4_SLT_P17

 

හොරකම සමාජ ගැටලූ රාශියක් නිර්මාණය කරන වසංගතයකි. එය රටක පාලන අධිකාරියේ සිට සුළු සේවකයා දක්වා ව්‍යාප්ත වී ඇත. අද අපේ ඇස යොමුවුණේ රුපියල් 50 සිට ලක්‍ෂ ගණන් දක්වා සිදුවන ඉන්ධන ජාවාරම පිළිබඳව තොරතුරු සෙවීමටය.

 


එනම් ඉන්ධන ජාවාරමේ සුළමුල පුංචි තැනක සිට මහා පරිමාණයෙන් සිදුවන ආකාරය සොයා බැලීම අපේ අරමුණ විය.


මේ ඒ පිළිබඳව කළ විමසුමකි.


ගමෙන් නගරයට මිනිසුන් සංක‍්‍රමණය වෙන්නේ රැකියා අවස්ථා හොයාගෙනය. ඒ නිසාම අද කොළඹ නගරය විවිධ රැකියා අවස්ථා උපද්දන මධ්‍යස්ථානයක් බවට පත්වී ඇත. නිත්‍යානුකූල මෙන්ම නීතියට පටහැනි සමාජ ගැටලූ මතු කරන රැකියා අවස්ථා නිතරම මෙහි සැරිසරයි. හොර ඉන්ධන ජාවාරම එහි එක් පැතිකඩකි.


මුලින්ම අපි සුළු පරිමාණයෙන් සිදුවෙන හොර ඉන්ධන ජාවාරමේ සුළමුල සොයා බලමු.


දුර පළාත්වල සිට කොළඹ නගරයේ රැකියාවලට එන පිරිස් බොහොමයි. ඔවුන් උදේ පාන්දර හතරට පමණ නිවෙසින් පිටත් වී පෞද්ගලික කාර්යාල ප‍්‍රවාහන සේවයකින් රැකියාවලට පැමිණෙයි. මේ පිරිස බැසගියාට පසු බස් රියදුරුත් කොන්දොස්තරත් හවස් වනතුරු කොළඹ නගරයේ රැඳී සිටිය යුතුය. එම කාලයේදී වාහනයට ඉන්ධන ගසා ගැනීම, සර්විස් කිරීම් සියල්ල සිදුකිරීම රියදුරු මහතාගේ දෛනික රාජකාරියේ කොටසකි.


මෙහිදී විශේෂ වන්නේ ඉන්ධන පිරවුම්හල් සේවාවය. ඇතැම් රියැදුරු පිරිස් ඉන්ධන පිරවීමට තෝරාගත් විශේෂ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථාන කිහිපයක් ඇත. ඔවුහු නගරය මධ්‍යයේ ඇති ඉන්ධන සැපයුම්හල් පසුකරගෙන සුපුරුදු ඉන්ධන සැපයුම් ස්ථාන බලා ගමන් කරති.


ඒකටත් එක් හේතුවක් ඇත. එනම් එලෙස ඉන්ධන පිරවීමට විශේෂ පිරවුම්හල් සොයා යන රියදුරු මහතෙකුගෙන් ඒ ගැන විමසා බැලූවෙමු. මේ ඔහුගේ පිළිතුරය.


‘‘අපි තෙල් ලීටරයක් ගහන මුදලට වඩා රුපියල් 10ක් 15ක් ලාබෙට අපේ සුපුරුදු ෂෙඞ් එකෙන් තෙල් ගහගන්න පුළුවන්.


අපි දුර ගමන් සේවා බස් කරන අය නිසා එකපාර ෆුල් ටෑන්ක් ගහනවා. ඒකෙන් අපිට පොඩි වාසියක් තිබෙනවා. රුපියල් 10,000ක තෙල් ගැහුවොත් 3000ක වගේ ලාභයක් ගන්න පුළුවන්.’’


‘‘කොච්චර කල් ඉඳල ද ඔයාලා ඔය තෙල් බිස්නස් එක කරන්නේ.’’


‘‘දැන් අවුරුදු දහයකට වැඩියි. අපි විතරක් නෙවෙයි. මේ පැත්තේ බස් අයිතිකාරයෝ, මෝල් අයිතිකාරයෝ වගේ අයත් මේ ප්ලේස් එකෙන් තෙල් ගන්නවා.’’


වෙළෙඳ පොලේ පවතින මිලට වඩා තෙල් අඩුවට විකුණන මේ වගේ අප‍්‍රසිද්ධ ස්ථාන කොළඹ නගරය වටා ඇති පෑලියගොඩ, කැලණිය, දොම්පේ, කඩුවෙල ආදී ප‍්‍රදේශවල පිහිටා ඇත. ඔවුන්ට එලෙස අඩුමුදලට තෙල් අලවි කිරීමට නම් ඊටත් වඩා අඩු මුදලකට ඔවුන් තෙල් ලබාගත යුතුය. අපේ ඊළඟ අරමුණ වුණේ එසේ තෙල් සපයන්නේ කවුරුන්දැයි සොයා බැලීමය.


අපට ලැබුණු පුංචි හෝඩුවාවක් අණුව අපි පෑලියගොඩ පැත්තේ එක් ස්ථානයක නතර වුණෙමු. එම ස්ථානයේ රජයේ වාහන කීපයක් නවතා තිබුණ අතර එහි රාජ්‍ය ලාංජනය නම් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් විය. අපි බලාසිටියදීම ඔවුහු පැමිණි කාරණය ඉටුකරගෙන නික්ම ගියහ. මෙහි සුලමුල සොයා ගැනීමට නම් මේ කටයුත්තට දායකවන කවුරු හෝ පුද්ගලයකු සොයාගත යුතු වන බව අපට හැඟුණි.


උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නැතැයි කියන කතාවක් ඇත. අපිට අපේ වැඬේ කර ගැනීමට අවශ්‍ය පුද්ගලයා මුණගැසුණි. ඔහුගෙන් මේ හොර ඉන්ධන අලෙවිය ගැන බොහෝ තොරතුරු දැන ගත හැකි විය. මෙලෙස ව්‍යාජ ඉන්ධන අලෙවිය සිදුවන්නේ රජයේ වාහනවලින් බාන ඉන්ධනවල පිහිටෙනි. ඒ කර්මාන්තයේ නියැලෙන්නෝ එය ‘‘මල කපනවා’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වති. මේ ක‍්‍රියාවලියට දායක කර ගන්නේ දුර ගමන් යන වාහන හා වැඩපොළවල්වල වැඩකරන වාහනවලට අණුමත කරන ඉන්ධනය. එම අදාළ වාහන පදවන රියදුරෝ ගමන නිමකර ඉන්ධන ඉතිරි කරගෙන අලෙවි කරන්නේ මේ ආකාරයටය.


දුර ගමන් යන වාහන ධාවන සටහන් පොතෙහි සටහන් කරන්නේ වැඩිම දුරකින් යන ගමන් මාර්ගයය ඒ සඳහා අනුමත වෙන්නේ දුර ප‍්‍රමාණයට අනුව දහනය වෙන ඉන්ධන ප‍්‍රමාණයයි. ඒත් ඔවුන් ගමන් ගන්නේ යා හැකි කෙටිම මාර්ගයෙනි.


කඳුකර ප‍්‍රදේශයක් නම් පල්ලම් සහිත පාරක් තෝරා ගැනීම ඇතැම් රියැදුරන්ගේ සිරිතකි. එවිට ඔවුන්ට වාහන නියුට‍්‍රල් කරගෙන පැදවිය හැකිය. එසේ කළවිට ඞීසල් ඉතුරු වෙන බව ඔවුහු දනිති. ‘‘රනිං චාර්ට්’’ එක බැලන්ස් කරලා ඉතුරුවෙන තෙල් ටික ඔවුහු රහසිගතව ‘‘මල කපන’’ ස්ථානවලට විකුුණති.
මේ පිළිබඳව ආයතනයේ වගකිවයුතු සමහර නිලධාරින් දැනුවත්ය. ඒත් ඔවුහු එම රියදුරන්ලවා පෞද්ගලික හෝ ඔවුනගේ රාජකාරී කටයුතු කරවා ගැනීම හේතුකොට ගෙන නිහඬ පිළිවෙතක් අනුගමනය කරති.


මේ ක‍්‍රියාදාමය සඳහා කොළඹ අවට, පෑලියගොඩ, නුවර, හංවැල්ල, පූගොඩ වැනි ස්ථාන භාවිත කරයි. ඒ තෙල් ලබාගැනීමට බස් හිමියන් මෙන්ම ගරාජ අයිතිකරුවෝ, ලීමඩු අයිතිකරුවෝ හා ඞීසල්වලින් වැඩ කරන තවත් ආයතන හිමිකරුවෝ පැමිණෙති. මේ පිරිස හැමදාම මෙම තෙල් මිලදී ගන්න පිරිසකි. මෙය විශ්වාසය මත සිදුවෙන ජාවාරමක් කියන්නේ එබැවිනි.


මේ ජාවාරම පිළිබඳව තොරතුරු හොයාගෙන ගිය අපට ඉදිකිරීම් වැඩ බිමක වැඩකරන රියදුරු මහතෙකු හමුවිය. ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.
‘‘අපේ ගොඩක් අය මල කපන්නේ ලෑන්ඞ් වෙහිකල් වලින්. මෝටර් ගේ‍්‍රඩර්, එස් කැවේටර්, බැකෝ වගේ වාහන වලින් මල කපන්න ලේසියි.


‘‘අනිත් එක තමයි මේ වැඩවලට ජපන් ලොරි, ඉන්දියන් ලොරි කියන දෙකම භාවිත කරනවා.  ඉන්දියන් ඒවා ලෙඩ ගොඩවල්, ඒත් ජපන් බඩු එහෙම නෑ. හොඳට දුවන්න පුළුවන්. මේ ලොරි දෙවර්ගයටම දෙන්නේ එකම තෙල් ප‍්‍රමාණයක්. ඒ නිසා ජපන් ලොරිවල වැඩ කරන අයට මල කපන්න ලේසියි. එයාලා ඒකෙන් ලොකු ලාභයක් තියා ගන්නවා.’’


ඔහු ඒ කතාව පැවසුවේ වැඩබිම්වල දුවන වාහන පිළිබඳවය. මීට අමතරව වැඩබිම්වල මෙවැනි පැතිකඩකුත් ඇත. එනම් වැඩබිම්වල වැඩ කිරීම සඳහා ඞීසල්වලින් වැඩ කරන මැෂින් භාවිතයට ගනී. ඒවා එකදිගට පැය හත අටක් වැඩ කිරීම සිරිතය. දවසකට ඒ දුවන පැය ගාණට සරිලන ලෙස තෙල් භාවිත කරයි. ඒත් හදිසියේ ඇතිවන ආබාධයක් හෝ හයිඩ්‍රොලික් ලීක් එකක් ලෙස පවසමින් මේ මැෂින් වැඩ කරන එක නැවැත්වීම සිදුවේ. එක දවසක් එහෙම මැෂින් නවතා තබා ඉතුරු තෙල් ටික බාගැනීම මොවුන්ගේ සිරිතය. ඉන් පසු නැවත වැඩ ආරම්භ කරන්නේ අලූතෙන් තෙල් ගැසීමෙන් පසුවය. හොරට බාගන්නා තෙල් ටිකෙන් කරන්නෙත් මල කපන එකය.


මේ කරුණු දෙස බලන විට රියදුරු මහත්වරුන්ටත් කියන්නට කතාවක් ඇති බව වැටහුණි. ඒ නිසාම මේ ආකාරයට මලකපන රියැදුරු මහතෙකුගෙන් එසේ කිරීමට හේතු විමසුවෙමු. ඔහුගේ පිළිතුර වුණේ මේ වගේ කතාවකි.


‘‘අපි දුර පළාත්වල සයිට්වල වැඩ කරන්නේ උදේ හවස නැතුව බර වාහන එක්ක හැප්පෙන්නෙ. අපිටත් පවුල්වල ප‍්‍රශ්න තියෙනවා. අපි දවස් ගණන් මාස ගණන් පිට ගම්වලට ගිහින් මහන්සිවෙලා හම්බ කරන මිනිස්සු අපේ සමහර ඩ‍්‍රයිවර්ලා නම්  ඕටී බටා එක්ක මාසෙකට රුපියල් 30,000ක් 35,000ක් අතර පඩිගන්නවා. ඒත් සමහරු රුපියල් 10,000 ට 15,000ට වැඩ කරන්නේ. ළමයි ඉස්කෝලේ යවන්න  ඕනෑ. ගෙවල්වල මිනිස්සුන්ට කන්න අඳින්න දෙන්න  ඕනෑ. අද රුපියල් 1000 මාරුකරලා මොනවද මිස් ගන්න පුළුවන්. අපේවුන් ඔය විදියට මල කපලා ගන්න මුදල පෞද්ගලික වියදමට තියාගෙන පඩිය ගෙදරට යවනවා.


ඔහු ඔහුගේ කතාව නිමා කළේය. ඒත් සිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇත. හොරකම නීතියෙන් පිළිගත නොහැකි දෙයකි. එය වරදකි ඒත් ඔවුන් හොරකමට පුරුදුවෙන්නේ ඇයි කියන ප‍්‍රශ්නය පැහැදිලි ගැටලූවකි.


ඇතැම් පිරිස් තෙල් බවුසරවලින් තෙල් ඇදීම හෝ ප‍්‍රමිතියකින් තොර තෙල් සමඟ මිශ‍්‍රකර ආයතනවලට සැපයීම හොර රහසේ සිදු කරති. මෙය සංස්ථාවෙන් තෙල් මිලදී ගත් පසු සිදුවන අක‍්‍රමිකතාවයකි. ඒ පාඩුව දරා ගැනීමට සිදුවන්නේ තෙල් මිලදී ගන්නා ආයතන හිමියාටය.මේ නිසා තෙල් සංස්ථාවෙන් තෙල් මිලදී ගත් අවස්ථාවේ සිට ඉන්ධන පිරවුම්හලට හෝ තෙල් මිලදී ගන්නා අදාළ ආයතනයට තෙල් ලබාදීමේ ක‍්‍රියාවලිය දක්වා අතරතුර කාලයේ සිදුවිය හැකි අක‍්‍රමිකතා පිළිබඳව  තොරතුරු ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර ආරක්‍ෂක හා විමර්ශක මේජර් එම්.ආර්.එස්.පී. සමරසිංහ මහතාගෙන් විමසුවෙමු.
‘‘රජයේ ආයතන කියලා ගත්තම ආරක්‍ෂක හමුදාව, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංගම වගේ ආයතනවලටයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් නිකුත් කරන්නේ. අපි එම ආයතනවලට තෙල් නිකුත් කළාට පස්සේ ඒවායේ වගකීම තියෙන්නේ එයාලට. ඒ සම්බන්ධ ක‍්‍රියා කිරීමට එයාලටත් ක‍්‍රමවේදයක් තියෙනවා. ඒත් කුමන ක‍්‍රමවේදයක් තිබුණත් අක‍්‍රමිකතා වැළැක්වීම අසීරු කාරණයක්වෙලා තියෙනවා.


මෙවැනි දේ සම්බන්ධ තෙල් සංස්ථාවෙන් විමර්ශන කටයුතු කරන්නේ නැහැ. ඉන්ධන ගන්න කට්ටිය අතරමැදි ස්ථානවලදී තෙල් විකිණීම තමයි මේ සම්බන්ධ සිදුවන ලොකුම ප්‍රෝඩාව.


බලපත‍්‍රයක් නැතිව අනවසරයෙන් ඉන්ධන විකුණන එක තහනම් කාර්යක්. ඒ සම්බන්ධ පැමිණිලි ලැබුණම අපි හොයන්නේ එය මොන ආයතනයක මොන වාහනයකින්ද ගත්තේ කියන ක‍්‍රියාදාමයට වඩා එම තෙල් විකුණන්නේ කොහොමද කියන එක ගැනයි.


සංස්ථා විමර්ශන අංශයට අමතරව පසුගිය දවස්වල විශේෂ කාර්ය බළකායෙන් මේ සම්බන්ධ පර්යේෂණ කළා. එහිදී එයාලා අපේ නිලධාරීනුත් සම්බන්ධකරගෙන ඉඟුරුකඬේ ප‍්‍රදේශයේ යම් කිසි සිදුවීමක් සම්බන්ධ පරීක්‍ෂණ කරල පොලිසිය මාර්ගයෙන් උසාවියට යොමුකළා. ඒත් එවැනි සිදුවීම්වලට උසාවියෙන් රු. 5000ක වගේ පොඩි දඩයක් ගසා නිදහස් කිරීමයි සිදුවන්නේ.


එතකොට අක‍්‍රමිකතා කරපු පුද්ගලයෝ කරන්නේ දඩය ගෙවලා නිදහස්වෙලා ආයෙත් අර පරණ පුරුදු ව්‍යාපාරය කරගෙනයාම. මේක සංස්ථා විමර්ශන අංශයේම වගකීමක් නෙවෙයි. ඊට පොලිසියේ අවධානයත් යොමු විය යුතුයි.


අපට බලපාන ගැටලූවකුත් මේ ක‍්‍රියාවලියේ තියෙනවා. ඒ කියන්නේ අපෙන් ගන්න තෙල්, අතරමගදී වෙනත් ප‍්‍රමිතියකින් තොර තෙල්වලට මිශ‍්‍රකරලා අලෙවි කිරීමයි. එයින් යම් කිසි හානියක් වුණොත් ඒකේ බලපෑම අපිට තියෙනවා.


ඒ වගේම පම්ප් එකකින් තෙල් නිකුත් කිරීමේදී ඊට සම්මත ප‍්‍රමාණයක් තියෙනවා. එය අඩුවීමට හෝ වැඩිවීමට පුළුවන්. එතනින් අඩුවීමක් සිදුවෙනවා නම් එතන අක‍්‍රමිකතාවයක් සිදුවෙනවා. ඉන් පාඩුවෙන්නේ පාරිභෝගිකයාටයි. ඒ සම්බන්ධ පැමිණිලි ආවොත් අදාළ නිලධාරීන් ගිහින් පරීක්‍ෂණ කරනවා.

අක‍්‍රමිකතාවයක් කරලා කියලා හෙළි වුණොත් පොම්පය සීල්කරනවා. මේ පිළිබඳව පාරිභෝගිකයන් දැනුම්වත් වෙන්න  ඕනෑ. එයාල මිලදී ගන්න තෙල් ප‍්‍රමාණය ගැන සැකනම් එය ලීටරයකට දමා මැන පෙන්වීමට කියන්න පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා. ඒවගේම හැම පිරවුම් හලකම පැමිණිලි පොතක් තියෙනවා. ඒකේ පාරිභෝගික ගැටලූ ලියන්න පුළුවන්.


මීට අමතරව ඉන්ධන හොරකම නවත්වන්න අදාළ ආයතන වගේම ජනතාවත් දැනුම්වත් වෙන්න  ඕනෑ.


සංස්ථාවෙන් තෙල් පුරවා ගත්ත බවුසරය යන නියමිත පාරක් තියෙනවා. එය වෙනත් පාරකින් යනවා නම්, අදාළ නොමැති ස්ථානයක රඳවා තිබෙනවා නම් ඒ පිළිබඳව අපව දැනුම්වත් කිරීම සමාජයේ වගකීමක්. ඉන් අක‍්‍රමිකතා රැසක් වළක්වාගත හැකියි. එහෙම කියන්නේ පදනම් කීපයක් ඇතිව.සමහර රියදුරන් බවුසර අයිතිකරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපෙන් ට‍්‍රාන්ස්පෝට් එකක් අරගෙන තෙල් ටිකත් ඉතුරු කරලා විකුණා ගන්න අවස්ථා තියෙනවා.
අපිට ලැබෙන පැමිණිලි අනුව අපි ක‍්‍රියාත්මක වෙනවා.


සමහර ආයතනවල කළමනාකාරිත්වයේ දක්‍ෂතා මත මෙවැනි හොරකම් අල්ලාගෙන තිබෙනවා. මේ ඉන්ධන ජාවාරම නතර කරන්නනම්, ඉන්ධන හොරකම පිළිබඳව ඇති නීතිරීති සංශෝධනය විය යුතු වෙනවා. ඒ වගේම බලපත‍්‍ර කොන්දේසි නිවැරදිව සෑදිය යුතුයි. මේ කර්තව්‍යයට මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමත් වැදගත් වෙනවා. එය හොරකමට පහරක් වගේම පරිසර ආරක්‍ෂණයටත් වැදගත් පිළිතුරක්වෙයි. ඒ වගේම මේ වගේ වංචාවක් දුටුවොත්. 011-5455320 දුරකථන අංකයට දැනුම් දෙන්න.

M