ලෙයට ලෙය ඉල්ලන මරණයට මරණයම ඉල්ලන අණක් ගුණක් නැති පාතාලයක් යළිත් සිය සුපුරුදු මැරකම ප්‍රදර්ශනය කරමින් සිටින බව අඟවන සිදුවීම් දෙකක් ඉකුත් දා වාර්තා විය. පළමුවැන්න රත්මලාන සොයිසාපුරයෙනි. දෙවැන්න මාතර වැලිගමෙන්ය.

රත්මලාන සොයිසාපුර ආපන ශාලාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් කප්පම් ලෙස ඉල්ලා ඇති බවත් එසේ කප්පම් දීම අදාළ ව්‍යාපාරිකයා ප්‍රතික්ෂේප කර ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. පසුව එම ආපන ශාලාවට කඩාවැදුණු මැර පිරිසක් ආපන ශාලාවට පහරදී අලභහානි සිදුකර සේවකයකුට පහරදී පලා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මැර කණ්ඩායමේ කිහිප දෙනකු ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන සිටියදී නැවතත් ආපන ශාලාව අසලට පැමිණ ඇති මැර කණ්ඩායමක් අවන්හලට ඉවක් බවක් නැතිව වෙඩි තබා පලා ගොස් තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඒ වනවිටත් එම අවන්හලට පොලිස් ආරක්ෂාව සපයා තිබියදීම මෙම වෙඩි තැබීම සිදු කිරීමය. සිද්ධියෙන් අනතුරුව එම පොලිස් නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.මෙම ප්‍රහාරය ඩුබායි රටේ සැඟවී සිටින පාතාල නායකයකු විසින් මෙහෙයවනු ලැබ ඇතැයි පොලිසිය පවසන බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

දෙවැනි සිදුවීම වැලිගම  මිරිස්ස ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන හෙට්ටි හේවගේ අමිල ප්‍රසංග හෙවත් සන්ෂයින් සුද්දා නැමැත්තාට වෙඩි තැබීමය. යතුරුපැදියකින් පැමිණි පාතාලයන් දෙදෙනකු අමිල ප්‍රසංග නැමැත්තාට එළව එළවා වෙඩි තබා ඇති අතර ඔහු දුව ගොස් පණ බේරා ගෙන තිබේ. වෙඩි තැබීමෙන් ඔහුගේ එක් අතක් තුවාල වී ඇති අතර පාතාලයන් දෙදෙනාගෙන් එක් අයකු ගම්මුන්ට කොටු වී තිබේ.

මේවා තවත් එක් හුදෙකලා සිදුවීම් ලෙස සැහැල්ලුවට නොගත යුතුය. ගිනි අවි රැගෙන මෙසේ නිදැල්ලේ මහ මඟ ගැවසෙන්නේ නම් ගොදුරු සොය සොයා ගොස් මරා දමන්නේ නම් එම රට සුරක්ෂිත රටක් ලෙස හැඳින්විය නොහැකිය. රටේ ජීවත්වන නිරායුධ ජනයාට පාතාලයේ අනු අංකයක් නැති මූනිස්සම් ඉදිරිපිට දණින් වැටී අභය දානය ඉල්ලා සිටීමට සිදුවන්නේ නම් එම දේශය පතිරූප දේශයක් නොවන්නේය. මරණ බියෙන් තොරව නිදහසේ ජීවත්වීමේ අයිතිය සෑම පුරවැසියකුටම තිබිය යුතුය. නීතියේ විධානය බල ගැන්වෙන පරිසරයක  පාතාලයේ මැරයන්ට මෙසේ රඟන්නට ඉඩ ලැබෙන්නේ නම් කිසියම් අඩුපාඩුවක් එතැන තිබිය යුතුය.

පාතාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය කුඩුය. එය මහ ධන නිධානයක් පහළ කරවන ආදායම් මාර්ගයකි. එම කුඩු ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාමට ඒ ඒ ප්‍රදේශවල අයිතිය ඇති මැරයන් සිටිය යුතුය. ශ්‍රී ලංකාවේ සෑම නගරයක් මෙන්ම ගමක්ද මේ පාතාලයන්ගේ අණසකට යටත්ව තිබූ සමයක්ද වේ. ප්‍රාදේශීය අධිපතිත්වය වෙනුවෙන් ගත යුතු බිලි ප්‍රමාණය කොතෙක් වුවද එම බිලි ප්‍රමාණය ගැනීමට පාතාලයෝ මැළි නොවෙති.

පාතාලයන්ගේ අනෙක් ආදායම් මාර්ගය වන්නේ කප්පම් ගැනීමය. සමාජ ශාලා, ගණිකා නිවාස ඇතුළු අනීතික ව්‍යාපාර කරගෙන යන්නෝ ප්‍රදේශයේ පාතාලයන්ට කප්පම් ලබා දෙති. එමගින් තමන්ගේ  අනීතික ව්‍යාපාර පහසුවෙන් කරගෙන යෑමට ඔවුහු සමත් වෙති. කප්පමෙහි රස වැටුණු විට වෙනත් ව්‍යාපාර ස්ථාන වලින්ද, පදික වෙළෙන්දාගෙන්ද  කප්පම් ගැනීමට  පාතාලයෝ යොමු වෙති. එම කප්පම් මුදල් නොගෙවන්නේ නම් ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට ඉඩ නොදෙති. රත්මලානේ සොයිසාපුර අවන්හලේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ ද එයයි.

කිසිවකුට ගැති නොවී, කිසිවකු ඉදිරියේ දණින් නොවැටී ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේ නිදහස තිබිය යුතුය. පාතාලයන්ගේ ගණන්කාරකම් නිසා ව්‍යාපාරික ප්‍රජාව මොනතරම් අපහසුතාවට පත්වන්නේද යන්න ඉකුත් සමයේ හංවැල්ල ප්‍රදේශයෙන්ද ඔප්පු විය.

පොලීසිය මේවා නොදැන සිටින්නේ යැයි සිතිය නොහැක. වාර්තා වූ බොහෝ සිදුවීම්වලින් පැහැදිලි වූයේ පාතාලයන්ගේ  ආරක්ෂකයා පොලිසියම බවය. මෙම පාතාලයන්ට ඉතා දියුණු දේශපාලන සබඳතා  තිබේ. බලයට පත්වන ඕනෑම රජයක් සමඟ සබඳතා ගොඩ නඟා ගැනීම ඔවුන්ට ඉතා පහසු දෙයකි. මෙම දේශපාලන සබඳතා නිසාම පාතාලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පොලිස් නිලධාරීහු මැළි වෙති. පාතාලයන්ට අවශ්‍ය නම් පොලිස් නිලධාරියා තූත්තුකුඩියට හෝ මාරු කර යැවිය හැකි බවට නිදසුන් ඕනෑ තරම්ය.

මෙම තත්ත්වය තේරුම් ගනිමින් පාතාලය අක්‍රිය කරවීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුය. ලැබෙන සෑම හෝඩුවාවක්ම හඹා යමින් අනීතික ක්‍රියා කරන්නවුන් නීතියේ රැහැනට හසු කළ යුතුය. රටක නීතියේ විධානය  බිඳ වැටෙන්නේ නම් එම රටට අත්වීමට ඊටත් එහා ගිය විනාශයක් නැත.