අපේ මහ පොළොවේ උණුදිය උල්පත් සැඟවී පවතී. ඒ දිය උල්පත් ඔස්සේ අනාගතයේ දී භූ තාපයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් අප වෙත ඇති බව අපට විශ්වාස කළ හැකිය. මේ ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි. පෘථිවිය වසර බිලියන හතර හමාරක් පමණ පැරැුණිණ ය වෙද්දී පෘථිවියෙහි දැඩි උෂ්ණත්වයක් තිබුණි. දැඩි උණුසුම් බවක් ගත් මහපොළොව වසර බිලියන ගණනක් ඇවෑමෙන් ක‍්‍රමයෙන් මිනිසාට ජීවත් විය හැකි ජලය හා ජීවය රැඳුණු තත්ත්වයකට පත්විය. එහෙත් පොළොව අභ්‍යන්තරයේ තවමත් දැඩි උෂ්ණත්වයක් රැඳී පවතී. විකිරණශීලී මුලද්‍රව්‍ය ක්‍ෂයවීමේ ද පිටවන ශක්තිය සියයට අසූවක් පමණක් පොළොව මුලින්ම ඇතිවූ අවධියේ සිට ඉතිරිවී ඇති තාපයෙන් සියයට විස්සකුත් වශයෙන් භූ තාපය ඇතිවීමට දායකත්වය සපයයි. පෘථිවි අභ්‍යන්තරයේ ඇති දැඩි උෂ්ණත්වය නිසා පාෂණ ද්‍රව වී මැග්මා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දියර විශේෂය (සාමාන්‍ය ව්‍යවහාරයේ දී ලෝදිය වශයෙන් අප එය හඳුන්වමු) ඇතිවෙයි. පොළොව මතුපිට සීතල වුවත් ගැඹුරට යද්දී එහි උෂ්ණත්වය ද්‍රව බවට පත්වී තිබේ. නේපාලය, පිලිපීනය, හවායි දුපත්, ජපානය වැනි රටවල ගිනි කඳු පවතින්නේත් ලාවා පොළොව මතුපිටට විදාරණය වන්නේත් පෘථිවි කබලේ ගනකම අඩුවීම හා දුර්වල ස්ථාන පැවතීම හේතුවෙනි. පෘථිවි කබලේ ඇතැම් තැනෙක ගණකම ස්වභාවයෙන්ම අඩුය. එසේ ගණකම අඩු එමෙන්ම දුර්වල කලාප ලෙස පවතින ප‍්‍රදේශවලින් මැග්මා පිටතට ගලා එයි. අප රටේද ඒ ආකාරයේ තරමක් දුර්වල කලාප පැවතිය හැක. ඇතැම් අවස්ථාවක මැග්මා පොළොව මතුපිටට නොපැමිණ පොළොව ආසන්නයටම පැමිණ තිබෙන්නටද පුළුවන් අතර එය කුටීරයක් ලෙස රැුඳී තිබෙන්නටද පුළුවන. පොළොවේ භූ තාප අනුක‍්‍රමණය කිලෝමීටරයට සෙල්සියන් අංශක 22-30ත් අතර සංඛ්‍යාවක් ගනී. එය සාමානය සංඛ්‍යාව වුවත් ඇතැම් තැනක භූ තාප අනුක‍්‍රමණය ඊට වඩා විශාල වශයෙන් වැඩිවිය හැකිය. එසේ වීමට එක් හේතුවක් වන්නේ මැග්මා කුටීරයක් පොළොව මතුපිටට ආසන්නයේ තිබීම හෝ පෘථිවි පෘෂ්ඨිය අභ්‍යන්තරයේ තාපධාරාවන් නිරන්තරයෙන් පිටතට ගලා ඒමය. මහාද්වීප ප‍්‍රදේශවල පොළොව මතුපිටට භූ තාපය ගලාඑන වේගය වර්ග මීටරයට මිලිවොට් 65ක් පමණ වෙයි. සාගර ජලය සහිත ප‍්‍රදේශවල එම වේගය වර්ග මීටරයට මිලිවොට් 101 කි. අප රටේ කතා කළේ සැකෙවින් භූ තාපය පිළිබඳවය. හන්තාන මූලික අධ්‍යයන ආයතනය අපේ පොළොවේ උණුසුම් දියවැල් ඇති ප‍්‍රදේශ හඳුනා ගනිමින් භූ තාපයෙන් විදුලිය නිපදවන්නට හැකි අවස්ථා පිළිබඳව අධ්‍යනයක් කළේය. 2007 වසරේ දී කළ අධ්‍යයනයකින් පැහැදිලි වූයේ ලෝකය භූ තාපයෙන් පමණක් ගිගා වෝට් දහයකට වැඩි විදුලි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි. එමෙන්ම තාපය ලෙස ගිගාවොට් 28ක් පමණ භාවිත කරනු ලබන බව මෙම අධ්‍යයනයෙන් පැහැදිලි විය. සීතල රටවල නිවෙස් උණුසුම් කිරීමට වායුසමනය සඳහා මෙන්ම උණුවතුර, නාන තාටක සඳහාද භූ තාපය භාවිත කරයි. අපේ පර්යේෂණවල අරමුණ උණුවතුර උල්පත් හඳුනාගෙන විදුලිය නිපදවන්නට ඇති අවස්ථා සහ වෙනත් සංවර්ධන කටයුතු සඳහා එය ප‍්‍රයෝජනයට ගත හැකි අවස්ථා අනාවරණය කර දැක්වීමය. එම පර්යේෂණ ඔස්සේ අපි අපේ පොළොවේ උණුදිය උල්පත් ඇති ස්ථාන දහයකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. 1. සූරියවැව ප‍්‍රදේශයේ මාපැලැස්ස (උෂ්ණත්වය සෙල්සියස් අංශක 46) 2. ජයන්ති වැව (එතරම් දැඩි උෂ්ණත්වයක් නැත) 3. මහ ඔය (උෂ්ණත්වය සෙල්සියස් අංශක 54) 4. මරංගල වහව හා පදියතලාව අතර ප‍්‍රදේශ කීපයක් (උෂ්ණත්වය සෙල්සියස් අංශක 50-52ත් අතර පවතී.) 5. කපුරැල්ල ටැම්පිටිය ගම (උෂ්ණත්වය සෙල්සියස් අංශක 58-60ත් අතර) 6. උතුරට යද්දී නෙළුම් වැව (උෂ්ණත්වය වැඩිම දිය උල්පත් ඇති ප‍්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත. උෂ්ණත්වය සෙල්සියස් අංශක 62) 7. කින්යා උෂ්ණත්වය (සෙල්සියස් අංශක 42) 8. රංගිරි උල්පත (උෂ්ණත්වය සෙල්සියස් අංශක 39) මේ හැරුණු විට මෑතකාලීනවද ලංකාවේ තවත් උණුදිය උල්පත් ඇති ස්ථාන කීපයක්  හඳුනා ගෙන තිබේ. උණුසුම් දිය උල්පත්වල දියෙහි උෂ්ණත්වය පොළොව අභ්‍යන්තරයේ දී ඉහළ අගයක් ගත්තත් පස්, වැලි, අස්සෙන් ඒවා පොළොව මතුපිටට එද්දී එම දියෙහි උෂ්ණත්වය අඩුවෙයි. එහෙත් මතුපිටට එන දියෙහිද සැලකිය යුතු උෂ්ණත්වයක් තිබීමෙන් පැහැදිලි වන්නේ පොළොව අභ්‍යන්තරයේ දී එහි දැඩි උෂ්ණත්වයක් පවතින බවයි. උණුදිය උල්පත් ඇතිවන සාධක පිළිබඳව අප ඊළඟට කතා කරමු. 1. උෂ්ණත්වය වඩා ඉහළ අගයක් පැවතීම. 2. ජලය, පොළොව අභ්‍යන්තරයට යාමට කුස්තර පද්ධතියක් තිබීම. 3. රත් වූ ජලයට උඩට ඒමට කුස්තර පද්ධතියක් තිබීම. 4. භූගත ජලය තිබීම. උණුදිය උල්පත් ඇතිවීමට මේ සාධක අවශ්‍යය. උණුදිය උල්පත් නැතිනම් පොළොව අභ්‍යන්තරයේ රත් වූ පාෂාණ ඇති බව සාමාන්‍යයෙන් දැනගන්නට ක‍්‍රමයක් නැත. රත් වූ පාෂාණ ඇති එවැනි ස්ථානවල ජලය පොම්පකර අනතුරුව වාෂ්ප ටර්බයින් භාවිතකර ජල වාෂ්ප ලෙස පොළොව අභ්‍යන්තරයේ ඇති උණුදිය ලබාගත හැකිය. එමෙන්ම ජලය වාෂ්ප වෙන තරමේ උෂ්ණත්වයක් නැත්නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක සියයට වඩා අඩු නම් ජලය වෙනුවට වෙනත් විකල්ප ද්‍රව්‍යයක් ද භාවිතා කළ හැක. වෙනත් ද්‍රව්‍ය භාවිත කිරීමේ දී ඒ ද්‍රව්‍ය මෙන්ම අවශ්‍යනම් ජලය වුණත් ප‍්‍රතිචකී‍්‍රයකරණයට ලක්කළ හැක. භූ තාපයෙන් විදුලිය නිපදවද්දී දරන්නට වන මූලික පිරිවැය විශාල වුවත් දිගුකාලීනව එකී විදුලි උත්පාදන කාර්ය සඳහා දරන්නට වන වියදම අඩුවෙයි. සාමාන්‍යයෙන් විදුලි බලාගාරයක ටර්බයින් සඳහා විශාල මුදලක් දරයි. භූ තාපයෙන් විදුලිය ලබා ගනිද්දි විශාල පිරිවැයක් යන්නේ පොළොව විදින්නටය. එමෙන්ම භූ තාප බලාගාරයක්  ඕනෑම පරිසර පදධතියකට ගැලපෙයි. එයින් සිදුවන පරිසරය හානිය ඉතා අවමය. විදුලි උත්පාදනයේ දී මුදා හැරෙන්නේ ජල වාෂ්ප පමණි. ලංකාවේ භූ තාප බලාගාර නැත. එහෙත් එහි වාසිදායක පැත්ත කල්පනා කරද්දී එය ඉතා යෝග්‍ය විදුලි උත්පාදක ක‍්‍රමයක් බව පැහැදිලිය. ජල විදුලිය කාලගුණය මත මූලිකවම රඳා පවතී. හුළං බලයෙන් විදුලි උත්පාදනය සුළඟ මත රඳා පවතී. සූර්ය තාපයෙන් විදුලිය නිපදවෙද්දී එය සූර්යා ලෝකය මත රඳා පවතී. එහෙත් භූ තාපයෙන් විදුලිය නිපදවීමේ දී මේ කාලගුණ සාධක වැදගත් නොවෙයි. උණුදිය උල්පත් ඇසුරෙන් පැය විසි හතරේම වසර මුළුල්ලේම විදුලිය උත්පාදනය කළ හැකිය. සංවේදී පරිසර පද්ධතිවල වැසි වනාන්තරවල ගමක, නගරයක, කුඹුරු ආශි‍්‍රතව මේ ආදී  ඕනෑම තැනක භූ තාප බලාගාර පිහිටුවිය හැක්කේ එය පරිසරයට අහිතකර නොවන හෙයිනි. මහාචාර්ය සී.බී. දිසානායක, ආචාර්ය ජී.එම්. ෆොන්සේකා, මහාචාර්ය බෲස් හෝබිස් වැනි විද්වතුන්ගේත් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සහාය උණුසුම් දියවැල් හඳුනා ගනිමින් කළ මේ අධ්‍යයනයේ දී ලැබුණි. මේ අධ්‍යයනයෙන් හෙළිදරව් වූ වැදගත්ම කරුණු කිහිපයකි. අපේ පොළොවේ උණුදිය උල්පත් ඇතිබවත්  අනාගතයේ දී භූ තාප බලාගාර ඉදිකිරීම කාලීන හා යෝග්‍ය බවත් පැහැදිලිය. මූලික පරීක්‍ෂණවල ප‍්‍රතිඵල අනුව භූ තාපයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් අපට ඇති බව පෙන්නුම් කර තිබේ.
සටහන - සංජීවිකා සමරතුංග
උණුදිය උල්පත්