වංශ කතාවලට අනුව වලගම්බා රජ දවස විශාල ආහාර අහේනියක් සිදුවී තිබේ. බැමිණිටියාසාය යනුවෙන් එය හඳුන්වා ඇත. ආක්‍රමණිකයන් සමග ඇති වූ ගැටුම් හා නියඟය එයට හේතු වූ බව සඳහන් වන අතර විශාල විපතක් සිදුවී තිබේ. දෙවැනි ලෝක යුද්ධය සමග නැවත වතාවක් ලංකාව දරුණු ආහාර හිඟයකට මුහුණ පෑ බව කුමාරි ජයවර්ධන හා ජෙනිෆර් මොරාගොඩ සම්පාදනය කළ එන්.යූ. ජයවර්ධන චරිතාපදානය සඳහන් කරයි. කොළඹ විසූ ජනී ජනයාට ලැබුණේ, බජිරි යනුවෙන් හඳුන්වන කුරුල්ලන් ආහාරයට ගන්නා ධාන්‍ය බව එහි දැක්වේ. යුද සමයේ ජනතාව කොළඹ නගරය හැර ගියහ. ගම්වල ඇති ආහාරවලින් ජීවත් වූහ.

 

නැවත වතාවක් ආහාර අර්බුදයක් ගැන සාකච්ඡා වෙයි. දැනට මුහුණපා ඇති ආර්ථික අර්බුදය දෛනික ආහාර සැපයුම පවා දුෂ්කර තත්ත්වයකට පත් කරනු ඇතැයි කියැවේ. වියැළී ගිය දණ්ඩක් පවා පැළවෙන බවට මතයක් ඇති, පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ආහාර අහේනියකට ලක් විය හැකි ද? නගරයේ ජනී ජනයා සහල්, අල, බතල මිල දී ගැනීම සඳහා විශාල මිලක් ගෙවමින් සිටිති. ගම්වල කොස්, දෙල් ප්‍රයෝජනයක් නොගෙන විනාශ වෙමින් තිබේ. අපට ඇත්තේ ආහාර අර්බුදයක් නොවේ. කළමනාකරණ ක්‍රමවේදයක් රහිත භාවයකි.

 

ආහාර හිඟය ගැන ජාත්‍යන්තර ඇසින්

ආහාර හිඟය ගැන සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාව දැනට පත්ව ඇති ආර්ථික අර්බුදය සමග පමණක් නොවේ. ජනගහනය වර්ධනය සමග ලෝක ප්‍රජාවගේ අවශ්‍යතා සඳහා බව බෝග නිෂ්පාදනය වැඩි කළ යුතු බව ප්‍රකාශ වෙයි. කොවිඩ් ව්‍යාප්තියට වසර කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවට අලුත් ආහාර රටාවක් හඳුන්වා දෙනු ලැබීය.

අප්‍රියජනක කෘමීන් පවා ආහාරයට ගත හැකි අතර එය ප්‍රෝටීන් වර්ධකයක් බව අඟවන්නේ ඉදිරියේ ඇති විය හැකි ආහාර හිඟයට යම් විකල්පයක් වශයෙනි.

වැඩිපුර නිපදවිය යුතු අතර කුසගින්නේ සිටින ජන කොටස අඩු කළ යුතුව තිබුණි. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි පසුගිය වසර විසි පහ තුළ ආහාර සුරක්ෂිතතාව සඳහා දැවැන්ත වැඩසටහනක් ලෝකය පුරා ක්‍රියාත්මක වී තිබේ. එහෙත් එම ඉලක්ක විනාශ වී ඇත.

2021 වසරේ රටවල් 53ක මිලියන 193ක ජනගහනයක් ආහාර හිඟයකින් පීඩාවට පත්ව ඇත. කොවිඩ් වසංගතය නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කළ අතර ජනී ජනයා මහත් පීඩාවකට පත් වූහ.

ආහාර හිඟය සහ වෙළඳ පොළ මිල සඳහා බලපාන කරුණු තුනක් විශේෂඥයෝ සඳහන් කරති. Climate Covid Conflict යන සී අකුරු තුන දක්වා තිබේ. කාලගුණය ප්‍රධාන සාධකයකි. සමහර කලාපවල තද නියඟයකි. අනෙක් කලාපයක අධික වැසි පවතී. කොවිඩ් අනෙක් කරුණය. ලෝකයේ හැම රටකම ආහාර නිෂ්පාදනය පමණක් නොව බෙදාහැරීම ද එයින් අඩපණ වී ඇත. ගැටුම් තුන් වැනි සාධකය සේ බලපාන බව දැක්වේ.

රුසියාව සහ යුක්රේනය අතර හටගෙන ඇති යුද තත්ත්වය බටහිර හා යුරෝපා කලාපයට බලපා තිබේ.

විශේෂයෙන් ඉන්ධන මිල ගණන් දරුණු ලෙස ඉහළ ගොස් තිබේ. ගැටුම් කවදා අවසන් වනු ඇත්දැයි නිරීක්ෂකයෝ බලා සිටිති.

 

බටහිර අවුළවන ගිනි ජනතාවගේ හිස මත

2022 සිට ඉදිරියට ලෝකයේ ආහාර නිෂ්පාදන රටාව වේගවත් කළ හැකි වනු විශ්වාස කෙරිණ. රුසියාව හා යුක්රේනය අතර යුද්ධය එය තවත් සංකීර්ණ තැනකට තල්ලු කර තිබේ. ජාත්‍යන්තර තිරිඟු අවශ්‍යතාවෙන් සියයට විසි අටක් රුසියාව සපයයි. යුක්රේනය හා රුසියාව එකතු වූ විට ප්‍රතිශතය ලෝක අවශ්‍යතාවෙන් තුනෙන් එකකි. යුක්රේනයේ නිෂ්පාදන පිටතට සපයන මාර්ග යුද්ධය හේතුවෙන් ඇහිරී ඇති අතර බටහිර රටවල් රුසියාව සමග වෙළඳාම අත්හැර ඇත. ආහාර වැඩිපුර නිපදවීම සඳහා රසායනික පොහොර අවශ්‍යය. යූරියා නිපදවීම තෙල් පිරිපහදුව හා සම්බන්ධිතය. ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ නැග ඇති අතර එයට සමාන්තරව යූරියා මිල ද දෙගුණ වී ඇත. වැඩිම ආහාර නිපදවන චීනය, ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් පොහොර තොග රැස් කරන්නට පියවර ගෙන ඇති අතර එය අනෙක් රටවල කෘෂිකාර්මික කටයුතුවලට ද නරක අන්දමට බලපා තිබේ. අනවශ්‍ය ගැටුම දුප්පත් ජනතාවගේ ආහාර ප්‍රශ්නය ව්‍යාකූල කර ඇත.

ඇමරිකාවේ ආහාර මිල වැඩිවීම වසර හතළිහකට මෙපිට දරුණුම තැනක බව දැක්වේ. බ්‍රිතාන්‍යයේ මිනිසුන් විරෝධතා පළ කරන්නට පටන්ගෙන ඇත. ජර්මනියේ ආහාර මිල 1970 පසු ඉහළටම නැග ඇති බව වාර්තා අනාවරණය කරයි. නවසීලන්තයේ ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම සියයට 4.5 කි. එම වැඩිවීම වසර සියයකට මෙපිට ඉහළම අගය බව දක්වයි. දකුණු අප්‍රිකාවේ සියයට 6.3 කින්, නැගෙනහිර යුරෝපයේ සියයට 5.6 කින් හා කැනඩාවේ සියයට 5.7 කින් ආහාර මිල ගණන් වැඩිවී තිබේ. ඉන්දියාවේ ආහාර මිල වැඩිවීම සියයට 6.9කි.

ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි කෙන්යාව, ඉතියෝපියාව, දකුණු සුඩානය ඇතුළු රටවල දරුණු ආහාර හිඟයක් පවතී.

ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාව ගැන වාර්තා කරන්නේ ද ආහාර හිඟයක් ඇති ආනයනය කරන්නට විදේශ විනිමය පවා රහිත දුර්වල රටක් වශයෙනි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙම වසරේ මැයි මාසයේ දී ආහාර මිල ගණන් වැඩිවීම කලින් වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 58කි. එය පහසු තත්ත්වයක් නොවේ. සහල්, පරිප්පු, කිරිපිටි, එළවළු, මස් හා මාළු මිල ගණන් දැරිය නොහැකි තැනකය. සාමාන්‍යයෙන් ඉකුත් මහ කන්නයේ වී අස්වැන්න ඉදිරි මාස පහක පමණ කාලයකට ප්‍රමාණවත් නමුත් එම කන්නයේ වී තොග දැනටමත් අවසන්ය. රසායනික පොහොර රහිතව වගා කිරීම මත අස්වැන්න සියයට තිහකින් පමණ අඩු වූ අතර සහල් හිඟය මත දැනට පවතින මිල ගණන් තවත් ඉහළ යනු ඇතැයි සැලකේ. සහල් මෙට්‍රික් ටොන් පන්දහසක් ආනයනය කරන්නට රජය පියවර ගෙන තිබේ. ආනයන කෙසේ වෙතත් රට තුළ නිෂ්පාදනය වැඩි නොකළහොත් දැවැන්ත අර්බුදයක් ඇති විය හැකි බව කෘෂිකර්ම බලධාරීහු ප්‍රකාශ කරති.

 

නිෂ්පාදනය නංවන පියවරක් නොගැනීම

ශ්‍රී ලංකාවේ කෘෂි අංශය අසංවිධානාත්මකය. නිලධාරිවාදයෙන් හා දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ජරාජීර්ණ වී ඇත. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, අලෙවි අංශ සහ සහනාධාර වැඩසටහන් අප්‍රමාණව ඇති නමුත් රටට අවශ්‍ය මූලික ආහාර නිපදවා ගැනීමට අසමත්ය. වාර්තා දක්වන පරිදි කෘෂි අංශයට අදාළ ආයතන 267ක් රට තුළ ඇත. මේවායේ නිරත නිලධාරීහු දස දහස් ගණනකි. සෑම ග්‍රාම නිලධාරී වසමකම කෘෂි නිලධාරීහු අඩුම තරමින් දෙදෙනෙක් සිටිති.

වසර පුරා හොඳ කාලගුණයක් ඇති, තමන්ට අවශ්‍ය ආහාර නිපදවා ගත හැකි තරමට කුඩා ගෙවත්තක් සකස් කර ගැනීමට සමත්කමක් සහිත විශාල පිරිසක් සහිත රටක දුර්භික්ෂයක් තිබිය හැකිද? මෙම නිලධාරීන් තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරන්නේ නම් රටේ ආහාර හිඟයක් ඇති තැනක් විය හැකි ද?

වගා සංග්‍රාමය, ගෙවතු වගා, කෘෂි නවෝදය යනා දී වශයෙන් මහා පරිමාණ සැලසුම් කර ඇත.

2005 අවුරුද්දේ මෙරට දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය සියයට 33 කි. දැන් එය සියයට 9 දක්වා පහත බැස තිබේ. එක අවුරුද්දක් රසායනික පොහොර තහනම් කළ පමණින් විශාල අර්බුදයක් මතු නොවේ.

මැති ඇමැතිවරු ඇතුළු නිලධාරීහු ප්‍රතිපත්ති පැත්තකට සිටිති. සැලසුම් විනාශ කර තිබේ. ගොවි ජනතාව උදාසීන වන තැනට පත් කර ඇත. මෙම කන්නයේ වගා කළහොත් ලැබෙන අස්වැන්න විකුණා ගත නොහැක. එයින් පීඩාවට පත්වන ගොවියෝ ඊළඟ කන්නයේ එම වගාව අත් හරිති. වෙළඳ පොළේ දී ලැබෙන මිල, වගාව එපා කරවයි. වගා කරන්නටත් අලෙවියටත් සැලසුමක් හදාගන්නට නොහැකි වගකිවයුතු අංශ වහාම ගොවිතැන් කරන්නට යෝජනා කිරීම යුක්තිසහගත නැත.

රටට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය හා ඒවා නිපදවන තැන්, බෙදාහැරිය යුතු මාර්ග සම්බන්ධයෙන් සිතියමක් සකස් කරන්නට නොහැකි ඇයි? අර්බුදය මතු වූ පසු පැරණි ලිපිගොනු අවුස්සන නිලධාරීහු සහ ප්‍රචාරක සැලැසුම් හදන මැති ඇමැතිවරු අස්වැන්න නෙළාගැනීමෙන් ඉනික්බිතිව ප්‍රශ්න අමතක කර දමති. ඉන්දියාව කෘෂි ඇප් එකක් හඳුන්වා දී තිබේ. ගොවියෝ කාලගුණය ගැනත්, මිල හා වගා කළ යුතු දෙය ගැන දැනගන්නේ ද ඇප් වලින්ය. අනෙක ගොවියාට ලැබෙන සහනාධාර කෙළින්ම ගිණුමට බැර කෙරේ. මේවා ගැන අධ්‍යයනය නොකරන ශ්‍රී ලංකාව සහල් මිල වැඩි වූ පසු මහා වගා සංග්‍රාම අරඹයි.

 

සහල් නිෂ්පාදනය සඳහා ගත යුතු මග

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයකු අවුරුද්දකට සහල් කිලෝ 110 ක් පමණ පරිභෝජනය කරන බව දැක්වේ. එයට අවශ්‍ය පරිදි නිෂ්පාදනයට හෝ ආනයනයට පියවර නොගතහොත් ගැටලු මතුවේ. 2000 වසරේ මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් මිලියන 3.19 ක් පමණ ලැබී ඇත. 2021 වසරේ දී එය මෙට්‍රික් ටොන් මිලියන 2.29 දක්වා පහත වැටී ඇත. අමාත්‍යාංශයේ දත්ත අනුව වසරකට මෙරට වී වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් හත් ලක්ෂ අසූ දහසකි. එයින් හෙක්ටයාර් පන් ලක්ෂ හැට දහසක් වගා කරන්නේ මහ කන්නයේ දී ය.

කාලගුණය විවිධ බලපෑම් ඇති කරන නමුත් රටවැසියන්ගේ සහල් අවශ්‍යතාවෙන් සියයට අනූ හතක් මෙරට නිපදවෙයි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව සහල් අවශ්‍යතාව සියයට 1.1 කින් වර්ධනය වන බව දැක්වේ. මෙම වැඩිවීම සලකා වී නිෂ්පාදනය නැංවිය නොහැකි වුවහොත් ගැටලු ඇති වෙයි. පසුගිය කාලයේ සිට වී වගාවට යොදන පොහොර හා භාවිතා කරන කෘෂි රසායන ගැන මහත් ආන්දෝලනයක් තිබුණි. පොහොර ආනයනය සීමා කෙරිණ. කාබනික පොහොර සඳහා දිරිමත් කෙරිණි. ආදායම ප්‍රමාණවත් නොවීම මත ගොවියන් වගාව අත්හැර ඇත. නිෂ්පාදන ප්‍රමාණවත් නොවුණහොත් සහල් වෙළඳ පොළ විකෘතියක් හට ගෙන තිබේ. සහල් මාෆියාවක් ගැන වාර්තා කෙරේ. වෙළඳුන් පාලනය කිරීම පහසු නැත. කළ යුතු සැපයුම වැඩි කිරීම වන අතර එයට ගොවියන් දිරිගැන්විය යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂි අංශය ක්‍රමානුකූලව තාක්ෂණයට යොමු විය යුතු අතර යන්ත්‍ර භාවිතා කළ යුතුය. නවීන ගොවිතැන් ක්‍රමවලට ඇතුළු විය යුතුව තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දක්වන පරිදි ගොවියන්ගෙන් සියයට අසූවක් පමණ තවමත් සාම්ප්‍රදායික ගොවිතැන කරති. වී වැපිරීම අස්වනු නෙළීම අතරතුර විශාල හානියක් සිදුවේ. ගොවියන්ගෙන් සියට පනහක් තමන්ගේ නිෂ්පාදන අස්වැන්න නෙළාගෙන සතියක් ඇතුළත විකුණන අතර එයට හේතුව ණයගැතිභාවයයි. මේවා නොසලකා කෘෂිකර්මය නැංවිය නොහැක. වෙළඳ පොළ සහල් මිල ගණන් ගැන විශාල මත ගොඩනගන දේශපාලනඥයන් ගොවිතැන මුහුණ දී ඇති තත්ත්වය සහ තරුණ පිරිස එයට ඇතුළු නොවීම ගැන අවධානය යොමු කළ යුතුය. සාගතයක් උදාවන බව කියා වගා කරන්නට පොළඹවන නමුත් ගොවිතැන් කරන පිරිස සීමිතය. කැබිනට් තීරණයකින් සිකුරාදා නිවාඩු ප්‍රකාශ කරන ආණ්ඩුව වගා කරන සේ බල කරන නමුත් රජයේ සේවකයන් වගාවට උනන්දුවක් දක්වන්නේ නැත.

 

අනාගතය තවත් අවදානම් තැනකට

වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන දහයක් වනු ඇති බව දැක්වේ. තවත් වසර විසි අටකට පසු උදාවන දිනය ගැන දැන් සැලසුම් කළ යුතුය. එම සැලසුම අපගේ දරුවන්ගේ උන්නතිය සඳහාය. දරුවන්ගේ යුගයේ දී ආහාර අවශ්‍යතාව අද පවතින ප්‍රමාණය මෙන් සියයට පනස් හයක් වැඩි පුර අවශ්‍ය වනු ඇත. එම නිෂ්පාදනය සඳහා හෙක්ටයාර් මිලියන 593ක් අලුතින් වගාකරන්නට සිදුවේ. ජනගහනය වැඩිවන නමුත් භූමිය වර්ධනය නොවේ. පවතින සම්පත්වලින් ප්‍රයෝජන ගන්නට සිදුවේ. ආහාර නිපදවන්නට වැඩිපුර ඉඩම් එළි පෙහෙළි කළහොත් වනාන්තර අඩුවන අතර එය පරිසර ප්‍රශ්න ඇති කරයි. හරිතාගාර ආහාර නිෂ්පාදනය කෙරෙහි නැඹුරුවුවහොත් අහිතකර වායු විමෝචනය සහ ගෝලීය උණුසුම වැඩිවීමට බලපාන සාධකයකි.

නිෂ්පාදනයේ දී හා පරිභෝජනයේ දී ආහාර අපතේ හැරීම අවම කරගතහොත් මුලින් සඳහන් කරන ලද ආහාර අවශ්‍යතාව සියයට පනස් හයක සිට විසි පහ දක්වා පාලනය කරගත හැකි වෙතැයි ජාත්‍යන්තර පර්​ෙ‌ය්ෂකයෝ අනාවරණය කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන් වගා කරන්නට අලුතින් අවශ්‍ය ඉඩම් ප්‍රමාණය සියයට විසි හතකින් පහත වැටෙනු ඇත. ගව බැටළු හා එළු මස් සහ කිරි ආහාර අවශ්‍යතාව පවතින පරිදි කරගෙන ගියහොත් දැනට සත්ව පාලනය සඳහා භාවිතා කරන ඉඩම් ප්‍රමාණය සියයට විස්සකින් වැඩි කරන්නට සිදුවේ. විශාල ජල ප්‍රමාණයක් හා සත්ව ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු වන හෙයින් එය ඉතාම නිරර්ථක දෙයක් බවට පත්වනු ඇතැයි සැලකේ.

මෙම පැති ගැන විශ්ලේශනය කරන පර්​ෙ‌ය්ෂණ වාර්තා සාගරය වටිනාම ආයෝජනය වනු ඇති බව දක්වයි. මුහුදේ වගා කිරීම, මත්ස්‍ය ආහාරවලට නැඹුරුවීම විකල්පයක් සේ හුවා දක්වති. නීල ආර්ථිකයක් සේ දක්වයි. ශ්‍රී ලංකාවට විශාල සාගර සීමාවක් තිබේ. එතැනින් ප්‍රයෝජන ගැනීම අවශ්‍යය. වගා සංග්‍රාමය හුදෙක් බීජ පැකැට් බෙදා දී අත පිහිදා ගැනීමේ යෝජනාවක්ද? සාගරය අත පෙවිය හැකි තැනකි. මෙරට මුහුදු සම්පත් ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවල් අත්පත් කරගනිමින් සිටී. ගොඩබිම ජලාශ පවා මිරිදිය මසුන් වගා කළ යුතු තැන් බව හුවා දක්වති. කුඩා රටක් සීමිත ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවට අවස්ථා තිබේ. ඒවා මැනැවින් ආයෝජනය කළ හැක. ක්‍රමවත්ව ඉදිරියට ගෙන යන සැලැස්මක් සකස් කරන්නට හැකියාව තිබේ. ආහාර අර්බුදයක් ගැන කරුණු අසත්‍යයක් නොවේ. රටට කළ හැකි නිෂ්පාදනය හා කෘෂිකර්මය රට පුරා පැතිරවීම වහා එළැඹිය යුතු තීරණයකි.

 

(*** සාරා කන්දෙගොඩ)