පානම ප්‍රාදේශීය රෝහලේ සූතිකාගාරයේ වහලය මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම වහලය කැඩී මසකට වැඩි කාලයක් ගත වුවද එය පිළිසකර නොකිරීම නිසා ගැබිනි මව්වරුන් දැඩි පීඩාවකට පත්ව සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

පානම ප්‍රදේශයට ඇති එකම රෝහල මෙම රෝහල බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. වහලය කඩාවැටීම නිසා එම ගොඩනැගිල්ල ප්‍රයෝජනයට නොගන්නා බවත් දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන මව්වරුන් වෙනත් රෝහල් කරා යොමුකරන බවත් අප ප්‍රවෘත්තියේ සඳහන් වන අතර අසාධ්‍ය රෝගීන් දරු ප්‍රසූතිය සඳහා රෝහලේම වෙනත් ස්ථාන කරා යොමු කරන බවත් සඳහන්ය.

කොළඹට බොහෝ දුර බැහැර ප්‍රදේශවල තත්ත්වය පානම රෝහලේ සූතිකාගාරයේ තත්ත්වයට බොහෝ සෙයින් සමානය. එම ප්‍රදේශවල ජීවත්වන ජනයාට බොහෝ සෙයින් අත්‍යවශ්‍ය වන ස්ථානයක් කැඩුනොත් කැඩුනාමය. ඒවා ප්‍රතිසංස්කරණයට බොහෝ සෙයින් කාලය ගත වේ. එම කාලය තුළ ඇතිවන සියලු දුෂ්කරතා එම ජනතාවගේ ජීවිතවලම කොටසකි. තමන් මේ රටේ තුන්වැනි පන්තියේ මිනිසුන්ය යන හැඟීමක් එම ජනතාවට ඇති වන්නේනම් ඒ සම්බන්ධයෙන් විමතියක් ඇතිකර ගත යුතු නැත.

අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අතුල ප්‍රසංග සේරසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එම ගොඩනැගිල්ල කඩාවැටුණාට රෝහලේ දරු ප්‍රසූතිය සඳහා වෙනත් ඉඩකඩ තිබෙන බවය. එම නිසා සූතිකාගාරයේ වහලය කඩාවැටීම පානම ජනතාවට ප්‍රශ්නයක් නොවන බවය. එමෙන්ම ගොඩනැගිල්ල අලුත්වැඩියාව සඳහා යොමුකර තිබෙන බවත් පැලැස්තර විසඳුම් යොදනවාට වඩා අලුත්වැඩියාව හරියටම කළ යුතු බවත් එයට කල්යන බවත්ය.

අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා එසේ ප්‍රකාශ කළ ද දරු ප්‍රසූතිය වැනි සුවිශේෂි අවස්ථාවකට ඒ සඳහා ආරක්ෂාකාරී හා පහසුකම් සහිත ස්ථානයක් ඇවැසිය. රෝහලේ වෙනත් තැන්වල ඉඩකඩ තිබේයැයි කියා දරු ප්‍රසූතිය සඳහා එම ස්ථානවලට මව්වරුන් යොමු කිරීම එක් අතකින් මාතෘත්වයට නිගාවකි. ප්‍රමුඛතම කාර්යයක් සේ සලකා සූතිකාගාරය අලුත්වැඩියා කළ යුත්තේ එහෙයිනි.

පානම රෝහලට ආසන්නම රෝහල පිහිටා තිබෙන්නේ පොතුවිල් නගරයේය. පානම සිට පොතුවිල්වලට දුර ප්‍රමාණය කිලෝමීටර් 17කි. අසාධ්‍ය ගැබිනි මව්වරුන් එපමණ දුරකට රැගෙන යාම එක් අතකින් එම මවට මෙන්ම පවුලේ ඥාතීන්ටද දුෂ්කර ක්‍රියාවකි. විශේෂයෙන්ම ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් ලෙස නොමැති පානම වැනි පළාතක අතිශයින්ම හදිසි අවස්ථාවකදී කිලෝමීටර් 17ක් වැනි දුරක් ගමන් කරන්නේ කෙසේද යන්න කොළඹ මනසින් බැහැර වී කල්පනාවට ගත යුත්තකි.

‘‘කොළඹට කිරි - අපට කැකිරි’’ යනුවෙන් ගම්බද ජනයා උද්ඝෝෂණය කළ යුගයක් ද විය. කොළඹ සහ ගම අතර පරතරය එතරම්ම විශාලය. කොළඹ ප්‍රධාන පාසලක පිහිනුම් තටාකය සකස් කිරීමට වෙන් කළ මුදලට සමාන මුදලක් මොනරාගල අධ්‍යාපන දිස්ත්‍රික්කයට වෙන් කළ පුවත ඉපැරණි වුවද කොළඹ හා ගම අතර පරතරයට කදිම නිදසුනකි.

ගම්බද ජනයාගේ ජීවිත ඉතාම දුෂ්කරය. ජීවත්වීමට අවශ්‍ය පහසුකම් අවශ්‍ය මට්ටමට ඔවුන්ට නැත. මාර්ග පද්ධති සකස් වන්නේද මෑතක සිටය. ‘‘සැමට විදුලිය’’ යැයි කීවද විදුලිය නැති ගම්මාන තවමත් තිබේ. පාසල්වලට අවැසි මානව සම්පත  මෙන්ම භෞතික සම්පත් නැත. රෝහල් තිබුණද ඖෂධ වර්ග මෙන්ම අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් නැත. පානම රෝහලේ සූතිකාගාරයේ වහලය කඩාවැටීමේ පුවතින්ද එය සනාථ වේ.

පානම රෝහලේ සූතිකාගාරයේ වහලය කඩාවැටී මාසයකට වඩා වැඩි කලකි. කවර හේතු සාධක ඉදිරිපත් කළද අලුත්වැඩියාවට එතෙක් කාලයක් ගැනීම කිසිසේත්ම සාධාරණ නැත. එක අතකින් ගැබිනි මවකට අසාධ්‍ය වීම කල් ඇතුව දැනුම් දී සිදුවන්නක් නොවේ. ඒ ඕනෑම මොහොතකට අවශ්‍ය පහසුකම් තිබීම ජීවිතයට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට හේතුවකි. තමන්ගේ ජීවිත වඩාත්ම අවිනිශ්චිත යැයි යමකුට සිතෙන්නේනම් මනුෂ්‍යත්වයේ අසරණකම යනු එයම විනා අන් යමක් නොවේ. අද දවසේ පානම ගැබිනි මව්වරුන් විශේෂයෙනුත් පොදුවේ මහජනයාත් අත්විඳිමින් සිටින කටුක යථාර්ථය එයම වේ.

මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක මොනවාදැයි විමසා බලා ලැයිස්තුගත කර ප්‍රමුඛතාව දිය යුතු ඒවාට ප්‍රමුඛතාව දිය යුතුය. ඒ ඒ ගම්වල ජනයාට ප්‍රමුඛව බලපා ඇති අඩුපාඩු හඳුනා ගත යුතුය. එසේ ලැයිස්තුගත කිරීමක් කරන්නේනම් එය යථාර්ථයට පහසුවකි. එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ සංවර්ධනයට වෙන් කළ මුදල් කුමන හෝ ව්‍යාපෘතියකට වැය කිරීමය. ඇතැම්විට එම ව්‍යාපෘතිය එම ජනයාට ඵලදායි නොවීමට ද ඉඩ තිබේ. එහෙයින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නියත වශයෙන්ම යොමු විය යුතුය.

(***)