වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විවේචනාත්මක විශ්ලේෂණයක යෙදෙන ප‍්‍රවීණ දේශපාලනඥයකු හා විද්වතකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා සඳහන් කරන්නේ විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුම් මේ ව්‍යවස්ථාවට ආවේණික ලක්ෂණයක් බවයි. ඒ තරමටම එය කඩිමුඩියේ සකස් කරන ලද අසංවිධානාත්මක ලියවිල්ලකි. මේ සම්බන්ධයෙන් ඔහු කරුණු රාශියක් සිය විශ්ලේෂණයේ ගෙනහැර දැක්වීය. ආචාර්ය ඇන්. ඇම්. මීට වසර 32කට පෙර දුටු දේම විටින් විට සිදු වෙමින් පවතී. එක අතකින් මෙය හාස්‍යජනක විගඩමකි. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ද මේ ඊයේ පෙරේදා නිකුත් කළ නිවේදනයෙන්ද ව්‍යවස්ථාවේ මෙම අර්බුදය නැවත අවධානයට ලක්කර ඇත. ”1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කිරීමෙන් පසු පැවැති සියලූ ආණ්ඩු යටතේ, ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය අතර ගැටුම්කාරී තත්ත්වයන් දිගින් දිගටම සිදුවීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම ඓන්ද්‍රීය ලක්ෂණයකි.”
(කොමියුනිස්ට් පක්ෂ නිවේදනය 10.09.2012).
  මේ නිසා නැවත සිදුවෙනවාය කියන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුම අලූත් දෙයක් ද වන්නේ නැත. මේ නාටකයම ජනාධිපති ජේ. ආර්., ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගවල දී ද රඟදක්වා තිබේ. එහෙත් ඊට පාදක වූ ව්‍යවස්ථාව හෝ එවැන්නකට හේතුවන විෂමතා සාධනීය ලෙස වෙනස් කිරීමට එදා මෙදා තුර මේ රට පාලනය කළ කිසිවකුගේ උනන්දුවක් නොතිබුණා වගේය. එමෙන්ම අධිකරණය ස්වාධීන විය යුතු බවට විවාදයක් නැත. එය විවාද කළ යුතු කාරණයක්ද නොවන්නේය. හැරල්ඞ් ලැස්කි වරක් සඳහන් කළ පරිදි ” ඕනෑම රාජ්‍යයක යුක්තිය පසිඳන ආකාරය හා එ් සඳහා යොදාගෙන තිබෙන සංවිධාන ක‍්‍රම එම රටේ ශීලාචාර කමේ තරම පෙන්නුම් කරනු ඇත. එහෙත් තම සීමා මායිම් නොදැන ආරෝපණය කරගත් සුවිශේෂී අධිකාරී බලයක් කෝට්ටේ රජ්ජුරුවන්ට (අධිකරණයට) ඇතැයි මින් අදහස් වන්නේ නැත. එසේම විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන වෙත ජනතාව පවරා ඇති වගකීම් ඉටුකරණු වස් ගැටුමකින් තොරව තම බලයේ සීමාවන් හඳුනාගෙන කටයුතු කිරීම රටක ඉදිරිගමනට මෙන්ම ජනතා පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමට හේතුවක් වනු ඇත. විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය සිටිය යුත්තේ බලය පෙන්වීමට නොව ජනතාවට සේවය කිරීමට යැයි පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සඳහන් කළේ රටේ ඉදිරි ගමන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමේ පැත්තෙන් සලකා විය යුතුය. අධිකරණය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ රබර් සීල් එකක් විය යුතු බවක් මින් අදහස් වන්නේ නැත. එහෙත් හැම විටම විධායකය ව්‍යවස්ථාදායකය මෙන්ම අපේ අධිකරණය ද මෙවන් පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරාසයක පිහිටා කටයුතු කර ඇද්ද යන්න විමසා බැලීමේ දී අපට හමුවන්නේ ප‍්‍රශ්නාර්ථයකි. ”ශී‍්‍ර ලංකාවේ නූතන අධිකරණ ඉතිහාසය තුළ රාජ්‍ය නායකයන්ගේ පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අධිකරණය යට වූ කනගාටුදායක අවස්ථා ඇත. එසේම රාජ්‍ය නායකයන්ගේ පටු වුවමනාවලට එරෙහිව ස්වාධීනව කි‍්‍රයාකළ කීර්තිමත් අවස්ථාද පවතී. පාර්ලිමේන්තුවේ පාලන කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ජනමත විචාරණයට අධිකරණයේ අනුමැතිය ලබාදීම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය තමන් වෙත ඇති කරගෙන තිබෙන කැළල ඉතා විශාලය. අනෙක් අතට ජේ. ආර්. ජයවර්ධන පාලන යුගය තුළ ජනාධිපතිවරයාගේ අන්තනෝමතික කි‍්‍රයා කලාපයට එරෙහිව නෙවිල් සමරකෝන් අග‍්‍රවිනිශ්චයකාරතුමා කෙරෙන් පළ වූ ධෛර්යවන්ත නොනැමෙන සුළු කි‍්‍රයා කලාපය ශී‍්‍ර ලංකාවේ අධිකරණ ඉතිහාසයට එකතුකර තිබෙන කීර්තියේ ප‍්‍රචාරයද ඉතා විශාලය.
(වික්ටර් අයිවන් ”නොනිමි අරගලය” පිටුව 242)
  මේ නිසා එළකිරි වගේ සුපිරිසුදු ඉතිහාසයක් මේ ආයතන කිසිවකට නැත. එමෙන්ම මාධ්‍යයටද නැත. එහෙත් ජනතාවගේ බදු මුදලින් පඩි හා දීමනා ලබමින් ජනතා සේවයට සිටින අයට  ඕනෑම මොහොතක තම ක්ෂේත‍්‍ර නිවැරදි කර ගැනීමට බාධාවක් නොමැත. මෙහිදී අතීත අත්දැකීම් පාඩම් ලෙස ගත හැකිය. ආසන්නතම උදාහරණය සියල්ලගේම කැමැත්තෙන් 10.10.2012 දින සම්මත වූ පළාත් පාලන ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමේ පනතයි. එය යම් නිවැරැදි කිරීමක් සේ පෙනේ. නැවත අධිකරණය හා වත්මන් ආණ්ඩුව අතර අරගලයක් නැත්නම් මත ගැටුමක් ඇතැයි යන මතය සමාජගත වන්නේ මෑතක සිටය. එය සහසුද්ධයෙන්ම ජනතාව අතර කතාබහට ලක් වන්නේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතා මාධ්‍යයට නිකුත්කළ නිවේදනය හරහාය. එමගින් අධිකරණ ක්ෂේත‍්‍රයට ඉහළින් බලපෑම් ඇතැයි යන්න ගම්‍ය වේ. සාමාන්‍යයෙන් අධිකරණයට උඩින් සිටින්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවය. ඊටත් ඉහළින් ජනතාව සිටිති. ජනතාවගේ පරමාධිපත්‍යය ආයතන තුනක් හරහා කි‍්‍රයාවට නැෙඟ්. එනම් විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණයයි. එසේ නම් මේ බලපෑම අනෙක් ආයතන දෙකෙන් වාගේය. ඉන් ව්‍යවස්ථාදායකය සතු අධිකරණ බලය අධිකරණය මඟින් කි‍්‍රයාත්මක වේ. සාමාන්‍යයෙන් අධිකරණ සේවා කොමිසම වැනි ආයතනයක් ඉතිහාසයේ කිසි දිනක මෙවන් නිවේදනයක් නිකුත් කර නැත. ඊට හේතුව එම ආයතනය සතු සුවිශේෂී වගකීම නිසාවිය යුතුය. එවැනි ප‍්‍රශ්නයක් ඇත්නම් රටට දැනෙන ලෙස මාධ්‍යයට පවසන්නේ නැතුව අභ්‍යන්තර කතාබහකින් විසඳා ගත්තා නම් මීට වඩා හොඳ නොවේදැයි මධ්‍යස්ථව කල්පනා කරන කෙනෙකුට සිතේ. එවැන්නකට නොගොස් මෙසේ පුවත්පත් නිවේදනයක් නිකුත් කළේ මන්දැයි කියන්න දන්නේ නැත. බලපෑම කියන කතාව මතුවන්නේ ජනාධිපති ලේකම්වරයා සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස කරන ලද ඉල්ලීමක් පදනම් කරගෙනය. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට පෙර මෙන්ම අධිකරණ ක්ෂේත‍්‍රයේ සංවර්ධනාත්මක කරුණු සම්බන්ධයෙන් විටින් විට මෙවන් සාකච්ඡා පැවැත්වෙන බව රජය පවසයි. ඒ අර්ථයෙන් ගත් කල ”බලපෑමක්” යන්න අනවශ්‍ය ලෙස කලබල වීමක් වාගේය. කලබල වුනාම ”කොරස් කටෙත් අත දාගන්න බැරිවෙනවා” යැයි කියමනක් තිබේ. මේ ප‍්‍රවෘත්ති නිවේදනයන් සමඟම අධිකරණය හා ආණ්ඩුව අතර අර්බුදයක් ඇතැයි ගමේ ගොඬේ කඩ පිල්වල පවා කතාබහට ලක්වීම ස්වාභාවිකය. ඉන් පසුව ඇති වූ සිදුවීම්ද කනගාටුදායකය. මංජුල තිලකරත්න ඉලක්ක කරගනිමින් මාධ්‍යවල පළ වූ  ඕපාදුප ගණයේ වාර්තාද දෙපාර්ශවයට ම හොඳ නැත. ප‍්‍රශ්නය අනවශ්‍ය ලෙස දුරදිග ගෙනයාමක් වාගේය. විශේෂයෙන්ම මේ රටේ විධායක ජනාධිපතිධූරය සම්බන්ධයෙන් ඇත්තේ කීර්ති නාමයක් නොවේ. ජනාධිපති ජේ.ආර්., පේ‍්‍රමදාස රාජ්‍ය යුගවල එය අපකීර්තිමත් නිලයක් බවට පත් කිරීමට වැඩියෙන්ම සම්මාදම් වූ පක්ෂ අතර අද බලයේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද ප‍්‍රමුඛ තැනක් ගත් බව රටටම රහසක් නොවේ. අද මේ ආණ්ඩුව නියෝජනය කරන සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ පක්ෂය ද අදත් ඊට තදබල ලෙස විරුද්ධය. මේ නිසා කොතරම් හොඳ විධායක ජනාධිපතිවරයකු යටතේ වුවද ශී‍්‍ර.ල.නි.ප. ප‍්‍රමුඛ යූ.ඇන්.පී. විරෝධී පක්ෂ ඇතිකර තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහි විරෝධතා අදටත් වෙනස් කළ නොහැකි සිද්ධාන්තයකි. දැන් එය විධායක ජනාධිපතිවරුන් පසුපසට එලවන පූර්ව කර්මයක් වී තිබේ. මේ නිසා අධිකරණය හා රජය ගැටුමකට යනවාය කියන විටම එය විධායකයට බැරවීම ස්වාභාවිකය. කෙටියෙන්ම එය ජනතාව තේරුම් ගන්නේ අධිකරණය හා විධායකය අතර ගැටුමක් ලෙසිනි. අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න ප‍්‍රහාරයකට ලක්වන්නේ මේ අතරවාරයේය. ඒ මොහොතේම එය දැඩි ලෙස හෙළා දැකීමටත් වහාම ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂාකර සිදුවීමට අදාළ අපරාධ කරුවන් අත් අඩංගුවට ගන්නා මෙන් පොලිස්පතිවරයාට නියෝග කිරීමටත් ජනාධිපතිවරයා යුහුසුළු විය. එය ප‍්‍රශංසනීයය. මෙම සිදුවීමේ ඇති බරපතළකම නීතිඥයකු වන එතුමාට අමුතුවෙන් කිසිවෙකු කියාදිය යුතු නැත. මේවා පිටුපස ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ ඇතත් නැතත් මේ සිදුවීම වුවද ජාත්‍යන්තරයට යා හැකිය. විවියන් ගුණවර්ධන නඩු තීන්දුව පදනම් කරගෙන එදා ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගේ නිවෙස්වලට කළු ලකීලා ගල් ගසා හූ කී විට හිටපු ජනාධිපති ජේ.ආර්. කීවේ පෙළපාළි යෑම විවියන් ගුණවර්ධනලාගේ මෙන්ම එය කළු ලකීගේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් බවය. එහෙත් නඩු තීන්දුවකට එරෙහිව විනිසුරුවන්ගේ නිවෙස් ඉදිරිපිටට ගොස් හූ කියා ගල් ගසන මෙන් එදා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නියෝග කළේ යයි කියා විශ්වාස කළ නොහැක. එය වුවද ඔහු ඇසුරු කරන මෝඩ වඳුරන්ගේ ප‍්‍රශ්නයක් විය හැකිය. ඒත් එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ අය නීතියේ රැහැනට කොටුකර නොගැනීම මත, එය බැරවූයේ ජේ.ආර්.ගේ පාලන සමයේ යහපාලනය බිඳවැටීමේ සාධකයක් ලෙසිනි. නැතිනම් විධායක ජනාධිපති ක‍්‍රමයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රැස්වළල්ලේ අනුභාවය යටතටය. මේ නිසා මංජුල තිලකරත්නට එල්ල වූ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පොලීසියට නියෝග නිකුත් කිරීම වැදගත්ය. සභානායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මේ පිළිබඳව සොයා බැලීමට විපක්ෂයටත් වඩා අපට  ඕනෑකමක් තිබේය කියලාය. ඒ ඇයි ? අධිනීතිඥ ගෝමින් දයාසිරි පවසන පරිදි මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට ද අනියමින් ඇඟිල්ලක් දික්වන නිසා දැයි කියන්න දන්නේ නැත. කෙසේ නමුත් සභානායක වරයාගේ ප‍්‍රකාශයෙන් ආණ්ඩුවේ ආකල්පය පැහැදිලිය. සිද්ධිය යට ගැසීමට ආණ්ඩුවක් වශයෙන් කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පෙනේ. මෙහෙම මෝඩකමක් ආණ්ඩුවක් කරයිද ? මෙය තිරනාටකයක කොටසක් විය නොහැකිද? අමාත්‍ය විමල් වීරවංශ ප‍්‍රශ්න කරන්නේ එහෙමය. එහෙම නම් වඩාත්ම මේ ගැන සොයාබැලීම වැදගත්ය. ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක කොටසක් නම් ඒ කුමන්ත‍්‍රණය ද හෙළිකර ගත යුතුය. අදාළ අපරාධ කරුවන් නොපමාව නීතියේ රැහැනට හසුකරගත යුතුය. මෙය ආණ්ඩුවේ පරම වගකීමක් නොවන්නේ නම් මේ සියල්ල ”පාර්ලිමන්ට් ජෝක්ස්” වීමට ඉඩ තිබේ. කුමන්ත‍්‍රණ කෙසේ වෙතත් මෙවන් සිදුවීමකට පෙර හෝ පසුව හෝ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු විය හැකිය. එය වර්තමාන වාතාවරණය තුළ බලාපොරොත්තු විය යුතුය. අපරාධ කරුවන් නීතියේ රැහැනට කොටුකර ගත යුත්තේ ඒ නිසාය. අතීතයේ රජවරුන්ට මෙන්ම වර්තමානයේ අයටද මෝඩ වඳුරන් සිටිය හැකිය. වඳුරන්ගේ කි‍්‍රයා කලාපය එදා නිදා සිටි රජු කිසිවක් නොදැන ස්වර්ගස්ථ වීමටම හේතුවිය. මේ ජනකතා අද ඉන්නා අයටත් ප‍්‍රයෝජනවත්ය. අවසානයේ එදා රජාගේ බෙල්ල ගියේද ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ නිසා නොව තම හිතෛෂී මෝඩ වඳුරන් නිසාය. මේ වඳුරු නාටකය අදටත් වලංගුය. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ ගැන සඳහන් කරන අය මෝඩ වඳුරන් සිටීදැයි සැලකිලිමත්වීම රටටත් තමන්ටත් වැඩදායකය.
වසන්තප‍්‍රිය රාමනායක