පසුගිය ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරුණු පසුබිමේ ලංකාදීප ‘කිවි දා දැක්මට’ මා ලියූ ලිපියක ශීර්ෂ පාඨය වූයේ ‘ගෝඨාභය සාධකයක් ද මෙවලමක් ද’ යන්නය. එම ලිපිය පැසසුවෝ මෙන්ම ඊට උරණ වුවෝ ද වූහ. එහෙත් මා එදා ඇසූ පැනයට කිසිවකු උත්තර සැපයුවේ නැත. ඊට පිළිතුරු සැපයීමේ වගකීම භාර ගන්නට සිදු වූයේ ද මට ම ය. එදා මගේ පිළිතුර වූයේ ගෝඨාභය සාධකයක් ය යන්න සහ යෝජනාව වූයේ එය පටු බල අරමුණු සඳහා අන් අයගේ මෙවලමක් බවට පත්කර ගැනීමට ඇති ඉඩ ඇහිරිය යුතු ය යන්න ය. ඒ පිළිතුර සහ යෝජනාව අදටත් එදාට මෙන් ම අදාළ ය, වලංගු ය.

මහ මැතිවරණය අවසන්වී සතියක් පමණ ගෙවී ගොස් ය. පොදු පෙරමුණ අති විශාල ජයක් ලබා ඇත. ඇමැති මණ්ඩලයත් පත්කර අවසානය. ඒ පසුබිමේ මෙවර ලිපිය ලියන්නේ පොදුජන කැමැත්ත තේරුම් ගැනීමට සහ මෙවැනි දැවැන්ත ජයක් ලැබීමේ සාධක මොනවාද යන්න සොයා බැලීමට ය.

ගෝඨාභය සාධකය පමණක් නොව මෙවර මහ මැතිවරණය දෙස සුපරීක්ෂාකාරීව බලනවිට එහි අති විශාල ජයග්‍රහණය සඳහා හේතු වූ තවත් ප්‍රධාන සාධක දෙකක් හේතු විය. ඒ අනුව ජයග්‍රහණය සඳහා හේතු වූ පුද්ගල සාධක තුනකි. ඒ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන සාධක ය. ජනාධිපතිවරණයකින් පසුව පැවත් වූ හැම පාර්ලිමේන්තු මැතිවරණයකටම වඩා මෙවර විශේෂත්වයක් විය. එනම් ජනාධිපතිවරණයකින් පසුව එන පාර්ලිමේන්තු මැතිවරණවල දී ජනාධිපති අයත් පාර්ශවය ජයග්‍රහණය කළත් එසේ වන්නේ  ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ දහයකින්වත් අඩුවෙන් ය. එහෙත් මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එසේ අඩු වී ඇත්තේ එක් ලක්ෂයකට ආසන්න ගණනකි. එය එසේවී අති විශාල ජයක් ලැබූවේ ඇයිද යන්න අපගේ විමසුමට ලක්විය යුතු ය.

මා දකින ආකාරයට, මෙම මැතිවරණයේ දී ගෝඨාභය සාධකය තීරණාත්මකවී ඇත්තේ මහජනයාගේ අනාගතවාදී අපේක්ෂාවලට අදාළවය. පාස්කු ප්‍රහාරය නිසා යළි ඇතිවූ අනාරක්ෂාව පිළිබඳ සැකය, භීතිය, කාංසාව, සහ අපේක්ෂා භංගත්වය නැතිකොට අභ්‍යන්තරික ආරක්ෂාව තහවුරු කිරීම කළ හැක්කේ ගෝඨාභයට ය යන විශ්වාසය සහ බලාපොරොත්තුව එහි තීරණාත්මක පැතිකඩ කි. එසේම දීර්ඝ කාලයක් තිස්සේ ජන සමාජය භීතියට සහ ත්‍රාසයට පත් කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් තොර සාමකාමී නිදහස් රටක් පොලිටියක් ගෝඨාභය විසින් ඇති කරනු ඇත යන සමපේක්ෂණවාදී නැතහොත් අනාගතවාදී බලාපොරොත්තුවද තීරණාත්මක විය.

තවද පොලිටියේ නීතිය සහ පිළිවෙළ ස්ථාපිත කළ හැක්කේ ඔහුටම ය යන ජනප්‍රිය කතිකාව ජනාධිපතිවරණයට බොහෝ කලකට පෙර සිටම ඇතිවී තවමත් ඉදිරියට එන්නකි. ඒ හා බැඳුනු අනෙක් අපේක්ෂාව වී ඇත්තේ නිලධාරීන්ට සහ මැති ඇමතීන්ට හිතෙන හිතෙන තාලෙට නටන්න සහ ජනයාටත් පොදු දේපොළ-සම්පත්වලටත් හානිකරන්නට ඔහු ඉඩ නොදෙනු ඇත යන්න ය. කොරෝනා වසංගතයට මුහුණ දී එය පාලනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය හැසිර වූ ආකාරය ඔහු කෙරෙහි වූ විශ්වාසය තවත් දැඩි වීමට හේතු විය. එසේම ස්වදේශිකත්වය පිළිබඳව දැනෙන නොදැනෙන මධ්‍යම පාන්තික මනෝභාවය ද ඒ පසුබිමේ විය. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඇති බහුජන මහා කැමැත්තේ පදනම අතිශයින්ම අනාගතවාදී එකක් බවය.  

තවද කලක සිට දේශපාලනය සහ දේශපාලකයා පිළිබඳව වූ පොදු ජන අපුල සහ කලකිරීම නිසා දේශපාලන කලාපයෙන් සහ කතිකාවෙන් ඈත්වී සිටි පිරිස් යළි කැඳවීමට ගෝඨාභය සාධකය ප්‍රබල හේතුවක් විය. එසේම ගෝඨාභය සාධකය, බල-දේශපාලනික චරිතයක් ලෙස නොව ජාතික චරිතයක් ලෙස භාර ගැනීමේ පොදුජන මනෝභාවයක් ඇති විය. ඒ අනුව අති බහුතර ජනකායකගේ දේශපාලන නායකයා නොව ජාතික නායකයා බවට ජනාධිපති ගෝඨාභය පත් වූයේ ප්‍රති විරුද්ධ පාර්ශවවල නායකයන් හුදු දේශපාලන නායකයන් බවටම ලඝු කරමිනි. දශක ගණනාවක් තිස්සේ බල-තණ්හා දේශපාලනයෙන් හෙම්බත්වී සිටින මිනිසුන් ගෝඨාභය කෙරෙහි තබා ඇති විශ්වාසය බරපතළය. එක අතකට එය ජනාධිපති ගෝඨාභය අපේක්ෂා කළාට වඩා වැඩි එකකි. ඒ විශ්වාසය රැකීමම දැවැන්ත අභියෝගයකි.

අගමැති මහින්ද රාජපක්ෂ මෙම ජයග්‍රහණයේ අනෙක් ප්‍රබල සාධකය ය. කොටි සංවිධානය පරාජයකොට රටට ලබාදුන් නිදහස පිළිබඳ ගෞරවය කිසිම කරුණක් නිසා ඔහුගෙන් ගැලවිය නොහැකි එකක්වී ඇත. එසේම ස්වදේශිකවාදය සහ ජාතිකවාදය පිළිබඳ සිංහල - බෞද්ධ කතිකාවේ ‘රට රකින නායකයා’ යන සන්නාමය ඔහු සතුවී තිබෙන බව 2010, 2015 ජනාධිපතිවරණවලදීත් ඉන් පසුවත් ඔප්පුවී ඇත. 2015 ජනාධිපතිවරණ සිතියම ඒ සඳහා ගැළපෙනම දෘශ්‍ය නිදසුනය. සිංහල - බෞද්ධ කතිකාව තුළ ඔහුට හිමිව තිබෙන තැන, පෙර හෝ වර්තමානයේ කිසිම දේශපාලකයකුට හිමිවී නැති කේන්ද්‍රීය ස්ථානයකි. අනෙකුත් ජනවර්ගවල බල-දේශපාලන කේවල් කිරීම්වලට නතු නොවී ආණ්ඩු පිහිටුවීමේ හැකියාව ඔප්පු කිරීමට ගෝඨාභය - මහින්ද සාධක හවුලට හැකිවී ඇත්තේ ඒ නිසාය. බොහෝ අයට ඒ ගැන කැමති අකමැතිකම් තිබිය හැකිය. එහෙත් යථාර්ථය අප තේරුම් ගත යුතු ය. ඒ එක්කම ජාතික රාජ්‍ය ස්වදේශිකවාදය මත ගොඩ නැගීම සහ එය සියලු‍ ජනවර්ගවල සහයෝගයෙන් සිදුකිරීම අර හපන්කම නිසා අමතක නො කළ යුතු ය. ඇත්තටම කරනවා නම් එය කළ හැක්කේ මෙවැනි ආණ්ඩුවකටම ය. ඒ අවස්ථාලාභය අත් නො හැරිය යුතු ම ය.

ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව හෝ ඇතුළේ නො ඉඳ ආණ්ඩු හැදීමේ පමණක් නොව ශක්තිමත් ආණ්ඩු හැදීමේ මූලෝපායික සාධකයක් පොදුජන පෙරමුණ සතු ය. ඒ බැසිල් රාජපක්ෂ සාධකය ය. ඔහු ඡන්දය ඉල්ලන ක්‍රියාවලියට නො බැස ජනාධිපතිවරණය සහ මැතිවරණය මෙහෙයවීමේ වගකීම භාරගත්තේ ය. ඊට අදාළව බැසිල් රාජපක්ෂ  සිදු කළ ග්‍රාම වසමේ සිට ජාතික මට්ටම දක්වා වූ මැතිවරණ ජාලගත සංවිධාන ක්‍රියාදාමය ප්‍රති විරුද්ධ පාර්ශවයට පමණක් නොව ස්වකීය පාර්ශවයට ද වටහා ගැනීමට බැරි තරම් සූක්ෂම ය. එම සාධකය නොමැතිව අනිත් සාධක දෙක කළමනාකරණය කොට දැවැන්ත ජයක් ලබා ගැනීම වෙනත් කිසිවකුටවත් කළ නොහැක්කක් ය. බොහෝ වාම න්‍යායවලින් ආර්ථිකය සමාජය දේශපාලනය විවරණය විශ්ලේෂණය කළ හැකිය. එහෙත් සමකාලීනව ඒවායින් ජයග්‍රහණයක් සඳහා මහ ජනතාව බලමුළු ගැන්වීම කළ නොහැකි ය. ඒ බව ජාතික ජනබලවේගයේ පරාජය සහ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විසින් ඔප්පුකොට ඇත. ආයුධවලින් එනම් ප්‍රචණ්ඩත්වය මගින් බලය ලබා ගන්නවාට වඩා මහජන කැමැත්තෙන් බලය ලබා ගැනීමේ තාක්ෂණික ක්‍රමවිධි සැලසුම් කිරීමේ දී බැසිල් සාධකය අතිශයින්ම සූක්ෂමවී ඇති බව 2015න් පසු පැවති සෑම ඡන්දයකදීම පෙන්නුම් කර ඇත. මෙවර ද සිදුවී ඇත්තේ එය ය. ප්‍රති පාර්ශවවලට නැති පොදුජන පෙරමුණු පාර්ශවයට ඇති ප්‍රබල සාධකය එය ය.

 ඒ අනුව මෙවර මහ මැතිවරණ ජයග්‍රහණයේ සාධක පිළිවෙළින් ගත්විට ගෝඨාභය සාධකය ජනයාගේ අනාගතවාදී අපේක්ෂා ජනනය කිරීමට හේතු වූ අතර මහින්ද සාධකය ජනයාගේ අතීතකාමය සහ ජාතික හැඟීම් උද්දීපනය කිරීමට හේතු වූ අතර බැසිල් සාධකය ඒ සාධක දෙක කේන්ද්‍රීයව ජනයා බලමුළු ගැන්වීමේ මූලෝපායික සාධකය ලෙස ක්‍රියාත්මක විය. දැන් ඇත්තේ ඒ ජයග්‍රහණය සමස්ත ජන සමාජයේම ජයග්‍රහණයක් බවට පත්කිරීම සඳහා කටයුතු කිරීමය.

ඒ සඳහා පත්කළ කැබිනට් ඇමතීන්ට වඩා මා සිත ඇදී ගියේ රාජ්‍ය ඇමතීන් දෙසටය. මන්ද මෙවර රාජ්‍ය ඇමතීන් පත්කොට ඇත්තේ  නිශ්චිත වැඩ ක්ෂේත්‍රයක් පැහැදිලිවම දක්වමින් ය. ඒ අනුව එම ඇමැතීන්ගේ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ හෝ කැබිනට්ටුවේ හෝ නොව ඒ ඒ අදාළ අංශවලින් ආවරණය වන සහ ආවරණය විය යුතු ජනයාටම තක්සේරු කළ හැකිය. ඍජුවම කිරා මැන බැලිය හැකිය. මන්ද රාජ්‍ය ඇමතීන්ට භාරදී ඇති ක්ෂේත්‍ර පොදුජන ජීවිතයේ සහ ආර්ථිකයේ මධ්‍යම සහ ක්‍ෂුද්‍ර අංශවලට ඍජුවම අදාළ නිසා ය. එසේම පොදු ජන ආර්ථිකයට අදාළ එහෙත් නොසලකා හැර තිබූ දේශීය ග්‍රාමීය සහ සුළු පරිමාණ අංශ බොහොමයක් ඒ රාජ්‍ය අමාත්‍යංශවලට අදාළකොට ඇත. මා දකින ආකාරයට මෙය ඉතා හොඳ තත්ත්වයකි. එහෙත් ඒ හොඳ තත්ත්වය වඩාත් සාධනීය වන්නට නම් කැබිනට් ඇමතීන් අර රාජ්‍ය ඇමතීන්ට බාධා අවහිරතා ඇති නොකොට සහය දිය යුතු ය.  එහෙත් රටේ සම්ප්‍රදාය රාජ්‍ය ඇමතීන් නො සලකා කැබිනට් ඇමතීන් සියල්ල බදා ගැනීම ය. ඒ ගැටලුත් කළමනාකරණය කොට වඩාත් හොඳ රටක් පොලිටියක් ජනයාට තනා දීමට මෙවරවත් වගකිවයුත්තන් කටයුතු කරනු ඇතැයි සිතමි.

(***)

කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​ෙය්,
ධම්ම දිසානායක