(කොළඹ විශ්ව විද්‍යාලයේ  සමාජ විද්‍යාව පිළිබඳ  සම්මානිත මහාචාර්ය  එස්. ටී. හෙට්ටිගේ)

(සටහන - චමින්ද මුණසිංහ)

රටේ පවත්නා තත්ත්වය පිළිබඳව ඇත්තේ පැහැදිලි චිත‍්‍රයක් නොවේ. පැහැදිලි බලාපොරොත්තුවක් තබාගත හැකි වාතාවරණයක් නැත. තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය එයයි. මෙවන් පසුබිමක් නිර්මාණය වී තිබෙන්නේ ඇයි? කාලාන්තරයක් තිස්සේ කතාකරන ආචාරධර්ම සහ මහජන සදාචාරය යන කාරණා දෙක සම්පූර්ණයෙන්ම පාහේ යටපත් වී තිබීම එයට හේතුවය. මෙය දේශපාලන ක්ෂේත‍්‍රයට සීමා වූ කාරණයක් නොවේ. සමස්තයක් වශයෙන් සාමාජයේ ආචාර ධර්මවල පිරිහීමක් තිබේ. ඒ වගේම යම් ආයතනයක් යම් පුද්ගලයෙක් කිනම් සදාචාරාත්මක රාමුවක ක‍්‍රියාත්මක වියයුතුද යන කරුණ සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ.

යහපාලනයක් පාලනයක් නොමැතිකම නිසා මේ සියල්ල සිදුව තිබේ. යහපාලනයක් රටේ තිබේද? ¥ෂණ වංචා චෝදනා පසුගිය රජයට ප‍්‍රධාන වශයෙන් එල්ල වූ චෝදනාය. එයට පිළියමක් විකල්පයක් වශයෙන් 2015 ජනවාරි අටවැනිදා මේ රටේ දේශපාලන පරිවර්තනයක් සිදුවුණි. එහිදී රටක් වශයෙන් මහත් බලාපොරොත්තු ඇතිකරගෙන සිටි බවද අමතක නොකළ යුතුය. එහෙත් අද වනවිට එම බලාපොරොත්තු වූ තත්ත්වය වෙනස් වී ඇති ස්වභාවයක් හඳුනාගන්නට පුළුවන. සමාජ දේශපාලන හා ආර්ථික වශයෙන් ප‍්‍රශ්නයක් මේ රටේ ජනතාවට තිබෙන බව හඳුනාගත හැකිය. සදාචාරාත්මක නැත්නම් ආචාරධර්ම පිළිපඳින්නේ නැතිනම් අනිවාර්යයෙන්ම ඊළඟට තිබෙන්නේ නීතියයි.

එහෙත් මේවා ක්ෂණිකව හදිසි ක‍්‍රියාවලියකින් කළ හැකි තත්ත්වයක් නැත.

ක‍්‍රමක‍්‍රමයෙන් සාදාචාරාත්මකව සහ ආචාරධර්ම පිළිපදිමින් තම තමන්ගේ ක්ෂේත‍්‍රවල ක‍්‍රියාත්මක වීම අවශ්‍යය. වෘත්තීය ආචාරධර්මවලට අනුකූලව අදාළ කටයුතු කරනවා නම් නීතිය පසුපස හඹායාමේ වුවමනාවක් නැත. යම් ආයතනයක් ගතහොත් එම ආයතනයේ පවත්වන නීතිරීති, රෙගුලාසි විනය සම්බන්ධ කාරණා යනාදියට අනුගතව කටයුතු කළ හැකිය.

එහෙත් බැලූබැල්මට පෙනෙන්නේ මේවා ඒ ආකාරයෙන් සිදු වන බව නොවේ. ඇතැම් ආයතන තම තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරනු පෙනෙන්නට තිබේ. මෙසේ වී තිබෙන්නේ ඇයි? තවත් ආයතන අයාලේ යන ස්වභාවයක් දකින්නට පුළුවන. ඇතැම් වෘත්තිකයන් කටයුතු කරන්නේ වෘත්තීය ආචාරධර්මවලට අනුගතවන ගැළපෙන ආකාරයටද යන බරපතළ ප‍්‍රශ්නය සමාජයේ මතුවන අවස්ථා බහුලය. ඇතැම් විට මේ අංශ පුද්ගලයන් ක‍්‍රියාත්මක වෙන්නේ පෞද්ගලිකත්වය පදනම් කරගෙනය. ආත්මාර්ථකාමීත්වය මුල් කර ගෙනය. විවිධ ක්ෂේත‍්‍රවලින් ප‍්‍රකට වන මේ තත්ත්වය සමාජයේ රටේ ඉදිරි ගමනට සුබදායක යැයි කිසිවකුටත් කීමට නොහැක.

රටේ වගකිව යුතු අංශවලදී පවා ප‍්‍රකට වන මේ තත්ත්වය විසඳා ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් මේ ප‍්‍රශ්න විසඳාගැනීමට සෑම කෙනකුගේම පාහේ අවධානය යොමුකිරීමක් නොමැති තත්ත්වයක් අද දැකගන්නට තිබීම බෙහෙවින්ම කනගාටුදායකය. නීතිරීතිවලට අනුව විනයගරුකව සදාචාර සම්පන්නව කටයුතු කරනවා යැයි කියන තැන්වල පවා ඇති බලතල, පවරා ගෙන තිබෙන බලතල අයුතු ලෙස භාවිත වන අවස්ථා, අසන්නට දකින්නට තිබේ.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම එක් උදාහරණයකි. පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී පවත්නා නීතිරීතිවලින් පිටතට ගොස් කටයුතු කරන අවස්ථා සහ අයථා ලෙස මුදල් ඉපැයීම් සම්බන්ධ කාරණා මාධ්‍යවලින් වාර්තා වී තිබේ. මෙසේ වී තිබෙන්නේ පවත්නා ආචාර ධර්ම නීතිරිතී යනාදියට ගරු නොකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. සෑම කෙනෙක්ම පාහේ මේ ආකාරයට කටයුතු කිරීමට යොමු වී තිබීම නිසා දේශපාලනඥයන්ට හෝ වෙනත් කණ්ඩායමකට ලඝු කොට සලකා ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැක.

සමාජය යහමඟට ගැනීමට නොහැකිය. ඒ නිසා මේ කාරණය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක් අවශ්‍යය. ඒ වගකීවයුත්තන්ගේ අවධානය මෙම කරුණ සම්බන්ධයෙන් යොමු කිරීම උදෙසාය. ඒ වගේම සමාජ දැනුවත්භාවය ඇති කිරීමට ද එවන් කතිකාවකින් තොරව හැකියාවක් නැත.

ඒ සමඟම ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහිද අවධානය යොමුකිරීමේ වුවමනාව තිබේ. එවන් අංශ කෙරෙහි වත්මන් සමාජය උනන්දුවක් දක්වනවාද යන ප‍්‍රශ්නය තිබේ. විශේෂයෙන්ම අපේ ළමා පරපුර යහමඟට යොමු කිරීම කෙරෙහි දක්වන උනන්දුව ප‍්‍රමාණවත්ව සිදුකෙරෙනවාද යන්න නැවතත් සිතා බැලිය යුතු තත්ත්වයට පත්ව තිබේ.

 

 

හොඳ මොකක්ද නරක මොකක්ද, සමාජයේ අනෙක් අයට හානියක් නොවන ආකාරයට තමන්ගේ ජීවිතය හැඩගසා ගන්නේ කෙසේද? යහපත් පුරුදු මොනවාද සමාජයේ ගරු කළ යුතු කරුණු කාරණා මොනවාද? සාරධර්ම ආචාරධර්ම මොනවාද යන්න ගැන ප‍්‍රමාණවත් පරිදි ළමයින්ට දැනුම ලබාදීම කෙරෙනවාද? ඇතැම්විට පවුල් පරිසරයෙන් පවා මේ කාරණය ඉවත් වී ඇති බව සමාජය දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට ඇති කාරණයකි.

සදාචාරාත්මක අංශය අපේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නැතුවා නොවේ. එයට අවශ්‍ය රාමුව පවා අපේ අධ්‍යාපනයේ තිබේ. එහෙත් එය ක‍්‍රියාත්මක වීමේ ස්වභාවය පිළිබඳව සෑහීමකට පත්වීමට හැකියාවක් පවතිනවාද මේ සම්බන්ධව සහ අරමුණු ඉටු කරගැනීමට බාධා මතුවන යම් යම් කරුණු තිබේ.

රටේ මතුව තිබෙන අවිනිශ්චිතතාව ප‍්‍රධානම කාරණයකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ද මේ කාරණය ගන්නට පුළුවන. අද තිබෙන ප‍්‍රධානම ගැටලූව වන්නේ ද මෙම අවිනිශ්චිතතාව බව කිවහැකිය. යම් රටක් තුළ මෙවන් අවිනිශ්චිතතාවක් මතු වූ විට රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන්වීම, ඉච්ඡාභංගත්වයක් ඇතිවීම විශාල වශයෙන් කලකිරීම මන්දෝත්සාහීවීමක් ඇති වීම ස්වාභාවිකය.

තමන්ට හොඳ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකිය යන ස්ථාවරයට ජනතාව පත්වුවහොත් නිර්මාණය වන්නේ බරපතළ ප‍්‍රශ්නයකි. සෑම අංශයකම ප‍්‍රබෝධමත්වීමක් අවශ්‍යය. රටක් ඉදිරියට මෙහෙය විය හැකිවන්නේ එම ප‍්‍රබෝධමත් වීම හරහාය. සෑම අංශයකම ධෛර්යවන්ත බවක් තිබිය යුතුය.

ඒ පසුබිම මේ රටේ සමාජයේ නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවාද? මේ ප‍්‍රබෝධමත් බව සමාජයේ නොමැති වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ජනතාව ඇල් මැරුණු ස්වභාවයකින් ධෛර්යයකින් තොරව කරන තත්ත්වයට පත් වී තිබේ. මෙවන් වාතාවරණයක් යටතේ රටක් බලාපොරොත්තු වන සංවර්ධනය, රටේ ප‍්‍රගමනය ළගාකරගැනීමේ හැකියාවක් නැත. මෙවන් අතිශය වැදගත් කරුණු සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් වූ අවධානයක් රටක් වශයෙන් යොමු කර තිබේ දැයි සිතා බැලිය යුතුය.

විවිධ කාලවල මෙවන් තත්ත්ව ඇති වනු ඇත. එහෙත් ඇතැම් කාලවල ඊට වඩා හාත්පසින්ම වෙනස් පසුබිම් මේ රටේ තිබුණි. 1950 ගණන්වලදී මේ රටේ සංස්කෘතික ප‍්‍රබෝධයක් ඇති වුණි. 1960 ගණන්වල මේ රටේ ග‍්‍රාමීය සංවර්ධනය පිළිබඳ පුනරුදයක් ඇති වුණි. තවත් කාලයක මේ රටේ කෘෂිකාර්මික ප‍්‍රබෝධයක් ඇති වුණි. මේ ආකාරයට යම් යම් කාලවල විවිධ අංශවලට තල්ලූ වී ඒ දේවල්වලට කැප වී ඒවා වැඩිදියුණු කරගැනීමට රටක් හැටියට ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රවණතාවක් හඳුනාගත හැකි විය. එහෙත් පසුගිය දශක කීපයේදී එවන් මහජන ප‍්‍රබෝධයක් මේ රටේ ඇති වූ ආකාරයක් හඳුනා ගත නොහැක.

මුදල් නාස්තිය දුෂණ වංචා නවතා නව පාලන තන්ත‍්‍රයක් ඇති කරගෙන නව ප‍්‍රබෝධයකින් නව දේශපාලන සංස්කෘතියක් ඇති කරගෙන රටේ ප‍්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යාමේ අරමුණක් තිබුණි. ජනවාර්ගික ප‍්‍රශ්න විසඳා ජාතික ඒකබද්ධතාවකින් රට නව සංවර්ධනය මාවතකට ගෙන යාමේ අරමුණෙන් ජනතාව 2015 දී කටයුතු කළ බව අමතක නොකළ යුතුය.

මුල් කාලයේදී යම් සුබවාදී තත්ත්වයක් පෙන්නුම් කළද පසුව එම අපේක්ෂා ක‍්‍රමයෙන් කඩා වැටෙන පසුබිමක් නිර්මාණය වී තිබේ. මේ නිසා විශාල වියවුල් සහගත තත්ත්වයක් කලකිරීමක් විශාල වශයෙන් ජනතාව මන්දෝත්සාහීවීමක් රටේ ඇති වී තිබේ. මෙය රටේ  අනාගත සංවර්ධනයට හොඳ තත්ත්වයක් නොවේ. මෙවන් පසුබිමකදී බුද්ධිමතුන් රට හැරයාමක් සිදුවන්නට පුළුවන. බුද්ධි ගලනය මේ රටේ ආර්ථික සමාජ සංවර්ධනයට විශාල වශයෙන් හානිකරය.

ඒ වගේම එය සංස්කෘතික පරිහානියට ද මඟවිවර කිරීමක් වනු ඇත. මේවා වළක්වා ගැනීමට සෑහෙන කාලයක් ගතවන්නට පුළුවන. බලාපොරොත්තු රහිත තත්ත්වයක් කලකිරුණු ස්වභාවයක් ඇති වූ විට එය රටට ඔරොත්තු නොදෙන මට්ටමේ පරිහානියකි. ඒ නිසා මේ සම්බන්ධයෙන් බරපතළ සමාජ කතිකාවක් වුවමනා කර තිබේ.

පවත්තා තත්ත්වයෙන් ගොඩ ඒමට කුමනාකාරයේ හෝ ක‍්‍රම සහ විධි සොයා ගත යුතුය. මේ අභියෝගය ජයගන්නා ආකාරය සම්බන්ධ කතිකාවක්ද අවශ්‍යය. රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය ද දෙදරීමකට ලක්ව තිබේ. ඒ ඔස්සේ තවත් අතුරු ප‍්‍රශ්න රාශීයක් සමාජ ගත වී ඇති බවද පැහැදිලිය. මේ සියල්ලේ එක්වීම හරහා බරපතළ ප‍්‍රශ්නයක් සමාජයේ නිර්මාණය කර ඇති බවද අමතක නොකළ යුතුය.

එහෙත් මේවා වගකිව යුතු අංශ ස්පර්ශ කරනවාද යන්න සොයා බැලීම වුවමනාය. ආපස්සට යනවාද නැති නම් වඩා සූක්ෂ්මව ප‍්‍රශ්න විසඳා ගැනීමට පියවර ගන්නවාද යන්න තීරණය කිරීම අවශ්‍යය. දෙපැත්තට බෙදී වාදවිවාද කරගනිමින් එකිනෙකාට බැණ ගනිමින් සිටිනවා මිස යථාර්ථයට මුහුණදීමට සූදානම් නැත.

මේ රටේ වංචා දුෂණ මැරකම් පිළිගන්නවාද නැද්ද යන්න ඇසිය යුතු ප‍්‍රධාන ප‍්‍රශ්නයයි. මෙහිදී ඒකමතික බවක් ඇති කරගැනීමේ හැකියාවක් තිබිය යුතුය. රටේ පාලන තන්ත‍්‍රය ප‍්‍රකෘතිමත් කරගත යුතුද නැද්ද යන ප‍්‍රශ්නයට දෙන පිළිතුර කුමක්ද? එයට දියහැක්කේ එක පිළිතුරකි. එනම් මේ රටේ පාලන තන්ත‍්‍රය ප‍්‍රකෘතිමත් කරගත යුතු බවය. බලය විමධ්‍ය ගතකිරීමේ ප‍්‍රශ්නය සම්බන්ධ මත රාශියකි. කාලාන්තරයක් තිස්සේ සියලූ දේ මධ්‍යම රජයෙන් තීරණය වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මධ්‍යම ආණ්ඩුවේ අයවැය මෙයට උදාහරණයකි. කෙසේ වුවත් බොහෝ දේ දැඩි ලෙස පරිහානියට පත්වන ආකාරයක් දැකගන්නට පුළුවන. එය එතරම් හොඳ ප‍්‍රවණතාවක් නොවේ. ඉදිකිරීම්, පවිත‍්‍රතාව, ලෙඩ රෝග, විවිධ යටිතල පහසුකම් නඩත්තුව යනාදියේදී පළාත් පාලන ආයතන වැදගත්ය. එහෙත් දැන් සෑහෙන කාලයක සිට පළාත් පාලන ආයතන අක‍්‍රීය වී තිබේ. මේ නිසා ප‍්‍රශ්න රාශීයක් ගොඩගැසී තිබේ. එහෙත් ඒවා සම්බන්ධයෙන් කතිකාවතක් ඇත්තේ නැත.

යම්යම් තැන්වල විවිධ අදහස් ප‍්‍රකාශ වුවද එය සමස්ත පාලන තන්ත‍්‍රයම ආවරණය වන කතිකාවක් නොවේ. පළාත් පාලන ආයතන, පළාත් සභා, මධ්‍යම ආණ්ඩුව යන මට්ටම් තුනම ශක්තිමත් කරගැනීම අවශ්‍යය. එසේ නැතිව සංවර්ධනයට ගමන් කළ නොහැක. ඒ ඒ ප‍්‍රදේශවල පවත්නා ශක්‍යතා හඳුනාගෙන නිසි ක‍්‍රමවේද යටතේ සංවර්ධනයට ගමන් කළ යුතුය. එහෙත් අද එවන් තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැත. එය අවධානයට ලක්ව නැති ප‍්‍රමුඛ ප‍්‍රශ්නයකි. ඒ නිසා අනාගතය උදෙසා සමස්ත පාලන තන්ත‍්‍රයම ප‍්‍රකෘතිමත් කර ගැනීමේ වුවමනාවක් මතුව තිබේ.

මෙය හුදු දේශපාලන කතිකාවකට වඩා එහා ගිය සමාජ කතිකාවක් විය යුතුය. වඩා හොඳ අනාගතයක් ගොඩ නගාගැනීමට අවශ්‍ය නම් එය දේශපාලන රාමුවක් තුළ පමණක් සාකච්ඡා කිරීමෙන් ඵලක් නැත. මේ කතිකාව වැඩිවැඩියෙන් සමාජය ස්පර්ශ කරන්නක් විය යුතුය. එනිසා සෑම අංශයක්ම ඒකාබද්ධ කරගෙන මේ තත්ත්වය වෙනස් කරගැනීමට දේශපාලන යොමු කිරීම මේ අවස්ථාවේ ප‍්‍රමුඛ අවශ්‍යතාවකි.

යහපාලන ස්ථාපිත කිරීමට එකතු වූ බලවේගවල ඒකමිතික බවක් අද වනවිට නැත. සාමූහිකත්වයක් ඔවුන් තුළ නැත. මෙවන් තත්ත්වයක් ඇති විය හැකි බව අපි එදා දුටුවෙමු. එක් ප‍්‍රවණතාවක් නොමැති වීම මෙම මත භේදාත්මක තත්ත්වයට හේතුවකි. ඒ නිසා පවතින සමාජ තත්ත්වය වෙනස් කරගැනීමට ගැටලූ විසඳා ගැනීමට මේ බලවේග තමන් සතු වගකීම තේරුම්ගෙන ඇතැයි සිතිය නොහැක. ඒ වගේම මේ පසුබිම වෙනස් කිරීමට ආණ්ඩුවට බලපෑම් කිරීමේ හැකියාවක් මේ අයට නැති බවද පැහැදිලිය. එය ද අප මේ මොහොතේ දැඩිව අවධානයට ගත යුතු කාරණයකි.