IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


මාර්ගගත පනත යක්ෂයෙක්ද? දෙවියෙක්ද?

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය’ නමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මාධ්‍ය විෂය කේෂ්ත්‍රයේත් සමාජ- දේශපාලන - ආර්ථික හා සංස්කෘතික අංශ තුළත් විද්වත් පර්ෂද තුළත් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් මෙම පනත සම්බන්ධව යම් කතිකාවක් ගොඩනැගෙමින් තිබෙන බව පෙනේ. මූලිකවම මෙය සමස්ත සමාජයට සංවේදී විෂය ක්ෂේත්‍රයක් නියෝජනය කරන පනතකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් ප්‍රබල සාකච්ඡාවක් නිර්මාණය වී ඇති සැටියක් දැකිය හැකිය.

රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් වැනි මාධ්‍යවල මාධ්‍ය භාවිතය ඉක්මවා යමින් සීමාරහිත ලෙස සමාජ මාධ්‍යයේ සිදුවූ වර්ධනයත් එහි හොඳ නරක බලපෑමත් සැලකිල්ලට ගෙන සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු යන මතය මීට වසර කීපයකට පෙර සිට ලෝකයේ බොහෝ රටවල ඇතිවූ අදහසකි.  යුරෝපා සංගමය ප්‍රමුඛ බොහෝ රටවල්  ඊට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස්  කොට ඇති බවද පැහැදිලිය. එහෙත් ඒ තුළද යම් යම් ගැටලු සහගත බවක් ඇතැම් විට දැකිය හැකි වුවත් එය වෙනම කරුණකි.

දැන් අපේ රටේ කතා බහට ලක්වන ඔන්ලයින් පනත සම්බන්ධව අවධානය යොමු කරමු. එය මෙරට සාකච්ඡාවට නැඟෙන්නේ වෙනත් බොහෝ රටවලට වඩා තරමක කාලයක් ගතවූ පසුය. එහෙත් මාධ්‍ය අවකාශය පාලනය කිරීම සම්බන්ධ යම් යම් මැදිහත්වීම් මීට පෙර සිටම ක්‍රියාත්මක වූ ආකාරයක් දැකිය දැකිය. 1990 දී ඉදිරිපත් වූ විකාශන කොමිෂන් සභා පනත, 1997 දී ඉදිරිපත් වූ විකාශන අධිකාරි පනන, 2007 දී සාකච්ඡාවට නැගුණු ප්‍රවෘත්ති මාධ්‍ය දන්ත පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත, 2018 වනවිට මතු වූ විකාශන අධිකාරි ස්වාධීන කොමිෂන් සභා පනන, 2023 දී අවධානයට යොමු වූ විද්‍යුත් මාධ්‍ය  විකාශන අධිකාරිය කෙටුම්පත් වාර්තාව ආදිය ඒ අතර වේ. එහෙත් මේ සියල්ල යම් කිසි ආකාරයකින් අසාර්ථක විය. දැන් අප මේ සාකච්ඡා කරන ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය’ පනත් කෙටුම්පත සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. එය මේ වනවිට පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන මත දෙකක් සමාජය තුළ සාකච්ඡාවට නැඟේ.

ඉන් එකක් නම් නව මාධ්‍ය නැතහොත් සමාජ මාධ්‍ය යම්කිසි ආකාරයකට යක්ෂාවේෂකරණයකට ලක්කොට තිබීමය. එයින් පිටතට පෙන්වන්නේ මෙම නව මාධ්‍ය රටේ සදාචාරයට, සංස්කෘතියට, රාජ්‍යයට, භාෂාවට විශාල හානියක් ඇති කරන්නක් ලෙස අර්ථ ගැන්වීමය. සතුරු විනාශකාරී මාධ්‍යයක් ලෙස පෙන්වීමට සැලැස්වීමය. අනෙක් කරුණ නම් සමාජ මාධ්‍ය යනු මාධ්‍ය නිදහසේ උපරිම අවස්ථාවක්ය යන සාකච්ඡාවය. සමාජ මාධ්‍යයේ පුළුල් වීම මහත් ජයග්‍රහණයක්ය, පුද්ගල නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති අවකාශයක්ය යන අදහස ඒ සාකච්ඡාව තුළ වේ. ආර්ථිකයේ සිට දේශපාලනය දක්වාත් මුළුතැන්ගෙයි සිට අභ්‍යවකාශය දක්වාත් ප්‍රයෝජනයක් ගත හැකි නිදහස් මාධ්‍යයක් ලෙස එය වර්ධනය වී ඇති බව පෙනේ. මේ මත දෙකම ගොඩනැඟී ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත කේන්ද්‍ර කොට ගෙනය.

මානව සමාජයේ සමාජ ආර්ථික ක්ෂේත්‍ර සම්බන්ධ විවිධ අවස්ථාවලදී නව තාක්ෂණික විප්ලවවල ප්‍රතිඵලයක් ලෙස එක් එක් යුගවල වර්ධනය වූ මාධ්‍ය හා සන්නිවේදන යාන්ත්‍රණ ඊට පෙර තිබූ මාධ්‍ය යාන්ත්‍රණයට අභියෝගයක් වී තිබේ. ලෝක ඉතිහාසය පරීක්ෂා කිරීමේදී ද එය වඩාත් පැහැදිලිය. ඒ නිසාම  සෑම අවස්ථාවකම පාහේ සිදුවූයේ එම අභියෝගාත්මක නව මාධ්‍ය දෙස වපර ඇසකින් බැලීමය. පැරැණි මාධ්‍ය යාන්ත්‍රණය මෙහෙය වූ දේශපාලන සමාජ සංස්කෘතික අධිකාරිය මේ නව මාධ්‍ය දෙස බැලුයේ නව මාධ්‍ය තර්ජනයක් ලෙසය. සිව්වැනි කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස මතුවූ මෙම සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය ප්‍රවණතා දෙස බැලෙන්නේද ඒ දෘෂ්ටියෙනි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගෙනෙන්නේ මෙබඳු අවස්ථාවකය. නව මාධ්‍යයේ සංස්කෘතික, සමාජ, දේශපාලනික මැදිහත්වීම කිසියම් නියාමනයකට ලක්විය යුතු බව අපගේද විශ්වාසයයි. ඒ සම්බන්ධ තර්කයක් නොමැත. එහෙත් මෙහිදී පැන නගින ප්‍රශ්නය එය නොවේ. මේ නියාමනය කුමන ආකාරයකට සිදු කළේද යන්නය මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු කාරණා වන්නේ. මෙම පනත ගෙන ඒමට පෙර එහි කාලීන අවශ්‍යතාව පිළිබඳ යම් කතිකාවක් සමාජය තුළ ඇති කළ යුතුව තිබුණි. එය ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කළ පිළිවෙත වේ. 21 වැනි ශතවර්ෂයේ නව සන්නිවේදන හා මාධ්‍ය අවකාශයක් මතු වී තිබේය. එහි විශේෂත්වය මේය, එහි ශක්‍යතා හා අහිතකර බලපෑම් මේවා යැයි තුලනාත්මක කතිකාවක් සමාජය තුළ ඇති කිරීමට ක්‍රියා කළ යුතුව තිබුණි. එහෙත් එය සිදු වූයේ නැත. කතිකාව වෙනුවට සිදුවූයේ විවිධ සමාජ දේශපාලන කණ්ඩායම්  මෙම මාධ්‍ය පාවිච්චි කිරීම පමණි. පනත සම්මත කිරීමට පෙර එබඳු තුලනාත්මක කතිකාවක් සමාජයෙහි ඇති නොවීම බරපතළ අඩුපාඩුවක් බව අපි විශ්වාස කරමු.

නව මාධ්‍ය සම්බන්ධව නියාමන පද්ධතියක් ඇති කිරීමේදී කළ යුතුව තිබුණේ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්ව මේ සඳහා සම්බන්ධ කොට ගැනීමය. ඒත් එවැන්නක් සිදුවූ වගක් නොපෙනේ. ඒ වෙනුවට කළේ මෙම පාර්ශ්ව මඟ හැරීමය. කරුණු සඟවා කටයුතු කිරීමය. සැලසුම් සහගතව සකස් කොට එක්වරම පාර්ලිමේන්තුවට ගෙන ඒමය. මෙබඳු සංවේදී විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් කරුණු සඟවා කටයුතු කිරීමෙන් කිසියම් කලබැගෑනියක් ඇතිවීම වැළැක්විය හැකි නොවේ. පනත සම්මත කිරීමට පෙර අදාළ සියලු පාර්ශ්වවල අදහස් විමසා බලා විනිවිද භාවයකින් යුක්තව කටයුතු කළේ නම් මෙම පනත සමාජ  එකඟතාවක් ඇතිව තවදුරටත් ඉදිරියට යාමට ඉඩ කඩ තිබුණි.

නව මාධ්‍ය කිසි කෙනකුට ප්‍රතික්ෂේප කළ හැකි එකක් නොවේ. එය පෙර තිබුණාටත් වඩා වේගවත්, ප්‍රගතිශීලි, ලක්ෂණ පෙන්වන්නකි. සන්නිවේදන ක්ෂේත්‍රයට මතු නොව දේශපාලන සංස්කෘතික, ආර්ථික, සමාජ, පරිපාලන ක්‍රියාවලියට ඍජුව සම්බන්ධතා ගොඩනැඟී ඇති ක්ෂේත්‍රයකි. අනෙක් පැත්තෙන් ජනමතය තීරණය කරන්නකි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම සංධිස්ථානයකි. මෙම පනත සම්මත කොටගැනීමට ගත් ඉක්මන් හා වැරැදි ප්‍රවේශය නිසා නව මාධ්‍යයෙන් මතු කොටගත හැකිව තිබුණු ශක්‍යතා පලරහිත විය. මුලින් අප සඳහන් කළ මාධ්‍ය හා සම්බන්ධ පනත්වලදීද අපි මෙම තත්වයම දුටුවෙමු. යුරෝපීය රටවල් මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළේද අප ඉහත සඳහන් කළ පිළිවෙතය.

පනත සම්බන්ධයෙන් වන මේ සමාජ කතිකාවට දැන්වත් ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුය. ඊට තවමත් ප්‍රමාද නැත. මේ තරම් ප්‍රබල ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් එබඳු මඟ හැරයාමකට කිසිසේත් හැකියාවක් තිබිය යුතු නැත.

නව මාධ්‍යයේ නියාමනයක් අවශ්‍ය බව අපිද පිළිගන්නෙමු. නියාමනය යනු කුමක්ද? එහි යහපත් අයහපත් ලක්ෂණ හඳුනාගෙන මැනැවින් කළමනාකරණය කර ගැනීමය. නියාමනය යනු වාරණයක් නොවන බව හොඳින් මතක තබාගත යුතුය. නියාමනය ස්වාභාවික අවශ්‍යතාවකි. එය අවශ්‍ය වන්නේ එක් කාණ්ඩයකට හෝ එක් පද්ධතියකට පමණක් නොවේ. පැහැදිලිවම කීවොත් එම නියාමනය අවශ්‍ය වන්නේ ආණ්ඩුවට පමණක් නොවේ. නියාමනය එක් කොටසකට පමණක් සීමා වුවහොත් එයින් සිදුවන්නේ හානියකි. නියාමනය සමස්ත පද්ධතිය තුලනාත්මකව සහ සාධානීයව වඩාත් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වා ගෙන යාමට ඇති  ස්වාභාවික යාන්ත්‍රණයකි. එය ප්‍රතික්ෂේප කිරීමට කිසිවකුට නොහැක.

ඒත් වාරණය යනු  කුමක්ද? එය සමාජ පද්ධතිය තුළ එක් කොටසක එනම් ආණ්ඩුව හෝ වෙනත් එක් පන්තියක් පනවන නීති මඟින් අනෙක් අයගේ අයිතිවාසිකම් විකෘති වන ආකාරයට හා එම නීති පනවන්නාට වාසි වන ආකාරයට ඇති කරන ක්‍රියාවලියකි. අප යෝජනා කළ සමාජ කතිකාව ඔන්ලයින් පනත සම්බන්ධයෙන් ක්‍රියාවට නැඟුණේ නම් නියාමනය කුමක්ද වාරණය කුමක්ද යන්න මැනැවින් පැහැදිලි වනු ඇත. ඒත් මේ පවත්නා තත්වය නියාමනයත් වාරණයත් පටලවා ගැනීමකි. සංකල්පීය චින්තනය අපගේ විෂය ක්ෂේත්‍රවල එතරම් දියුණු වී නැති නිසා ඇතැම් සංකල්ප එකිනෙකට පටලවා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකිය.  

පනතේ ඇතුළත් කාරණා උල්ලංඝනය කළ විට ලැබෙන දඬුවම් වුවද තීරණය කළ යුතුව තිබුණේ අප අර සඳහන් කළ පොදු කතිකාව තුළය. එබඳු කතිකාවකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පනතේ දක්වා ඇති ඇතැම් දඬුවම් සම්බන්ධයෙන් සලකා බලනවිට එහි ඇත්තේ නියාමනයක්ද, වාරණයක්දැයි සැක සහිතය.

පනත සම්මත කිරීම එක් පාර්ශ්වයක වුවමනාව මත සිදුවිය හැකිද? එය එක් පැත්තක වැඩක් ලෙස ආණ්ඩුව අතට අරගෙන පනත සකස් කොට ඉදිරිපත් කිරීම ආණ්ඩුවටමත් රජයටමත් විරුද්ධත්වය ඇතිවන තත්වයකි. පනතේ අඩංගු කරුණුවලින් ඇතැම් කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව අධිකරණය ද තීරණය කොට තිබීමෙන් එය වඩාත් පැහැදිලි වනු ඇත.

තවත් අපගේ අවධානයට ලක්වන කරුණක් නම් යම් දෙයක් ඉදිරියට ගෙන එනවිට ඒ දේ ඉදිරිපත් කරන ඒ තුළ ක්‍රියාත්මක වන සන්දර්භයද වැදගත් වීමය. නියාමයක් ඇති විට ඊට අදාළ වන කොන්දේසිද වැදගත් වේ. ජනතාව අතර ඇති වන සාධාරණ තාර්කික ප්‍රශ්නය නම් මේ කාලයේදීම පනත සම්මත කොටගැනීමට ආණ්ඩුව උනන්දුවීමය. ඉදිරිය ජාතික බල හුවමාරුවක් සිදුවිය හැකි කාලයකි. ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ ආදිය පැවැතිය හැකි කාලයකි. එහිදී රාජ්‍ය බලය ආණ්ඩු බලය පවත්වාගෙන යාමේ ප්‍රධාන මෙවලමක් ලෙස, යාන්ත්‍රණයක් ලෙස සන්නිවේදන මාධ්‍ය ක්‍රියා කෙරෙයි. එම මාධ්‍ය තුළ ජනමතය සකස් කිරීමෙන් දේශපාලන බල උත්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිදුවන බව ප්‍රකට කාරණයකි. මේ කාරණය ආණ්ඩු කරවන්නෝ හොඳාකාරවම දනිති. දැනට අප මුහුණ දෙන සමාජ ආර්ථික අර්බුද ඉදිරි මැතිවරණවලට ඇති කරන බලපෑම දේශපාලනඥයෝ හොඳින්ම දනිති. පවත්නා රජයේ සුජාත භාවය සමාජයෙහි ප්‍රශ්න නැඟෙමින් තිබෙන්නකි. එසේ නම් මේ වනවිට සැබෑ ජනමතය ජනතා පරමාධිපත්‍යය නිර්මාණය වී ඇත්තේ පාර්ලිමේන්තුවෙන් සහ විධායකයෙන් එපිට බවද පැහැදිලිය.

මේ විවෘත සන්නිවේදන අවකාශය තුළ මැතිවරණයකට ගියහොත් විශේෂයෙන්ම සමාජ මාධ්‍යයෙහි බලපෑම ඇතිවන බව දේශපාලනඥයෝ දනිති. සමාජ මාධ්‍ය කීකරු කර ගැනීමට නොහැකි බව ඔවුහු සිතති. අවස්ථාව බලා නව මාධ්‍යයේ බලය වාරණ රාමු පනත්වලින් සීමා කරන්නට උත්සාහ ගන්නේ දේශපාලනික වශයෙන් වන හානිය අවම කොට ගැනීමට දැයි සමාජය තුළ සැකයක් මතුවීම සාධාරණය. එහෙත් අපේ කාරණය ඒ බව ප්‍රශ්න කිරීම නොවේ. අප ප්‍රශ්න කළ යුත්තේ නව සන්නිවේදන මාදිලිය සමාජයේ සියලු පැතිකඩවලට බලපාන ක්ෂේත්‍රයක් ලෙස වටහා ගෙන නව ලොවට එයින් ගත හැකි ප්‍රයෝජනය තේරුම් ගෙන ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්නය. එහිදී මේ ඔන්ලයින් පනත ඇති කරන බලපෑම කෙබඳුද යන්න වටහා ගැනීමයි.

ලෝක ජනගහනය කෝටි අට සීයයකි. එයින් සියයට හැට හතරක් මේ වනවිට සිටින්නේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍ර වේදිකා මතය. එම ප්‍රවණතාව තවදුරටත් වේගවත්ව වැඩිවනු ඇත. අද වනවිට ඇමෙරිකා යුරෝපා රටවල වැඩි වශයෙන් තොරතුරු ලබාගන්නේ ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, පුවත්පත්වලින් නොව සමාජ මාධ්‍යයෙනි. පැරණි මාධ්‍ය පවා සමාජ මාධ්‍ය වේදිකාවට අවතීර්ණ වෙමින් සිටින බව පෙනේ. එබැවින් මෙම සංවේදී ප්‍රශ්නයට දැන්වත් මැදිහත් වෙමින් ඒ සඳහා කතිකාවක් ගොඩනැඟීම ඉතාම අවශ්‍ය බව අවධාරණය කරනු කැමැත්තෙමි. ඊට තවමත් පමා නැති බව විශ්වාස කරමි.

 

(***)

සටහන – ගාමිණී කන්දේපොළ



අදහස් (0)

මාර්ගගත පනත යක්ෂයෙක්ද? දෙවියෙක්ද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විදුලිබිල් කතාවට බෙල්ල දීම
2024 මාර්තු මස 02 219 0

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ නොයෙල් ප්‍රියන්ත මහතා පසුගිය 22 වැනිදා එම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්විය. පෞද්ගලික රූපව


කුඩා තේ වතු හිමියන්ට සහනයක් දිය නොහැකිද?
2024 මාර්තු මස 02 117 0

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ මරණ මංචකයේය. කොවිඩ් මාරක වසංගතයත් මෙරට පාලකයන් ගත් අනුවණ උද්ධච්ච තීන්දු තීරණත් හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය එසේ එකවර වේගයෙ


එදා - මෙදා තීන්දුවල ඇදකුද
2024 මාර්තු මස 01 280 0

2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේ පටි තදකර ගන්නා ලෙස ය. එහෙත්, එසේ ඉල්ලූ ඔහු රට තාමත්


බොටුව මිරිකීම නතර කර ජනතාවට සහනයක් දෙන්න
2024 මාර්තු මස 01 262 0

යුද සමයේ දී ‘‘මුදා නොගත් ප්‍රදේශ’’ යනුවෙන් විශේෂයෙන් නාමකරණය කරන ලද ප්‍රදේශ තිබිණි. එම ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ ත්‍රස්තවාදීන් විසින්ය. ත්‍රස්තවාදීන


දිනෙන් දින වැඩි වන ණය බර
2024 පෙබරවාරි මස 29 406 0

මෙරට ණය අර්බුදය සම්බන්ධයෙන් සමාජය තුළ පෙරටත් වඩා සාකච්ඡාවක් මතුවෙමින් ඇති බව පෙනේ. මෑත කාලයේ විවිධ ආණ්ඩු ලබාගත් ණය සැලකිල්ලට ගතහොත් පසුගිය වසර විස්සක


සමාජය බියගන්වන කුරිරු අපරාධකරුවන් දඬුකඳේ ගහමු
2024 පෙබරවාරි මස 29 246 0

මේ වසරේ අද (29) ගෙවී ගියේ දෙවැනි මාසයයි. දින වශයෙන් ගණන් තැබුවොත් 60කි. මේ දින 60ට රටේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම්වලින් සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 14ක් වන අතර තවත්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 520 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site