ජීවත්වන නිවස

 

”ජාතික වෘක්ෂය මොකක්ද? නා ගස,
නාමලේ අංග මොනවද? පෙති තුනක් තියෙනවා. නාමල් රේණු තියෙනවා....”
නාමල් අංග මහා විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ දරුවෝ මේ කරුණු ඉගෙන ගත්හ. පසුගිය අගෝස්තු විභාගයට ඉදිරිපත් වුණා. ඔක්තෝබර් පළවැනිදා නාමල්අංග විද්‍යාලයේ ගුරුවරියක් ඇගේ ජංගම දුරකථනයෙන් ප‍්‍රතිඵල බැලූවා.

ඩබ්.කේ. මධුෂිකා මධුවන්ති කුමාරි ලකුණු 171 ක් ලබාගෙන. තවත් දරුවො තුන්දෙනෙක් සමත්, මධුෂිකා විභාගය සමත්වීම පිළිබඳ පංතිභාර ගුරුතුමිය වන එස්.ඩබ්.ජී.කේ. රම්‍යලතා මහත්මිය, විදුහල්පති ගනේගොඩ සීලානන්ද හිමි ඇතුළු ඇදුරු මඩුල්ලම සතුටු වූහ.

මධුෂිකා ගැන අප ලියන්නට තීරණය කළේ ඇය ඉගෙන ගන්නට විඳින අපමණ දුෂ්කරතා ඔබ හමුවේ තැබීමටය. අප ඇගේ නිවසට යන විට මධුෂිකාගේ මව කිට්ටු නිවසකින් ප්ලාස්ටික් පුටු දෙකක් ගෙනැවිත් තැබුවාය.

”ඉතින්න දු කියන්න. ඔයා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්නෙ...” මම කීවෙමි.

”අපේ ටීචර් කෙනෙක් එයාගෙ ෆෝන් එකෙන් ප‍්‍රතිඵල බලලා කිව්වා. ලකුණු 171 ක් අරගෙන මධුෂිකා පාස්වෙලා කියලා. මං ගෙදර ඇවිත් අම්මට කිව්වා. අම්මා කිව්වා හොඳයි කියලා.

 

අද පාඩම් කරන්නේ මෙහෙමයි.

 

”මෙහෙ ඉඳලා අපව ඉස්කෝලෙ ගෙනියන්නෙ තාත්තා. මං පංති ගියේ නෑ. ඉස්කෝලෙන් ඉගැන්වූ දේවල් පාඩම් කළා. විදුහල්පති හාමුදුරුවෝ හැම මාසෙම මට පත්තරයක් අරගෙන දුන්නා. ප‍්‍රශ්න පත්තර එහෙමත් දුන්නා. දැන් ඉතිං ලොකු ඉස්කෝලෙකට මට ගිය හැකියි.” කියලා ටීචර්ලා කිව්වා.

මධුෂිකා බැලීමට ගිය අපි හැකි පමණින් තෑගි පාර්සලයක් ගෙන ගියෙමු. ඒවා රැුගෙන ඇතුළට ගිය මධුෂිකා සමග අපිද ගියෙමු. ”කෝ පුතේ පොත් මේසය...?”

”තියෙනවා” යැයි කියූ මධුෂිකා කාමරයට ගොස් කාඞ්බෝඞ් පෙට්ටි පියනක් අයින් කර පෙන්නුවාය. වහලෙන් රොඩු වැටෙන නිසා පෙට්ටි පියන වැසූ බවයි මධුෂිකා කීවේ. මේක අපේ නිදන කාමරය, මධුෂිකාගේ නැගණිය වන ස්වර්ණකාන්ති කුමුදු කුමාරි ද කාමරයට ආවාය. ”මම ඉස්කෝලෙ එකේ පංතියේ ඉන්නේ ඇය කීවාය.

”නං

පන්තිභාර ගුරුතුමිය සමග

ගීටත් මා පාඩම් කියලා දෙනවා.” කියමින් අප ගෙනගිය කතන්දර පොතක් රැගෙන ඉස්තෝපුවේ ලී මැස්ස උඩ ඉඳගත්තාය. මම පාඩම් කරන්නෙ මෙතැන ඉඳන්. මේක හදලා දුන්නෙ තාත්තා” ඇය කීවාය.

වර්ග අඩි 120 ක් පමණ වූ කුඩා ගෙපැළේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන බවත්, පුංචි කුස්සියේ ඉදෙන බතෙන් ටිකක් කුරුල්ලන්ට දමන බවත් මධුෂිකා කීවාය. කුප්පි ලාම්පුව දල්වාගෙන දරලිප පත්තු කරලා මට උයන්නත් පුළුවන්. මුළු ගෙපැළම පොල් අතුවලින් වටවී තිබියදීත්, ගේ පිරෙනතුරු ගොඩගසා ඇති රෙදි මලූ තිබියදීත් කුප්පිලාම්පු භාවිත කිරීම මේ කිරි දරුවන්ට කෙතරම් අවදානම් දැයි අපි සිතුවෙමු.

”පුතේ ඔයාලා අඳින ඇඳුම් තෝරගන්නේ කොහොමදැයි අපි විමසුවේ රෙදි වැටක්වත් නැති ගේ රෙදි මලූ විතරක් ගොඩගසා තිබෙන බව දැක්ක නිසාය.
වටිනාම රෙදිපිළි තබන්නේ, විසිතුරු සහ යතුරු දැමිය හැකි අල්මාරිවල වුවත්, මධුෂිකාගේ නිවසේ වටිනාම රෙදිපිළි වූ පාසල් නිළඇඳුම් තැබීමට ගේ ඉදිරිපිට කුඩා මඩුවක් සාදා තිබුණි. අපි ඇගේ නිවස ඇතුළත් පිටත් බැලූවෙමු. හැමදේම මධුෂිකා හරිම සතුටින් විස්තර කළාය.

එච්.ඒ. පොඩි මැණිකේ මධුෂිකාගේ මවය. ඇය කෙදිනකවත් පාසල් ගොස් නැති නිසා අකුරක්වත් ලිවීමට නොදනී. එහෙත් ඇය පොත්වල වටිනාකම දන්නීය. ඒ නිසාම ඇය ඉරටු ගා විකුණා මුදල් කළ පසු දරුවන් දෙදෙනාට පොත්පත් අරන් දෙනබව මධුෂිකා කීවාය. මධුෂිකාගේ පියා ඩබ්.කේ. ජයතිලකය. ඔහු අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගන තිබුණත් මේසන් බාස් කෙනකුට අත්වැඩ දෙමින් දෛනික වැටුපට වැඩකරගෙන යයි. ඔවුන් දැනට පදිංචි ඉඩමේ පර්චස් අටක කොටසක් ඉඩම් හිමිකරුවන් පරිත්‍යාග කළ බව මධුෂිකාගේ මව කීවාය. අසල පන්සලකින් ගල් ට‍්‍රැක්ටරයක් ලැබී ඇති නමුත් අත්තිවාරම දමා ගැනීමට ඔවුන් අපොහොසත්ය. මෙහෙනින් වහන්සේගේ සොයා බැලීම යටතේ දරුවන් දෙදෙනාට අවශ්‍ය රෙදිපිළි පොත්පත් කෑම බීම යනාදිය හැකිතරම් පිරිමැසූ බව මෙහෙනින් වහන්සේ කීවාය. ඒ නිසාම කරුවලගස්වැවේ සුචින්තනී මෙහෙනින් වහන්සේගෙන් තව තොරතුරු ටිකක් අපි අසා දැනගත්තෙමු.
”මධුෂිකාගේ තාත්තා මත්පැන් පානය කරන්නෙ නෑ. සිගරට්ටුවක්වත් බොන්නෙ නෑ. මේ ළමයි තියාගෙන ඉස්කෝලෙට ගිහිං දානවා. ආපහු ගේනවා. ඒ තාත්තා ජයතිලකගෙ උපන්ගම ගොකරැල්ල. ඒත් මධුෂිකාගේ මව ගලේවෙල ප‍්‍රදේශයේ. ඇයත් සුළු සුළු වැඩ කරනවා. ඒත් මේ අයව නැගිට්ටවන්න  ඕනෑ. මාත් ඉතා අමාරුවෙන් ජීවිතය කළමනාකරණය කරගන්නෙ. හැකි පමණින් මේ අයටත් උදව් කරනවා. මට යමක් මේ සමාජයට කියන්න  ඕනෑ. පුහු දේවල් පිටුපස නොගියා නම් ජීවිතය ජයගන්න පුළුවන්. ඒත් මේ අසරණ පවුලට උදව් උපකාර ලැබිය යුතුයි. ඔවුන්ගේ හෙට දවස සකස්කර දිය යුතුයි. මම හැම මොහොතෙම සූදානම් උදව් කරන්න.” සුචින්තනී මෙහෙණින් වහන්සේ කීවාය.

ආපසු එන්නට සැරසෙද්දී කිසියම් මුදලක් මධුෂිකා අත තැබුවේ ”බිස්කට්, චොක්ලට් ගන්න” කියමිනි. අපි කඩචෝරු කන්නෙ නෑ. ඒ සල්ලි වලිනුත් අපට අවශ්‍ය දේ ගන්නවා. මධුෂිකා හිනාවී අප සමග කීවාය.

 

ඇගේ පොත් මේසය.

 

ඉරිදා ලංකාදීප පාඨකයන් ඉතා පරිත්‍යාගශීලී බව අපි දනිමු. මෙවැනි අසරණ දරුවන් ගැන අසනවිට ඔබේ හද උණුවන බවද අපි දනිමු. ඒ නිසා මේ දිරිය දැරියටත් ඔබේ පිහිටාධාරය ලැබෙනු ඇතැයි අපි සිතමු. ඇගේ නිවසේ එක බිත්තියක්වත් නැත. නිවසක් කීවාට එය පොල් අතු කිහිපයක් ඇතිරූ මඩුවකි. ඒ මඩුවේ කුඩා නැගණියත් අම්මා සහ තාත්තාත් සමග මධුෂිකා ගෙවන ජීවිතය සැබැවින්ම ඇසට කඳුළක් නැංවීමට සමත්ය. හෙට අනිද්දා වැඩිවිය පත්වන්නට සිටින මේ දැරිවියට එම කුඩා පැල්පතේ හිමි රැකවරණය ගැන සිතන විට මගේ නෙතට කඳුළු නංවයි. මේසය යැයි කියන කාඞ්බෝඞ් පෙට්ටි පියන උඩ තබාගෙන පුටුව යැයි කියන ලීමැස්ස මත වාඩිවී ඇය ඉගෙන ගන්නා අපූරුව ඔබ දුටුවේ නම් ඔබේ නෙතට කඳුළු උනනු ඇත. අද ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 171 ක් ලැබුවේ මේ පරිසරයේ සිටය. ඇගේ ඉදිරි අනාගතය වෙනුවෙන් පිහිටක් වන්නට ඔබට හැකිනම් එය මහත්ඵල මහානිසංස ලැබෙන පිනක්ම වනු ඇත.