ප්‍රශ්නය:- අමාත්‍යාංශයෙන් කෙරෙන පානීය ජල ව්‍යාපෘති මාලාවේ ඉදිරි කටයුතු කවර ආකාරද?

පිළිතුර:- අදට (22) යෙදෙන ජල දිනයේ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම පටන්ගන්නවා. ප්‍රජා ජල සහ අපේ මණ්ඩලයේ ජල යෝජනා විවෘත කිරීම් එකසිය ගණනක් තිබෙනවා. අන්තිම ජල යෝජනා ක්‍රමය යාපනයේ නාගදීපයේ දී අගමැතිවරයා විසින් විවෘත කරනු ලබනවා. මේ කාලය අපි පානීය ජල මහෝත්සවය යන නමින් හඳුන්වනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුවට අද වනවිට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව බවට පත්ව තිබෙන්නේ පරිසර හානියයි. පරිසර විනාශය නතර කරන්න කියලා රට පුරා පක්ෂ භේදයකින් තොරව නැඟෙන විරෝධතා රැල්ලට ආණ්ඩුව සංවේදී ද?

පිළිතුර:- ඉතාම සංවේදියි. එහෙත් මේ තත්ත්වය ගැන සැබෑ තොරතුරු දෙන්න ආණ්ඩුවේ ජනමාධ්‍ය සන්නිවේදන හැකියාව ඉතා දුර්වලයි. මේකයි ඇත්ත කතාව. 

සමහර තැන්වල හොරට ගස් කපන ඒවා තිබෙනවා. එහෙත් කිසිම තැනක රාජ්‍ය අනුග්‍රහයෙන් වෙන්නේ නෑ. පාරක් කපන්න යන්ත්‍ර සූත්‍ර ගෙනියන්න අවශ්‍ය සමහර තැන්වල කැලේ කපන්නේ නැතිව ඒවා ගෙනියන්න බෑ. පනාමුරේ ඇල්ල වැව හදන්න අපි 19 වැනිදා මුල්ගල් තිබ්බා. එතැන යම් ප්‍රමාණයක් කැලේ කැපෙනවා. ජලාශය හැදෙන්නේ දැනට වනාන්තරය වැවී තිබෙන ප්‍රදේශයෙ. ඉතින් එතකොටත් කැලේ කපනවා කියලා ප්‍රවෘත්තිවලට යාවි. කැපීම්වලට කලින් අවශ්‍ය ශාක සිටුවන්නට අපි තීරණයක් ගෙන තිබෙනවා. ඊටපස්සේ කුඹුක්, මී, මොර ගස් කැපීමට බලපත්‍ර ඕනෑ නෑ. එහෙත් ප්‍රවාහනය තහනම්. එතකොට ඕනෑම කෙනකුට තමන්ගෙ ඉඩමේ තිබෙන කුඹුක් ගහ කපන්න පුළුවන්. 

මම කියන්නේ ඒවාත් තිබිය යුතුම ගස්. කොස්වලට වගේම ඒ ගස්වලටත් අපි පියවරක් ගන්න ඕනෑ. ලංකාගම කපනවා කිව්ව එකේ ඇත්ත තොරතුරු අපි හෙළිදරව් කළා. ඒ පාර කැපුවේ නැත්තම් ඒ ගම්මානය අනාථයි. පාරක් නැති ගම්මානෙක තනිවෙලා මිනිස්සු ජීවත්වෙන්නේ කොහොමද? ගල්ඔය ව්‍යාපාරය හදන්න කොයිතරම් සද්දන්ත කැලෑවක් කපන්න ඇතිද? ඒ නිසා අවශ්‍යතා මත අපි කැලෑ කපන්න ඕනෑ. ඒ වගේම සිටුවන්නත් ඕනෑ. 

ප්‍රශ්නය:- පරිසරය ගැන නැඟෙන චෝදනා ප්‍රතික්ෂේප කළත් ඒවා ඉතාම විස්තරාත්මකව ඔප්පු කරන්න පරිසරවේදීන් සූදානම්. විනාශය ඉදිරියේ නිහඬව සිටින රාජ්‍ය ආයතන දැරිවියක චෝදනාවක් කළාම වහාම ගෙදරට පොලිසිය පවා යවනවා. ආණ්ඩුව භාෂණයට විවේචනයට බය ද?

පිළිතුර:- මම භාග්‍යා අබේරත්න දියණිය හමුවෙන්න අපේක්ෂාවෙන් හිටියේ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජලසම්පාදන ප්‍රශ්න ගණනාවක් නිරාකරණය කරන්න තිබුණු නිසා මට ඊට අවස්ථාව නැති වුණා. ඒ නිසා මම අයගම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා යැව්වා. මොකද ඇයගෙ නිවසට යවන්න තිබුණේ පොලිසියවත් නිලධාරින්වත් නෙවෙයි. සමාජ විද්‍යාඥයෙක්. විශේෂයෙන්ම ඒ දරුවා කාන්තාවක්. ඒ දැරිවිය කී තොරතුරු සනාථ කරගැනීම හෝ එහි අඩුලුහුඬුකම් දැනගන්න ඕනෑ ඇයට හිතේ චකිතයක් ඇති නොවන පරිදියි. ඒ වැඩේ වැරැදියි. 

ප්‍රශ්නය:- පැවැති ආණ්ඩුව එල්ල වූ තීරණාත්මක චෝදනාව වූයේ මහ බැංකු බැඳුම්කර වංචාවයි. දැන් ඊට වඩා වැඩි පංගුවක චෝදනාවක් සීනි ආනයනය සම්බන්ධයෙන් එල්ල වෙලා. ආණ්ඩු මාරු වුණාට ගජ මිතුරන්ට වාසි සැලැසීම වෙනස් වෙන්නේ නෑ නේද?

පිළිතුර:- ඒකට ක්‍රියාත්මක විය යුතුයි. එහෙත් සීනි ආනයනයේදී වුණේ මහ බැංකුවේ වෙච්ච දේ නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අපි සීනිවල විශාල වශයෙන් අඩු කළ බද්ද මහා වෙළෙඳ ආධිපත්‍ය විසින් ගිලගත්තා. අපට කරන්න දෙයක් නෑ. ඒ අයට විරුද්ධව නඩු යන්න හෝ දඬුවමක් කරන්නවත් නීතියක් නෑ. අපට බදු අඩු කරන්න පුළුවන්. එහෙත් අඩු කළ බද්ද මහා වෙළෙඳ ආධිපත්‍ය හිමි ව්‍යාපාරිකයන් පහළ සමාජයට නොදුන්නොත් අපට කරන්න දෙයක් නෑ. අපට ඒවාට නීති ඕනෑ. අපි හිතුවේ මානුෂීයව බද්දක් අඩු කළ විට එහි වාසිය පහළ ජනයාටත් එනවා කියලනෙ. හැබැයි එන්නේ නෑ. මේ අපේ මහා ව්‍යාපාරිකයන් ඒ තරම්ම කෑදරයි.

ප්‍රශ්නය:- ආණ්ඩුවට සෘජු බදු වැඩිකරන්න පුළුවන්. ඒක නොකරන්නේ ඇයි?

පිළිතුර:- ඒක අපේ සෞභාග්‍යයේ දැක්මෙත් තිබෙනවා. මේ වක්‍ර බදු වැඩි කළේ ඔක්කොම යූ.එන්.පී ආණ්ඩුනෙ. අන්තිම යහපාලන ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයටත් දැම්මේ වක්‍ර බදු අඩු කරනවා කියලයි. අන්තිමේදී සෘජු බදු සියයට 20 සිට 15 කරලා වක්‍ර බදු සියයට 85 කෙරුවා. අපි එහෙම කළේ නෑ. වැට් එක, ටෙලිෆෝන් බද්ද, රඳවාගැනීමේ බද්ද ආදී වක්‍ර බදු ඉවත් කළේ අපියි. ඒකෙන් ආණ්ඩුවට පාඩුයි.

ප්‍රශ්නය:- ආණ්ඩුව බලයට පත් දිනයේ සිට සහල් මිල පාලනයට විවිධ පියවර ගත්තා. හමුදාව දාලා වී ගත්තා. මෝල් වැටලුවා. චක්‍රලේඛ ගැහුවා. හැබැයි ඒ මොනව කළත් හාල් ගිනි ගණන් නේද?

පිළිතුර:- මම පහුගියදා ඇඹිලිපිටියේ ගම්බද කඩයකට ගියා. එතැන හාල් 98යි. 94ට තිබිය යුතුයි. එහෙත් ඔය කියන එකසිය ගණන් නෙවෙයි.

අපිත් ආණ්ඩුවක් හැටියට වී මිලදී ගෙන තොග එකතු කරගෙන ඒවා හාල් බවට පත්කරලා අලාබෙට හරි දෙනවා. වී තොග ගන්න බැරිවෙනකොට අපි මෝල්කාරයොත් එක්ක තරගෙට වික්කා. මහමෝල් හිමියන්ගේ මිල පහළ දාන්න අපට බැරි වුණොත් අනිවාර් යෙන්ම පිටරටින් රජය තනි ඒකාධිකාරයකින් ගෙනැල්ලා අඩු මිලට දිය යුතුයි. එතකොට තමයි මෝල්කාරයෝ මට්ටුවෙන්නේ. අපට ඒක කරන්න තිබෙන්නේ එක කන්නයයි. 

අපි කියන්නේ ආණ්ඩුව තොග වෙළෙඳාමට ඇතුල්වෙන්න ඕනෑ. වෙළෙඳපොළේ සීනි බදු අඩු කරලා මහජනයාට දේවි කියලා බලන් ඉන්නේ නැතිව ආණ්ඩුව සීනි ගෙන්නලා අඩු මිලට දෙන්න ඕනෑ. වෙළෙඳපොළ පාලනය කරන්න පුළුවන් එහෙමයි. ඒක අපෙන් කෙරුණේ නෑ. ඉදිරියේදිවත් ඒක අපි කරන්න ඕනෑ. සමහර ආහාරවල රාජ්‍ය ඒකාධිකාරයක් ඇතිකරගන්න ඕනෑ. එතකොට තමයි මහා වෙළෙඳ ආධිපත්‍ය මට්ටු කරන්න පුළුවන්. 

ප්‍රශ්නය:- ඩොලරයේ අගය රුපියල් දෙසීයත් ඉක්මවා ගියා. ආණ්ඩුවට මෙය කළමනාකරණය කරගත හැකිද?

පිළිතුර:- රටට ලැබෙන ඩොලර් ප්‍රමාණයයි රටින් යන ඩොලර් ප්‍රමාණයයි පරතරය අනුව ඕක වෙනවාමනෙ. අපි හැකි තරම් ආනයන අඩු කළා. එහෙත් කර්මාන්ත සඳහා අමුද්‍රව්‍යත් යන්ත්‍රසූත්‍ර ආනයනයත් නතර කරන්න බෑ. පෙට්‍රල් ගෑස් ආනයනය නවත්වන්න බෑ. වෛද්‍ය උපකරණ, ඖෂධ ගෙන්වන්නම වෙනවා. අපේ ප්‍රධානතම විදේශ විනිමය ක්‍ෂේත්‍ර වූ ඇඟලුම් හා සංචාරක කර්මාන්ත දෙකම මේ වෙලාවේ තිබෙන්නේ ඇණහිටලා. එයින් අපි මිදෙන්න ඕනෑ. ලෝකයටම මුහුණදෙන්න සිදු වූ අමාරුව අපටත් දැනෙනවා. 

ප්‍රශ්නය:- භාණ්ඩ අපනයනයෙන් ලැබෙන මුදලින් සියයට 25ක් සති දෙකකින් රුපියල් බවට පත්කිරීමට ආණ්ඩුව නියෝග කළා. එහෙත් අපනයනකරුවන් කියන්නේ එය ප්‍රායෝගික නැති බවයි. රුපියල ශක්තිමත් කරන්න ගන්නා පියවර නිවැරැදි ද?

පිළිතුර:- ඕනෑම වෙළෙඳාමක ණය ගනුදෙනු තිබෙනවා. විසි පහ නෙවෙයි. අපනයනකරුවාට අදාළ විදේශ සමාගම්වලින් මුදල් ගෙවීමට එකඟ වූයේ කොහොමද කියාත් අපි බලන්න ඕනෑ. ණය පහසුකම් දුන්නේ මාස කීයකටදැයි බලා ඒ කාලය අවසන් වන විට සියලු මුදල් ලංකාවට ගේන්න ඕනෑ කියලා නීති දාන්න ඕනෑ. විනිමය පාලනයට දැඩි නීති අවශ්‍යයි. ඒ මොකද අපනයනකරුවන් පාටි දාන්නයි ඩාන්ස් කරන්නයි ලෝක සවාරිවලටයි ඒ මුදල් ඉතුරු කරගන්නවා. 

ප්‍රශ්නය:- කොරෝනා මර්දන වැඩපිළිවෙළ  යටතේ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් ගෙන්වාගැනීමේදීත් නිරෝධායන වැඩපිළිවෙළේදීත් පොඩි හැන්දෙන් බෙදන බවට නැඟෙන චෝදනා පිළිගන්නවද?

පිළිතුර:- ඒක හැමතැනම එහෙමයි. ඇයි ඉතින් ධනවතුන්ට නිරෝධායනයට හෝටල්වලට යන්න පුළුවන්. දුප්පත් මිනිස්සු කොහේ යන්නද? ඉතින් නීති දෙකක් තමයි. රජය මැදිහත් වෙලා නිරෝධායන මධ්‍යස්ථාන අපි හැදුවේ ඒ නිසයි. එහෙත් මෑත කාලයේ ආසාදිතයන් වාර්තාවීම වැඩිවීමත් සමග ඉඩ ප්‍රශ්න නිසා තමන්ගේම නිරෝධායන මධ්‍යස්ථාන සොයාගන්න යැයි කියන්න අපට සිදුවුණා. දැන් අපි බලන්නේ ඔවුන් පී.සී.ආර්. කරලා නම් නිරෝධායන කාලය පුළුවන් තරම් අඩු කරන්නයි. මේවා වෛද්‍ය ප්‍රශ්න. මට හරියටම උත්තර දෙන්න බෑ. කොහොම වුණත් නීති දෙකක් තිබෙන බවට සැකයක් නෑ. 

ප්‍රශ්නය:- ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු පළාත් සභා අහෝසි කරන බව කිව්වා. එහෙත් දැන් පළාත් සභා මැතිවරණයට සූදානම් වෙනවා. පළාත් සභා මැතිවරණයට ආණ්ඩුවේ එකඟතාවක් නැද්ද?

පිළිතුර:- ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන නොසැලකිල්ලෙන් කළ ප්‍රකාශයක්. පළාත් සභා තිබිය යුතු බව ව්‍යවස්ථාවෙම තිබෙනවා. ඒක ව්‍යවස්ථාවෙන් ඉවත් නොකර පළාත් සභා අහෝසි කරන්න බෑනෙ. ඒකට ආණ්ඩුවේ බහුතරය හෝ කැබිනට්ටුවේ බහුතරය එකඟ විය යුතුයි. 

ප්‍රශ්නය:- සංවර්ධන ක්‍රියාකාරකම් වේගවත් කිරීම යන අරමුණෙන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ අධිකාරි සීමා අමාත්‍යාංශ කීපයකට අදාළව ඉහළ දමන බවයි කියන්නේ. ඔබගේ විෂයක් තිබෙනවා. මේ සිදුවන්නේ කැබිනට් මණ්ඩලය බයිපාස් කිරීමක් ද? 

පිළිතුර:- නෑ. නෑ. නෑ. කැබිනට්ටුව හරහා ටෙන්ඩර් හරහා බඩු භාණ්ඩ මිල දී ගැනීමට ගත වන කාලය සංවර්ධනයට ප්‍රමාදයක්. ඒනිසා අපි රේට් ටෙන්ඩර් ක්‍රමයක් හදල තිබෙනවා. එවිට මුදල් සීමාව අමාත්‍යාංශ ලේකම්වරයාට තීරණය කළ හැකියි. එයට යා හැක්කේ යහපත් දිශාවකට  පමණයි. රේට් ටෙන්ඩර් ක්‍රමය යැයි කියා අපට ඕනෑ කෙනාට දෙන්න බෑ. හොඳම භාණ්ඩ වඩාම ඉක්මනින් අපට සපයන්න පුළුවන් කෙනාට අපි දෙන්න ඕනෑ

ප්‍රශ්නය:- විමල්, ගම්මන්පිල සමග සිටි වාමාංශික හවුලේ ඔබ ප්‍රධාන නායකයෙක්. හැබැයි දැන් ආණ්ඩුවේ පසුපෙළින් කියන්නෙ ඉන්න බැරි අයට යන්න පුළුවන් කියලයි. මේ මොකක්ද වෙන්නේ?

පිළිතුර:- ඕවා ඉතින් මොන ආණ්ඩුව ආවත් එහෙමයි. 1956, 1960, 1970 ආදී වශයෙනුත් එහෙමයිනෙ. දැන් 56 සිදුවීමේ දී බුද්ධරක්ඛිතලාත් එහෙමයි. බණ්ඩාරනායකගෙ මරණයට වගකියන්න ඕනෑ එයාලා තමයි. එතකොට හැටේදි සී.පී. ද සිල්වලා වාමාංශික සමරක්කොඩිලාත් ඡන්දෙ දුන්නේ හැට තුනේ අපේ ආණ්ඩුව පරද්දන්නයි. පංගුවක් ඒවා අති වාම කල්ලි. අනෙක්වා දක්ෂිණාංශික කල්ලි. දැන් මේ පසුපෙළ මන්ත්‍රීවරුන් මොන කල්ලියේ ද කියන්න මම කලබල වෙන්නේ නෑ. පසුපෙළ කණ්ඩායම කියන කට්ටිය ඔක්කොම විසි වැනි සංශෝධනයට එකඟ ද කියලා බලන්න ඕනෑ. ද්විත්ව පුරවැසියන්ට මේ රටේ මහජන නියෝජිතයන් වීමේ අයිතිය තිබෙනවා යැයි කියනවා නම් ඒ රට දක්ෂිණාංශිකයි. වරාය නැගෙනහිර ජැටිය දෙනවට විරුද්ධ වුණේ කවුද ? ජනතාව මේ දේවල් ගැන හොයන්න ඕනෑ. 

ප්‍රශ්නය:- එතකොට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු යෑමට ඉඩක් දිය යුතු නැද්ද?

පිළිතුර:- ඔවුන්ට ඉඩක් නොදිය යුතුයි. රටවල් දෙකකට තමාට තිබෙන භක්තිය බැඳීම තිබුණොත් එතැන බැඳීම් ගැටීමක් එන්න පුළුවන්. එතකොට අපේ රට අනතුරේ.  

ප්‍රශ්නය - ඒ කියන්නෙ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආවත් විරුද්ධයි ද?

පිළිතුර:- මම නම් කියන්න යන්නේ නෑ. හැබැයි බැසිල් නෙවෙයි මොන සක්කරයා ආවත් ඔහු ද්විත්ව පුරවැසියෙක් නම් ඒකට මම විරුද්ධයි. 

ප්‍රශ්නය:- දැන් මේ හවුල්කාර පක්ෂවලට තීරණාත්මක බලයක් තිබෙනවා කියල ඔබ හිතනවද?

පිළිතුර:- එදා තිබුණු බලය දැනටත් තිබෙනවා. හැබැයි උද්‍යෝගය අඩුවෙලා. හවුල්කාර පක්ෂ කවුරුත් නැතුව වුණත් ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොටම කලින් ඒ ගැන ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් තීරණයක් ගත යුතුයි. මහින්ද මහත්තයා කියන්නේ අපේ මිනිස්සුන්ට සන්ධාන ආණ්ඩු මොනවාදැයි වැටහෙන්නේ නෑ කියලයි. ඔය කියන කණ්ඩායම්වලට මහින්ද මහත්තයා දොස් කියනවා.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ