නාස්තිය කුමක්දැයි අධ්‍යයනයක යෙදෙන කෙනකුට ශ්‍රී ලංකාව තරම් උදාහරණ සපයන වෙනත් රටක් තිබිය නොහැක. එහි අනෙක් විශේෂත්වය කොතරම් නාස්තිකාර වැඩක් සිදුවුවත් ඒ සම්බන්ධව චෝදනා ලබන කිසිවකු ද නොසිටීමය. හෝල්සේල් එකේ සිදුවන මේ නාස්තිකාර වැඩවලින් පීඩා විඳින්නේ රටේ ජනතාව මිස පාලකයන් නොවීම අවාසනාවන්තම තත්ත්වයයි.

දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 49,000ක් වටිනා අලුත් දුම්රිය එන්ජින් තොගයකින් වැඩක් නොගෙන ධාවනයෙන් ඉවත් කර තිබීම අපට මෑත කාලයේ අසන්නට ලැබුණු එවැනි ලොකුම නාස්තියක් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවනු ඇත. අපට දැනගන්නට ලැබුණු රාජ්‍ය දේපළ හා සම්බන්ධ ලොකුම නාස්තිය වශයෙන් මෙය හඳුන්වා දිය හැක. කිසිවකුගේ ඇස නොගැටී නාස්තිකාර ක්‍රියා සිදුවන රටක මෙවැන්නක් දැනගන්නට හෝ ලැබීම තරමක අස්වැසිල්ලකි. අඩුම තරමින් එවැනි නාස්තිකාර ක්‍රියා වළක්වා ගැනීමට එය උදව්වක් විය හැකි බැවිනි. ඒ අර්ථයෙන් මේ නාස්තිය හෙළිකරන දුම්රිය ස්ථානාධිපති සංගමයට ස්තුතිය හිමිවිය යුතුය.

දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන පරිදි එක් එන්ජිමක් රුපියල් කෝටි 7000 ක් එනම් බිලියන 70 බැගින් වන දැවැන්ත වියදමක් දරා මෙරටට ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි. එහෙත් මේ වනවිට ධාවනයේ යොදවා ඇත්තේ එයින් 03ක් පමණි. ඉතිරි එන්ජින් 07ම දුම්රිය අංගනවල පල්වෙමින් තිබෙන අතර එයට හේතුව ඒවායේ පවතින විවිධ දෝෂ යැයි බලධාරීන් පවසන බව ද සංගමය ප්‍රකාශ කර තිබිණි. එසේ නම් එවැනි දෝෂ පවතින එන්ජින් මිලදී ගැනීමට කොළ කොඩිය වැනූ සියලුම බලධාරීන් මේ විශාල නාස්තියට වගකිව යුතුය.

මේ නාස්තිකාර වැඩේට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලධාරීන්ට හැකියාවක් නැත්නම් අඩුම තරමින් විෂය භාර අමාත්‍යවරුන්ට හෝ එම බලධාරීන් අවදි කරවා වගකිවයුතු නිලධාරීන් කවුදැයි සෙවීමට උනන්දුවක් තිබිය යුතුය. දුම්රියේ බලධාරීන් සමග දේශපාලන බලධාරීන් ද නින්දට වැටී සිටිත් නම් එය දුම්රිය මගීන්ට ද කරන බලවත් අසාධාරණයකි. දෝෂ සහිත මේ අලුත් එන්ජින් අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක් තිබීමත් මෑතක දී එක් එන්ජිමක් පීලි පැන තිබීමත් මෙහි දී සියලු බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය.

දුම්රිය එන්ජින් 10ට ශ්‍රී ලංකාව වැය කර ඇති මුදල රුපියල් කෝටි 70,000 කි. එනම් බිලියන 700 කි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශයට පත්කළ රාජ්‍ය සේවයේ සහන පැකේජය සඳහා වසරකට වැය කිරීමට නියමිතව ඇත්තේ රුපියල් බිලියන 229 කි. සහන පැකේජය මෙන් තුන් ගුණයකටත් අධික මුදලක් ගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වාගත් එන්ජින් තොගයෙන් අත්හැර දමා තිබෙන එන්ජින් තොගයේ වටිනාකම රුපියල් බිලියන 490 කි. මේ මොන අපරාධයක්ද? මේ අපරාධ සිදු කිරීමට වගකිවයුතු කිසිවකුටත් දඬුවමක් නැද්ද? මේ ප්‍රශ්නවලට දුම්රිය බලධාරීන් විසින් පිළිතුරු ලබාදිය යුතුය.

ප්‍රශ්නයට තුඩු දී තිබෙන දුම්රිය එන්ජින් ගෙන්වා දැන් සෑහෙන කාලයක් ඉක්ම ගොස් තිබුණද ඒවා නිවැරදි කර සේවයට යොදවා ගැනීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් දුම්රියේ බලධාරීන් පවසන්නේ කුමක්දැයි දැන ගැනීමට නැත. ඒ සඳහා මාධ්‍යයෙන් කළ විමසීම්වල දී දුරකථන ගොළු වී තිබූ බව ද සඳහන්ය. එසේ නිහඬව සිටීමෙන් මේ නාස්තිය නැතිකර ගැනීමට තිබෙන අවස්ථා තවදුරටත් අඩාල වෙයි. පාඩුව රටටමය.

එසේම මේ සමඟ පැවසිය යුතු තවත් කාරණාවක් ද වෙයි. මේ නාස්තිය හෙළිකරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පසුගිය දිනවල සිදුකරන ලද වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගණනක අලාභ හානියක් සිදුව තිබූ බවට දුම්රිය බලධාරීන් විසින් චෝදනා කර තිබිණි. වෘත්තීය අරගලයක් හේතුවෙන් රටට ආර්ථික අලාභ හානි සිදුවීම ද එක්තරා අන්දමක නාස්තිකාර ක්‍රියාවකි.

දුම්රිය ස්ථානාධිපති සංගමය එන්ජින් 07ක් වැඩකට නොගැනීමෙන් සිදුවන නාස්තිය හෙළි කළේ තමන්ට එල්ල කෙරුණු චෝදනාවට ප්‍රතිචාරයක් වශයෙන්දැයි අපි නොදනිමු. එහෙත් බැලූ බැල්මට පෙනී යන්නේ එහි සම්බන්ධයක් තිබෙන බවය. එන්ජින් නාස්තිය පිළිබඳ චෝදනාවට දුම්රිය බලධාරීන් නිහඬ වීම එම සම්බන්ධය තහවුරු කරයි.

කෙසේ වුවද මේ සමස්ත සිද්ධියෙන් පෙනී යන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන නාස්ති වළක්වා ගැනීමට පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් තවමත් අසමත්ව සිටින බවය. දුම්රියේ පමණක් නොව බොහොමයක් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ද ඇත්තේ මීට සමාන තත්ත්වයකි. ‘‘අයිස්’’ ගහන රාජ්‍ය සේවකයන් අතින් අපතේ යැවෙන වැඩ කරන පැය ගණන ද විශාල නාස්තියකි. මේ නාස්ති ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඒවා දුරලන ක්‍රියාමාර්ග ගැනීම රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මහෝපකාරී වනු ඇත.