ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන නිකලස් සාර්කෝසිට එරට අධිකරණයක් මගින් වසරක සිරදඬුවමක් නියම කර තිබේ. 2012 වසරේදී සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නීති විරෝධී ලෙස අති විශාල මුදලක් වියදම් කිරීම ඔහු සිරගත කිරීමට හේතු වූ වරද විය. තමා වරදක් නොකළ බව සිය නීතිඥවරුන් හරහා ඔහු අධිකරණයට පෙන්වා දී තිබුණත් නඩුව විභාග කළ පැරිස් අධිකරණය එය පිළිගෙන නැත. තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිකරන බව ඔහුගේ නීතිඥයන් පසුව ප්‍රකාශ කර තිබිණි.

ප්‍රංශයේ මැතිවරණ නීතිරීතිවලට අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයකුට ඩොලර් මිලියන 24කට වඩා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට වියදම් කළ නොහැක. සාර්කෝසි එම මැතිවරණයේ දී ඩොලර් මිලියන 54ක් වැයකර තිබූ අතර තමා වැඩිපුර වියදම් නොකළ බව පෙන්වීමට ඔහු ඉදිරිපත් කර තිබූ ඇතැම් රිසිට්පත් ව්‍යාජ ඒවා යැයි නඩු විභාගයේ දී තහවුරු වූ බවද සඳහන්ය.

මේ රටේ බොහොමයක් මැති ඇමැතිවරුන්ගේ වාසනාවකට ශ්‍රී ලංකාවේ බලාත්මක මැතිවරණ නීතිරීති ප්‍රංශයේ මැතිවරණ නීතියට වඩා වෙනස්ය. එසේ නොවී නම් මෙරට බොහොමයක් ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව සිරගතවය. අපේ රටේ මැතිවරණවල දී නීතිවිරෝධී ලෙස වැය කෙරෙන මුදල් ප්‍රමාණය එතරම් විශාලය. එහෙත් ඒවාට නඩු පැවරෙන්නේ නැත. විවිධ හේතු ඉදිරිපත් කර වැයකරන මුදල සාධාරණීකරණය කිරීම සාමාන්‍ය සිද්ධියකි. අපේක්ෂකයන් පවසන වඩාත් පොදු හේතුව වන්නේ එම මුදල් වැය කරන්නේ තමා නොව තමන්ගේ දේශපාලන හිතවතුන් බවත් ඒවා නැවැත්වීමට තමන්ට හැකියාවක් නොමැති බවත්ය. එවැනි හේතූ ඉදිරිපත් කර නීතිමය වශයෙන් දඬුවමකට ලක්වීමෙන් වැළකීමට ප්‍රංශය වැනි රටවල නම් හිටපු ජනපතිවරයකුට වුවද ඉඩක් නොමැති බව සාර්කෝසි නඩු තීන්දුවෙන් පැහැදිලි වෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ එහෙම නැත.

මේ සිද්ධිය ශ්‍රී ලංකාවට ද කදිම පාඩමක් උගන්වා තිබේ. ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් සඳහා හෝ ඇතිතරම් මුදල් වියදම් කිරීම, නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් සිරදඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වාදීම එම පාඩමය. නීතියේ හිදැස් අතරින් රිංගා යාමට තිබෙන සියලු‍ ඉඩකඩ වසා දැමීමකින් තොරව මේ වැරැද්ද දිගින් දිගටම සිදුවීමෙන් වළක්වා ගත නොහැක. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය මේ සඳහා යොමුවීම වැදගත් යැයි අපි සිතමු. එම කාරක සභාව හමුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා කර තිබුණේ මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු බවය. එය ද එක් පියවරක් බව පෙන්වා දිය යුතුය.

මැතිවරණයක දී අසීමිත ලෙස මුදල් වැය කිරීමට ඉඩ දීම පවා දූෂණයකි. එසේ වියදම් කරන මුදල් කළු සල්ලි වුවද ඒවා ගැන ප්‍රශ්න කිරීමට නීතියක් නැතිවීම ලොකුම අසාධාරණයයි. ජාවාරම්කරුවන්ද, කළු සල්ලි මත පිහිනන අපරාධකාරයන් ද ජනාධිපතිවරණයක දී හෝ මහ මැතිවරණයක දී හෝ ඇති තරම් සල්ලි විසිකර දමා පසුව තමන්ගේ ‘අශ්වයා’ බලයට පැමිණි පසුව වියදම් වූ මුදල මෙන් දෙතුන් ගුණයක් හැකි තරම් කෙටි කාලයක දී උපයා ගැනීමට කරන උත්සාහය මේ රටේ මහා පරිමාණ දූෂණ සහ වංචාවල කොඳුනාරටිය වී තිබේ. බොහොමයක් රටවල මැතිවරණ වියදම් සීමා ඉක්මවීම සිරදඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කර ඇත්තේ එවැනි වංචා, දූෂණ වැළැක්වීමේ පියවරක් වශයෙනි. එම රටවල් ආදර්ශයට ගෙන අපේ රට තුළ ද එවැනි නීති සකස් කළ හැකි නම් බලයට පත්වන ආණ්ඩුවලට එල්ලවෙන දූෂණ සහ වංචා චෝදනාවලින් ගැලවී සිටිය හැක. එහෙත් බලයට පැමිණීම අසීමිත ධනයක් උපයා දෙන බලපත්‍රයක් වශයෙන් සලකන දේශපාලනඥයන් සිටින තුරු එවැනි තත්ත්වයක් අපේ රට තුළ ඇති කිරීම සිහිනයක් පමණි.

මැතිවරණවල දී වියදම් පාලනය පමණක් නොව රාජ්‍ය දේපළ සහ සම්පත් යොදා ගැනීම ද බරපතළ වරදක් වශයෙන් සලකා කටයුතු කිරීම ද අවශ්‍යය. මැතිවරණ නීති යටතේ එය වරදක් වශයෙන් සඳහන් වුවද මේ වැරැද්ද සෑම රජයක් යටතේම සිදුවෙයි. එය මැතිවරණ දූෂණයක් වශයෙන් සලකා කටයුතු කෙරුණත් ඒ හේතුවෙන් මන්ත්‍රී පදවි අහෝසි කෙරුණු අවස්ථා හෝ සිරදඬුවම් නියම කළ අවස්ථා හෝ දැකගන්නට ලැබී නැත.

මැතිවරණ පැවැත්වීම නිදහස් සහ සාධාරණ ලෙස සිදුවීම අවශ්‍ය මෙන්ම දූෂණයෙන් තොරවීම ද අවශ්‍යය. අසීමිත ලෙස මුදල් වැය කිරීමට ඉඩ තිබෙන තත්ත්වයක් තුළ මේ කිසිදු අවශ්‍යතාවක් ඉටුවෙන්නේ නැත. දූෂණයෙන් තොර මැතිවරණ පැවැත්වීමට නම් අසීමිත ලෙස මුදල් වැය කිරීමට තිබෙන සියලු‍ ඉඩකඩ අහුරා දැමීම අත්‍යාවශ්‍යම කොන්දේසියකි. එවැනි වෙනසකට සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් ප්‍රංශයේ හිටපු ජනපතිවරයකු වන සාර්කෝසිට ලබාදුන් දඬුවම ශ්‍රී ලංකාවට ද ආදර්ශයක් කර ගැනීම පමණක් ප්‍රමාණවත්ය.

(***)