ජිප්සීස් සංනාද කණ්ඩායම සහ එහි ප්‍රමුඛයා වූ සුනිල් පෙරේරා ගැයූ ගීතවලට අකැමැති කිසිවෙක් මේ රට තුළ සිටිතැයි නොසිතමි. එහෙත් ඒ අකැමැති නොවූ අය අතුරින් යම් පිරිසක් සුනිල්ට සහ එම කණ්ඩායමට නිර්දය විවේචන විවෘතව එල්ල කළ අය ය, තවමත් එසේ කරන අය ය. එහෙත් විවෘතව ජිප්සීස්ලාට විරුද්ධ වූවන් පවා ඔවුන්ගේ ගීත සහ සංනාදයට යටි හිතින් ඇලු‍ම් කළෝ වෙති. එතරම් ජනප්‍රියතාවක් තිබූ කණ්ඩායමක් ගැයූ දැඩි සමාජ-දේශපාලන විවේචන සහිත ගීත රස විඳි කෝටි දෙකකට වැඩි ජනයා ඒ විවේචන තම දේශපාලන හැසිරීම වෙනස් කිරීම සඳහා උත්තේජකයක්, උදව්වක්, හේතුවක් කර නො ගත්තේ ඇයි?

එසේම ඒ ජිප්සීස් ලා අවිඥානිකව උදව් කළ එක් දේශපාලන ව්‍යාපාරයක් ජයගත්තේත් සවිඥානිකව උදව් කළ තවත් දේශපාලන ව්‍යාපාරයක් පරාජයට පත් වූවේත් ඇයි? මේ ප්‍රශ්නවලට ‘අයි ඩෝන්ට් නෝ වයි’ කියා ජිප්සීස්ලාගේ භාෂාවෙන් පිළිතුරු නො දී වෙනත් කතාබහක් සඳහා එය යොදා ගැනීම මෙවර ‘කිවි දා දැක්මේ’ අරමුණයි.

මේ මොහොත රට කාලයක් තිස්සේ මුහුණදී ඇති ඓතිහාසික අර්බුදය මාරාන්තික ලෙස පෙනෙන මොහොතකි. සමහර විට මේ පෙනෙන එක නැතහොත් එළිපිට ප්‍රකාශ වන තත්ත්වය කුමන හෝ ව්‍යාජයකින් වසා දැමීමට ද ඉඩ ඇත. එවිට අර්බුදය විසඳුනා කියා ඔල්වරසන් දී පිලිමළුන් නින්දාවට පත්කොට සමාජයේ අති බහුතරයක් ‘අපායේ ඉන්ටවල් එකට’ ගාල් කරනු ඇත. එසේ වන්නේ, මේ අපායක් ය; අපාදුක් විඳින ජනයා බොහෝය; ඒ දුකට හේතුව කුමක් ද? සහ ඉන් ගැලවීමේ මඟ කුමක්ද? යන්න දන්නා පිරිස නැවත ටික කාලයකට නිහඬ කරමිනි.

අප සියල්ලම මේ අර්බුදයේ විවිධ මට්ටම්වල හේතු කාරකයෝ වෙති. එහෙත් ඒ අතුරින් පිරිසක් මේ අර්බුදයට කල්පවතින විසඳුමක් සෙවීමට උත්සාහ ගන්නෝ වෙති. තවත් පිරිසක් අර්බුදයම විසඳුම් ලෙස ඉදිරිපත් කරන්නෝ වෙති. එසේ ම ඔවුන් මේ අර්බුදයේ දීර්ඝකාලීන කොටස්කරුවෝ වෙති. රටක් හිඟමනට පත්කිරීමේ වගඋත්තරකරුවෝ වෙති. රටම හිඟන්නන් කොට ඒ හිඟන්නන්ට යමක් දී අපි රටේ විපතට පත් ජනතාවට සහන දෙන්නෝ යැයි කියා මුසා බසින් සමාජය රවටන්නෝ වෙති. හැබැයි රට හිඟමනට, විපතට පත් කරනු ලැබුවේද ඔවුන් විසින්මය. එසේ ම වෙද්දු ලෙඩ්ඩු කොට විෂබීජ වෙද්දු කිරීමට කපටිකම සහ බලය යොදවන්නෝ ය. ඔවුන්ගේ ඒ උත්සාහය සාර්ථක වෙන්නේ ජිප්සීස් ලා සමාජයීයව ජයග්‍රහණය කොට දේශපාලනිකව පරාජය වූ හේතුව නිසාය.

සමාජයීයව ජිප්සීස්ලා ගේ සංනාදය බලවත් වී කෝටි ගණනක ප්‍රේක්ෂක පිරිසක් ඔවුන් වටා ඒකරාශී වූහ. එහෙත් ජිප්සීස් ලා ගෙනා දේශපාලන විවේචනය සහ විචාරය ජනාකර්ෂණය නො වී සුළු පිරිසකගේවත් සියුම් අවධානයට ලක් නොවී මැකී ගියේ ය. එහි භයානක හාස්‍ය වන්නේ ඒ විවේචන සහිත ගීත එකී විවේචනයේ අන්තර්ගතයට අයිති අයගේ ම වින්දනයට හේතු වීම ය. ඒ අනුව සමාජයීයව බලවත්ව සාර්ථක වූ ජිප්සීස් දේශපාලනිකව අසාර්ථක වී ගියේ ය. මෙරට ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර උගත යුතු හෝ අල්ලාගත යුතු පාඩම මෙතැන ඇතැයි මට සිතේ. සමාජ කතිකාව තුළ බලවත් දේශපාලන ව්‍යාපාර, පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන කතිකාව තුළ දුබලයන් සහ පරාජිතයන් වෙන්නේ ඇයි යන්න අප ගැඹුරින් සිතිය යුතු කරුණකි.

මේ දිනවල ගොඩනැගෙන දේශපාලන සන්ධාන, පෙරමුණු, බලකා, බලවේග, හඬවල් සහ කව කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. ඒ හැම එකක් ම රටේ බලය ඇල්ලීමට හැකිය යන ස්ථිර මතයක පිහිටා සිටින්නෝ ය. නායකයෝ බොහෝ වෙති. ඒ හැමෝම රටේ නායකයා වීමට තමාට හැකි බව කියා පාති. අර්බුදයට විසඳුම් ඔවුන් ළඟ ඇති බව කියති. එහෙත් ඒ කිසිවෙක් තමුන් ද අර්බුදයේ සම්පත් දායකයන් වූ බව අමතක කරති, නො කියති. මේ අතර ශක්තිමත් සහ සාපේක්ෂ වශයෙන් සමාන මූලික අදහස් තිබෙන ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර කීපයක් ඇති බව සත්‍යයක් වුවත් ඔවුන් අතර මේ වනවිට පෙනෙන්නට තිබෙන්නේ එකම හෝ බලවත් ම ව්‍යාපාරය බවට පත්වීමේ තරගයක් මිස සමඟියක සේයාවක්වත් නොවේ. මෙවැනි බෙදීමක් ප්‍රගතිශීලී ජයග්‍රහණයට හේතු නොවී ප්‍රතිගාමිත්වයට මඟ කියන්නකි.

ජිප්සීස් උපමාව තුළින් සම්පාදනය කරගත් දැනුම මේ පසුබිමට ගළපමු. සමාජ ආකර්ෂණය දේශපාලනික නොවූ තැන ඉන් මහා ප්‍රගතිශීලී දේශපාලන-සමාජ විපරිවර්තන අපේක්ෂා කළ නො හැකිය.

එසේම සමාජ ව්‍යාපාර සවිඥානික දේශපාලන ව්‍යාපාර විසින් නියාමනය කළේ නැත්නම්, සංවිධානය කළේ නැත්නම්, ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවලට අවනත නොවන්නේ නම් ඇතිවන්නේ ‘අරාබි වසන්ත’ හෝ ‘දේදුණු විප්ලව’ මිස ප්‍රගතිශීලී දේශපාලන-සමාජ විපරිවර්තන නොවේය. එබැවින් දෛනික සමාජ දේශපාලන ඈණුම් තිරසාර දේශපාලන දහරා ලෙස ගැනීම වැරැද්දකි, වරද්දා ගැනීමකි.

දේශපාලන ව්‍යාපාරයක් සමාජ ව්‍යාපාරයක් වීම හොඳය. එහෙත් සමාජ ව්‍යාපාර දේශපාලන ව්‍යාපාරයක් වීම යම් මට්ටමකට අවදානම් සහගත ය. 2015 ඊට එක උදාහරණයකි. සිදුවිය යුත්තේ සමාජ ව්‍යාපාර ප්‍රගතිශීලී විධිමත් දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන ව්‍යාපාරයකට සහයෝගය දීම හෝ අනුබද්ධව කටයුතු කිරීමය. ඒ එක කාරණයකි.

අනිත් කරුණ වන්නේ දේශපාලන ව්‍යාපාරයක් සමාජ ව්‍යාපාරයක් වන්නේ කෙසේ ද? එසේ විය යුතු ද යන්නය. මෙරට ආණ්ඩු බලය ලබාගත් බොහෝ සන්ධානවලට ඒ හැකියාව ලැබුණේ ඒ සන්ධානවල මතය හෝ මත කෙරෙහි සමාජ අවිඥානය තුළ එනම් යටි හිතේ තිබූ කැමැත්ත නිසා ය. ජනයා බැනුම් අසමින් දිගටම පැති මාරුකරමින් විමුක්තිය අපේක්ෂා කරන්නේ ඒ නිසා ය. ලංකාවේ දක්ෂිණාංශය පැති මාරුකර කර ජයගන්නේ ඒ නිසාය. ඔවුන්ට ඇත්තේ අවිඥානික සමාජ පදනමකි. ජිප්සීස්ලා ගේ සංනාදයට සමාජය කැමති වෙන්නේ එහි ඇති විනෝදකාමී අවිඥානයට ය.

එහෙත් එහි ඇති විචාරශීලී දේශපාලන ආමන්ත්‍රණය ඔවුන්ට ඇසෙන්නේ නැත. ඇසුනාට සන්නිවේදනය වෙන්නේ නැත. ජිප්සීස්ලාගේ විනෝදජනක අවිඥානය නිසා පසුගාමීත්වය ජය ගනී; එහි ඇති දේශපාලන ආමන්ත්‍රණය සන්නිවේදනය වී සමාජය සවිඥානික නොවන නිසා ප්‍රගතිශීලිත්වය පරාජය අත්කර ගනී.

මින් අප උගත යුතු පාඩම වන්නේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් සමාජ අවිඥානය තුළට ගමන් කළ යුතු බව ය. එසේ කිරීමට නම් දේශපාලන ව්‍යාපාර සමාජ කෑකෝ ගැසීම්වලින් කුලප්පු නොවන පරිණත  දේශපාලන-සමාජ ව්‍යාපාර බවට පත්විය යුතු ය. ලංකාවේ වමට බැරි වුණේ එසේ වීමට ය. ආරම්භයේ එවැනි හැකියාවක් පෙන්නුම් කළ මුල් වම පසුකාලීනව දක්ෂිණාංශික සමාජ අවිඥානකත්වය හමුවේ පසුබැස්සේ දක්ෂිණාංශයේ වාමාංශික පැහැය බවට පත්වෙමිනි.

ඉන් පසු බිහි වූ නව වාමාංශය තම පසුබෑම පෙන්නුම් කළේ එය හුදු ග්‍රාමීය තරුණ දේශපාලන අවිඥානකත්වයක් බවට පටු කරමිනි. ඉන් පසු එය පන්ති භේදය, ද්‍රෝහී-ප්‍රේමී සහ සතුරා-මිතුරා උගුල් තුළ හිරවිණි. තවත් වරෙක එය ජාතිභේද උගුලේ හිරවිණි. ඒ සියල්ල තුළ සිදු වුණේ නව වම පුළුල් ස්වදේශික දේශපාලන-සමාජ ව්‍යාපාරයක් නොවී පටු කලාපයක හිර වීම ය. එපමණක් නොව දේශපාලන-සමාජ ව්‍යාපාරයක් ලෙස, සමාජ ව්‍යාපාර සහ සමාජ ක්‍රියාකාරීන් මෙහෙය වීම නොව සමාජ ව්‍යාපාරවල සහ සමාජ ක්‍රියාකාරිකයන්ගේ අතකොළුවක් බවට පත්වීමය.  ඒ නිසා නිරීක්ෂණය කළ හැකි කරුණක් වන්නේ තවමත් නව වම හුදු දේශපාලන ව්‍යාපාරයක් හෝ ව්‍යුහයක් මිස දේශපාලන-සමාජ ව්‍යාපාරයක් බවට පත් වී නැති බව ය.

‘ඉතින් ප්‍රශ්නයක් නැහැනේ’ යනුවෙන් සහ ඊටත් වඩා අසභ්‍ය ලෙස සමාජ මාධ්‍ය තුළ පොදු වැසිකිළි කුරුටු ලියවිලි (ග්‍රැෆිටි) ආකාරයේ කොමෙන්ටු දමන ‘බරපතළ වාමාංශිකයන්’ ඇනුම් පද කිව හැකි වුවත් දේශපාලන ව්‍යාපාරයක් පටු වන තරමට එය සමාජයීය වීමෙන් ඈත් වන බව කිව යුතු ය. රටක දේශපාලන බලය ප්‍රජාතන්ත්‍රවාදී තාක්ෂණය යටතේ අත්පත් කර ගැනීමට නම් අදාළ දේශපාලන ව්‍යාපාරය දේශපාලන-සමාජ ව්‍යාපාරයක් විය යුතු ම ය. ජයග්‍රහණයකින් පසු එකී දේශපාලන-සමාජ ව්‍යාපාරයේ ප්‍රතිසංස්කරණවලට සහ පැවැත්මට යුක්තියුක්ත භාවයක් ලැබෙන්නේ එවිට ය. එසේ නොවන හුදු දේශපාලන ව්‍යාපාරවල පැවැත්ම කෙටි කාලීනය. එසේම සමාජ ආකර්ෂණය, දැවැන්ත දේශපාලන කැමැත්තක් හෝ සමාජ දේශපාලන සවිඥානකත්වයක් ලෙස ගැනීම වැරදි තක්සේරුවක් බව ජිප්සීස් උදාහරණයෙන් අප ලබා ගත යුතු මූලික දැනුමය. දේශපාලන කැමැත්ත ලබා දීම සඳහා සමාජ ආකර්ෂණය තීරණාත්මක සාධකයක් නොවන බව තේරුම් ගත්විට වමට වැරදුණේ කොතනද යන්න නිසි ලෙස සොයාගත හැකි වනු ඇත. එවිට ‘අයි ඩෝන්ට් නෝ වයි’ වෙනුවට ‘වී නෝ නෝ වයි’ කියා කිව හැකිය. ජයවේවා මිතුරනි.

(***)


කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක