13_SLMA_Back    

තිරුපති කෝවිල පිහිටා තිබෙන කඳුයාය

 

ජනාධිපතිවරණය ‘‘අත ළඟට’’ පැමිණ තිබේ. ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසුව දේශපාලන බිමේ පුදුමාකාරයේ වෙනස්කම් සිදුවෙමින් තිබේ. එහි පළමුවැන්න ශ්‍රීල.නි.ප.යේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිිරිසේන මහතා පොදු වේදිකාවෙන් ජනපති සටනට එළැඹීමය. ඒ මහතා පසුගියදා ප‍්‍රකාශකළේ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද යන්න ප‍්‍රශ්න කරන ලද බවත් විපක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා, අන්තිම වේලාවේත් අරලියගහ මන්දිරයේ සිටි බවත්ය.


සියලූ විපර්යාස, පිල් මාරුවීම්, ජරමර, කලබල අස්සේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ තිරුපති දේවාලයේ විශේෂ පූජාවකට ගිය බවද ආරංචි විය. මෙයට තිස්ස අත්තනායක මහතාද එක්වූ අතර මෙය පුද්ගලික චාරිකාවක්ද විය.

SLD_20141214_A012-3

ශ්‍රී ලංකා ජනපති තිරුපති කෝවිලේදී

 


ශ්‍රී ලංකා ජනාධිපති තිරුපති එන බව ආරංචි වී දකුණු ඉන්දියාවේ මහා කලබලයක් හටගත් බවද මාධ්‍යයේ පළවිය. දකුණු ඉන්දීය පක්‍ෂයක් ජනාධිපතිිගේ පැමිණීමට විරුද්ධව ඉන්දීය අගමැතිට පවා විරෝධය පළකොට තිබිණි.


පුද්ගලික සංචාරයක් වූවත් රාජ්‍ය නායකයකුගේ සම්ප‍්‍රාප්තියක් නිසා ඉන්දීය පොලීසිය විශාල ආරක්‍ෂාවක් යොදවා තිබුණු බවද කියැවේ.
මීට සති කිපයකට පෙර විපක්ෂ නායකතුමාද තිරුපති දේවාලයට ගිය බව වාර්තා විය.


මෙවැනි තත්ත්වයක් හමුවේ ජනාධිපතිතුමා තිරුපති ගියේ ඇයිද යන්න වෙනම කතාවකි. කොහොම වුණත් තිරුපති ගැන යමක් ලිවිය යුතු යැයි අපට හිතේ.
තිරුපති කෝවිල පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේ ආන්ද්‍රාප‍්‍රදේශ් ප‍්‍රාන්තයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේය. තිරුපති වටකොටගෙන සප්ත ගිරි හෙවත් සප්ත සෘෂි නමින් ප‍්‍රකට අලංකාර ගිරි මුදුන් පෙළ පිහිටා තිබේ.

 

sg

විෂ්ණු හෙවත් සිරිනිවාස, බාලාජි නමින් හඳුන්වන දෙවියන්

 


තිරුපති කෝවිලෙන් ආශිර්වාද ලබාගැනීමට නිතිපතා ලක්‍ෂ ගණනින් පිරිස් ඇදේ. එහි උස් මිටි හෝ දුප්පත් පෝසත් භේදයක්ද පේන්නට නැත. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේද රාජ්‍යතන්ත‍්‍රය නියෝජනය කරන බොහෝ දේශපාලනඥයන් ඉඩක් ලද සැණින් තිරුපති වන්දනාවේ යන බව රහසක් නොවේ. බොහෝ දේශපාලනඥයන්ගේ වාර්ෂික කාලසටහනේ තිරුපති වන්දනාව අනිවාර්ය අංගයකි. දේශපාලනඥයන්ට අමතරව, ව්‍යාපාරිකයන්, නළු නිළියෝ ගායක ගායිකාවෝ, ප‍්‍රභූහු විශාල වශයෙන් තිරුපති වන්දනාවට එක්වෙති.


ප‍්‍රභූන් අතරේ සාමාන්‍ය හා දුප්පත් ජනයාද තිරුපති වෙත පැමිණ දේව ආශිර්වාදය ලබා ගනිති.  කෙසේ වෙතත් තිරුපති කෝවිලට භාරවීමෙන් සිතු දේ සඵල වන බවට දැඩි විශ්වාසයක් ඉන්දීය ජන සමාජයේ මුල්බැස ගෙන තිබේ. එබැවින් රට-ජාති-පළාත් භේදයකිින් තොරව කෝවිලට ගොස් භාරවීමට කවුරුත් අමතක නොකරති.


මේ ගෙවෙන්නේ කලියුගයයි. කලියුගයේ දී මතු බුද්ධත්වය පතන විෂ්ණු දෙවියන් ජීවමානව වැඩසිටින තැනක් හැටියට තිරුපති කෝවිල ප‍්‍රසිද්ධව තිබේ. වෛෂ්වන බ‍්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව විෂ්ණු දෙවියන් ලෝකයේ අවසන් කාලය ගතකරන්නේ මෙතැනය. කෙසේ හෝ මෙතැනට පැමිණ යමෙක් සිය දුක ප‍්‍රකාශ කරන්නේ නම්, බලාපොරොත්තුවන සමෘද්ධිය පතන්නේ නම්, ප‍්‍රශ්න, ගැටලූවලට විසඳුම් ඉල්ලන්නේ නම්, ලැබීම, දියුණුව පතන්නේ නම්, කීර්තිය, ප‍්‍රශංසාව, ජන ප‍්‍රසාදය ඉල්ලා සිටින්නේ නම්, විෂ්ණු දෙවියන්ගේ කාරුණික අවධානය යොමුවී ආශිර්වාදය උදාවෙන බව පැවසේ.


තිරුපති වටා පිහිටි සප්තගිරි නමින් ප‍්‍රකට කඳු ගැට හතේ විෂ්ණු දෙවියන්ට සබැඳි දේවාල හතක් පිහිටා තිබේ. ඒවායේ විෂ්ණු දෙවියන්ට සමීප අයගේ හා ඔවුන්ගේ පාරිභෝගික වස්තු පිහිටා ඇති බව කියැවේ.


නන්දි දේවාලය, නීලා දේවාලය, ගරුඬා දේවාලය, ශේෂාගිරි දේවාලය, විෂ්ණු ගිරි දේවාලය, කලියුග විෂ්ණු දෙවොල, හනුමා දේවාලය ඉහත කී දේවාල හතයි. තිරුපති හෙවත් තිරුමාලා කෝවිලේ වාර්ෂිකව උත්සව ගණනාවක් පැවැත්වේ. ඒ මහා විෂ්ණු හෙවත් සිරිනිවාස, බාලාජි නමින් හඳුන්වන දෙවියන්ට පූජෝපහාර වෙනුවෙනි.

 

af


තිරුපතිවල පැවැත්වෙන ප‍්‍රධානම උත්සවය බ‍්‍රහ්මෝත්සවයයි. එය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන අතර ඊට මිලියන ගණනක් ජනයා ඒකරාශී වේ. කෝවිලේ වසන්තෝත්සවය මාර්තු, අපේ‍්‍රල් මාසවලත්, තෙසපත්මි උත්සවය පෙබරවාරියේත් උත්සවාකාරයෙන් සැමරේ.

SLD_20141214_A012
තිරුපති කෝවිලේදී බොහෝ බැතිමත්හු සිය කොණ්ඩය පවා බූගා තම භක්තිය ප‍්‍රකාශ කරති. බූ ගෑ හිස කේ අලෙවියෙන් පමණක් වාර්ෂිකව ඩොලර් මිලියන 6ක ආදායමක් කෝවිලට ලැබෙන බව ප‍්‍රකාශ වේ. මෙසේ කොණ්ඩය කැපීමට ස්ත‍්‍රී-පුරුෂ හෝ බාල-මහලූ භේදයක්ද නැත.


තිරුපති කෝවිල උත්සව සමයට පමණක් ජනාකීර්ණ වන තැනක් නොවේ. සෑම දිනෙකම පාහේ අතිශය ජනාකීර්ණ තැනෙකි. දෙවියන් පිළිබඳ භක්තිය ප‍්‍රායෝගිකව තේරුම් ගන්නට නම් තිරුපති වෙතම යා යුතුය. දවසක් දෙකක් පමණ පොදි කකා පෝලිම්වල සිට තත්ත්පරයක් දෙකක් පමණ කාලයක් දෙවියන් දැකිය හැකිය.


සාමාන්‍ය ජනයා වෙනුවෙන් පවතින සුවිශාල පෝලිම නිසා ඉන්දියාවේ සහ විවිධ රටවලින් එන ප‍්‍රභූන්ට වෙනම වී.අයි.පී. පෝලිමක් පිහිටුවා තිබේ. මේ පෝලිම ඔස්සේ ගොස් රස්තියාදුවකින් තොරව තිරුපති වන්දනා කිරීමේ භාග්‍යයද ලොකු ලොකු ඇත්තන්ට හිමි වේ.


තිරුපති එන බොහෝ දේශපාලනඥයො,් පක්‍ෂ නායකයෝ සිය මැතිවරණ ජයග‍්‍රහණය අපේක්‍ෂාවෙන් භාර හාර වෙති. ජයග‍්‍රහණය කිරීමෙන් පසුව තිරුපති වෙත පැමිණ තම ශරීරයේ බරට රත්රන් හෝ කාසි පූජාවක් කිරීම සාමාන්‍ය දෙයකි.


තිරුපති වෙත රහසේ එන දේශපාලනඥයෝ එහි ඇති පාප විනාශක දිය ඇල්ලෙන් නා පිරිසුදු වෙති. මෙම දිය ඇල්ලෙන් ස්නානය කළ පසු එතෙක් සිදු කළ සියලූ පවුවලින් නිදහස්වීමට අවසර ලැබෙන බවද කියැවේ.


බෞද්ධයන් විශ්වාස කරන ආකාරයට තිරුපති පිහිටා ඇති තිරුමාලා කන්දේ බුදුන් වහන්සේගේ පාද ලාංඡනයක් ඇති බවද කියැවේ.


බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කරද්දී සප්තභද්‍ර නම් තවුසකු මුණ ගැසී තිබේ. එම තවුසා බුදුන් වහන්සේගෙන් ප‍්‍රශ්න විචාරා පසුව පැවිදිවීමට අවසර ඉල්ලා ඇත. සප්තභද්‍ර තවුසා බුදුරජාණන් වහන්සේගේ සෙවණේ පැවිද්ද ලබාගත් අතර මෙහි සිට මට වැඳුම් පිඳුම් කිරීමට පූජනීය වස්තුවක් ලබා දෙන්නැයි’ බුදුහිමියන්ගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙහි සිරිපා සලකුණ පිහිටු වූ බව කියැවේ. ඒ අනුව තිරුපති යනු බෞද්ධ උරුමයක් හැටියට ගැනීමේ වරදක් නැත. නමුත් බොහෝ දුරට බෞද්ධයන්ට වඩා ඉන්දීය දෙමළ ජනයා මෙහි යන බව පෙනේ.

SLD_20141214_A01213
තිරුපති පුරාණ කතාවට අනුව මුලින් මෙහි තිබී ඇත්තේ විශාල තුඹසකි. ඉන්දියාවේ තොණ්ඩමාන් නැමති ප‍්‍රාදේශීය පාලකයකුට තිරුපති ස්ථානය කිරි කළවලින් පූජා පවත්වන්නැයි දේව අණක් ලැබී තිබේ. එම කිරි පූජාව පවත්වද්දී දේව රූපය මතුවී පෙනෙන්ට වී ඇති අතර ඔහු ඉතා භක්තිමත්ව පූජා සිදුකොට ගෝපුර ප‍්‍රාකාර සහිතව දේවාලය ඉදිකර තිබේ.


විශේෂයෙන් තිරුපති වන්දනාවේ යන සමහර රාජ්‍ය නායකයන්ද හිසකේ කොටසක් හෝ කපා භාරවීමද සිදුවේ. එය අනිවාර්ය දෙයක් නොවේ. තිරුපතිවලදී මෙසේ හිස කේ කැපීමට පුරාණ කතාවක් තිබේ.


ඊතල පහරකින් විෂ්ණු දෙවියන්ගේ හිස කෙස් කොටසක් ගැලවී ගොස් තිබේ. මෙය දුටු ගාන්ධර්ව කුමරියක් වන නීලාදේවිය (ඇය වෙනුවෙන් ඉදිකළ කෝවිලක් තිරුපති දෙවොල අසල වෙයි.) විෂ්ණුගේ කෙස් ගැලවුණු තැන තමන්ගේ වරලස කපා ඒවායින් වසා දැමීමට කටයුතු කර තිබේ. නීලා දේවිය කළ උසස් ක‍්‍රියාව සිහි කරමින් බොහෝ බැතිමතුන් තම හිසකේ පූජාව කරන අතර ඒ නිසාම බැතිමතුන් හට විෂ්ණු දෙවියන්ගේ සහ නීලා දේවියගේ ආශිර්වාදය ලැබෙන බවද කියැවේ.


තිරුපති වල උත්සව සමයේ රුපියල් බිලියන 10-12ක් පමණ එකතු වන බව පැවසේ.


තිරුපති කෝවිල මේ වන විට ලෝක ප‍්‍රසාදීන්ගේ මහත් ගෞරවයට, භක්තියට පාත‍්‍රවූ තැනෙකි. එසේම බොහෝ දෙනාගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා දුකින් මිදී සිනාසීමට පසුබිම හදාදුන් තැනෙකි. විනාශය නවතා පැවැත්ම හැදීමට, දියුණුව එළිකිරීමට මග පෙන්වූ තැනකි. එබැවින් ඇති හැකි කවුරු කවුරුත් ‘තිරුපති’ අමතක නොකරති.

aff

තිරුපති පුදබිම

 


m