gvjfg

 

මව්පියන්ට දරුවෙක් කියන්නේ හරියට මහා මෙරක් වගේ. ඒත් යන්තම් අතපය හතර දික් වේගන එනකොට සමහර දරුවන්ට මව්පියන් පේන්නේ වෛරක්කාරයන් වගේ. කෙනෙකුට හිතන්න පුළුවන් අද සමාජය වෙනස්. උන් හිතන විදිහට වෙනස් කියලා. කවුරු කොහොම කිව්වත් උඹලට මේ සමාජය ඇතුළේ තීන්දු තීරණ ගන්න තරම් ඔය මොළගෙඩි මෝරලා නැහැ කියලා තේරුම් ගන්න උඹලා කැමති නැහැ. මතකද කොටකෙතන පුතා අම්මව මැරුවෙ රුපියල් දාහට. අද ඒ කොල්ල හිර බත් කෑවට රුපියල් දාහෙන් මාල කූරු දෙන්න ඉඳපු ප්‍රේමවන්ති අද ඒ කොල්ලගේ දුක සැප සොයනවද? ඒත් අද උඹව මුළු සමාජයටම එපා වුණත් උඹේ අම්මා ජීවත්ව සිටියනම් කවදාවත් වෛර කරන්නේ නැහැ. එදා ඒ කොටකෙතන පුතාගේ තාවකාලික වෛරය නිසා අද මුළු ජීවිතේම අඳුරු වෙලා. මව් සෙනෙහස තරම් උතුම් සෙනෙහසක් මේ ලෝකේ කොහේවත් නැහැ කියලා කරදණ්ඩ උස්මහත් වෙනකොට උඹලට නොතේරෙන එක තමයි අද සමාජ ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ. උඹලා මොන වරද කළත් උසාවි පොලිසි ගාණේ මව්පියවරුන් හඬා වැලපෙන්නේ උඹව මහා මෙරක් තරම් වටින නිසා. දැනෙනවනම් උඹට අම්මා, අප්පච්චි උඹව උස්මහත් කරන්න ගත්ත වීර්යය. නැහැ කවදාවත් වචනෙකින්වත් රිදවන්නේ ඒ උතුම් හිත.

 

16_PAGE_4_RASA
එදා කොටකෙතන ඛේදවාචකය අපේ සමාජයේ සිදුවුණ පළමු සිදුවීමම නෙමෙයි. එය එක් සිදුවීමක් පමණයි. මේ සමාජය තුළ සිදුවන මෙවැනි සිදුවීම් අතර අප දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝයි. ජීවිතේ අපි නොසිතන සමහර සිදුවීම්වලට බලාපොරොත්තු විරහිතව අප මුහුණ දෙන අවස්ථා බහුලයි. මේ විදිහට දරුවන්ගේ දුක් සුසුම් මැද්දේ අතරමං වුණ තවත් දරුවෙක් පසුගියදා මට මුණ ගැහුණා. කථාව ඛේදනීයයි. ජීවිතය අනුවේදනීයයි. ඒත් ජීවිතේ යථාර්ථය තේරුම්ගන්න කොට ඒ ලස්සන ජීවිතේ විනාශ වෙලා හමාරයි. 


දිනෙත්ගේ නිවසේ වටපිටාව නිර්මාණය වෙන්නේ යහමින් මිලමුදල් තියෙන සැපවත් ජීවිතයක් ගතකළ හැකි පරිසරයක් විදිහට. වැඩිමල් සහෝදරියකගෙන් යුක්ත පවුලේ බාලයා විදිහට දිනෙත්ට මව්පිය ආදරය උතුරා ගිය සෙනෙහසක් ලැබුණා. කථාවට කියනවනේ ඕනවට වඩා මව්පියන්ගේ ආදරේ දරුවෝ නරක අතට හැරෙන්නත් හොඳ ආයුධයක් කියලා. දිනෙත්ගේ ගෙදර පරිසරයත් නිර්මාණය වුණේ අන්න ඒ විදිහට. අම්මගේ හුරතලය දිනෙත්ගේ නරක ගති එන්න එන්නම වර්ධනය කළා මිස අඩුවක් වුණේ නැහැ. 


ඔය අතර කාලයාගේ ඇවෑමත් එක්ක දිනෙත්ගේ ගෙදර පරිසරය ගොඩක් වෙනස් වුණා. දරුවො දෙන්න ටිකෙන් ටික උස්මහත් වෙනකොට දිනෙත්ගේ අම්මයි තාත්තයි අතර පුංචි පුංචි අඬ දබර ඇති වෙන්න පටන් ගත්තා. ඒ සිදුවීම්වලට බලපෑ විවිධ හේතු කාරණා රාශියක් ඒ නිවස තුළ තිබුණා. ඒත් ඒ දේවල් දරුවන්ගෙන් වසන් කරන්න උත්සාහ ගත්තත් දෛවය ඒ හැමදේම වෙනස් කළා. දිනෙත්ගේ අම්මයි, තාත්තයි අවසානයේ නීතියෙන් වෙන්වෙන්න තීරණය කළා. 


“අක්කයි මමයි දෙන්නම ඉස්කෝලේ ගියේ ජාත්‍යන්තර පෞද්ගලික පාසල්වලට. අම්මා රැකියාවක් නොකළත් රූපලාවණ්‍යයට සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. තාත්තා කළේ හොටෙල් වලට සම්බන්ධ රැකියාවක්. තාත්තා ඒ රැකියාව තුළ ඉහළ තනතුරක් දැරුවා. තාත්තා කියන චරිතය දරුවො වෙච්ච අක්කයි මටයි දැනුණේ නැහැ. දැනෙන්න තාත්තා ගෙදර රැඳුණේ නැහැ. ඒ හැමදේම කළේ අම්මා. දවසින් දවස අපි තාත්තගෙන් ඈත් වුණා මිසක් තාත්තටත් උවමනාවක් තිබුණේ නැහැ දරුවන්ට ළං වෙන්න. ගෙදර හැමෝම එක්ක සතුටින් ඉන්න, ගෙදර හැමෝම එක්ක ඇවිදින්න යන්න අක්කගෙයි, මගෙයි හිතෙත් ලොකු ආසාවන්, බලාපොරොත්තු තිබුණා. ඒත් තාත්තට දරුවන්ව තේරුම් ගන්න බැරි වුණා. හැමදාම තාත්තා වැඩ කියලා අපිට බොරු කිව්වා. ඔය විදිහට කාලයක් අපි ජීවත් වුණා. පස්සේ පස්සේ අක්කයි, මමයි ඉදිරියේදී අම්මයි, තාත්තයි රණ්ඩු කරන්න ගත්තා. දෙන්නට දෙන්නා විවිධ දේවල් කියා ගත්තා ගෙදර ප්‍රශ්නත් එක්ක මට ගෙදර එපා වෙලා තිබුණේ. ඒ දේවල් එක්ක ඉස්කෝලේ ගියාම මට ආයෙම ගෙදර එන්න ආස හිතුණේ නැහැ. පස්සේ මම යාළුවෝ එක්ක රස්තියාදු ගහන්න පටන්ගත්තා. යාළුවෝ එක්ක වැටිලා බොන්න පුරුදු වුණා. මම මුලින්ම දුම්වැටියක් පාවිච්චි කළේ අටවසරෙදි. යාළුවොත් එක්ක වැටිලා ජීවිතේ දකින්න මම උත්සාහ කළේ ඒ දේවල්වලින්. තාත්තා අපි ගැන සෙව්වෙ නැහැ. අම්මා ඉල්ලන ඉල්ලන දේ දුන්නා. එතනින් එහාට මම ගෙව්වේ විනෝදකාමී ජීවිතයක්. 


ඔය අතරතුර ගෙදර රණ්ඩු දවසින් දවස වැඩි වුණා. අම්මා දවසක් අක්කටයි මටයි කිව්වා තාත්තා අපි ගැන සොයන්නේ නැත්තේ, ගෙදර එන්නේ නැත්තේ තාත්තගේ වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. මම දන්නේ නැහැ අම්මයි, තාත්තයි කියන චරිත දෙක කොයි තරම් දුරට සාධාරණද කියලා. තාත්තා අම්මගෙන් නීතියෙන් වෙන් වෙලා වෙනත් විවාහයක් කර ගත්තා. තාත්තා අපට කිව්වේ...


“ඔයාලට ජීවත් වෙන්න හැමදේම මම හදලා තියෙන්නේ. අම්මගෙන් අයින් වෙන්න ප්‍රධාන හේතුව අම්මගෙත් විවිධ සබඳතා තිබුණා. මාව මේ තත්ත්වයට පත් කළේ අම්මගේ ක්‍රියා කලාපයන්”


මේ දේවල් මෙහෙම කියද්දි කවුද හරි කවුද වැරදි කියන්න අක්කවත්, මමවත් දන්නේ නැහැ. තාත්තා වෙන්වුණාට පස්සේ අපි ජීවත් වුණ නිවස විකුණලා වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියා. වෙනස් වුණේ පරිසරයයි, දුර ප්‍රමාණයයි විතරයි. පාසල යාළුවෝ ඒ දේවල් වෙනස් වුණේ නැහැ. යාළුවෝ එක්ක වැටිලා ගෙව්ව ජීවිතෙත් සුපුරුදු විදිහටම ගෙවුණා.”


දරුවන්ගේ ජීවිතවලට කුඩා කාලයේ ඉඳලම බලපාන්නේ මාපියන්ගේ හැසීරීම් රටා. දිනෙත්ගේ අම්මගෙයි, තාත්තගෙයි ජීවිතවල තිබුණ ප්‍රශ්න දිනෙත්ටත්, ඇගේ සහෝදරියටත් බලපෑවේ මානසික පීඩනයක් විදිහට. මේ නිසාම දිනෙත් ජීවිතය සොයන්න ගත්තේ යාළුවො දීපු සිගරට්ටුවෙන්. යාළුවෝ දීපු මත්වතුර ටිකෙන්. පවුල් ජීවිතේ මොනතරම් ප්‍රශ්න තිබුණත් සැමියන් නොමැතිව දරුවො දෙන්නාගෙ අනාගතය වෙනුවෙන් දිනෙත්ගේ අම්මා වෙහෙසුණා. 


“අපි අලුතෙන් පදිංචියට ආපු පරිසරයත් එක්ක මට ගොඩක් යාළුවෝ ඇති වුණා. ඒ යාළුවෝ ගොඩ දෙනෙක් මට වඩා ගොඩක් වැඩිමල් අය. සමහර අය විවාහ වෙලා. ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ නැතුව ගෙදර කිට්ටුව ත්‍රීවිල් පාක් එකේ අයියලා එක්ක තමයි ජීවිතේ ගෙව්වේ. ඒ දේවල් හැම දෙයක්ම කළේ අම්මට හොරෙන්. ඔය විදිහට ජීවිතේ ගෙනියද්දි යම් යම් අවස්ථාවලදි අම්මාට බොරු කිව්වා. අම්මාට බොරු කියලා යාළුවෝ එක්ක ඇවිදින්න ගියා. සමහර අවස්ථාවලදි අම්මාගේ කෑගැහිල්ල මට මහ වදයක් වුණා. මොකද අම්මා මම පුංචි කාලේ ඉඳලම අසීමිතව ආදරේ කළා. 


තාත්තාගේ ප්‍රශ්නත් එක්ක අම්මා අපිට සැරවැර කළේ නැති තරම්. ඒත් අම්මා කෑගහන්නේ මගේ වැරදිවලට කියලා දැන දැනත් මට ඒ අවස්ථාවලදි අම්මා එක්ක පුදුම වෛරයක් ඇතිවුණා. මම යන්න දඟලන්නේ කොහෙද කියලා අම්මට ඉව වැටුණොත් හරියට මුරකාවල් වැටුණා. තරහ පිට කරන්න ගෙදර බඩුමුට්ටු බින්දා. එහෙම නැත්නම් අක්කා එක්ක රණ්ඩු කළා. මම දන්නේ නැහැ මම ඒ තරම් දරුණු තත්ත්වෙකට පත් වුණේ කොහොමද කියන්න. පස්සේ පස්සේ අම්මා මගේ වැරදිවලට මට ගහන්න ගත්තා. කවදාවත් අතක් උස්සපු නැති අම්මා වේවැලකින් ගහනකොට හිතේ වෛරය එන්න එන්න තවත් වැඩි වුණා. 


මම යාළුවෝ එක්ක ජීවිතේ තිත්ත වෙලා, එපා වෙලා තියෙන්නෙ කිව්වාම යාළුවෝ මගේ අතට දුන්නේ කුඩු පැකට් එකක්. එහෙම නැත්නම් සිගරට් එකක්. ඕක ගහලා ආතල් එකේ ඉඳපන් කිව්වා. මම හිතුවා ඒක තමයි ජීවිතේ කියන්නේ කියලා. හොඳ නරක කියලා දෙන්න හොඳ යාළුවො පිරිසකුත් මගේ වටේ හිටියා. 


ඒ කියපු දේවල් මම එදා දැක්කේ ඊර්ෂ්‍යාවට කියනවා වගේ. මම ත්‍මබ ගනිද්දි උන් මාව කොන් කරන්නේ උන්ට මම වගේ මෙබ ගන්න බැරි ඊර්ෂ්‍යාවට කියලයි මම හිතුවේ. අම්මා අපිට කවදාවත් අඩුවක් පාඩුවක් කළේ නැහැ. ඉල්ලන හැමදේම දුන්නා. දෙන සල්ලිවල ගාණක් මිම්මක් මැන්නේ නැහැ. අන්තිමට කුඩු ගන්න සල්ලි නැති වුණාම අම්මට මට දෙන පන්ති සල්ලි පවා යහළුවන්ට දුන්නා. ඒ අතරතුර මගේ අතටත් පුංචි ගාණක් සමහර දවස්වලට එන්න ක්‍රමයකුත් තිබුණා. උදේට ත්‍රීවිල් පාර්ක් එකේ පුංචි පාර්සලයක් අපේ ඉස්කෝලේ කිට්ටුව තැනකට ගෙනිහින් දුන්නා. මම පාසල් නිල ඇඳුම නිසා කවුරුත් සැක හිතුවෙ නැහැ. මාස ගණනක්ම ඒ දේ කළා.


ඔය අතරතුර දවසක් අපේ අම්මට මේ දේවල් ගැන ඉව වැටිලා මගේ පස්සෙන් පන්නන්න ගත්තා. මට ඒ අවට යාළුවෝ කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න එපා කිව්වා. එදා මගේ බෑග් එකේ සිගරට් පැකට් එකක් අහුවෙලා අම්මා මට හොඳටම ගැහුවා. එදා අම්මා මට වේවැලෙන් ගහන කොට අම්මව මරන්න තරම් තරහක් හිතට ආවා. ඉවසන්න බැරිව මම අම්මව තල්ලු කළා. අම්මා වැටිලා ඔළුව පැළුණා. කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණා. ත්‍රීවිල් පාර්ක් එකේම අයියා කෙනෙකුට එන්න කියලා මමම අම්මව බෙහෙත් දාන්න අරගෙන ගියා. ඒත් අම්මා ඉස්පිරිතාලෙදි කිව්වේ ලිස්සලා වැටුණා කියලා. මට දරාගන්න බැරි දුකක් ආවා. ගෙදර ඇවිල්ලා මම අම්මගෙන් සමාව ගත්තා. අම්මා මට වචනයක්වත් කිව්වෙ නැහැ. මගේ අත ඉස්සුණ වාර එතනින් නතර වුණේ නැහැ. අම්මා මගේ හොඳට කියන සමහර දේවල්වලට මට තරහා ගියා. මට ඒ තරහා පාලනය බැරිවුණ අවස්ථා අනන්තයි. මම අම්මගේ ලේ සෙලෙව්වා. අම්මට අත ඉස්සුවා ඒ පව් තමයි මම අද මේ ගෙවන්නේ. මේ වලට මාව කවුරුත් ඇදලා ගත්තේ නැහැ. ජීවිතේ සොයාගෙන ගිය මට මේ වල හොඳද නරකද කියන්න තරම් සමාජ දැනුමක් තිබුණෙත් නැහැ. ඒත් මගේ ජීවිතේ වැරදිකාරයා මමමයි. 


දෛවය මේ බිත්ති හතර ඇතුළෙ ලියවුණු දවසේ අපේ ක්‍රිකට් තරගයක් තිබුණා. හැමෝම හවස් වෙනකොට හොඳටම බීලා හිටියේ. එතනදි දිනුම පිළිබඳ ලොකු ආරවුලක් වුණා. ආරවුල ඇති වුණේ මගේම හොඳම යාළුවොත් එක්ක. ඊට දවස් දෙකකට පස්සේ මගේ යාළුවොම ඔත්තුවක් දීලා කුඩු පැකට් එකක් එක්ක මාව කොටුවුණා. එදා ඇතිවුණ ආරවුලේ පළිය ගත්තේ මේ විදිහට. මට එදා මගේ අම්මගේ මූණ බලන්න තරම් ආත්ම ශක්තියක් තිබුණේ නැහැ. ලැජ්ජාව පැත්තකින් තියලා එදා අම්මා මම වෙනුවෙන් උසාවි, පොලිසි ගාණේ ඇවිල්ලා නොසෑහෙන්න ඇඬුවා. අපි කරන හැමදේම වැරදි වෙන්න පුළුවන්. ඒත් එක දෙයක් හරි අපේ ජීවිතේ හරි පිටුවක් තියෙන්න පුළුවන් නේද? උත්සාහ ගන්න මේ ජීවිතෙන් ගොඩ එන්න. ඒත් මේ සමාජයේ අපට ඉඩක් දෙන්න කවුරුත් කැමති නැහැ. 


දිනෙත් බාලවයස්කාර දරුවෙක් නිසා කළ වරදට නීතිමය තත්ත්වයත් ගොඩක් බරපතළ වුණා. දිනෙත්ගේ මනසට අවශ්‍ය පරිසරයක දිනෙත්ගේ මනස නිරවුල් කරන්න ඊට අදාළ ආයතනවලට යොමු වෙද්දි තමන්ගේ දරුවා නිසා සමාජ ලැජ්ජාව හිසේ දරාගෙන දිනෙත්ගේ අම්මට හිස් අතින් ගෙදර යන්න වුණා. 


හිතන්න එපා අතපය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසයි. දන්නා දේට වඩා නොදන්න දේ බොහෝයි. වැරදෙන එක පුංචි දෙයින් ඔයාගේ ලස්සන මුළු ජීවිතේම අඳුරු කරන්න පුළුවන්. එදාට ළඟ ඉන්න යාළුවන් කවුරුත් නැහැ තමන්ට තමන් විතරයි. 


නම් ගම් මනඃකල්පිතයි.

m