එල්ලූම් ගහට ගිය මිනිසකුගේ මිනිය ගොඩගෙන අධිකරණ වෛද්‍යවරයකු විසින් නැවත පරීක්‍ෂණයකට ලක් කෙරුණු අවස්ථාවක් එල්ලූම් ගහේ ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ එක් වතාවක් පමණි. ඒ මරුසිරාගේ මළ සිරුරය. මරු සිරා යනු කවරකුදැයි විස්තර වාසගම් අවශ්‍ය වන්නේ නැත. ”සිරිපාල හා රන් මැණිකා” චිත‍්‍රපටයත් ”මරු සිරා” චිත‍්‍රපටයත් නිර්මාණය වූයේ ඔහු නිසාය. එල්ලූම් ගහට ගිය මිනිසකු වෙනුවෙන් එදා මෙදා තුර මුළු මහත් සමාජය පතුළෙන්ම විරෝධයට අමතරව කම්පනයක් ද ඇවිළී ගියානම් ඒ ඔහු වෙනුවෙන්මය. ගරු ගාම්භීර අධිකරණය තුළ තමා නමින් මරණ වරෙන්තුව ලියැවෙද්දීත් රන් මැණිකා සමග ඈත රජරට වන පෙතේ පෙම් සුව විඳිමින් සිටියේ ඔහුය. තමා එල්ලූම් ගස් යවා මළ පසු ඒ මරණය සිදුවූයේ කෙසේදැයි සොයා බැලීමට රජය විසින් විශේෂ පරීක්‍ෂණ කොමිසමක් පත් කරනු ලැබුවේද ඔහු වෙනුවෙනි. මරුසිරා එල්ලූම් ගස් ගිය මිනිසුන් අතර සුවිශේෂී වන්නේ එහෙයිනි. 1975 වසරේ අගෝස්තු 05 වැනිදා මරු සිරා එල්ලා මැරුවේය. එදා සිට අද දක්වා ඒ මරු සිරා ගැන නොනිමි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ ඔහුගේ මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් විවිධ කතා නිර්මාණය වී ඇති හෙයිනි. ඒ නිර්මාතෘවරිය මරු සිරා පණ මෙන් ආදරය කළ ඔහුගේ බිරිඳ රන් මැණිකාය. ”මගේ මිනිහා එල්ලූවේ මැරුවාට පස්සෙයි...” රන්මැණිකා මහනුවර නගරය දෙවනත් කරමින් කෑ ගැසුවාය. එය සිදුවිය හැකිද? එහෙත් අවසානයේ ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් කිරීමට එවකට පැවැති රජයට සිදුවිය. ඒ විධිමත් පරීක්‍ෂණය කිරීමට බාර වූයේ එවකට මහා භාරකාර තැන්පත් මහින්ද ඇහැලේපොල මහතාටය. බන්ධනාගාර වාර්තාවන්ට අනුව මරු සිරා යනු ”මරණ දඬුවමට අසීමිත බියකින් පසු වූවෙකි”. කවර මදාවිකම් කෙරුවද එල්ලූම් ගහට නියමවීමත් සමග ඔහුගේ මනස සැලෙන්නට පටන් ගත්තේය. ඔහුගේ මානසිකත්වය කෙතෙක් පිරිහී තිබුණේද යත් ඔහුගේ හැසිරීම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගියේය. ඔහු අතිශයින්ම රළු ප‍්‍රචණ්ඩ හැසිරීමක නියැලූණේය. තත්ත්වය කොතෙක් උග‍්‍ර අතට පත්වීද යත් ඔහුගේ හැසිරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඔහු යොමු කිරීමට සිදුවිය. ඔහුගේ හැසිරීම් නිරීක්‍ෂණය කළ ඔහුගේ මානසික මට්ටම නිරීක්‍ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ඔහු දරුණු ”මානසික ව්‍යාධියකට” ගොදුරු වී සිටින බවකි. ළඟ පෙනෙන මරණය හමුවේ ඔහුගේ මනසේ කඩා වැටීමේ ප‍්‍රමාණය එමගින් වටහාගත හැකිය. මරු සිරා පරීක්‍ෂාවට ලක් කළ බන්ධනාගාර වෛද්‍යවරයා ඔහුට ඖෂධ වර්ග දෙකක් නියම කළේය. එම ඖෂධ වර්ග දෙක වූයේ ඛ්ට්රජඑසක සහ ීච්රසබ යන නිදි පෙති වර්ග වේ. මරණයෙන් ගැලවී යන මගක් නොපෙනුණ කල්හි මරුසිරා ඒ මරණය අමතක කර දැමීමේ පහසු මග ලෙස මෙම ඖෂධ වර්ග දෙක යොදා ගත් බවක් ඒ ඉතිහාසයේ සාක්‍ෂිවලින් පෙනේ. බන්ධනාගාරයේ සාමාන්‍ය සම්ප‍්‍රදායට අනුව ඖෂධ වර්ග හා ඒවා පානය කිරීමට වතුර සිරකරුට ලබාදෙන්නේ බන්ධනාගාර වෛද්‍යවරයා විසින්මය. සිරකරු ඒවා පානය කිරීමෙන් පසු නික්මයාම වෛද්‍යවරයාගේ සිරිත මෙන්ම රාජකාරියේ ද කොටසකි. මේ වනවිට බන්ධනාගාර වෛද්‍යවරයා හා මරු සිරා අතර ඉතා කුළුපග මිත‍්‍රත්වයක් වර්ධනය වී තිබේ. ඒ මිත‍්‍රත්වය දළුලා වැඩුණේ දෙදෙනා අතර පැවති විශ්වාසයක් ද තහවුරු කරමිනි. ඒ විශ්වාසය කෙතෙක් ද යත් මරු සිරා ඖෂධ වර්ග පානය කරනතුරු නොසිට එතැනින් නික්ම යාම වෛද්‍යවරයා සිරිතක් කර ගත්තේය. එය මරුසිරාට ලැබුණු අනගිතම අවස්ථාවක් විය. කල් ඇතිව ඇතිකරගත් තීරණයක් නිසා දැයි කිසිදාක හෙළිදරව් නොවුණ ද මරු සිරා ඒ ඖෂධ වර්ග හෙවත් නිදි පෙති පානය නොකර රහසිගතව තබා ගත්තේය. දිනෙන් දින ඒ නිදිපෙති තොගය උස් මහත් වී ගියේය. වෛද්‍යවරයා ඒ බවක් දැන සිටියේ නැත. 1975 වසරේ අගෝස්තු 04 වැනිදා රාත‍්‍රිය උදා විය. ඊට පසු දින මරු සිරා එල්ලා මැරීමේ දිනය විය. වෛද්‍ය නිගමනයට අනුව ඔහුට එදින රාත‍්‍රියේ ”ජින්” නමැති මත්බීම පානය කිරීමට ලබාදී තිබේ. බන්ධනාගාර නිලධාරීන් සමග සුහද කතාබහක යෙදෙමින් ඔහු ජින් පානය කර තිබේ. එදින ඒ මොහොතේ ඔහු අධික ලෙස සිගරැුට් ද පානය කර තිබේ. එතෙක් කලක් රහසිගතව ගබඩා කරගෙන සිටි නිදි පෙති ඔහු කිසිවකුට හෝ නොදැනෙන්නට පානය කර තිබේ. ඒ ආනුභාවයෙන් අලූයම 2.30 ට පමණ ඔහු තද නින්දට වැටී තිබේ. ඒ ඔහුගේ අවසන් නින්ද විය. ඒ මොහොතේ ඔහු හැඳ සිටියේ ඇඳ ඇතිරිල්ලකි. බන්ධනාගාර නියමයන්ට අනුව එල්ලා මරාදැමීමට නියමිත සිරකරුට ආගමික වතාවත්වලට ඉඩ ලබා දේ. ඒ අනුව මරු සිරාට පන්සිල් දීමට ස්වාමීන් වහන්සේ නමක්ද බන්ධනාගාරයට වැඩම කළහ. එහෙත් මරු සිරා තද නින්දේය. ඔහු අවදි කිරීමට බන්ධනාගාර නිලධාරීන් ගත් සියලූ උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් අපතේ ගියේය. පෙරවරු 7 ට ද මරු සිරා තද නින්දේය. රාජ නියෝගය අනුව ඔහු එල්ලා මරා දැමිය යුතුය. එහෙත් ඔහු නින්දෙන් අවදි කිරීමට සමත් ජගතෙක් බන්ධනාගාරයේ නොසිටියේය. 7.15 ට පමණ බන්ධනාගාර වෛද්‍යවරයාද එතැනට පැමිණියේය. සියලූ ශිල්ප ශාස්ත‍්‍ර පෑවද මරු සිරා නින්දෙන් අවදි කිරීමට ඔහු සමත් වූයේ නැත. මරු සිරාගේ නින්ද බන්ධනාගාරය කළඹවමින් තිබිණි. එතෙක් පැවැති නියමයන් හා සම්ප‍්‍රදායන් කණපිට හැරෙමින් තිබිණි. බනධනාගාර නියමන්යට අනුව එල්ලා මරා දමන සිරකරුට එල්ලීමට නියමිත ස්ථානයේ කාමරය වෙන් වේ. එයටම අදළ සම්ප‍්‍රදායට අනුව එම සිර මැදිරියෙහි වෙනත් සිරකරුවකු රඳවා නොතබයි. එම සිර මැදිරිය හොඳින් සෝදා පිරිසිදු කර ගබඩාවෙන් ගෙනා අලූත්ම කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි හා පොරවන රෙදි ලබාදිය යුතුය. වැසිකිළි පෝච්චියද අලූත් විය යුතුය. කෑම බීම සඳහා අලූත්ම පිඟන් කෝප්පද ලබාදිය යුතුය. කලින් දා හිමිදිරියේ සිරකරුට ව්‍යායාම් කිරීමට අවස්ථාව ලබා දේ. අර සුපිරි සිර මැදිරියට සිරකරු රැගෙන යන්නේ ඉන් පසුවය. මරු සිරාගේ නින්ද මේ සියල්ලම අවුල් කරමින් තිබිණි. ඔහු මළාක් මෙන් මර නින්දේය. මරු සිරා එල්ලා මරා දැමීමේ මොහොතද එළැඹෙමින් තිබේ. එහෙත් ඔහු අවදි කිරීමට හැකි කිසිවෙක් නොවූහ. බන්ධනාගාර අධිකාරිවරයා මෙන්ම සහකාර අධිකාරිවරයාද එතැනට පැමිණියහ. එහෙත් කිසිවකුට කිසිවක් කිරීමට ඉඩක් ඉතිරි වී නැත. එල්ලූම් ගහට යවන සිරකරුට කලිසම හා කමිසය එකට සිටින සේ මැසූ විශේෂිත ඇඳුමක් ඇන්දවිය යුතුය. අනතුරුව ඉණට පටියක් දමා අත්වලට හා පාදවලට මාංචු දමනු ලැබේ. එල්ලා මරා දැමීමට නියමිත සිරකරු අළුගෝසුවන්ට බාර වන්නේ ඉන් අනතුරුවය. බන්ධනාගාර නියමයන්ට අනුව අත්වලට හා පාදවලට මාංචු දැමූ සිරකරු අළුගෝසුවන් සමග තමා එල්ලා මරා දැමීමට නියමිත ස්ථානයට යා යුතුය. ඒ පා ගමනෙනි. පාදවලට මාංචු දමනු ලබන්නේ එසේ ඇවිදගෙන යා හැකි ආකාරයටය. එහෙත් මරුසිරා මර නින්දේය. සම්ප‍්‍රදායට එරෙහිව යමින් මරු සිරා එල්ලා මරා දැමීමට අළුගෝසුවෝ අකමැත්ත පළ කළහ. ඔවුන් කියා සිටියේ එල්ලූම් ගහ ළඟට රැුගෙන ගොස් දෙන්නේ නම් පමණක් තොණ්ඩුව දැමිය හැකි බවය. බන්ධනාගාරය ඇවිස්සුණු කඩිගුලක් සේය. මරු සිරා නින්දෙන් අවදිකර ගැනීමට ගත් සියලූ උත්සාහයන් අසාර්ථක වෙමින් තිබේ. නියමිත වේලාවටම ඔහු එල්ලා මරා දැමිය යුතුය. බන්ධනාගාර නිලධාරීහු තීරණයක් ගත්හ. ගිලන් මැස්සක් මත මරු සිරා ඔසොවා තැබූහ. එල්ලූම් ගසේ පියන් විවරව පහළට වැටෙන කොටසේ වැතිර සිටින අයුරින්ම ඔහු තැබූහ. අළුගෝසුවෝ තමන්ගේ රාජකාරිය ආරම්භ කළහ. වැතිර සිටින මරු සිරාගේ ගෙලට තොණ්ඩුව වැටිණි. එල්ලූම් ගහේ ලීවරය ඇදුණි. දෙපියන විවිර විය. වැතිර සිටි ඉරියව්වෙන්ම මරු සිරා පහළට වැටිණි. බන්ධනාගාර වෛද්‍යවරයා පහළට බැස්සේය. ඔහු මරුසිරා පරීක්‍ෂා කර බැලූවේයෙ. අනතුරුව ඔහු වාර්තාවක් නිකුත් කළේය. එම වාර්තාවේ සඳහන් වූයේ මරු සිරාගේ ප‍්‍රාණය නිරුද්ධ වීමට හරියටම විනාඩි 18 ක් ගත වූ බවය. ”ඊට පස්සේ මොකද වුණේ.” ඒ කතාව ලබන සතියට (පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතාට විශේෂ ස්තූතිය)
සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් යන්ති සමරකෝන්