හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම

 

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මෙන්ම ලෝකය තුළද ශ්‍රී ලංකාව දිගින් දිගටම චෝදනාවලට හා ප‍්‍රහාරයට ලක්වන්නේ ඇයි? ඉන් අත්මිදීමට ගත යුතු කි‍්‍රයාමාර්ග කවරේද? හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමගේ මතවාදයි මේ. 

 

ප‍්‍රශ්නය:- ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ සටන රණවිරුවන් ජීවිත පුද කරද්දි ජාත්‍යන්තරය තුළත් එවැනිම අසීරු සටනක් තිබුණා. එදා විදේශ ඇමැති ධුරය දැරුවේ ඔබයි. එසේ කි‍්‍රයා කළ ඔබ පසුගිය මැතිවරණයේදී පසුබෑම හා ඔබ ගැන ආණ්ඩුවේ බලවතුන්ගේ අවධානය යොමු නොවීම ගැන මොකද කියන්නේ?

පිළිතුර:- කෙනෙකු රටට කළ මෙහෙය ගැනම යම් අවස්ථාවක ජනතා අවධානය යොමු නොවෙන්න පුළුවන්. මටත් වඩා කැපවූ අයට පවා එවැනි ඉරණමකට මුහුණදීමට සිදුවූ තැන් තියෙනවා. මම කනගාටු වෙන්නෙ නෑ. මට ලැබුණු අවස්ථාවෙන් මම රටට හා ජනාධිපතිතුමාට උපරිම දේ අමාරුම වෙලාවෙ කළා. ඒ තෘප්තිය ඉතා විශාලයි. යළිත් එවැනි අවස්ථාවක් ලැබෙන තෙක් ජනාධිපතිතුමා හා මේ ආණ්ඩුව වෙනුවෙන් උපරිම කැප කිරීම සිදු කිරීමයි මම දැනටත් කරන්නේ.

 

 

ප‍්‍රශ්නය:- ආණ්ඩුවේ ඉහළ තැන්වලින් ඔබ නොසැලකීම ගැනත් මම ඇහුවා.

පිළිතුර:- ජනාධිපතිතුමාගෙන් මට ලැබිය යුතු ප‍්‍රතිචාරය මදක් පමා බව පෙනුනත් එතුමාගේ හිතේ ඒක තියෙනවා. ඒ නිසා එතුමා ගැන මට තිබෙන විශ්වාසය ඒ විධියටම පවතිනවා. දේශපාලනය කියන්නේ ගනුදෙනුවක් නෙවෙයි. තම යුතුකම් ඉටු කිරීමටයි මම මූලිකත්වය දෙන්නේ.

 

 

ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව රණවිරුවන්ට පින්සිදුවන්නට යුද්ධය දිනුවාට ආණ්ඩුව අත ගැසූ අන් සියල්ල පරාද බවට විග‍්‍රහ තිබෙනවා. ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විරැකියාව තුරන් කිරීම, මාධ්‍ය නිදහස, මානව හිමිකම්, නීතියේ ස්වාධීන බව, නාස්තිය දුෂණය, අධිකරණයේ ස්වාධීන බව හා ජාත්‍යන්තරය ආදි සියලූ ක්ෂේත‍්‍ර ව්‍යාකූලවීම බරපතළ ගැටලූවක් නේද?

පිළිතුර:- ආර්ථිකය හා ණය එකට යන්නේ. ඉතිහාසයේ සිට ක‍්‍රමිකව හා නිවැරැුදිව අපේ ආර්ථිකය ගොඩනැගුණෙ නැහැ. නිදහස දක්වාත් ඉන් පසුවත් මේ රටේ සමාජවාදී ධනවාදී ආදී විවිධ ප‍්‍රතිපත්ති අනුවයි ලංකාව ඉදිරියට ගියේ. දියුණු රටවල් යෝධ ආර්ථික පිමි ලබාගත්තත් අපේ රට ඉදිරියට ගියේ හෙමින්. ආර්ථිකයක ප‍්‍රධාන ඉසව් හඳුනා ගැනීමට නොහැකිවීම අපේ ඊළඟ ගැටලූවයි. වසර 30 ක යුද්ධය අනිත් ප‍්‍රශ්නයයි. ඒත් අද අපේ ආර්ථිකය සංවර්ධනාත්මකව අලූත් නැම්මකට බරවී තිබෙනවා. රටකට ආයෝජන හෝ ණය අවශ්‍යයි. අද ණය ගැනීම් අපේ දිගුකාලීන ආර්ථික ඉලක්ක හඳුනාගෙන සිදුකරන බව මගේ පිළිගැනීමයි. ණය ගැනීම නොව ඒවා හරියට ආයෝජනය කිරීමයි අවශ්‍ය. තව වසර 10-15 කින් මේවායේ ප‍්‍රතිඵල එන්නේ. ණය අරන් හරි දුම්රියට යෙදෙව්වේ නැති නිසායි අපි තාම සුද්දා හදපු රේල් පාරවල් වල විතරක් යන්නේ.

 

 

ප‍්‍රශ්නය:- රටේ ආදායමෙන් 98%ක් ණය ගෙවීමට වැය වෙනවා. 1948 නිදහස ලැබූදා සිට 2005 දක්වා මේ රට ලබාගත් ණය මෙන් හතර ගුණයක් 2005 සිට මේ ආණ්ඩුව අරන් තිබෙනවා. ණය යොදාගත්තේ යටිතල නැංවීමට විනා නිෂ්පාදනය ඉහළ නැංවීමට නොවීම ගැටලූ සහගත නැද්ද? ණයවලින් තැනූ හම්බන්තොට වරාය, නොරොච්චෝලේ අසාර්ථකවීමත් විශාල ගැටලූවක් නෙවෙයිද?

පිළිතුර:- විශාල ව්‍යාපෘති කළාම මුලදි යම් ගැටලූ එන්න පුළුවන්. මේවා සාර්ථක වෙන්න යම් කාලයක් අවශ්‍යයි. ජේ.ආර්. එදා වෙළෙඳ කලාප විවෘත කරනකොට වහල් කඳවුරු අරින බව හා පේ‍්‍රමදාස ඇඟළුම්කම්හල් අරිනකොට සුද්දට ජංගි මහනවා කිව්වා. අද ඒවා රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් නෙවෙයිද? මහවැලිය හරහා ගසාකෑවා කීවා. අදත් ජල විදුලිය වැඩිම ප‍්‍රමාණය හා ගොවි බිම්වලට ජලය දෙන්නේ මහවැලියෙනුයි. ඒ නිසා මේ ආණ්ඩුවේ වැඩත් දිගු කාලීනවයි බලන්න  ඕනෑ.

 

 

ප‍්‍රශ්නය:- ණය ගැනීමට වඩා ආයෝජන වලටයි යොමුවිය යුත්තේ. ඒත් නීතියේ ස්වාධීණ බව නැති පෞද්ගලික ව්‍යාපාර ආණ්ඩුවට පවරා ගත හැකි නීති තිබෙන මේ රටට ආයෝජන නොඑන බවට ඇති විග‍්‍රහයට ආයෝජන මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා ලෙස ඔබ මොකද කියන්නේ. එදා සංචාරකයන් බහුතරයකුත් අයන් එකෙන් රොටි පුච්චන් කන අය බවට මත තිබෙනවා ...?

පිළිතුර:- ආයෝජන එන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසාම නෙවෙයි. බාහිර සාධක රැසක් ඊට බලපානවා. ආයෝජනවලින් ඉහළ ප‍්‍රතිලාභ ලැබිය හැකි නම් ඒ රටවලට ආයෝජන එනවා. අපේ රට එවැනි තැනක්. චීනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සමහරු ප‍්‍රශ්න කරනවා. දැවැන්තම ආයෝජන එහේට යන්නෙ නැද්ද? ඒත් ලංකාවට ආයෝජකයන් ඒම වැඩි කර ගැනීමේ අවශ්‍යතාවක් තිබෙන බව නම් මම පිළිගන්නවා.

 

 

ප‍්‍රශ්නය:- ව්‍යාපාර පවරා ගැනීමේ පනත ගැනත් මම ප‍්‍රශ්න කළා?

පිළිතුර:- ඒ පනත නිසා සමහර කොටස්වලට ප‍්‍රශ්න හා අවිශ්වාසය ඇතිවුණා. ඒත් ජාතික අවශ්‍යතා ගැනයි ආණ්ඩුවක් හිතන්නේ. රටේ සම්පත් කාගේ හෝ භාරයට දුන්නාම ඒවා තුළින් රටට ජනතාවට ප‍්‍රතිලාභ නොලැබෙනවා නම් ඒ ගැන තීන්දුවක් ගන්න වෙනවා.

 

 

ප‍්‍රශ්නය:- අද ලෝකය විශ්ව ගමක් නිසා රටක ඇතිවීම හෝ නැතිවීම තීන්දු වන්නේ විශ්ව මට්ටමිනුයි. අද කිසිම රටකට තනියම ඉන්න බැහැ. ඒත් ලංකා ආණ්ඩුවේ හැසිරීම්වලට එරෙහිව පිළියම් යෙදීම වෙනුවට ලෝකයට බනිමින් රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් පහළට බැස ඇති බවට චෝදනා එල්ල වීම ගැන මොකද කියන්නේ?

පිළිතුර:- මුළු ලෝකයෙන්ම අපට චෝදනා එන්නෙ නැහැ. ඒත් මේ අභියෝගයට මුහුණදීමේදී ආණ්ඩුවක් ලෙස යම් අපහසුතාවකට ලක්වෙලා ඉන්නේ. ලංකාව ඇතුළෙන් වගේම ලෝකයෙන් එළිදකින ප‍්‍රකාශ මේ තත්ත්වය ව්‍යාකූල කර තිබෙනවා. අපට අපේ ප‍්‍රශ්න විසඳා ගත හැකියි. ඒත් අපේ දෙමළ සන්ධානය අපේ ප‍්‍රශ්න පිටරට ගිහින් විසඳාගන්න හදනවා.

 

 

ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව සුළු ජාතීන්ගේ ප‍්‍රශ්න විසඳනවාට වඩා ව්‍යාකූල කරනවා කියලයි සමහරු කියන්නේ. දෙමළ මෙන්ම දැන් මුස්ලිම්වරුන්ටත් එරෙහිව පැන නැගී ඇති ප‍්‍රශ්නවලට ප‍්‍රමාණවත් මැදිහත්වීමක් තිබෙනවාදැයි අහන අයට ඔබ දෙන පිළිතුර කුමක්ද?

පිළිතුර:- ලංකාවේ විතරක් නෙවෙයි ඇමරිකාව ඇතුළු වෙනත්  ඕනෑම රටක සිවිල් සමාජයේ ප‍්‍රශ්න තිබෙනවා. බටහිර හැම රටකමත් ප‍්‍රශ්න තිබෙනවා. ඒවා පක්ෂ විපක්ෂ අය සුහදව රට ඇතුළේම විසඳා ගන්නවා මිසක් එළියට ගෙනියන්නෙ නැහැ. එවැනි එකමුතුවක් ලංකාවටත් අවශ්‍යයි. වසර 30 ක යුද්ධයේදී අපි ම්ලේච්ඡ කි‍්‍රයා කළ බවට චෝදනා එල්ල වෙනවා. ඒක රටේ කීර්තියට හානියක්. ඒ නිසා නම හදාගන්න ආණ්ඩුව යම් එකමුතුවක් හදා ගැනීමේ පියවරවලට යා යුතුයි. හැම එකටම විපක්ෂයට බැනලම මේක කරන්න බැහැ. ලංකාවේ එකමුතුව ලෝකයට ප‍්‍රදර්ශනය වෙන්නත්  ඕනෑ. ඒත් ලංකාවේ දේශපාලන එකමුතුකම ගැන ලොකු ප‍්‍රශ්නයක් තිබෙනවා. මේක පරම්පරාගත ගැටලූවක්. අපේ එකමුතුවේ අඩුපාඩුව නිසයි ලෝකය අතදාන්නේ. ඔවුන්ට දොස් කියල වැඩක් නෑ. මුලින් අපි නිවැරැදි වෙන්න  ඕනෑ. ජනාධිපතිතුමා හෝ විදේශ ඇමැති ලෝකයට යමක් කිව්වාම රට ඇතුළෙන්ම ඊට වෙනස් දෙයක් ප‍්‍රකාශ වෙනවා. අද තිබෙන විශාලම ගැටලූව ඒකයි. ඒ යථාර්ථයට පිටුපාන්න බෑ. ඩයස්පෝරාවට මේක ශක්තියක් වෙලා තියෙනවා. ලෝකය ලංකාව ගැන වෙනත් ඇසකින් බලන්නෙත් ඒ පසුබිම තුළයි.

ආණ්ඩුව ප‍්‍රතිපත්තියක් ලෙස ලෝකයට මෝඩ චණ්ඩි පාට් දාන්නෙ නෑ. ඒත් ආණ්ඩුවේ විවිධ පක්ෂවල අය ඔවුන්ට තේරෙන විදියට හැසිරෙනවා. මේවා තව අවුල් වෙනවා. ලෝකය පිළිගත යුත්තේ ආණ්ඩුවේ නිල ප‍්‍රතිපත්තිය එළිදක්වන අයගේ මතයයි. යුද්ධය නිමකළා වගේම රට සංවර්ධනය කිරීමට දේශපාලන විසඳුම් ඇති කිරීමට අවශ්‍ය කාලය ලෝකය විසින් මේ ආණ්ඩුවට ලබාදිය යුතුයි.

 

 

ප‍්‍රශ්නය:- 2009 දි යුද්ධය නිමකළ පසු මේ ආණ්ඩුව ජිනීවාහිදී ලෝකයට පොරොන්දු රැසක් ලබාදී තිබෙනවා. කර අරිමින් සිටිනවා විනා රටට ජනතාවට හිතැති ඒවා කි‍්‍රයාත්මක නොකළ බවයි ඔවුන් කියන්නේ. ලංකාවේ ජනතාව මෝඩයාට අන්දලා ඡන්ද දිනනවා සේ ලෝකය ඇන්දවීමට යාම බරපතල තත්ත්වයක් බවට පවතින මතය ගැනත්, ඉන්දියාව පස්වරක් අන්දන්න යාම තුළ ඇතිවී තිබෙන ව්‍යාසනය ගැනත් ඔබේ ප‍්‍රතිචාර ...?

පිළිතුර:- යුද්ධය ඉවරවූ ගමන් බෑංකීමූන් ලංකාවට ආවාම මම එක්කයි ඔහු කි‍්‍රයා කළේ. එදා ලක්ෂ 03 කට වඩා අවතැන්වූ අය හිටියා. ඒත් ඒ අය මෙච්චර ඉක්මනින් යළි පදිංචි කිරීම ගැනම ලෝක ප‍්‍රසාදය මේ ආණ්ඩුවට ලැබෙන්න  ඕනෑ.

 

 

ප‍්‍රශ්නය:- අනාථ කඳවුරුවලින් ගෙන ගිය ජනතාව මූලික අවශ්‍යතා හා පහසුකම් හෝ නැතිව රංචු පිටින් ගස්ගල් යට පදිංචිකර ඇති බවටයි සමහරු චෝදනා කරන්නේ.

පිළිතුර:- ඔය චෝදනා කරන අය ඒවා ඔප්පු කරන්නත්  ඕනෑ. යළි පදිංචියට ඉන්දියානු සහාය හා මැදිහත්වීමක් ලැබුණා. අඩුපාඩු ඇති. ඒත් සමස්ත කි‍්‍රයාදාමය දෙසයි බැලිය යුත්තේ. ඉන්දියාව හරියට ගෙවල් හැදුවෙ නෑ කියලත් සමහරු කියනවා. ආණ්ඩුව පැත්තෙන් කළ යුතු සියලූ දේවල් අපි හැකිතාක් ඉටු කළා.

 

 

ප‍්‍රශ්නය:- ආණ්ඩුවේම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙසයි ජිනීවාහිදී ලෝකය කිව්වේ. එම නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම පමා ඇයි?

පිළිතුර:- අපි හදපු ඒ වාර්තාවෙ මේ අය එල්ලෙන්නෙ ඇයි? ඒක ඉතා පළල් එකක්. ඒකෙ ක්ෂණිකව කළ හැකි දේවල් වගේම කල්ගත වන දේවල් මෙන්ම කරන්න අමාරු දේවලූත් තිබෙනවා. මෙතැනදී ලෝකය කළ යුත්තේ අපව දිරි ගැන්වීම මිසක් චෝදනා කිරීම නොවෙයි. යෝජනා ගෙනැත් රටවල් හිර කරන්න බැහැ. ඉරානය, සිරියාව, වෙනිසියුලාව මට්ටු කරන්න බැරි වුණා. මධ්‍යස්ථව බලා අපට සහාය දීලා ඒ හරහායි මේවා කි‍්‍රයාත්මක කරවාගත යුත්තේ.

 

 

ප‍්‍රශ්නය:- ඉන්දියාව පස් වරක් රවටා ඔවුන් කෝප කර ගැනීම සියලූ ගැටලූවලට මුල බවට චෝදනාවක් නැගී තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස.

පිළිතුර:- ඉන්දියාව අපට යුද්ධය දිනන්න උපරිම සහාය දීපු රටක්. වෙනත් රටවලිනුත් අපට ලොකු සහායක් ලැබුණා. අපිට ඒවා අමතක කරන්න බැහැ. කාගේත් සහාය නොලැබුණා නම් යුද්ධය අපට දිනන්න බැරි වෙනවා. ඒ නිසා ඉන්දියාව ඇතුළු සහාය දීපු රටවලට අනේක වාරයක් ගෞරවය අපි ලබාදිය යුතු වෙනවා. යුද්ධය ඉවර කරලා ලංකාවේ සියලූ ජාතීන් එකට ජීවත්වීමට හා දෙරට අතර හොඳ හිත දැඩිව වර්ධනය වෙනවා දකින්නට ඉන්දියාවට තිබූ අවංක වුවමනාව මම එවකට විදේශ ඇමැතිලෙස හොඳින් දැක්කා. මම ඒ වෙනුවෙන් කළ හැකි උපරිමය කළා. ලංකාවේ දින 5-6ක් ගත කළ එකම රාජ්‍ය නායකයො ඉන්දියාවේ අයයි. අපි යථාර්ථයට ඉඩ දෙන්න  ඕනෑ. ඒත් ඉන්දියාව ළඟදි දෙබිඩි වුණා.

 

 

ප‍්‍රශ්නය:- ලංකා ආණ්ඩුවේ කිසිඳු වරදක් නැද්ද?

පිළිතුර:- අපේ කොච්චර අඩුපාඩු තියෙනවද? මේ ආණ්ඩුවේ ඉන්නෙත් මිනිස්සුනේ. ඔබාමා ගේ ලොකු අඩුපාඩු නිසයි රොම්නි කරට කර සටනක් දුන්නේ. ඒත් අපි මීට වඩා ඉන්දියාව හා ලෝකය සමඟ සමීප විය යුතුයි. ලෝකයේ පිළිගැනීම අපට ලබාගන්න නම් අපි ප‍්‍රකාශ කරන වචනයේ ගෞරවය හා විශ්වාසය රැකිය යුතු වෙනවා.

 

 

ප‍්‍රශ්නය:- ගිය වසරේ ජිනීවාහිදී ඇමරිකාව ගෙනා යෝජනාවෙන් කියැවුණේ ලංකාවේ ආණ්ඩුව සැකසූ උගත් පාඩම් නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙසයි. මේ රටට ජනතාවට හා සමාජයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉතා හිතකරවූ ඒ නිර්දේශ ඉටු කරන්න කියලයි ඇමරිකාව ප‍්‍රමුඛ ලෝකය අපෙන් ඉල්ලූවේ. ඒත් මේ ආණ්ඩුව මන්දගාමීව කි‍්‍රයා කරන නිසා ඇමරිකාව ජිනීවාහිදී යළිත් යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කිරීම ගැන ඔබ මොකද කියන්නේ.

පිළිතුර:- ගිය වසරේ ඔවුන් ගෙනා යෝජනාව තවත් අර්ථවත් කරන්නයි මෙවර හදන්නේ. මෙහිදී ආණ්ඩුව ගත යුතු කි‍්‍රයා මාර්ග කිහිපයක් තිබෙනවා. මෙවැනි යෝජනා නොඑන ලෙස කි‍්‍රයාත්මකවීමට අසීරුම නම් මෙවැනි යෝජනා එන බව කල්තියා හඳුනාගෙන ඊට මුහුණදීමේ පසුබිම හදන්න  ඕනෑ. එහිදී ජනාධිපතිතුමා නිවැරැදිව දැනුවත් කරලා අවශ්‍ය පියවර ගැනීමේ සම්පූර්ණ වගකීම විදේශ අමාත්‍යංශය සතුයි. ඒත් සිදුවුණේ කුමක්ද? ජිනීවා යන දුත පිරිස පවා තීන්දු කළේ සමුළුවට දින 04කට කලින් අන්තිම මොහොතේයි. එතකොට ලෝකය හිතන්නෙ මොකද්ද? අපි සටන අත හැරලා හෝ මේවා ගැන නිසි වැටහීමක් ලංකාවට නැති බවයි. නැත්නම් පුළුවන් දෙයක් කරන්න අපි බය නැහැ කියන ග‍්‍රාම්‍ය පණිවිඩයක් ඔවුන්ට ගියා නම් ඒක අපටම අවාසි වේවි. අප විසින්ම ලෝකයට තුරුම්පු ලබාදීම සිදු නොකළ යුතු දෙයක්. දැන් අපි කළ යුතු එකම දේ නම් මුල් යෝජනාවක් තිබියදී තවත් එකක් ගෙන ඒම අසාධාරණ බව පෙන්වීම හා මුල් යෝජනාව අනුව අප ගෙන ඇති පියවර පැහැදිලි කිරීමයි. ගැටලූ තිබේනම් සුහදව කතාබහ කළ යුතුයි. ඒක ජිනීවා සමුළුවට විතරක් නෙවෙයි ලොව පුරා ගෙන යා යුතු දෙයක්. එහිදීත් විදේශ අමාත්‍යංශය සතු වගකීම දැවැන්තයි. විදේශ අමාත්‍යාංශයට ”ඉන්ටවල් නෑ... නිවාඩු නෑ... එය පැය 24 ම සක‍්‍රීය ආයතනයක්.

 

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග