මොල්ලිකුලම් - සිලාවතුර මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය බොරලූ ලබාගැනීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කරමින් බොරලූ කැපීමේ කටයුතු කෙරෙමින් පවතී. කිලෝමීටර 30 කින් යුත් මේ මාර්ගය ඉදිකිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4 ට අයත් බොරලූවල ප‍්‍රදේශයේ මේ මහා පරිමාණ බොරලූ කැපීම කරයි.

පස් කැපීමෙන් පරිසරය විනාශවී ඇති අයුරු

 

ජූනි 13 වැනි දින සිට මේ දක්වා කාලය තුළ දී මෙම ස්ථානයේ වැවක් තනන බවට ව්‍යාජ ලෙස සඳහන් කරමින් ටිපර් රථ 50 ක් හා බැකෝ යන්ත‍්‍ර 3 ක් උපයෝගී කරගෙන ජාතික වනෝද්‍යානයේ අක්කර 100 කට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර අඩි 20 ක් පමණ ගැඹුර වළවල් සකසමින් මේ මහා පරිමාණ බොරලූ කැපීමේ ව්‍යාපෘතිය කර ඇතැයි කියති.

මේ බොරලූ කැපීම කරනු ලබන ප‍්‍රදේශයේ උස් ස්ථානයක් වන අතර ඒ ආශ‍්‍රිතව කිසිදු ජල මූලාශ‍්‍රයක් නොපවතී. එවන් ස්ථානයක කිසිදු ආකාරයකින් වැවක් ඉදිකළ නොහැකි අතර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දේශපාලන රැකවරණ මධ්‍යයේ මේ මහා පරිමාණ නීති විරෝධී බොරලූ කැපීම කර තිබේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු ලංකාවේ ඉතාම සුවිශේෂී වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප‍්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දාය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත‍්‍රික්ක දෙකට අයත් එහි භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967-04-28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969-08-27 වන දින හෙක්ටයාර 22981.4 ක්ද 1969-12-05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973-12-07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 5 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප‍්‍රමාණය හෙක්ටයාර 131693.7 කි.

මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැගී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තරය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩ නැගී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු වැනි ගංඟාවන්ගේ ජල පෝෂක ප‍්‍රදේශ වලට ලැබුණු රැකවරණය මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා මහ පරිමාණ බොරලූ කැපීම හේතුවෙන් අහිමි වී ඇත.

විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි, මිශ‍්‍ර, සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, ගංගාශ‍්‍රිත වනාන්තර, තෙත් විල්ලූ, තෘණ භූමි, වියළි පතන පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැකගත හැකිය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ.

 

 

පස් කපා දමන හැටි....

 

විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංගාවන්ගේ ජල පෝෂක ප‍්‍රදේශයක් පමණක් නොව අති දැවැන්ත පුරා වස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ්ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේය. විජය රජුගේ ආගමනයට පෙර කුවේණිය වෙතින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැඳී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළය.

 

 

පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර