුවෙනි.

මින් පෙනී යන්නේ රාජපක්ෂ පාලනය එපා වූ අයුරින්ම මේ බුද්ධිමතුන් බොහෝ දෙනකුට පවත්නා පාලනය ද එපා වී ඇති බව ය. එහෙත් මහාචාර්ය උයන්ගොඩ වැනි මැදහත් සිතන්නන්ට අනුව නම් (ඔවුන් ඍජුවම නොකීවද සිතන බව පෙනෙන්නේ) එපා වී ඇත්තේ, පෙරළා දැමිය යුත්තේ අගමැති වික‍්‍රමසිංහ පාලනය මිස ජනාධිපති සිරිසේන පාලනය නොවේ.

රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ගැන විශේෂ අවධානය යොමුකරන මෙවැනි බුද්ධිමතුන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වෙන්නේ රාජ්‍ය බලය බෙදීමට නොව එය සාර්ව සහ ක්ෂුද්‍ර මට්ටමේ බහුත්වවාදී පදනමකින් නොකිරීම පිළිබඳවය. මෙය නව තත්ත්වයකි. එනම් එක්තරා මට්ටමකට රාජපක්ෂ අදහස සාධනීය කටයුත්තකට යොදා ගත හැකි බවට ඉඟියකි. එක අතකින් සිරිසේන ජනාධිපතිවරයාගේ ජාතික මැදහත් භාවය අගය කරන අතරම අනිත් අතින් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ බහුත්වවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී යෝජනාව අගය කිරීම නව දේශපාලන සංවාදයකට පමණක් නොව නව සංධානයකට සහ නව දේශපාලන වෙනසකට ද යොදා ගත හැකිබව මගේ අදහසයි.

පවත්නා ආණ්ඩුව ශීඝ‍්‍රයෙන් ගමන් කරමින් සිටින්නේ අවරට ය. එසේ ගමන් කරන්නේ හුදු ආණ්ඩුවේ බලය සහ සුජාතභාවය අහිමි කර ගනිමින් පමණක් නොව රටේ බලය සහ ජාතික අභිලාෂද දුර්මුඛ කරමිනි. එහෙත් ගැටලූව වන්නේ නව කණ්ඩායමකට බලය ලබා දීමකට එහා ගිය ප‍්‍රගතිශීලී සමාජ පැවැත්මක් උදෙසා වූ වැඩපිළිවෙළකට බලය ලබාදී එය ක‍්‍රියාත්මක කිරීමකට විභවතාව ඇති විශ්වසනීය ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මෙරට ජනයාට හැකියාව සහ බුද්ධිය තිබේද යන්නය.

එසේම එවැන්නක් තිරසාර කරවීමට හැකි දේශපාලන නායකත්වයක් සකසා ගන්නේ කෙසේ ද යන්නය. ඒ සඳහා සිරිසේන-රාජපක්ෂ සංයෝගය යොදා ගන්නේ නම් ඒ සංයෝගයේ හැසිරීම ප‍්‍රගතිශීලී සමාජ කාර්යන් සඳහා නියාමනය කරන්නේ කවුරුද යන්නය.

අවසනට කී දෙය වැදගත් වන්නේ මේ ආණ්ඩුව පරාජය කිරීමේ විභවතාව ඇති බලවත්ම දේශපාලන ව්‍යුහය රාජපක්ෂ බල කේන්ද්‍රය නිසාය. එහි ඇති බලය, වැදගත්කම  සහ එය යහපත් දෙයකට යොමු කරවා ගැනීමේ අදහස සහ උපාය මාර්ග ඇති, සුදුසු සහ එකම නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව ජනවාරි බුද්ධිමතුන්ගේ වර්තමාන අදහස් පිරික්සා බලනවිට පවා පෙනී යන්නකි.

එවැනි සංධානයක් සහ නියාමන බලවේගයක් සහිත වැඩපිළිවෙළක් යනු ලංකාවේ නව ගමනක මුලය. පටන් ගැනීමය. එම සංධානය ශ‍්‍රීලනිප සහ එජාපය නොව ශ‍්‍රී ලංකා කාරයන් සහ යුඇන්පී කාරයන් එකතු කරනු ඇත. ජවිපෙ, මුස්ලිම් කොංග‍්‍රසය සහ ද්‍රවිඩ සංධානය නොව ජේවීපී කාරයන්, මුස්ලිම් කාරයන් සහ ද්‍රවිඩකාරයන් එකතු කරනු ඇත. ඒ එකතුවට ඉහළින් මඟහැරිය නොහැකි බලවත් නව වාම වැඩපිළිවෙළක් නම් ස්ථාපිත කළ යුතුමය.    

ජනවාරියෙන් පසු ‘යහපාලන දේශපාලනයේ’ වැරදුණු තැන් බොහෝය. ඒ බොහෝ දෑ ගැන මේ ලිපි පෙළේ විටින්විට අප කතා කර ඇත්තෙමු. ඇතැමකු තම දේශපාලන අනන්‍යතාව අහිමි කර ගත් අතර ඇතමෙක් තම ඡුන්ද පදනම අහිමි කර ගත්හ. නිදසුන් කීපයකින් පමණක් මෙය පැහැදිලි කර ගනිමු. දුමින්ද දිසානායක මහතා ශ‍්‍රීලනිපයේ මහලේකම් වී ශ‍්‍රීලංකාකාරකම නැතිකර ගත්තේය. මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වී ශ‍්‍රීලංකාකාරකමයි සංධානකාරකමයි දෙකම නැතිකර ගත්තේය. ඒ දෙන්නා කියන කිසිම දෙයක් ශ‍්‍රීලංකාකාරයෝ ගණන් නොගනිති.

 සංධානකාරයෝත් නොඅසති. මහ ලේකම්කම් කුමකට ද? ඒ ශ‍්‍රීලනිපයේ සහ සංධානයේ බොහෝ අයට අත් වුණේ ඒ ඉරණමය. සමහරුන්ට ‘ඇපත් නැතිවී ජාතික ලැයිස්තුව පිහිටට ආවේය. එහෙත් ඒ සියල්ල මැද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලංකාකාරයකු ලෙස සමාජය විසින් පිළිගැනීම අතිශයින්ම අවධානයට ලක්විය යුත්තකි.

එසේම ඔහුද කලබලවී සහ හැඟීම් බරවීම නිසා වරද්දා ගත් වාර බොහෝය. ජනවාරි පොරොන්දු ආණ්ඩුව එක වරදකි. එහෙත් එය නොකර බැරි දෙයක්වීම අප තේරුම් ගත යුත්තකි. අගෝස්තු වැරැද්ද නම් සුළුපටු නැත. මහ ලේකම්වරු ඉවත්කොට, අගමැතිකම් නොදෙන බව ප‍්‍රකාශ කොට එජාපයට බලය යන තැනට එතනදී ඔහු වරද්දා ගත්තේය. ”ආණ්ඩුව ඇතුළෙන්ම මට ගහනවෝ” යැයි කියන්නට සිදුවී ඇත්තේ ඒ නිසාය.

ජාතික ලැයිස්තුවද වැරැද්දුවේය. එසේම ප්‍රාදේශීය ආණ්ඩු (පළාත් පාලන ආයතන) මැතිවරණ නොපැවැත්වීම සහ එක්කෝ ඒවායේ කාලය දීර්ඝ නොකිරීම හරහා සිදුකළ වැරැද්ද ද සුළුපටු නැත. සියල්ලෙන් පසු දැන් නැවත ඔහුට වාරයක් ලැබී තිබෙන බව පෙනේ. ඒ ඉදිරියේදී එන  ඕනෑම වර්ගයේ මැතිවරණයක දී ලැබෙන වාරය ය. එහිදී  රට ගැන හිතනවාද, ස්වදේශිකවාදී ශ‍්‍රී ලංකා කාරයකු වනවාද නැතහොත් පරණ වැරැදි ලැයිස්තුවට තව එකක් එකතු කරනවාද යන්න ජනාධිපතිවරයා විසින් ගැඹුරින් සිතා බැලිය යුත්තේ ඒ තීරණය ඔහුට වඩා ඔහුගේ රටට තීරණාත්මක වන බැවිනි.