මින්නේරිය ජාතික වනෝද්‍යානයට මේ දිනවල සවස් කාලයේ දෙස් විදෙස් සංචාරකයෝ බහුලව ඇදී එති. ඒ අන් කිසිවක් නිසා නොව රංචු වශයෙන් ගැවසෙන වන අලින් නැරැඹීමටය. සවස් වනවිට මින්නේරිය වැවට දිය සොයා පැමිණෙන මෙම අලි රංචු තරමටම සංචාරකයන් රැගත් ජීප් රථද වැව් පිටියට නොඅඩුව පැමිණේ. ඉකුත් බදාදා (10) පස්වරුවේ මෙලෙස වන අලි නැරැඹීම සඳහා පැමිණි විදේශීය සංචාරකයින් පිරිසකට මින්නේරිය වන උයනේදී සිදුවූයේ අලි බලන්නට නොව අලි අකරතැබ්බයකට මුහුණ දෙන්නටය. එනම් මෙදින පස්වරුවේ ඇද හැලූණු මහා වැස්සක් හේතුවෙන් උතුරා ගිය ජල කඳ පැමිණි ගමන් මඟ අවුරා සිටීම නිසා මහ වන මැද රෑ මැදියම තෙක් රැඳී සිටින්නට ඔවුන්ට සිදුවිය. වන අලි බහුල වන බිමෙක එසේ හෝරා කිහිපයක් ගෙවා දැමීම එක්තරා අන්දමක බිහිසුණු ත‍්‍රාසජනක අත්දැකීමකි. අහඹු සිදුවීමක් මුත් එම සිද්ධියට මුහුණ පෑ විදෙස් සංචාරකයින් ගණන 14කි. බි‍්‍රතාන්‍ය හා ජර්මන්, අරාබි ජාතිකයෝ මෙම විදෙස් සංචාරක පිරිසට අයත්වූහ. එකිනෙකා කතිකා කරගෙන එක මඟ නොපැමිණි පිරිසක් වුවද මින්නේරිය වන උයන තුළ රෑ මැදියම තෙක් මෙම අපූර්ව අත්දැකීම ලබන්නට මොවුන් එකම පිරිසක් බවට පත්වූ බව සඳහන් කළ යුතුය. සෆාරි ජීප් රථ හතරක නැගී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වන අලි නැරැඹීමේ චාරිකාව ඇරැඹී තිබෙන්නේ පස්වරු තුනට පමණය. සංචාරකයන් රැගත් ජීප් 04ට ඒ වනජීවී කලාපයේ ස්වේච්ඡා මඟ පෙන්වන්නන් දෙදෙනකුගේ සහායද ලැබී තිබේ. මොවුහු සියලූ දෙනාම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කිරිඔය, උණාකටුව නමින් හැඳින්වෙන කලාපයට පැමිණ ඇත්තේ කිලෝ මීටර් 12ක් පමණ දුර ගෙවා දැමීමෙන් අනතුරුවය. මෙම ගමන් මග පසු කරන්නට පෙර හමුවන කිරිඔයද මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සුවිශේෂි ඇළ මාර්ගයෙකි. වනෝද්‍යානයේ බටහිර දෙසින් ඇරැඹි මින්නේරිය වැව තෙක් පැමිණෙන ”කිරි ඔය” මින්නේරිය වැවේ ප‍්‍රධානතම ජල පෝෂක ඇළ මාර්ගය ලෙස හැඳින්වේ. මින්නේරිය වැව බොහෝ සෙයින් සිඳී යන වියළි කාලයේදී කිරිඔයද සිඳී යයි. එහෙත් වැසි කාලයට දියවරින් පොහොසත් වන කිරිඔය මින්නේරිය වැවට මහා ජල කඳක් රැගෙන පැමිණ සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබන්නේ අනාදිමත් කාලයක සිටය. විදෙස් සංචාරක පිරිස රැගත් ජීප් රථ හතර මඳ වේලාවකට පෙර කිරිඔයෙන් එගොඩ වෙද්දිත් එය කුඩා දිය පහරක්ව තිබූ බව කියති. ඉන් එගොඩවී මද දුරක් ගමන් ගනිද්දී වගුරු සහිත බිමකදී මොවුන් ගමන් ගත් ජීප් රථ දෙකක් මඬේ එරී ඇති අතර එය ගොඩට ගැනීම සඳහා සහායට 04 දෙනෙකුද සමග තවත් ජීප් රථයක් එහි පැමිණ ඇත. එරුණු ජීප් රථ දෙක ගොඩට ගැනීම සඳහාද මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවී ඇති අතර මේ වනවිට අඳුරද වැටෙමින් තිබූ බව කියති. එපමණකුදු නොව පැය කිහිපයකට පෙර කුඩා දිය කඩිත්තක්ව පැවැති කිරිඔයේ මහා ජල කඳක් ගලාවිත් එගොඩ මෙගොඩ යා නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ. කුඩා දරුවන් 04 දෙනෙකුද ඇතුළුව විදෙස් සංචාරකයින් 14 දෙනාටත් ජීප් රථ 05ක රියැදුරන් 05 දෙනා සහ මාර්ගෝපදේශකයින් දෙදෙනාත් පසුව පැමිණි ජීප් රථයේ ගමන් ගත් 04 දෙනෙකුත් ඇතුළුව 25 දෙනෙකුට අඳුරු රාති‍්‍රයේ ත‍්‍රාසය, භීතිය තුරුළු කර ගන්නට සිදුවීම අනපේක්ෂිත කාරණයෙකි. එම බිහිසුණු අත්දැකීම පිළිබඳව අපට විස්තර කළේ සංචාරකයන් රැගත් ජීප් රථ මඬේ එරී තිබූ අවස්ථාවේ ඒවා ගොඩට ගැනීමට ගිය සහාය කණ්ඩායමේ ප‍්‍රධානියෙකු වන චමින්ද තුෂාර (33) මහතායි. හබරණ මහසෙන් ජීප් රථ සංගමයේ ලේකම්වරයාද ඔහුය. හවස 4.00ට විතර ආරංචි වුණා කිරිඔයෙන් එගොඩ ගිය ජීප් දෙකක් මඬේ එරිලා කියලා. මම අපේ යාලූවො තුන් දෙනකුත් එක්කලා බර්ටිගේ ජීප් එකෙන් එතෙන්ට ගියා. මේක ඇතුළේ ජීප් එකක් මඬේ එරුනොත් ගොඩට ගන්න ඉන්න එකම ශූරයා බර්ටි තමයි. අනෙක අපේ සංගමයේ වගකීමක් ඒවගේ වෙලාවට උදව්වට යන එක. අපි යනකොට වැස්සට මඩවෙලා ජීප් දෙක සෑහෙන්න එරිලා තිබුණා. කොහොම හරි සෑහෙන්න මහන්සිවෙලා අපි ගිය ජීප් එකෙන් ඇදලා ජීප් දෙකම ගොඩට ගත්තා මේ වෙලාව වෙනකොට කළුවරත් වැටීගෙන එනවා. අපි ආපහු එන්න පිටත්වුණා. කිරිඔය ළඟට ඇවිත් බලනකොට කිරිඔයේ දෙගොඩ තලාගෙන වතුර ගලා ගෙන යනවා. ජීප් එගොඩ කරන්න තියා හිතාගන්නවත් බෑ. අපි කර කියා ගන්න දෙයක් නැතුව එගොඩට වෙලා හිටියා. සුදු මහත්තුරුත් හොඳටම බයවෙලා පොඩි ළමයි අඬන්න පටන් ගත්තා. වනජීවී එකේ මහත්තුරුන්ට මේ බව දැනුම් දුන්නා. ගොඩ බිමෙන් යන්න බැරි හින්දා හෙලිකොප්ටර්වලින් හරි ඔයාලව අරන් යයි බය වෙන්න එපා කියලා අපි සුදු මහත්තුරුන්ට කිව්වා. එතකොට ඒ අයගේ බය ටිකක් අඩු වුණා. කොහොම හරි රෑ 11.00ත් පහුවුණා. රෑ හින්දා හෙලිකොප්ටර් උඩට නග්ගන්න බෑ කියලා දැන ගන්න ලැබුණා. කොහොම හරි අපේ ජීප් රථ සංගමයේ සභාපති සුමේධ අයියා මින්නේරිය ධීවර තොටුපළේ අයත් එක්කලා කතා කරලා මින්නේරිය පැත්තෙන් විදේශ සංචාරක පිරිස ගොඩට ගන්න කටයුතු කළා. කොහොම හරි රාති‍්‍ර 12.00 විතර වෙද්දි ධීවර ඔරුවලින් දෙපාරකට සුදු මහත්තුරු කට්ටිය මින්නේරිය පැත්තෙන් ගොඩට ගත්තා. ඒ අය අපිට ගොඩක් ස්තුති කළා. අපි ඔරුවලින් ගොඩට යන්න ගියේ නෑ. වතුර බැහැලා යනකම් ඉඳලා පාන්දර තුනට විතර අපි නැවත ආවා. ඒ වෙනකොට කිරිඔයේ වතුර හුඟක් දුරට අඩු වෙලා තිබුණා. මම දැන් අවුරුදු 7 ක් 8 ක් විතර මේ සෆාරිය යනවා. මේ වගේ සිද්ධියකට කවදාවත් මූණ දීලා නෑ. ඒ වෙලාවේ මටත් ලොකු බයක් ඇති වුණා. ඒත් අපි නිතරම කල්පනා කළේ සුදු මහත්තුරුන්ට නෝනලාට අලින්ගෙන් හෙම මොකුත් කරදරයක් වෙයිද කියලා. අපි කිසිම කෙනෙකුට කන්නවත් බොන්න වතුරවත් තිබුණේ නෑ. සංචාරක පිරිස කරදරයක් නැතුව එක්කරගෙන යන්න ලැබුණු එක ලොකු දෙයක්. ඒකට අපිට පිහිට වුණේ මින්නේරිය වැවේ රජ ඇළ ධීවර තොටුපළේ ධීවර කාර්මික හිතවතුන්. ඒ අයට ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ ඉකුත් බදාදා (10) පස්වරුවේ කොටුවී සිටි විදේශ සංචාරකයින් පිරිස තම ධීවර ඔරු මගින් මින්නේරිය වැවේ රජ ඇළ තොටුපළ වෙත රැගෙන ආ ධීවර කාර්මිකයන්ද අපි මුණ ගැසුණෙමු. එම ධීවර සමිතියේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා ඔවුන් ඉටුකළ සද්කාර්යය පිළිබඳව විස්තර කළේ මෙසේය. ”අපිට දැන ගන්න ලැබුණා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අලි බලන්න ආපු විදේශ සංචාරකයන් ඇතුලූ කණ්ඩායමක් කිරිඔය පිටාර ගලලා කොටුවෙලා ඉන්නවා කියලා. ජීප් සෆාරි කරන අයගෙන් තමයි ඒ තොරතුරු ලැබුණේ. මේ පිරිස ගොඩබිමෙන් ගේන්න බැරි නිසා අපේ ඔරුවලින් ඒ අය මෙගොඩට ගෙනැත් දෙන්න පුලූවන්ද කියලා ඇහුවා. අපි ඒක වගකීමකින් භාර ගත්තා. අපේ තොටුපළේ ඉඳලා මින්නේරිය ජාතික වනෝද්‍යානය ඇතුළේ උණකටුව කියන ප‍්‍රදේශය ආසන්නයට ඔරුවලින් ගිහිල්ලා අවස්ථා දෙකකට විදේශ සංචාරක පිරිස් අරගෙන ආවා. ඇත්තටම අපිටත් ලොකු සතුටක්. මින්නේරි දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අතර මගදි කිසිම කරදරයක් වුණේ නෑ. මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ වන අලි නැරැඹීම සඳහා ගිය විදේශ සංචාරකයින් පිරිසක් වර්ෂාව නිසා කිරිඔය පිටාර ගැලීමෙන් ගමනා ගමන අපහසුතා ඇතිවී කොටුවීම යනු අහඹු සිදුවීමකි. එහෙත් සංචාරකයන් මෙහි පැමිණීම යනු අහම්බෙන් සිදුවන්නක් නොව නොකඩවා සිදුවේ. එම විදේශීය සංචාරකයින් සඳහා අවැසි පහසුකම් ආරක්ෂාව නිසි පරිදි සලසාදීම රජයේද සුවිශේෂී වගකීමකි. මින්නේරිය ජාතික වනෝද්‍යානයටම අයත් සුවිශේෂී කලාපයක් වන මින්නේරි වැවේ මෙවැනි හදිසි අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා යාන්ත‍්‍රික බෝට්ටුවක් හෝ තිබුණේ නම් විදේශීය සංචාරකයින්ට රෑ මැදියම වන තෙක් හෝරා කිහිපයක් සැක බිය තුරුළු කරගෙන ගත කරන්නට සිදු නොවනු ඇති බවද එහිදී කියැවිණි. එමෙන්ම සංචාරකයින් සඳහා බොහෝ පහසුකම් වනෝද්‍යානය තුළ ඇතිවිය යුතු බවද ඇතැම්හු පෙන්වා දුන්හ.
සටහන සහ ඡායාරූප - ක. ග. කරුණාරත්න
අතරමංවූ සංචාරකයන්  පිරිසක් බෙරාගත් පසු ඩබලිව්. එම්. තිලකරත්න චමින්ද තුෂාර