රාජ්‍යයක පැවැත්ම තිබෙනුයේ රාජ්‍ය ආරක්ෂාව සඳහා පවතින සංවිධානාත්මක ආරක්ෂක ව්‍යුහයේ ශක්තිමත් භාවය පවතින තාක් පමණි. රාජ්‍යයක ප්‍රජාතාන්ත්‍රික පාලන ස්වරූපය රැකෙනුයේ නීතියේ ආධිපත්‍යය පවතින තාක් පමණි. පාලිතයා පමණක් නොව පාලකයා ද නීතියේ ආධිපත්‍යයට යටත් ය යන්න මෙහි මූලික තේමාවකි. ශාසනයක් පවතිනුයේ ශාසනයේ විනය රැකෙන තාක් පමණි. “විනයෝ නාම සාසනස්ස ආයු” යන්න දෙවන සංගායනාවේ දී පිළිගැනීමට ලක් වූ ආප්තෝපදේශයකි.

බෞද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතිනුයේ භික්ඛු-භික්ඛුණී, උපාසක-උපාසිකා යන සිව්වණක් පිරිසගේ විනය ශීලය රැකෙන තාක් පමණි. ඒ අතරින් විනය රැකීමෙහි ලා වර්තමානයේ පෙරගමන්කරුවන් ලෙස සැලකෙනුයේ ශාසන බලධාරී මහ සඟරුවන බවට විවාදයක් නැත. කලින් කල ශාසනයෙහි පිරිහීමේ ලක්ෂණ පහළ වීම ලොව පවතින යථා ස්වභාවයයි. එවන් අවස්ථා වල දී පරිශෝධන සිදු කරමින් පාරිශුද්ධත්වය රැකීමෙහි ලා කලින් කල මහ සඟරුවන ක්‍රියාත්මක වූ අතර රාජ්‍ය දායකත්වය ද බොහෝ සෙයින් ඊට ඉවහල් විය. ශාසනයෙහි විනය රකිමින් එහි පාරිශුද්ධත්වය පවත්වා ගෙන යාම සඳහා පරිශෝධන අවශ්‍ය බව මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා අවබෝධ කරගනු ලැබුවේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු චිතකයට ගිනි දැල්වීමටත් පෙර ය. එනම් සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය හේතුවෙනි. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගත වූ තැන පළමු ධර්ම සංගායනාව ආරම්භ වූ අතර එහි දී මුලින් ම සංගායනා කළ යුත්තේ ධර්මය ද නැතහොත් විනය ද යන ප්‍රශ්නය පැන නැඟි අවස්ථාවේ දී මහ රහතුන් වහන්සේලා තීරණය කළෝ මුලින් ම විනය කරුණු සංගායනා කළ යුතු බවයි. එය උපාලි මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

බුද්ධ ශාසනයෙහි කොටස් තුනක් ඇත. එනම් පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද යනුවෙනි. පර්යප්ති යනු බුදුන් වහන්සේ වදාළ නිර්මල චතුරාර්ය සත්‍ය දහමයි. ප්‍රතිපත්ති යනු එම ධර්මය තුළ ප්‍රතිපත්ති පිරීමයි. ප්‍රතිවේද යනු ප්‍රතිපත්ති පූර්ණය කර ගැනීම මගින් මාර්ගඵල ලබා ගැනීමයි.

ධර්මය හා විනය මාතෘකා දෙකක් වුව ද එය එක සමානව ආරක්ෂා කිරීම ශාසනය රැකීමට අත්‍යවශ්‍ය වේ. “ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී” යනුවෙන් දේශනා කරනු ලැබුවේ ධර්මය රකින්නා ධර්මය තුළින් ආරක්ෂා වන බව පහදා දීමට ය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්මය ම ගුරු කොට තබමින් විමුක්තිය අරමුණු කරගත් භික්ෂූන් ක්‍රියා කළ යුතු බවට අනුදැන වදාළහ. විනය ආරක්ෂා නොවන තැන ධර්මය රැකීම ප්‍රායෝගික ව සිදු කළ නොහැක. බුද්ධ ශාසනය ආරම්භ වී වසර 20 ක් ගත වන තෙක් ප්‍රාතිමෝක්ෂ ශීලය මත ශාසනය පැවතියත් අනතුරුව විනය නීති පැනවීමට බුදුන් වහන්සේ ක්‍රියාත්මක වූයේ භික්ෂු විනය ආරක්ෂා කිරීමේ වැදගත්කම පහදා දෙමිනි.

ශික්ෂා පද පැනවීමට හේතු වූ කරුණු වන ආසවට්ඨනීය ධර්ම සංඝ සංස්ථාවේ පහළ වීමට හේතු වශයෙන් පාරාජිකා පාලියෙහි කරුණු හතරක් දැක්වේ. එනම්;


දිගු කලක් පැවතීම
පිරිස වැඩි වීම
ලාභ සත්කාර වැඩි වීම
බහුශ්‍රැත බව වැඩි වීම
විනය රීති පැනවීමේ ප්‍රයෝජන දහයක් ද පාරාජිකා පාලියෙහි සඳහන් ය. එනම්;
සංඝයාගේ හිතසුව පිණිස
සංඝයාගේ පහසුව පිණිස
දුශ්ශීල භික්ෂූන්ට නිග්‍රහ කිරීම පිණිස
විනයගරුක භික්ෂූන්ට පහසු විහරණය පිණිස
මෙලොව දී පැමිණිය හැකි දුක් දුරු කිරීම පිණිස
පරලොව දී පැමිණිය හැකි දුක් දුරු කිරීම පිණිස
නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස
පහන් වූවන්ගේ ප්‍රසාදය වර්ධනය වීම පිණිස
සද්ධර්මයෙහි චිරස්ථිතිය පිණිස
විනය අනුග්‍රහ පිණිස
බුදුන් වහන්සේ සිව්වණක් පිරිස සඳහා ම විනය රීති පනවා ඇති අතර ගිහියන් වෙනුවෙන් පංචශීල ප්‍රතිපදාව ඉන් ප්‍රමුඛ කොට සැලකේ. භික්ෂූන් සඳහා විනය රීති 227 ක් ද, භික්ෂුණීන් සඳහා විනය රීති 330 ක් ද වශයෙන් පනවන ලද්දේ විනයකින් තොර පරම විමුක්තිය සාක්ෂාත් කර ගැනීම හුදු මිථ්‍යාවක් වන හෙයිනි. එකී විනය රැකීමෙහි ලා බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වූ තැන දෙවන ධර්ම සංගායනාව ද වසර දෙසිය තිහක පමණ කාලයක් ගත වූ තැන ධර්මාශෝක අධිරාජ්‍ය‍ය යුගයේ තුන්වන ධර්ම සංගායනාව ද පවත්වා ශාසන ප්‍රතිශෝධන සිදු කරනු ලැබිණි.
 
එක්තරා දෙවි කෙනෙක් පැමිණ බුදුන් වහන්සේගෙන් මෙසේ විචාළේය.
“අන්තෝ ජටා බහි ජටා     - ජටාය ජටිතා පජා
  තං තං ගෝතම පුජ්ජාමි     - කෙ ඉමං විජටයෙ ජටං”
එනම් “ගෞතමයාණන් වහන්ස, ලොව සියලු‍ සත්වයෝ ඇතුළතින් අවුල් ය. පිටතින් ද අවුල් ය. බැලූ බැලූ තැන අවුලෙන් අවුලට පත්ව සිටිති. ඒ කිනම් හේතුවක් නිසාවෙන් ද? යන්නයි.
ඊට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ වදාළේ;
“සීලේ පටිත්ථාය නරො සපඤ්ඤා - චිත්තං පඤ්ඤඤ්ච භාවයං
  අතාපි නිපකො භික්ඛු - සෝ ඉමං විජටයෙ ජටනේති” යනුවෙනි.

එනම් “ශීලයෙන් ද, සමාධියෙන් ද, ත්‍රිවිධ ප්‍රඥාවෙන් ද, වීර්යයෙන් ද යන කරුණු හයෙන් යුක්ත භික්ෂු තෙමේ සිය මුවහත් ආයුධයෙන් මහත් වූ උණ පඳුරක් කපා දමන්නේ ද, එමෙන් ම ඔහු සන්තානගත සියලු‍ තෘෂ්ණා ජාලය කපා හරින්නේ ය. රහත් ඵලයට පැමිණ ලෝකයෙහි දුක් කෙළවර කරන්නේ ය.” යන්නයි.
භික්ෂුවගේ ජීවිතය අනුසෝතගාමීත්වයට විරුද්ධ පටිසෝතගාමී එකකි. එමෙන් ම භික්ෂුව සතර අගතියෙන් තොර ය. එනම් ඡන්ද, ද්වේශ, භය, මෝහ යන අගති හතරෙන් මිදුණේය.
බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරන ලද්දේ “යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති” යනුවෙනි එනම් යමෙක් මගේ ධර්මය දකී ද ඔහු මා දකින්නේ ය යන්නයි.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඨාන සූත්‍රයේ සඳහන් පරිදි මාර්ගඵල පතන්නා;
ඇසුරෙන් ශීලය දත යුතු ය.
සල්ලාපයෙන් පිරිසුදු විය යුතු ය.
විපත් වල දී ශක්තිය දත යුතු ය.
සාකච්ඡාවෙන් ප්‍රඥාව දත යුතු ය.
ශ්‍රී ලංකාව තුළ මහින්දාගමනයෙන් පසු ස්ථාපනය වූ බෞද්ධ ශාසනයෙහි විනය ආරක්ෂා කර ගැනීම පිණිස සංගායනා ගණනාවක් පවත්වා කතිකාවත් නිර්මාණය කරගත් බවට ඉතිහාසය පුරාවට ඕනෑ තරම් සාධක පවතී. වර්තමානය වන විට මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි යන පාර්ශ්ව ද අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන් ද අනෙකුත් නිකායන් සහ අනු නිකායන් ද ඊට ම ආවේණික වූ කතිකාවත් සම්මත කොටගෙන ඇත. එම කතිකාවත් තුළින් ඒ ඒ නිකායෙහි මහා නායක, අනු නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක සංඝ සභාවලට සිය නිකායේ භික්ෂූන්ගේ විනය පාලනය කිරීමේ බලය පැවරී ඇත. එහෙත් කලින් කල සමහර භික්ෂූන්ගේ හැසිරීම් හා ක්‍රියා කලාප ශාසනයෙහි පැවැත්වමට ඉතා අහිතකර බවට සමාජය තුළ ප්‍රබල මතයක් ඇත. භික්ෂු ශාසනයේ ශක්තිය රඳා පවතිනුයේ උවැසි, උවැසියන්ගේ ශ්‍රද්ධා භක්තිය පවතින තාක් පමණි.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් මෙන් ම ශතක හතරහමාරක් තිස්සේ යුරෝපීය ආක්‍රමණිකයන්ගේ ප්‍රමුඛ අරමුණක් වූයේ මෙම මහ පොළොවෙන් බුදු දහම අතුගා දැමීම ය. එහෙත් ජීවිත පරිත්‍යාග කරමින් ගිහි පැවිදි මුතුන් මිත්තන් මෙම ශාසනය ආරක්ෂා කරගන්නට යෙදුණි.

ශාසනය තුළ භික්ෂු විනය පවත්වා ගැනීමේ අවශ්‍යතාව 1956 බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව මගින් පෙන්වා දුන් අතර නැවත වතාවක් 1999 වසරේ දී ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් මගින් එය අවධාරණය කර ඇත. එම නිර්දේශ වල ඇති වැදගත්කම නිසා ම පසුගිය වසර 15 කට වැඩි දීර්ඝ කාලයක් තිස්සේ භික්ෂු කතිකාවත් ශක්තිමත් කරමින් ශාසන බලධාරී මහ තෙරණුන් වහන්සේලාට තීන්දු තීරණ ගැනීමට නීතිමය බලයක් ලබා දීම සඳහා භික්ෂු කතිකාවත් පනතක් සම්මත කර ගැනීම සහ 1931 අංක 19 දරන බෞද්ධ විහාර, දේවාලගම් පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ අනුව සියලු‍ නිකායවල එකඟත්වය අනුව ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සහ බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත 2016 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කිරීම පිණිස පාර්ලිමේන්තුවේ කැඳවීමට තිබූ දිනයේ හදිසියේ එය අතරමඟ නතර විය.

ථෙරවාදී කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් ඒ ඒ නිකායවලට හෝ පාර්ශ්වවලට සිය නිකායේ හෝ පාර්ශ්වයේ කතිකාවත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන පනවා ඇත. යම් නිකායක් හෝ පාර්ශ්ව කිහිපයක් එකට එක්ව කතිකාවතක් සකස් කොට ලියාපදිංචි කිරීමට ද, අවශ්‍ය වේ නම් සියලු‍ නිකාය සහ පාර්ශ්ව එක්ව එක් පොදු කතිකාවතක් ලියාපදිංචි කිරීම සඳහා ද එමඟින් ප්‍රතිපාදන සකසා දී ඇත. එම කෙටුම්පතේ නීත්‍යනුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද පිළිගෙන ඇත. එසේ ලියාපදිංචි කිරීමෙන් එකී කතිකාවත් මගින් තීරණය කොට ඇති විනය උල්ලංඝනය කරනු ලබන පාර්ශ්ව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම පිණිස අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කතිකාවතෙන් බලය දී ඇති පරිදි මහා නායක හිමියන් හෝ කාරක සංඝ සභාව විසින් ගනු ලබන විනය රීති උල්ලංඝනය කරමින් ඒවා අභියෝගයට ලක් කිරීම් සිදු වන විට මහා නායක, අනු නායක හිමිපාණන් වහන්සේලා අසරණ වන අවස්ථා බොහෝ ය. එවැනි අවස්ථා වල දී භික්ෂු ශාසනය කෙරෙහි ගිහියන්ගේ ඇති ගෞරවය සහ ශ්‍රද්ධාව නිතැතින් ම ගිලිහී යාම වැළැක්විය නොහැක. එහි ප්‍රතිඵල ශාසනයට ඉතා භයංකර ලෙස බලපානු ඇත. එහෙයින් විනය බලධාරි මහ තෙරණුන් වහන්සේලා ගනු ලබන තීරණ වලට නීත්‍යනුකූල පිළිගැනීමක් ලබා දීම සහ එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය යන්ත්‍රණයේ සහාය ලබා ගැනීම එම පනතේ ප්‍රකට අරමුණක් විය. එහි මුඛ්‍ය පරමාර්ථය නම් ශාසන බලධාරී හිමිපාණන් විසින් ගනු ලබන විනය තීන්දු නීතිමය බලංගු භාවයකින් යුතු ව ක්‍රියා කිරීමට හැකි වීමයි.

මෙම කෙටුම්පත පිළිබඳ සමාජය තුළ බොහෝ මිථ්‍යා මත පැතිරුණු බව මනාව පැහැදිලි ය. එම පනත මගින් භික්ෂු ශාසනය රාජ්‍ය නීතියට යටත් වන්නේ ය යනුවෙන් සදොස් මතයක් සමාජගත කොට ඇත. එමගින් ශාසන බලධාරීන් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම හැර ඒවා අවලංගු කිරීම, සංශෝධනය, හෝ වෙනස් කිරීම කිසිවකුටත් කළ නොහැකි ය. බෞද්ධ ශාසනය මෙන් ම භික්ෂු ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය නීතියේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. උදාහරණ ලෙස 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත සම්මත කරනු ලැබුවේ අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලය තුළ එවකට පැවති ව්‍යවස්ථාදායකය මගිනි. එම ආඥා පනත නොපැනවූයේ නම් විහාර සහ දේවාල දේපළ සම්බන්ධ ව ඇතිවන ආරවුල් සහ ගැටලු‍ විසඳීමට ඉඩකඩක් නොතිබීමට ඉඩ තිබුණි. එසේ ඉඩ හැරියේ නම් බොහෝ විහාර සහ දේවාල සිද්ධස්ථාන විනාශ වී යාමට ඉඩ තිබුණි.
බ්‍රිතාන්‍ය පාලකයන් එම පනතේ 26 වන වගන්තිය මගින් විහාර දේවාලගම් වලට අයත් ඉඩකඩම් විකිණීම, පැවරීම යනාදිය තහනම් කොට නොතිබුණේ නම් මේ වන විට බොහෝමයක් වෙහෙර විහාරස්ථාන විනාශ වී යාමට ඉඩ තිබිණි.

අනෙක් අතට 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මගින් විහාර දේවාල වලට අයත් අක්කර 50 කට වැඩි කෘෂිකාර්මික ඉඩම් කොමිසම වෙත පවරා ගන්නා ලදී. එහෙත් විහාර දේවාලගම් ආඥා පනත පැවතීම හේතුවෙන් එකී ඉඩකඩම් අදාළ විහාර දේවාල වලට ලබා ගැනීමට පවා හැකියාව ලැබිණි. එසේ කළ හැකි ව තිබුණේ රාජ්‍ය නීතිය මගින් පනවා තිබූ විධිවිධාන හේතුවෙනි.

එම කරුණු සලකා බැලීමේ දී බෞද්ධ ශාසනය මෙන් ම භික්ෂු ශාසනය ආරක්ෂා කර ගැනීමෙහි ලා රාජ්‍ය නීතියේ සහාය ලබා ගැනීම මගින් ශාසනයට යහපතක් මිස කිසිදු අයහපතක් සිදු නොවේ. එමෙන් ම සංඝ සමාජයේ ස්වාධීනත්වයට ද ඉන් කිසිදු බලපෑමක් සිදු නොවේ.

භික්ෂු පාරිශුද්ධත්වය රැක ගනිමින් ශාසනයේ පැවැත්ම පිණිස කලට වේලාවට තීන්දු තීරණ ගැනීමේ වගකීම ශාසන බලධාරී මහා නායක, අනු නායක හිමිපාණන් වෙත පැවරෙන අතර ඒ සඳහා සංඝ සාමග්‍රිය ඉතා වැදගත් ම සාධකය ලෙස සැලකිය යුතු ව ඇත.