ගහකොළ සතා සිව්පාවා ඇළ දොළ පරිසරය රැක ගැනීමට නව වසරේ හැම දෙනාටම සිතක් පහළ වේවායි ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නියලැ ඇත්තෝ සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් කියා සිටී. දඹාන කොටවන්නියේ පිහිටි සිය පැල්කොටයේ දී ගනු කාලය පිළිබඳව ආවර්ජනයක යෙදෙමින් ඔහු කතා කළේ පරිසරයට සිදුවූ හානිය පිළිබඳව දැඩි කම්පාවට පත් වෙමිනි. මට හිතෙන්නේ අලි ඇතුන් වැඩියෙන්ම ඝාතනය කෙරුනේ 2011 වසරේ කියලයි. නිතරම අලි ඝාතන ගැන අහන්න ලැබුණා. අලි ඇතුන් වනයට ආඩම්බරයක්. ඒ සද්දන්තයන්ට උරුම වන පෙත දවසින් දවසම මිනිස්සු ආක‍්‍රමණය කළා. ගස් කැපීමේ හොර දැව ජාවාරම්කරුවෝ නැහැ. සමහර දැව සංහාරයන්ට නිලධාරිනුත් දේශපාලනඥයිනුත් හවුල් වෙලා තිබුණා. සංවර්ධනයට යැයි කියමින් වනාන්තර කපා දැමූ අවස්ථාවන් ද තිබුණා. වන සත්ත්ව දඩයම් ද මේ ආකාරයෙන්ම සිදු වුණා. සංයමයකින් යුතුව ආහාරයට පමණක් වන සතුන් දඩයම් කිරීම ආදිවාසීන්ගේ උරුමයන්ව තිබුණා. එයට පවා තහනම් වුවත් අපි ඒ ගැන සටන් කළේ නැහැ. මොකද? දඩ මස් නැතිව වෙනත් ආහාර ගන්න රැුහේ අය පුරුදු වුණා. ඒත් වන සතුන් දඩයම් කිරීම මහා පරිමාණ හා ව්‍යාපාරික මට්ටමින් බාහිර සමාජය විසින් සිදු කරනු ලැබුවා. තවත් පැත්තකින් කැලෑ පාළුවන් නොනවත්වාම වන සංහාරයේ යෙදුනා. අසීමිත වනය නිජබිම වූ ආදිවාසීන් වනයෙන් පිටමං කළා. ඒ වනය සීමා වෙන කොට වන සතුන්ට යන එන මං නැති උණා. වන අලි ගම් නියම්ගම්වලට එන්න පටන් ගත්තේ මේ නිසයි. ඒ ගම් නියම්ගම්වල එදා තිබුණේ කැළෑවයි. අලි ගමට එනකොට අලි මිනිස් ගැටුම ඇති වුණා. බඩ ගින්න වැඩි වුණාම කැළෑවේ සුපුරුදු නිදහස කෑම බීම නැති වුණාම අලි ඇතුන්ට උනත් තරහ යනවා. එහෙම වෙලාවට තමයි මිනිසුන් මරා දමන්නේ. මිනිස්සුන්ගේ පැත්ත බැලූවමත් කනගාටුදායකයි. තමන්ගේ වගා වනසන කොට ගෙවල් කඩන කොට ඒ අයට තරහ යනවා. වෙඩි තියලා මරු වැල් අටවලා වස කවල අලි ඇතුන් මරන්න මිනිසුන් පෙළඹුනා. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. මිනිසුස්නටයි වන සතුන්ටයි දෙගොල්ලටම මේ අසාධාරණය උරුම කළේ වනය උදුරා ගත්ත මිනිස්සුයි. වනය සීමා කළ මිනිස්සු වනය නිසි ලෙස රැක ගෙනත් මිනිස්සු මේ සියලූ ජීවිත හානිවලට වග කිව යුතුයි කියලයි මං විශ්වාස කරන්නේ. මොළකාරයන් බව කියන සමහරු රූස්ස ගස් කපල විනාශ කරන්න සැලසුම් හැදුවා. පුරාණ මුතුන්මිත්තන් දුර දිග බලලා හදපු මහා වැව්වල තාවුල්ලේ ගස් හිටෙව්වේ ජල උල්පත් හා පරිසරය ආරක්‍ෂාවෙන්න. පරදේශක්කාරයන්ගේ උපදෙස් ගත් නූතන මොළකාරයන් එම ගස් පවා කපා ඉවත් කරන්න සූදානම් වුණා. මහියංගණ සොරබොර වැවේත් ගස් කපන්න සැලසුම් කරලා තිබුණ. මේක ආරංචි වුණ ගමන් මම විරුද්ධත්වය පළ කළා කලා වැවේ තත්ත්වයත් එහෙමයි. පරිසරවේදීන් විරෝධය පළ කළා. ඒ නිසා ඒ විනාශය මග හැරුණා. කැළේ ඉන්න අපයි කැළෙන් බැහැරව ඉන්න අයයි ශීත කාමරවල ඉන්න අයයි ඔක්කොම රැකෙන්නේ පරිසරය රැක ගන්තොත් විතරයි. පරිසරය විනාශ වෙන කොට වැදි ජනයා සමාජ ප‍්‍රශ්න රැසකට මුහුණ දුන්නා. ප‍්‍රධානතම ප‍්‍රශ්නය වුණේ ජීවත් වීම. වනය තුළ නිදහසේ ජීවත් වීම අහිමි වුණා. වත්මන් ජනාධිපතිතුමා තරමක් සහනයක් දුන්නත් එදා සුපුරුදු දිවිය අද ගත කරන්න වැදි ජනයාට හැකි වෙලා නැහැ. නායකයෙක් විදියට මට තියෙන ලොකුම අභියෝගය රැහේ ජනතාව අපේ සංස්කෘතිය තුළ රඳවා තබා ගැනීමයි. පාරිසරික ප‍්‍රශ්න නිසා අසරණ වූ වැදි ජනයා විවිධ ජීවනෝපායන්ට යොමු වෙනවා. විවිධ සිරිත්වලට යොමු වෙනවා. වැදි ජනයාගේ ඉදිරි පැවැත්ම ආරක්‍ෂා කර ගැනීම උදෙසා වැදි නීති පවා ලිහිල් කිරීමට මට සිදු වුණා. රැහේ කැකුළියක් පිටස්තරයෙක් එක්ක විවාහ වුණොත් රැහෙන් පිටමං කිරීම එවැනි නීතියක්. කන්න බොන්න නැති වෙන කොට සමහර කැකුළියන් රැකියා සොයාගෙන නගරයට සංක‍්‍රමණය වුණා. විශේෂයෙන්ම ඇඟලූම් කම්හල්වල වැඩට ගියා. ඒ අය වැදි නොවන තරුණයන් හා හිතවත්කම් ඇති කරගෙන විවාහ වූ අවස්ථා තිබෙනවා. තවත් කාන්තාවෝ කීප දෙනෙක් පිටරට ගෘහ සේවිකාවන් ලෙස වැඩ කරනවා. රජයේ රැකියාවලත් කීප දෙනෙක් වැඩ කරනවා. මං අඳිනවා වගේ සරම විතරක් ඇඳගෙන දුන්න කියලා ඇඳුම පිළිබඳව නීති දමන්නත් බැහැ. ඒ නිසා ඒ නිදහසත් ලබා දීමට තීරණය කළා. රජයේ උදව් ඇතිව අපේ ගම්බිම්වලම වගාවක් කරගෙන මිරිදිය මාළු අල්ලගෙන වන ඔසු අහුලාගෙන ජීවත් වන්න පුළුවන් වටපිටාවක් හදන්න මම නිතරම උත්සාහ ගන්නවා. අපේ පරිසරයෙන්ම නිපදවා ගත් නැති නම් සොයාගත් ආහාරවලට පුරුදුව සිටි වැදි ජනයා අද වෙළෙඳසලෙන් ආහාර වර්ග මිල දී ගැනීම දක්වා තල්ලූ කළේ අපේ පාරම්පරික උරුමය අහිමි කිරීමයි. සෑම මනුෂ්‍යයෙක්ම ජීවත් වන්නේ ආහාරයෙන්. කැළේ කොළේ ගියත් ආහාරයක් හොයා ගන්න බැරි වෙලා. ගෙදර එන කොට දරුවන් බඩගින්නේ හඬ හඬා ඉන්නවා දැක්කොත් දෙවියන්ට බුදුන්ට පූජා කළ ආහාර වුණත් අරගෙන කන්න දෙන්න සිද්ධ වෙනවා. වෙනත් සමාජ විරෝධී දේවලට මිනී මරන්න පවා මිනිසුන් පෙලඹෙන්නේ බඩගින්න නිසයි. මගේ වැදි ජනතාව එවැනි අයහපත් දෙයට යොමු නොකිරීම මගේ වගකීමයි. ඒ අභියෝගය ගිය වසරට වඩා මේ වසරේ දී මා ඉදිරියේ තිබෙනවා. දිනෙන් දින විනාශ වන පරිසරය හමුවේ ඒ අභියෝගය වැඩි වෙමින් තිබෙනවා. පරිසරය රැක නොගත්තොත් වැදි ජනයා පමණක් නොවෙයි මුළු මහත් රට වැසියන්ම ලෝකවැසියන්ම පරිහානියට යනවා යනවාමයි. ඒක වළක්වන්න බැහැයි වැදි නායකයා පැවසුවේ හැඟුම්බරවය.
සටහන හා ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ
වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5 වැදි රැහේ ජීවිතය-6 වැදි රැහේ ජීවිතය-7 වැදි රැහේ ජීවිතය-8 වැදි රැහේ ජීවිතය-9 වැදි රැහේ ජීවිතය-10 වැදි රැහේ ජීවිතය-11 වැදි රැහේ ජීවිතය-12 වැදි රැහේ ජීවිතය-13 වැදි රැහේ ජීවිතය-14 වැදි රැහේ ජීවිතය-15 වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ වැදි වරිග සභාවක දර්ශනයක් වැදි උරුමය අනුව ජීවත් වන කැකුළන් පිරිසක්