ගැඹුරු මුහුදේ කිමිදෙමින් විවිධ පර්යේෂණවල නිරතවීම වෙහෙසකර කටයුත්තක් බව චතුර කුඩච්චි පවසයි. ඔහු පවසන්නේ අඩි 100 ක් 350 ක් ගැඹුරු මුහුදේ කිමිදීමේදී සම්පීඩිත වාතය රුධිරය සමග මිශ‍්‍ර නොවී රැඳී සිටීමට හැකි ක‍්‍රමවේදයන් පිළිබඳව දිගටම පර්යේෂණ කළ බවයි. මෙහිදී හීලියම් මිල අධික වීමත් නයිට‍්‍රජන් වායුව වෙනම ලබාගැනීම මිල අධික වීමත් නිසා අදාළ උපකරණ නිතර නිතර වෙනස් කරමින් සහ අවශ්‍යතාව අනුව සකසමින් අධික ගැඹුරේදී අනතුරට ලක්නොවී සිටීමට පුරුදු වූ බව ද ඔහු පවසයි. චතුර කුඩච්චි, සමන් මුදිත සහ කි‍්‍රෂාන් වේවැල්වල යන තිදෙනා බොහෝ අවස්ථාවල මෙවැනි පර්යේෂණවල වසර තුනක පමණ කාලයක් නියැළුණහ. ‘‘ මේ වගේ දේවල් කරමින් අපි වෘත්තීය කිමිදුම් කටයුතු සඳහා මනා පුහුණුවක් ලැබුවා. නිශ්චිත ශිල්පීය ක‍්‍රම පිළිබඳ මගපෙන්වන්නන් නොමැති වීම නිසාම අපිට සිදුවුණේ පර්යේෂණවලින්ම සාර්ථකත්වය ළ`ගාකැර ගැනීමට. මේ කාලයේදී අපි සොයා ගත්තා අධික ගැඹුරේදී පිහිණුම් කටයුතු කරද්දී ගොඩට නොපැමිණ දිය යටම තාවකාලික නවාතැන් පළක් නිර්මාණය කැර විවේක ගන්නා ආකාරය. එය අපේ කටයුතු සඳහා ඉතාමත් සාර්ථක සොයා ගැනීමක් වුණා. නිතර නිතර ගොඩට ඒම දැඩි වෙහෙසකර කටයුත්තක් නිසා වතුර යට කුඩා කුටියක විවේක ගැනීමෙන් අපිට දියයට සම්පූර්ණ කාර්යයම අවසන් කරලා ඒමට ගත් උත්සාහය අතිශයින්ම සාර්ථක වීම විශාල ජයග‍්‍රහණයක් වුණා. ඒ කාලේ කරපු ඒ දේවල් තමයි අද මගේ වෘත්තීය ජීවිතයට වැදගත් වන්නේ. ’’ චතුර කුඩච්චි එසේ කීවේය. සාමාන්‍ය ස්කුබා කිමිදුම් කටයුතු සඳහා භාවිත වන උපකරණ වෙනස් කොට දැන් කුඩච්චි භාවිත කරන්නේ තමන්ටම ආවේණික වූ උපකරණ විශේෂයකි. එය වඩාත් කාර්යක්ෂම සහ ආරක්ෂාකාරී බව හෙතෙම පවසයි. ‘‘ වාහන, යකඩ ගොඩවල්, එන්ජින් කෑලි අතපත ගාලා, ගලවලා මට හොඳ කාර්මික දැනුමක් තිබුණා. ඒ නිසා මම මේ කිමිදුම් උපකරණ ගලවලා විවිධ වෙනස්කම් කළා. දැන් මම භාවිත කරන්නේ මා විසින්ම වෙනස් කොට සාදන උපකරණ. ඒවා වඩාත් සාර්ථක බව මම අත්දැකීමෙන්ම දන්නවා. ’’ විනෝදයට මුහුද යට පරිසරයට බට මේ අපූරු මිනිසා කිමිදුම් උපකරණ සැකසීම ආරම්භ කළ අතරම ඔහු තමන්ට කිසිදා පාසලෙන් හෝ වෙනත් විද්‍යායතනයකින් හෝ අසන්නට දකින්නට ඉගෙන ගන්නට නොලැබුණු මුහුද යට සත්ත්ව හා ශාක සන්තතිය ගැන දීර්ඝ පර්යේෂණ සහ අධ්‍යයනයන්හි නිරතවන්නට වූවේය. විවිධ පතපොත පරිශීලනය කරමින් එමෙන්ම මුහුදේ කිමිදී අත්දැකීම් සහිත වැඩිහිටියන් සමග සාකච්ඡුා කරමින් ඔවුන්ගේ අත්දැකීම් අනුව කරගෙන ගිය මේ ගවේෂණයන් අතිශය චමත්කාරජනක බව කුඩච්චි සිහිපත් කරයි. ගාල්ල රූමස්සල සිට අහංගම දක්වා මුහුදු තීරයේ ඇතැම් කාලයන්හි බූවල්ලන් බහුලව දක්නට ලැබෙන බැවින් බූවල්ලන්ගේ හැසිරීම් පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ අපේක්ෂාවෙන් කුඩච්චි තම සගයන් වූ කි‍්‍රෂාන් සහ මියගිය සමන් මුදිත දෙදෙනා සමග මුහුදට බැස්සේ උණවටුනේ පුංචි වැල්ලෙනි. ‘‘ බූවල්ලා ගමන්කරන ආකාරයත් ඉතාමත්ම සුන්දරයි. බලාගෙන ඉන්න ලස්සනයි. ඒ වගේම බූවල්ලන් සැගවී සිටින ගුල් මුහුදේ තිබෙනවා. මේ ස්ථානවල බොහොම ආරක්ෂිතව බූවල්ලා සිටිනවා. එතැනින් ගමන් කරන වෙනත් සත්ත්වයන්ට බූවල්ලා මාරාන්තික ප‍්‍රහාර එල්ල කරනවා. අපි බූවල්ලන් බලන්න යන කාලේ ඒ ප‍්‍රදේශයේ බහුලව බූවල්ලන් ඉන්නවා. ’’ මුහුදු පත්ලට ඔවුන් යද්දී අවට පරිසරය මනාව ආලෝකවත්ව තිබිණි. ඒ හේතුවෙන් මුහුදු පත්ල හොඳින් දර්ශනය වූ බව ද ඔහු කීවේය. කුඩච්චි පවසන්නේ බූවල්ලකු තම ගුලෙන් ඉවත්ව පිහිනා ගියවිට තවත් බූවල්ලකු එහි රිංගාගන්නා බවයි. තමන් සැගවීම සඳහා තෝරාගත් ස්ථානයේ වර්ණයට ඔබින ආකාරයෙන් තමන්ගේ පැහැය වෙනස්කැර ගැනීමට බූවල්ලන් දක්වන්නේ අපූරු සමත්කමකි. බූවල්ලන් නැරඹීමට මුහුදට ගිය මේ තිදෙනා ඉදිරියට ගමන් කරමින් සිටියහ. තැන තැන සැගවී සිටි බූවල්ලන් කිහිපදෙනකු ද තවත් මුහුදු සත්ත්වයන් රැසක් ද මනාව නිරීක්ෂණය කළ ඔවුන් පිහිනා යන තරමක් විශාල බූවල්ලන් දෙදෙනකුද දැක ඇත. මේ අතර කුඩච්චි දුටුවේ තමන්ට තරමක් ඈතින් කළු පැහැති ගුලියක් වැනි දෙයක් මතුවන බවයි. එය ටිකෙන් ටික තමන් වෙත පැමිණෙන බව දුටු හෙතෙම වඩාත් පරීක්ෂාකාරී විය. මේ අතර කි‍්‍රෂාන් ක‍්‍රමයෙන් ඉදිරියට ඇදෙමින් සිටියි. ‘‘ ඒ ආවේ මහා විශාල බූවල්ලෙක්. මම තවමත් ඒ තරම් විශාල බූවල්ලෙක් දැකල නැහැ. ඉස්සර සුරංගනා කතා වල නැව් පෙරළන බූවල්ලන් ගැන කියවලා තිබුණත් මම හිතුවා ඒ වගේ ලොකු බූවල්ලන් මුහුදේ නැතුව ඇති කියලා. මොකද අපිට දකින්න ලැබෙන බූවල්ලන් පුංචි සතුන්. නමුත් මේ අපි ඉදිරියට එන්නේ අති විශාල බූවල්ලෙක්. එක අඩුවක් මීටර තුනක් පමණ දිගයි. මට එකවිටම මතක් වුණේ පොඩිකාලේ කියවපු සුරංගනා කතා වල හිටපු දැවැන්ත බූවල්ලන්. ’’ මේ වනවිට කි‍්‍රෂාන් සිටියේ කුඩච්චිට වඩා මදක් ඉදිරියෙනි. බූවල්ලා ක‍්‍රමයෙන් ඔහුට සමීප වෙමින් සිටී. බූවල්ලා දුටු කි‍්‍රෂාන් කුඩච්චි දෙස බලයි. ‘‘ මම අතින් සංඥා කළා විදින්න විදින්න කියලා. ඒත් එයා විදින්නේ නැහැ. බැහැ කියනවා. කි‍්‍රෂාන් අතේ මසුන්ට විදින තුවක්කුවක් තිබුණා. ඔහු විදින්න කැමැත්තක් දැක්වූයේ නැහැ. අවසානයේ මම විද්දා. මේ වෙලාවේ අපි හීනෙකින්වත් නොහිතපු දෙයක් වුණේ. එකපාරටම බූවල්ලා කළු පාට දැලි පිටකළා. මුළු ප‍්‍රදේශයම අදුරු වලාවකින් වැහිලා ගියා වගේ. ඒ සමගම බූවල්ලා පොළොව කළඹා ගියා. අපිට කිසිම දෙයක් පෙනුනේ නැහැ. නමුත් අපි දන්නවා මම විදපු කෙළවර තියෙන්නේ බූවල්ලාගේ ශරීරයේ ඇමිණිලා. ටික වෙලාවකින් අපිට පේනවා බූවල්ලා තමන්ගේ ශරීරයේ ඇමිණුනු කටුව ගලවා දැමීමට මෙන් අඩු විහිදමින් දගලනවා. ටික වේලාවකින් අපි දැක්කා එයාගේ ඇගේ ඇමිණී තිබෙන ඊතලය අල්ලා අඩුවලින් එය අඹරා දැමුවා. නූල් හතරක් පහක් ඝනකම ඇති කම්බිය බූවල්ලා පුංචි කෝටුවක් වගේ අඹරලා දැම්මේ අපිව පුදුමයට පත්කරමින්. මේ වගේ විශාල බූවල්ලෙකුට අහුවුනානම් අපිට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ.’’ තම ඇගේ ඇමිණුනූ ඊතලය සුනුවිසුනු කරදැමූ බූවල්ලා වේගයෙන් පිහිනාගොස් ගළකට ඇලී නැවතුනු බව කුඩච්චි කීවේය. වරක් කල්මුණේ ප‍්‍රදේශයේ කිමිදුම් කටයුතුවල නිරතවූ කුඩච්චි සහ සගයන් දුටුවේ වෙනදා එම ප‍්‍රදේශයේ මුහුදේ දක්නට නොලැබෙන දර්ශනයකි. පැහැදිලි හිරු එළිය පොළොවට පතිතවෙද්දී දක්නට ලැබෙන්නේ මුහුදු පත්ලේ වාහන ගමන්කිරීමෙන් ඇතිවූ රෝද සටහන් කිහිපයකි. මෙය ඔවුන්ට ඇදහිය නොහැකි දෙයකි. ‘‘ කවදාවත් මුහුදේ මේ වගේ දෙයක් අපි දැකල නැහැ. හොඳට රෝද පාරවල් මුහුදු පත්ලේ සළකුණු වෙලා තියෙනවා. එකපාරටම හිතෙන්නේ පිටසක්වල ජීවීන්ගේ වැඩක් කියලා. නමුත් එහෙම දෙයක් වෙන්න බැහැ කියලා මට විශ්වාසයක් තිබුණා. ඇතැම් විට මේ ප‍්‍රදේශයට කවදාවත් බැහැලා නැති අයෙක් මෙය දැක්කනම් කියාවි පරණ පාරක් මුහුදට යටවෙලා කියා. ඒ තරමටම මේ සළකුණු හොඳින් පේනවා. ’’ කුඩච්චි ඇතුළු පිරිස එකවරම මුහුදේ ගැඹුරට ගියේ නැත. අඩි කිහිපයක් යටට කිමිදී එම ජල මට්ටම රඳවාගනිමින් පිහිනා යද්දී ඔවුන්ට දැණුනේ වේගයෙන් ගලායන දියවැලක් මුහුදු පත්ලේ ඇති බවයි. ‘‘ මෙන්න ටිකකින් අපිට පේනවා අපිට වඩා යටින් ගමන් කරන දිය වැල නිසා මුහුදු පතුලේ තියෙන දැවැන්ත ගල් හෙමින් හෙමින් රෝල්වෙවී යන හැටි. දියවැල ඒ තරමට ශක්තිමත් විශාල ගල් මේ දියවැලට හසුවී රෝල් වීම නිසා තමයි අර මාර්ග සළකුණු ඇතිවෙලා තියෙන්නේ. ’’ ටොන් හතරක් පහක් බරැුති ගල් මේ විදියට රෝල් කරන්න පුළුවන් තරම් බලවත් දියවැල් නිසා මුහුදු ගමන ඉතාමත් බිහිසුණුයි. මුහුදේ කිමිදීමේදී අවශ්‍යවන්නේ එය හොඳින් තේරුම්ගෙන කටයුතු කිරීම. ලබන සතියේ. : ඇමෙරිකා යුද කඳවුරක් පිහිටි ඉන්දියන් සාගරයේ අභිරහස් දූපතට ගිය බිහිසුණු ගමන.
සජීව විජේවීර
මියගිය සමන් මුදිත කි‍්‍රෂාන් වේවැල්වල චතුර කුඩච්චි