අලුත් අවුරුදු උත්සව සමය කෙමෙන් ගෙවී යයි. අලුත් අවුරුද්ද උදාවන මොහොතේ අනාගතය සම්බන්ධයෙන් ඇතිකරගත් සුබවාදී ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුකර ගැනීම වෙනුවෙන් වෙහෙසිය යුතු පැය එළැඹ තිබේ. ඒ වෙනුවෙන් ඔබ වඩාත් වගකීම් සහගත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

‘‘වගකීම් සහගත’’ බව සම්බන්ධ සිහිකැඳවීම හේතුවක් මතය. මන්දයත් ඇතැම් පුරවැසියන් තුළින් වගකීම් සහගත බව බොහෝ වේගයෙන් ගිලිහී ගොස් ඇති බව පෙනෙන්නට තිබූ හෙයිනි. අලුත් අවුරුද්දට පෙර අප පුවත්පත ඡායාරූප සමගින් වාර්තා කරනු ලැබුවේ මහරගම පමුණුවේ රෙදිපිළි මිලදී ගැනීමට ජනයා පොදි කකා සිටි ස්වභාවයයි. මීටරේ පරතරය තබා සෙන්ටි මීටරයක පරතරයක්ද  නොතිබිණි. සැබැවින්ම එම ඡායාරූප දුටු අයකුට ‘අවුරුදු පොකුරක්’ සම්බන්ධ භීතියක් ඇති නොවුණේ නම් විමතියකි.

මහරගම පමුණුවේ පමණක් නොව බොහෝ නගරවල මෙම තත්ත්වය දක්නට  ලැබිණි. බොහෝ රෙදිපිළි අලෙවිසල්වල දෑත් සේදීමේ පහසුකම් සපයා තිබිණි. නම ලිපිනය ලිවීමට පොත්පත් තබා තිබිණි. එහෙත් අලෙවිසල තුළ එක පොදියට රැස් කකා රෙදිපිළි තෝරා ගැනීමට පෙළඹෙනු දක්නට ලැබිණි. ‘වෙන මොනවා කරන්නදැයි’ පෙරළා ප්‍රශ්න කළ හැකිය. එහෙත් අප බැලිය යුත්තේ අවසන් ප්‍රතිඵලය දෙසය. අලුත් අවුරුද්ද සැමරුවා මෙන් නොව රට පුරා කොරෝනා පොකුරු පීදෙන්නට පටන් ගත හොත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ වගකීම් විරහිත ලෙස හැසිරුණ පුරවැසියන්ට පමණක් නොව සෞඛ්‍ය  උපදෙස්වලට යටත්ව නිවෙස්වලට වී සිටි පුරවැසියන්ටද වන්දි ගෙවීමට සිදුවේ.

  2020 වසරේ අලුත් අවුරුද්ද අපට අහිමි විය. එය රටම ලෝකයම හුදෙකලා කෙරුණු පාළු සෝබර කළුවර මැද අලුත් අවුරුද්ද ගෙවා දැමීමට  අපට සිදුවිය. ඉතිහාසයේ මෙතෙක් හමු නොවූ දවස් ගෙවා දමමින් සිටි සෑම පුරවැසියකුගේම ප්‍රාර්ථනය වූයේ මේ අඳුරු ගොරබිරම් දවස් ඉක්මවූ සුවබර දවස්ය. මේ වසරේ අලුත් අවුරුද්ද ඉහළින් සැමරීමට  ජනයා පෙළඹුණේ ඒ දවස් ඉක්මනින්ම උදාවී ඇතැයි සිතූ ආකාරයෙන්ය.
යථාර්ථය බෙහෙවින් බියකරුය. කොරෝනා මාරාන්තික උවදුර තවමත් තුරන් වී  නැත. තුන්වැනි කොරෝනා රැලි හේතුවෙන් ඇතැම් රටවල් යළිත් හුදෙකලා කර තිබේ. අප රට තුළද කොරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව ලක්ෂයකට ඉතාම ආසන්නය. කොරෝනා මරණ සංඛ්‍යාවද නොසිතූ ලෙස ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය අමතක කර කටයුතු කිරීමට යම් පුරවැසියකු පෙළඹෙන්නේ නම් ඒ හරහා මුළු රටම අන්ධකාර ප්‍රපාතයකට ඇද වැටීම වැළැක්විය නොහැකිය.

‘‘ගිය නුවණ ඇතුන් ලවාවත්  ඇද්ද විය නොහැකිය’’ යන්න ඒකාන්ත සත්‍යයකි. ගෙවා දමා ආ දවස් සම්බන්ධයෙන් යමකුට කම්පාවක් දැනෙන්නේ නම් ඒ වෙනුවෙන් කළ යුතු හොඳම දේ වන්නේ එවැනි දවස් යළි නිර්මාණය කර නොගැනීමය. වගකීම් සහගත වීම යනු එයය. ගෙවා දැමූ දවස්වල සිදුවූ අත්තනෝමතික, අශිෂ්ට, අවිචාරවත් හා වගකීම් විරහිත හැසිරීම් යළි මතු නොවන ලෙස කටයුතු කිරීම සියලු පුරවැසියන්  ඉදිරිපිට ඇති අත්හළ නොහැකි වගකීමකි.

කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ ඇත්තේ ක්‍රියා මාර්ග තුනකි. පළමු වැන්න නම් රට මුළුමනින්ම හුදෙකලා කිරීමය. දෙවැන්න නම් කිසිදු පාලනයකින් තොරව ‘‘ඕනෑ දෙයක් වෙච්චදෙන්’’ කියා රට විවෘතව තැබීමය. තෙවැන්න නම් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව රට විවෘතව  තැබීමය. මෙයින් වඩාත් නිවැරැදිම හා පලදායි ක්‍රියා මාර්ගය වනුයේ තෙවැනුව දක්වා ඇති පිළිවෙතය. දැනට අප රට තුළ ක්‍රියාත්මක වනුයේ එයයි.

 අවධාරණය කළ යුතු කාරණයක්ද තිබේ. රට අවුල් වී රට තුළ නොසන්සුන් බවක් ඇතිවනු දකිනු රිසි පිරිස් ද සිටිති. ඉඩදිය යුතු නොවන්නේ එබඳු පටු හා පවිටු අදහස්වලටය. එමෙන්ම තවකෙකු වගකීම් විරහිතව හැසිරෙන්නේ  යැයි කියා තමන්ද එසේ විය යුතු නැත. පළමුව  තමන් තමන්ගේ ජීවිතයට ආදරය කළ යුතුය. තම ජීවිතයට සමීපතමයන්ට ආදරය කළ යුතුය. රටට ආදරය කළ යුතුය. වගකිවයුතු පුරවැසියන් නිර්මාණය වන්නේ එසේය. රටට අවශ්‍ය කරනුයේ ද එබඳු වගකිවයුතු පුරවැසියෝ වෙති.

කොරෝනා වයිරසය පැමිණීමට පෙර තිබූ යුගයට, එම නිදහස් ජීවිතයට අපට තවම යා නොහැකිය. එබඳු වාතාවරණයක් රටේ නැත. එමෙන්ම එබඳු දිනයක් නැවත කවදා උදාවේදැයි අනාවැකි කිව නොහැකිය.  මෙයටත් වඩා තත්ත්වය භයානක වූ  රටක් නිර්මාණය වනු ඇතැයි යන්න අහේතුක බියක් නොවේ. එහෙයින් රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ පුරවැසියාගේ හැසිරීමය. එම හැසිරීම අදත්, හෙටත්, මතු මත්තටත් වගකීම් සහගත විය යුත්තේ එහෙයිනි.


(***)