tyikk

      

 

පැරණි අදිකාරම්වරුන් ගේ අවසාන පුරුක වන පල්ළේ ගම්පහ මොල්ලිගොඩ මහා අදිකාරම් ගැන නොදන්නා කෙනෙක් මෙරට සිටිය නොහැක. ඒ ඔහු, වඩුග ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි ඇමතිවරයෙක් නිසාම නොවේ. ඇහැළේපොල, පිළිමතලව්ව වැනි අදිකාරම්වරුන් සමඟ ප‍්‍රසිද්ධියේ අමනාපකම් ඇති කරගත් පුද්ගලයෙක්ද වන බැවිනි.

 


665656එපමණක් ද නොව ඉංග‍්‍රීසීන් සමඟ සම්බන්ධවීම හේතුවෙන් ඔහුට එරෙහිව විවිධ කටකතා පැතිරුණි. මොල්ලිගොඩ පරපුරේ මුල් ගම වන මොල්ලිගොඩ පිහිටා ඇත්තේ මහනුවර නගරයට සැතපුම් දහ තුනක් ඈතින් පිහිටි ගනේතැන්නට ආසන්නයේ සතර කෝරළේ පහළ කඩුගන්නාවේය. ඒදණ්ඩුවාව කෝරළගේ පුත‍්‍රයෙක් වූ මොල්ලිගොඩ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට පක්ෂපාතී නිලමේවරයෙකු බවට පත්වන විට වයස අවුරුදු තිහටත් වඩා අඩු වයසක පසුවිය. ඔහු රාජ්‍ය සේවයේ උසස්ම නිලය වන පල්ලේගම්පහේ මහා අදිකාරම තනතුරට පත් වූයේ, ඊට ප‍්‍රථම එම තනතුර දැරූ ඇහැළේපොල මහා නිලමේ ඉංග‍්‍රීසීන් සමඟ එකතු වීමත් සමඟ ය.


මොල්ලිගොඩ මහා අදිකාරම් ගේ දෙවෙනි බිරිඳට අයිතිව තිබූ මාවනැල්ල උලගොඩ වලව්වෙහි වත්මන් අයිතිය පැවරී තිබෙන්නේ උලගොඩ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර වසන්ත උලගොඩ මහතාට ය. වසර දෙසීයක පමණ කාලයක් පැරණි මෙම වලව්ව එදා කාමර දොළහකින් යුක්ත විය. ඊට සොල්දර තට්ටුවක්, මැද 14_page_8rsමිදුලක් ද අයත් විය.. සේවකයන් සඳහා වෙනම කාමර තිබී ඇත. බිත්ති බැඳීම සඳහා භාවිතා කර තිබෙන්නේ කඵ ගල් සහ මැටිය. එහි ඝනකම අඟල් දහඅටකට වඩා වැඩිය. වර්තමානය වන විට නවීකරණය වී ඇති වලව්ව කාමර අටකට සීමා කර තිබේ. සොල්දර තට්ටුව එදා තිබුණ ආකාරයෙන්ම දක්නට නොලැබේ. මෙම වලව්ව පිහිටා තිබෙන්නේ මාවනැල්ල අලූත්නුවර දේවාලය අසළ ය. දෙවුන්දර සිට අලූත්නුවර  දෙවියන් වැඩමවා ඇත්තේ ද මෙම වලව් භූමිය මැදිනි.

 


පත්තිනි දෙවියන් හා බැඳි උලගොඩ පරපුරෙහි ආරම්භය
සීතාවක පළමු වන රාජසිංහ රජ සමයේ (ක‍්‍රි.ව. 1581-1592) ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ සිට පත්තිනි දෙවියන් ගේ රන් දේව ප‍්‍රතිමාවක් සහ ආභරණ රැුගෙන ඉංග‍්‍රීසි පාලනය ආරම්භක මුල් කාලයේ බ‍්‍රාහ්මණ වංශිකයෙකු වන බ‍්‍රහ්ම ක‍්‍රිෂ්ණා රාම් පණ්ඩිත් පතිරාද මුදියන්සේ ලංකාවට පැමිණියේය.  ඒ බුදු දහම පරිහානියට පත් වෙමින් පැවති කාලයකි. ඉන්දීය බිසෝවරුන් ගේ පැමිණීමත් සමඟ ආරම්භ වූ දේව සංකල්පය තවදුරටත් වර්ධනය විය. පසුව බුදු දහම වැළඳ ගෙන වඩුග රජවරුන් සිහසුන දැරුවද දෙවිවරුන් ඇදහීම අත්හළේ නැත. එවන් පසුබිමක් මෙහි නිර්මාණය වී තිබුණ බැවින් බ‍්‍රාහ්මණ වංශික මුදියන්සේට සතර කෝරළේ යටියන්තොට අමනාවල ප‍්‍රදේශයේ දේවාලයක් සාදා ගැනීම ප‍්‍රශ්නයක් වූයේ නැත. ඉන්පසු පත්තිනි දෙවියන් ගේ රන් පිළිමය සහ ආභරණ තැන්පත් කර, කපුවෙකුට ආවතේව කිරීමට ඉඩ ලබා දී, එහි භාරකරු වශයෙන් කටයුතු කළේය.


ඉන්පසු තොරතුරු ලබා ගත හැකි වන්නේ ඉංග‍්‍රීසි පාලන කාලයේදීය. ඒ වන විට අමනාවල පත්තිනි දේවාලය භාරව සිටියේ පතිරාද බ‍්‍රාහ්මණ රාළගේ පුතෙකු වන ක‍්‍රිෂ්ණ රාම් පණ්ඩිත් පතිරාද මුදියන්සේ ය. දවසක් දේවාලය ඉදිරිපිටින් ඉංග‍්‍රීසි සෙබළෙක් අශ්වයෙක් පිට නැඟ ගමන් කරයි.. සාමාන්‍යයෙන් එදවස මෙම දේවාලය ඉදිරිපිටින් යන එන අය දේවාලයට ඇතුඵ නොවුණද, ගෞරව කර යාම සිරිතකි. අශ්වයෙක් පිටින් යන කෙනෙක් නම් ඉන් බැස ගමන් කරන්නේ එබැවිනි. එහෙත් මෙම සෙබළා දේවාලය ඉදිරිපිටින් ගමන් කරමින් සිටියේ, ඒ ආකාරයේ කිසිදු ගෞරවයක් නොදක්වාමය. මෙම දසුන ඒ වන විට දේවාලය භාරව සිටි මුදියන්සේ ගේ දෙනෙතට හසුවිය. ඔහු මැදිවියට පත්ව සිටියද අංගම්පොර සටන් ශිල්පියෙක් වශයෙන් ද ජනප‍්‍රියත්වයට පත් වී සිටි එක් දරු පියෙකි. පුතා ගේ නම අප්පුහාමිය. අප්පුහාමි ඉපදෙන අවස්ථාවේදී මව මිය ගොස් තිබුණ නිසා ඔවුන් දෙදෙනා පරම්පරාවෙන් ලැබුණු ඉඩම් වගා කරමින් දේවාලය බලා ගෙන ජීවිතය ගත කර තිබේ. පසුව ඉංග‍්‍රීසී සෙබළා හා සටන් කර මරා දමා පුතා සමඟ මාවනැල්ල ප‍්‍රදේශයට පළා යන්නේ ඉංග‍්‍රීසි හමුදාවෙන් ජීවිතය බේරා ගැනීම සඳහා ය. මේ ආකාරයෙන් පිටත්ව යාමට ප‍්‍රථමව ඔහු සතු දේවාලය සහිත යටියන්තොට අමනාවල ඉඩම් සියල්ලම භාර දී ඇත්තේ අඹන්පිටිය ආරච්චිලාගේ හෙන්ද්‍රික් අප්පුහාමිට ය. එහි ඔප්පු උලගොඩ වලව්වේ සාමාජිකයන් සතුව පවතී.

2

 


මොල්ලිගොඩ මහා අදිකාරම් පිය පුතුන් ගේ ජීවිතය බේරා ගනියි...
ඒ වන විට සෙංකඩගල රාජධානියේ මහා අදිකාරම් තනතුර දරා සිටියේ පල්ලේගම්පහ (ජ්‍යෙෂ්ඨ) මොල්ලිගොඩ මහඅදිකාරම්ය.  ඔහු ගේ දෙවෙනි බිරිඳ හෙවත් යකඩ දෝලිය වූයේ බඹරදෙණියේ කිරිමැණිකේ කුමාරිහාමිය. ඔහු ඇයට අයත්ව තිබූ මාවනැල්ලේ උලගොඩ වලව්වේ ජීවත් විය. එයා මධ්‍යම පළාතේ පැරණිතම වලව්වකි. කෙසේ හෝ මාවනැල්ලට පැමිණෙන ඔවුන් මොල්ලිගොඩ මහ අදිකාරම් හමුවෙයි. ඔවුන්ට දරුවන් හය දෙනෙකි. ඉන් තිදෙනෙක් ගැහැණු දරුවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමින් ය.


මොල්ලිගොඩ අදිකාරම්, අප්පුහාමී ගැන පැහැදී, ගලබොඩ කෝරළේ ගන්නැහැ පත්තුවේ ගම ආරච්චි තනතුරට ඔහු පත් කර ඇත. තවත් ටික දවසක් ගත විය. තම දියණියන් තිදෙනා ගෙන් එක් දියණියක් වන උලගොඩ මුදියන්සේලා ගේ බන්දු මැණිකේ කුමාරිහාමි, අප්පුහාමිට විවාහ කර දෙන්නේ ඔහුගේ විශ්වාසවන්තභාවය හා කුළවත් පරම්පරාවකින් ඔහු පැවත එන නිසා ය. ඉංග‍්‍රීසි සෙබළා පියා විසින් මරා දමා පැන ආ බැවින් තවදුරටත් ඔහු ගේ වාසගමේ සඳහන් නමින් පෙනී සිටීමට හැකියාවක් නැත. එමනිසා බිරිඳ ගේ වාසගම භාවිතා කරමින් අප්පුහාමී උලගොඩ මුදියන්සේ නමින් පෙනී සිටියේ ය. ඔවුන් ගේ විවාහය සිදුවන අවස්ථාවේ තවත් අපූර්ව සිද්ධියක් දක්නට ලැබුණි. එය නම් මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම්පිටිය ග‍්‍රාම වසමේ උහංගොඩ ග‍්‍රාමයෙන් හැට පස් අමුණක් සන්නසක් මඟින් පවරා දීම ය. එහි විශේෂත්වය වනුයේ එම සන්නස, ”ලේ ”වලින් අත්සන් කර ලබා දීම ය. සන්නසක් ලේ වලින් අත්සන් කර තිබෙන අවස්ථාවන් විරල වන බැවින් මෙයට විශේෂත්වයක් හිමිව තිබේ. ලේ සහිත එම සන්නස අද ට ද සුරක්ෂිතව පවතී. පසුව ගන්තුන පත්තුවේ ගම් ආරච්චි පදවිය ද පිරි නමන ලදී.  බන්දුමැණිකේ ගේ සහෝදරියන් දෙදෙනා ගෙන් එක් සහෝදරියක් කොටබෝගොඩ වලව්වටත්, අනෙක් දියණිය රත්නපුරේ ඇලපාත වලව්වේ දරුවෙකුටත් විවාහ කර දෙයි.  


959ක‍්‍රි.ව 1862 වසරේදී අප්පුහාමී සහ බන්දුමැණිකේ යුවළට පිරිමි දරුවෙක් ලැබුණි. උලගොඩ මුදියන්සේලාගේ සේතුහාමි කළුබණ්ඩා නොහොත් අමනාවල ක‍්‍රිෂ්ණදාස් රාම් පණ්ඩිත බ‍්‍රාහ්මණරාළලාගේ සේතුහාමි කළුබණ්ඩා යන නම එම දරුවාට තබන ලදී. සේතුහාමි බිහි කිරීමත් සමඟම මව මිය ගිය බැවින් මොල්ලිගොඩ මහ අදිකාරම් ගේ බිරිඳ, කුඩා සේතුහාමී තම භාරයට ගනිමින් ඇති දැඩි කළේ මවක් මෙන් මහත් වූ සෙනෙහසිනි. කුඩා කාලයේදීම අංගම්පොර සටන් ක‍්‍රම පිළිබඳව හැදෑරීමට අවස්ථාවක් ලැබී ඇත්තේ ඒදඬුවාවේ ”මරුවල්ලිය” පරම්පරාවට නෑකම් කී නිසාය. ඒදඬුවාවේ කාන්තා දිසාව උලගොඩ පවුලේ ඥාති දියණියකි. ඇය මෙරට ප‍්‍රථම සහ එකම කාන්තා දිසාවද වෙයි. ඇය ගේ ගම පිහිටා තිබුණේ මාවනැල්ල අලූත් නුවරට ආසන්නයේමය. උලගොඩ පරපුරේ සාමාජිකයන් ද අංගම් කෙළියේ දක්ෂයන් වූයේ එම නිසා බව පවුලේ අය ගේ අදහසයි.  සේතුහාමී ටිකෙන් ටික වැඩෙද්දී අංගම්පොර සටන්, නිල ශාස්ත‍්‍රය, කුණ්ඩලනී යෝගය පිළිබඳ මනා දැනීමකින් යුත් පුද්ගලයෙකු බවට පත් විය. මේ නිසා ඔහුට පෙර සහ පසු ආත්මය පිළිබඳ හොඳ දැනීමක් ද තිබුණු බවට එකළ ප‍්‍රසිද්ධ රහසකි. එපමණක්ද නොවේ ඔහු පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකි. සර්වාංග, සර්ප විෂ ගැන මනා දැනුමැති පුද්ගලයෙකි. අස්ථි බද්ධ කළ වෛද්‍යවරයෙකු ලෙස ද ප‍්‍රසිද්ධය. යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් පිළිබඳවද මනා දැනුමැත්තෙකු වූයේය.


සේතුහාමි පිළිබඳ කතා කිහිපයක්ම ජනප‍්‍රවාදයේ පවතී. එදවස පැවතියේ වැඩවසම් පාලන ක‍්‍රමයකි. අද මෙන් නොව වලව් පැළැන්තිය ප‍්‍රභූන් ලෙස සලකා කටයුතු කළ කාලයකි. සාමාන්‍ය ගැමියන් ”වලව්වේ හාමුදුරුවෝ” යන නමින් ඇමතීම සිරිතක් විය. දවසක් උදය වරුවේ තම කෙත් යායෙහි ගොයම් නෙළමින් සිටින ගැමි කාන්තාවන් පිරිසක් අතරට ගියේ ඔවුන් ගේ වැඩ බැලීම සඳහා ය. එහි සිටි එක් කටකාර කාන්තාවක් සේතුහාමි එනු දැක ”වෙදරාළ” යනුවෙන් අමතා ඇත්තේ විහිඵවක් කිරීමේ අදහසිනි. සේතුහාමිට කේන්ති ගොස් වැලි ගෙන මතුරා කාන්තාවන් දෙසට විසිකර නැවත වලව්වට ගොස් ඇත. ඉර අවරට යාමට ඇත්තේ තවත් සුඵ මොහොතකි. ගොයම් නෙළීමට ගිය තම බිරින්දෑවරුන් තවමත් නිවෙසට නොපැමිණි හේතුව කුමක්දැයි දැන ගැනීම සඳහා කෙත් යායට පැමිණෙන ගොවීන්ට දක්නට ලැබුණේ ඒ වන විටත් ගොයම් පැළ නැවත නැවතත් ගළවා, නැවතත් සිටුවන තම බිරින්දෑවරුන් ය.

ගැළවීම හා සිටුවීම නැවත නැවතත් සිදු කරයි... එයට හේතුව විමසීමේදී සේතුහාමිට විහිළු කර ඇති බව දැන ගැනීමට ලැබෙයි. වහාම ඔහු හමුවන ස්වාමිපුරුෂයන් බිරින්දෑවරුන් වෙනුවෙන් සමාව ඉල්ලයි.  කෙවිටක් ගෙන මතුරා, ස්වාමිපුරුෂයෙකුට ලබා දී කාන්තාවන්ට ඉන් තට්ටු කරන මෙන් දන්වයි. පසුව ඔවුන් එම බන්ධනයෙන් මිඳුණි. සේතුහාමී එවන් ආකාරයේ විවිධ දක්ෂතා වලින් පොහොසත් රදළයෙකි.


ක‍්‍රි.ව. 1915 වසර සිංහල-මුස්ලිම් කෝලාහල පැවති කාලයකි. දවසක් නිවෙසට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒම සඳහා සේතුහාමි කඩුගන්නාව නගරයට පිටත්ව යන්නේ තම තිරික්කලයෙනි. අද මෙන් නොව එදා කඩුගන්නාව විශාල නගරයකි. සිංහල බෞද්ධයන් අතර, මුස්ලිම් ජාතිකයන් බොහෝ පිරිසක් එහි වාසය කළ අතර, ඔවුන් ගේ ප‍්‍රධාන වෘත්තිය වූයේ වෙළදාම ය. ”කුංජිමුසා” එහි වාසය කරන මුස්ලිම් ජාතික නායකයෙකි. ඔහු ද නගරයේ වෙළඳසැළක් පවත්වා ගෙන ගියේ ය. ඔහු ගේ වෙළදසැළ ඉදිරියෙන් ප‍්‍රධාන පාර වැටී තිබුණු අතර, එදින කඵවර පුටුවක වාඩිවී සිටි ඔහු, සේතුහාමි වෙද මහතා ඉදිරියෙන් යන විට පරුෂ වචනයෙන් බැනවැදී ඇත. එවදන් අසා සිටීමට පවා නොහැකිය. සේතුහාමි වහාම තිරික්කලය නවතා එක් වරම අහසට පැන කුංජිමුසා අසළ නිමේෂයකින් සිට ගත්තේ කුමක් වෙන්නේදැයි ඔහුටවත් සිතා ගැනීමටවත් ඉඩ නොතබාමය. ගත වූයේ නිමේෂයකි.. කුංජිමුසාට ගැසූ පා පහරින් ඔහු බිම වැටුණේ කඵවර පුටුවත් කැබළිවලට වෙන් කරමිනි. අවට සිටි අය මේ දෙස බලා සිටියේ විශ්මයෙනි. එහෙත් පහරට ලක් වූ වෙළද නායකයා ගේ ශරීරයෙහි මතු පිටින් තුවාල කිසිවක් දක්නට නැත. පසුව කඵවර පුටුවෙහි කැබලි තිරික්කලයේ දමා ගෙන බඩු මුට්ටුද රැුගෙන ආපසු වලව්වට පැමිණ තිබෙන්නේ කිසිවක් සිදු නොවූ අයුරිනි. දවස් කිහිපයකින් වෙළෙද නායකයා මිය ගියේය. මිය යාමට හේතුව සේතුහාමි ගෙන් පහරකෑම නිසා බව පසුව මිනිසුන් දැනගනී. එම පුටු කැබළිවලට වසර අනූ පහකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගියත් එහි ශක්තිමත් භාවයේ අඩුවක් අදටත් දක්නට නොලැබේ.

3

 


යකෙකු බැඳ ගෙන වැඩගත් පුංචිබණ්ඩා
එවන් ආකාරයේ විවිධ දක්ෂතාවලින් පිරිපුන් කළුබණ්ඩා තරුණ වියට එළඹීමත් සමඟම උහංගොඩ වෙඳරාළ හාමිලාගේ ඩිංගිරි මැණිකේ සමඟ ක‍්‍රි.ව. 1889 වසරේදී විවාහ ජීවිතයට එළඹුණේ ය. ඔවුන්ට දරුවන් පස් දෙනෙකි. පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙක් වශයෙනි. පළමුවෙනි පිරිමි දරුවා උලගොඩ මුදියන්සේලාගේ කිරිබණ්ඩා උලගොඩ ය. ඔහු ඉපදී ඇත්තේ ක‍්‍රි.ව. 1894 මාර්තු මස 8 දින ය. දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ක‍්‍රි.ව. 1926 ජනවාරි මස 01 දින මිය යන විට වසර තිස් දෙකකි.  දෙවෙනි දරුවා උලගොඩ මුදියන්සේලාගේ පුංචි බණ්ඩාය. ඔහු සිරිමල්වත්ත ප‍්‍රදේශයෙන් විවාහ ජීවිතයට පිවිස තරුණ කාලයේදීම මිය ගිය යෞවනයෙකි.


පුංචි22බණ්ඩා පිළිබඳ අපූර්ව කතා පුවතක් ජනප‍්‍රවාදයේ පවතී. ඔහු දක්ෂ සිංහල වෙදදුරෙකි.  විශේෂයෙන්ම සර්ප විෂ නසන්නෙකි. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් පිළිබඳ පරතෙරටම දැන සිටි අයෙකි. ”මට්ටකොල්ලා” නැමති යකෙකු බැඳ ගෙන වැඩ ගෙන ඇත්තේ මිනිසුන් පුදුමයට පත් කරමින් යකා ගේ හිසට ඇණයක් ගැසීමෙනි. එහෙත් මේ ආකාරයෙන් හිසට ඇණ ගසා තිබෙන බව කිසිවෙක් දැන සිටියේ නැත. දවසක් වලව්වෙහි වැඩට සිටි කාන්තාවක් එම ඇණය ගලවා ඉවත් කර තිබේ. එහි ප‍්‍රතිඵළයක් වශයෙන් ගුරුකම සිදුකළ පුංචිබණ්ඩා ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. පුංචිබණ්ඩා ගේ මියයාම පිළිබද ජනප‍්‍රවාදයේ පවතින්නේ මෙවන් කතාවකි... මට්ටකොල්ලා නැමති යකා ගේ පළමු පහරින් බේරෙන පුංචිබණ්ඩා තම පියාට පවසා ඇත්තේ දෙවැනි වර පහරදීමට නැවත පැය හතකින් පැමිණෙන බවත් ඊට පෙර තමන් පණපිටින් භූමදානය කරන ලෙසත්ය.  එහෙත් භූමදානය කිරීම සඳහා අවශ්‍ය මිනීිපෙට්ටියක් සෑදීම සඳහා ඊට වඩා කාලයක් ගත විය. මට්ටකොල්ලා පැමිණ දෙවන වර පුංචිබණ්ඩා ගේ හිසට ගැසීමෙන් පසු ඔහු අඵ ගොඩක් බවට පත්වී තිබෙන්නේ සියළු දෙන පුදුමයට පත් කරමිනි.


තෙවෙනි දරුවා බණ්ධුමැණිකා ය. ඇය විවාහ වූයේ හේවාහැට ප‍්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් වන කරුණානායක අප්පුහාමි සමඟ ය. පළමු දරුවා ලැබීමත් සමඟම බණ්ධු මැණිකේ මිය යන්නේ මව ගේ උණුසුම ඔහුට අහිමි කරමිනි. දරුවා ඉපදුනු ගමන් මව මිය යන නිසා කිරිකැටියා ඇතිදැඩි කිරීමට වඩාත් සුදුසුම කාන්තාව බණ්ධුමැණිකාගේ නැඟනිය යයි සිතා, අප්පුහාමී ඇය කැඳවා ගෙන එයි. ඒ වන විට ඇය ගේ වයස අවුරුදු දහසයකි.. ඇය පවුලේ හතරවෙනි සාමාජිකාවයි.. පස්වෙනි සාමාජිකයා මුදියන්සේය. ඔහු මෙරට අවසන් කෝරළේ මහතාය.

 


”උලගොඩ ක‍්‍රමය” හඳුන්වා දුන් අවසන් කෝරළේ මහතා. මහරැුජිනගෙන් පදක්කමක් ද ලබා ගනී...
ක‍්‍රි.ව. 1916 පෙබරවාරි මස 6 දින උලගොඩ මුදියන්සේ හෙවත් අමනාවල ක‍්‍රිෂ්ණදාස් රාම් පණ්ඩිත පතිරාජ බ‍්‍රහ්මණරාළලාගේ උලගොඩ වශයෙන් ඉපදෙන ඔහු මාණික්කාව පාසලෙන් අධ්‍යාපනය ලබා මෙරට අවසන් කෝරළේ මහතා වශයෙන් ඉතිහාසගත විය. ගලබොඩ කෝරළේ, කෝරළේ තනතුරට අමතරව සිංහල වෙදකම සහ ජ්‍යොතිෂය පිළිබඳ මනා දැනීමක්ද ඔහු සතු විය. සාමවිනිසුරු සහ හදිසි මරණ පරීක්ෂකයෙකු වශයෙන් ද නොමිලේ සේවය ලබා දී ඇත. කඩුගන්නාව ගල විදපු ස්ථානයේ සිට කරඩුපන හන්දිය දක්වා කෝරළේ වසමට අයත් විය. පිළිමතලාව ඇඹිල්මීගම රාජකරුණා වාසල විජේසුන්්දර මුදියන්සේලාගේ ලීලාවතී මැණිකේ ඉද්දවල කුමාරිහාමී සමඟ ක‍්‍රි.ව. 1948 ජනවාරි මස 7 දින විවාහ වූවේය. ඔවුන්ට ගැහැණු දරුවන් තිදෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙකි.


මෙම කෝරළේ මහතා අපූර්ව වාර්තාවක් ද පිහිටුවා තිබේ. එයනම් වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා නැවත කුඹුර කෙටීමට ප‍්‍රථම පිදුරු කුඹුරට දැමීමෙන් අස්වැන්න වැඩි කර ගත හැකි බවය. පසුව ඔහු ගේ මෙම නවතම කෘෂිකාර්මික සොයාගැනීම එකළ ”උලගොඩ ක‍්‍රමය” නමින් හැඳින්වීය. ඉන්පසු ”ගොවි රජෙකු” ලෙසත් සම්මානයෙන් පුදනු ලැබ ඇත. ගන්නෝරුව උද්‍යානබෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ කෞතුකාගාරයෙහි මෙම තොරතුරු ගබඩා කර  තිබේ.


ක‍්‍රි.ව. 1953 වසරේ බි‍්‍රතාන්‍ය එළිසෙබත් මහ රැුජින ශ‍්‍රීලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු ගේ සේවය අගයා පදක්කමකින් පිදුම් ලැබ තිබීමද, තවත් වැදගත් සිදුවීමකි. කෝරළේ මහත්තයාට ප‍්‍රථමව ඒ ආකාරයෙන් පදක්කම් ලබා ගෙන තිබෙන්නේ සර් ඔලිවර් ගුණතිලක, සර් ඞී.බී ජයතිලක, සර් ජෝන් කොතලාවල, ටී.බී. පානබොක්කේ අදිකාරම් යන මහත්වරුන් කිහිප දෙනෙක් පමණකි.   


උපදෙස් - කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂක සහ උලගොඩ පරපුරේ අවසන් සාමාජිකයා අනුරාධ උලගොඩ   

 


ස්තුතිය-  මාවනැල්ල රෝහලේ හදිසි මරණ පරීක්ෂක සහ ගල්ලෑල්ල රජමහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ටිකිරි බණ්ඩාර වසන්ත උලගොඩ මහතා ඇතුඵ පවුලේ සැමට.

 

m