මහජන සමාජය ආණ්ඩුවක් කෙරෙහි තබන විශ්වාසයට වඩා රාජ්‍යයක් කෙරෙහි තබන විශ්වාසය දැඩි ය. බරපතළය. ගැඹුරු ය. රාජ්‍යය මව් නම් ආණ්ඩුවක් යනු සහෝදරයෙක් හෝ සහෝදරියක් ය. ඒ නිසාම ආණ්ඩුවක් අර්බුදයට යනවාට වඩා රාජ්‍යයක් අර්බුදයට යෑම සමාජයට හානිදායකය. ඒ නිසාම ආණ්ඩු අර්බුදයට වඩා රාජ්‍ය අර්බුදය බලවත් ය. ආණ්ඩු පෙරළා දැමිය හැකිය. මාරු කළ හැකිය. එහෙත් රාජ්‍යය පෙරළා දැමිය නොහැකිය. මාරුකළ නොහැක. රාජ්‍යයක් යනු රටකට මුහුණදීමට සිදුවන අර්බුද කළමනාකරණය කිරීම සහ අර්බුද විසඳීම ප්‍රමුඛ වගකීමක් ලෙස භාරගත් සහ භාරගත යුතු සංවිධානයකි.

ලෝකයේ ඇති වූ සහ ඇතිවන මහා ආර්ථික අවපාත, මානව සහ ස්වභාවික ව්‍යසන, යුද්ධ සහ වසංගත යනු සමකාලීන මානව වර්ගයා මුහුණ දෙන සහ මුහුණපාන දැවැන්ත සහ දරුණු අභියෝගයෝ වෙති, අර්බුදයෝ වෙති. ඒවා නිසා මිය යන, ආබාධිත වන, අසරණ භාවයට පත්වන සහ පීඩාවට අසහනයට ලක්වන ජනයා ලෝක පරිමාණයෙන් නම් කෝටි ගණනක් ය. එසේම ඒ අභියෝගවලට සාර්ථකව මුහුණදීගනු බැරිව අර්බුද කළමනාකරණය කිරීමට හෝ විසඳීමට බැරිව අර්බුදයට ගිය සහ කඩාවැටුණු ආණ්ඩුවලට උදාහරණ ලෝකයේ හැම තැනකින්ම සොයා ගත හැකිය. එහෙත් කඩාවැටුණු රාජ්‍ය සඳහා වූ උදාහරණ නැතිවා නොව දුලබය. චාල්ස් ඩිගෝල් දක්වා වූ ආණ්ඩු, ඉතා කෙටි කාලයක් තුළ කඩාවැටුණාට, ප්‍රංශ රාජ්‍යය/ සමුහාණ්ඩුව කඩාවැටුණේ නැත. ඒ රාජ්‍යය අර්බුදයට ගියේ නැත. ජන සමාජයේ දෛනික ජීවිතය අර්බුදයට ගියේ නැත. ඊට හේතුව, ආණ්ඩු විශ්වාස නොකරන ජනයා, අනෙකුත් රාජ්‍යය යාන්ත්‍රණ කෙරෙහි තම විශ්වාසය පළුදු නොකරගෙන සිටීමය. එනම් ආණ්ඩු මොන අර්බුදයට ගිය ද හිතුවක්කාර වුව ද ජන සමාජයට වගකියන රාජ්‍යයක් තිබීම ජනසමාජයේ සැනසිල්ලට හේතුවක් වීම ය.

අප මුලින්ම රාජ්‍ය අර්බුදය යනු කුමක් ද යන්න පැහැදිලි කර ගනිමු. මෙහි දී එහි එක මානයක් පමණක් අපේ අවධානයට ලක් කරමු. ජන සමාජයේ පිළිවෙළ සහ ප්‍රගතිය වෙනුවෙන් ජනයා විසින් අනුමත කරන ලද, වගකීම් පවරන ලද, රාජ්‍ය යාන්ත්‍රණ ස්වකීය වගකීම් ඉටු නොකරන්නේ නම්, ඒවා නොසලකා හරින්නේ නම්, ඒවා පැහැර හරින්නේ නම්, ඒවා අවභාවිත කරන්නේ නම් සහ ඒවා ඉටුකරගත නොහී ආසාර්ථක වන්නේ නම් එම යාන්ත්‍රණ කෙරෙහි වන මහජන විශ්වාසය වැඩිකලක් නො පවතින්නේ ය. එසේම ස්වකීය ගැටලු, අර්බුද විසඳීමේ හෝ ප්‍රගතිශීලී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් සහ ශක්තියක් නැති රාජ්‍ය යාන්ත්‍රණ කෙරෙහි වන මහජන අවිශ්වාසය දිනෙන් දින පළුදු වී යන්නේ ය. පොදු ව්‍යසන, අර්බුද සහ අභියෝගවල දී රාජ්‍යය සමඟ සමුහාණ්ඩුවාදී නැතහොත් ජනරජවාදී ලෙස ජනයා ඒකාබද්ධ වන්නේ පෙර කී විශ්වාසය පළුදු නොවූ පසුබිමක පමණය. එසේ සිදුවූ අවස්ථා බොහොමයක් ලෝක ඉතිහාසයේ ඇත.

එහෙත් රාජ්‍යය කෙරෙහි එහි යාන්ත්‍රණ කෙරෙහි විශ්වාසය පළුදු වූ රටවල ජනයා සතුව ඇත්තේ පිළිසරණක් නැති, අසහනකාරී සහ අපේක්ෂා භංගත්වයට පත් වූ පිළිතුරු නැති මානසිකත්වයක් ය. ජනයාට රාජ්‍යය විශ්වාස නැත. මේ වනාහි රාජ්‍ය අර්බුදය ය. එය ආණ්ඩු අර්බුදයකට වඩා බරපතළ ය.

ඇතැම් අර්බුද, අභ්‍යන්තරික හේතුවලට වඩා බාහිර හේතු නිසා, ගෝලීය සහ කලාපීය හේතු නිසා ඇතිවිය හැකිය. ඒවාට මුහුණදීමට අප වැනි රටවල රාජ්‍යයන්ට අසීරුය. එහෙත් ඒවාට විධිමත් ලෙස මුහුණදීම වෙනුවෙන් වූ සූදානම සහ අවංක වගකීම් සහගත උත්සාහය රාජ්‍යය සහ ජනයා අතර ඇති බැඳීම ශක්තිමත් කරනු ඇත. අප වැනි රටවල රාජ්‍ය යාන්ත්‍රණවල කාර්යභාරය විය යුත්තේ එය ය. එසේම රාජ්‍යය ජනතාව වෙනුවෙන්ය යන දෘෂ්ටිවාදී පදනම පළුදු නොකිරීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුය. එන යන ආණ්ඩුවලට වඩා මහජන සමාජය කෙරෙහි වූ බරපතළ වගකීමක් ඇත්තේ රාජ්‍යයට ය. රාජ්‍යය යනු ආණ්ඩුවේ උපකරණයක් නොව, ආණ්ඩුව යනු රාජ්‍ය වගකීම් ඉටුකිරීමට බැඳීසිටින රාජ්‍ය උපකරණයක් ය, සමාජ ඒජන්සියක් ය යන්න අප නිතර සිහියේ තබා ගත යුතුය. එහෙත් අප වැනි රටවල සිදුවී ඇත්තේ රාජ්‍යය ආණ්ඩුවේ උපකරණයක් වීම ය. රාජ්‍යය ආණ්ඩුවට මෙන්ම වෙළඳපොළ ග්‍රහණයට නතු වී එය ජනයාගෙන් අපරිමිතව ස්වාධීන වීම ය. රාජ්‍යයේ යුක්තියුක්ත බලාධිකාරිය සහ ආණ්ඩුවේ දේශපාලන බල අධිකාරිය අතර තිබිය යුත්තේ ප්‍රශස්ත සමූහාණ්ඩු-රාජ්‍ය අරමුණු ඉටුකර ගැනීමේ සම්බන්ධය සහ ව්‍යායාමය මිස ආණ්ඩුවල බල දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය උපකරණ භාවිත කිරීම නොවේ ය. එසේ කළහොත් එය අව-භාවිතයකි. මෙසේ වීමේ ආර්ථික සමාජ දේශපාලන ගතිකතා බොහෝය.

පසුගිය දශක හතරක පමණ කාලයක සිට ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම ආසියානු, අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවල සුවිශේෂී තත්ත්වයක් වර්ධනය විය. රාජ්‍යය සහ එහි යාන්ත්‍රණ යටපත් කරමින් වෙළඳපොළ සහ ජාවාරම බලවත් වීම එම තත්ත්වයයි. වඩාත් පැහැදිලිව කිවහොත්, මහජන අභිලාෂ (රාජ්‍ය අරමුණු) ඉටුකිරීම ට ඇති ස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණත් කලින් කලට එන ආණ්ඩුව නම් වූ රාජ්‍යයේ දේශපාලන යාන්ත්‍රණයත් වෙළෙඳපොළ සහ ජාවාරම්කාර ව්‍යුහ විසින් හැසිරවීම, නියාමනය වීම සහ රාජ්‍ය දෘෂ්ටිවාදය යටපත් වී වෙළෙඳපොළ දෘෂ්ටිවාදය මත රාජ්‍යය ගමන් කිරීම ඒ තත්ත්වය ය. එවිට රාජ්‍ය යාන්ත්‍රණ රැකවරණය සපයන්නේ වෙළෙඳපොළට මිස මහජන සමාජයට නොවේ ය. පෙනී සිටින්නේ ජනයා වෙනුවෙන් නොව වෙළඳපොළ වෙනුවෙන්ය. පහසුකාරකයක් වන්නේ පහසුකම් සපයන්නේ ජනයාට නොව වෙළෙඳපොළට ය. ගොඩනැගෙන්නේ වෙළෙඳපොළට බිය, කීකරු සහ අවනත රාජ්‍ය උපකරණ මිස වෙළඳපොළ නියාමනය කරන රාජ්‍ය යාන්ත්‍රණ නොවේ ය. එම පසුබිමේ වර්ධනය වන්නේ සහචරවාදයක් මිස ජනරජවාදයක් හෝ සමුහාණ්ඩුවාදයක් නොවේ ය.

ජේ.ආර්.ගෙන් පසු මේ දක්වා වූ ලංකාව වනාහි එයට කදිම නිදසුනකි. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය එඩිතරව සහ නොබියව අපට පහදා දෙන්නේ එම සත්‍යය ය. මංතීරු නීතිය නවතා දැමූ බස්හිමියන්, පිළිකා කාරක සහිත පොල්තෙල් ආනයනකරුවන්, සම සුදුකරන බැරලෝහ වැඩි ක්‍රීම් ආනයනකරුවන් සහ ඒවා ප්‍රවර්ධනය කරන රුපවාහිනී ප්‍රචාරණ දැන්වීම්වල සහ වැඩසටහන්වල පෙනීසිටින ස්ත්‍රීන්, බිල ගෙවන තුරු මළ සිරුර නොදෙන පෞද්ගලික රෝහල්, 1980 ආහාර පනත ක්‍රියාත්මක නොකරන සෞඛ්‍ය බලධාරීන්, ෆාම් ඔයිල් ආනයනයට විරුද්ධ වූ බේකරි හිමියන්, පොලිතීන් භාවිතය කල් දමන්නන්, පාරවල්වල මගීන් පටවාගෙන යෑමේ තනි අයිතිය භුක්ති විඳින පෞද්ගලික බස් චණ්ඩින් (මේ උදාහරණ කීපයක් පමණි) ඉතා විධිමත්ව අපට පහදා දෙන්නේ ද එම සත්‍යය ය. එම පාඩමය. එහෙත් අප එය තවම නිසි ලෙස වටහා ගෙන නැත.

1956 සිට 1975 දක්වා නඩත්තු වූ රාජ්‍ය දෘෂ්ටිවාදය, 1977 දී තීරණාත්මක ලෙස අවසන් කොට දැමුවේ ජේ.ආර්. ජයවර්ධන බල හවුල විසින් ය. ඉන් පසු ඉදිරියට එන්නේ වෙළෙඳපොළ දෘෂ්ටිවාදය මගින් මෙහෙයවන සහ නියාමනය කරන වෙළෙඳපොළ ඉදිරියේ නිවට වුණ රාජ්‍ය යාන්ත්‍රණ සහ ආණ්ඩු ය. 77 න් පසු බලයට පත් වූ කිසිම ආණ්ඩුවක් ජේ.ආර්. පසුකර ගියේ නැත. පරාජය කළේ ද නැත. එසේම ජේ.ආර්. ට වඩා වැඩි හෝ කරුණු අඩු ප්‍රමාණයකින්වත්  සමකළ හැකි හෝ දේශපාලන ආර්ථික සහ සමාජ විපර්යකාරකයෙක් එනම් වෙනස්කරන්නෙක් හෝ පක්ෂයක් රටේ බලය නොගත්තේය. ඒ නිසාම ජේ.ආර්. ස්ථාපිත කළ වෙළෙඳපොළ දෘෂ්ටිවාදය වෙනුවට, එය ප්‍රති-නිෂ්පාදනය කරනු වෙනුවට, ජනරජ රාජ්‍ය දෘෂ්ටිවාදය යළි ස්ථාපිත කරන්නකු බිහි වූයේ ද නැත. ඒ සඳහා වූ පක්ෂ බිහි වූයේ ද නැත. ඒ පැහැදිලි කිරීම තුළ ඇත්තේ මෙරට රාජ්‍යය අර්බුදයට යෑමේ ඉතිහාස කතාවේ සංක්ෂිප්තය ය.

මේ තත්ත්වය මුලදී අර්බුදයක් වූයේ නැත. ඊට හේතුව වුණේ යම්තාක් දුරට රාජ්‍යය විශ්වාස කිරීමේ පුරුද්දක් ජන සමාජය තුළ ඔද්දල් වෙමින් හෝ පැවතීමය. එහෙත් රාජ්‍ය යාන්ත්‍රණ විසින් නොකඩවා සිදුකරන වෙළෙඳපොළවාදී උපකාරක සහ පහසුකාරක සේවා නිසාත්, මහජනයාට එරෙහි ක්‍රියාවලදී වෙළෙඳපොළ (විත්තිකරුවාගේ) පැත්ත ගන්නා රාජ්‍ය යාන්ත්‍රණ, විත්තියේ සාක්ෂිකරුවන් වන ආකාරයත් නිතර දකින ජනයා රාජ්‍යය පිළිබඳ තිබූ තම විශ්වාසය දැවැන්ත ලෙස පළුදු කරගෙන ඇත. දැන් බිඳවැටී ඇත්තේ ආණ්ඩු පිළිබඳ විශ්වාසය නොව, ආණ්ඩු නැතිවුණත් අප බලාගන්නට රාජ්‍යයක් තිබෙනවා ය යන රාජ්‍යය පිළිබඳව වූ අති මූලික විශ්වාසය ය. ඒ නිසා 1975 , 1977, 1988, 1994, 2001, 2005, 2010, 2015 සහ 2019  කාල වකවානු පසුකරමින්, ආණ්ඩුවලට හසු නොවෙමින්, පියවරින් පියවර වර්ධනය වූ රාජ්‍ය අර්බුදය මේ වනවිට උග්‍රස්ථානයකට පත්ව ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එහි එක් ප්‍රකාශනයක් මිස එකම ප්‍රකාශනය නොවන බව ආණ්ඩුවත් ජනතාවත් දැනගත යුතු ය. එබැවින් අද දවසේ සියල්ලන්ගේ පරම මෙහෙය විය යුත්තේ, ආණ්ඩු හැදීමට නොව රාජ්‍ය අර්බුදය විසඳීමට මැදිහත් වීම ය. ඒ සඳහා අවංක වුවමනාවක් සහිත ආණ්ඩු කළ යුත්තේ සමාජ ව්‍යාපාර සමඟ සමගිව කටයුතු කිරීම ය.

මන්ද රාජ්‍යය නාය ගිය කිසිම තැනක ආණ්ඩුවකට තනිව කළ හැකි මහලොකු දෙයක් නැති නිසා ය.


(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක