කොළඹ ජාතික කෞතුකාගාරය කඩා එහි තිබූ සියවස් ගණනක් පැරණි කඩු කස්තාන, රජවරුන් පරිහරණය කළ භාණ්ඩ සහ රන් කහවනු ඇතුළු මිල කළ නොහැකි පෞරාණික කෞතුක භාණ්ඩ තොගයක් සොරාගෙන ගියේ පසුගිය මාර්තු මස 16 වැනිදාය. මේ කෞතුක භාණ්ඩ තොගය සොරාගත් කල්ලිය ගැන කිසිදු තොරතුරක් තවම දැන ගැනීමට නොමැති බව කියා සිටියේ ජ්‍යෙෂ්ඨ රහස් පොලිස් නිලධාරියෙකි. මාර්තු මාසයේ 16 වැනිදා කෞතුකාගාරය වැසීමට පෙර සිට සොරුන් එහි රහසිගතව උඩුමහලේ සැඟව සිට පසුව කෞතුක භාණ්ඩ තොගය සොරා ගෙන කාමරයට දමා තිබූ ඇතිරිලි (කර්ටන්) ඉරා ඒවායේ ආධාරයෙන් බැස පළා ගොස් ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළිකරගෙන තිබිණ. කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබූ දුර්ලභ ගණයේ බුදුපිළිම දෙකක්, පැරණි රන් සුරයක්, රන් පංචායුධයක් හා වීඩියෝ ඩෙක් යන්ත‍්‍රයක් 1993 වසරේ අගෝස්තු මස 18 වැනිදා රාත‍්‍රියේ සොර කල්ලියක සොරාගෙන ගොස් තිබුණේද මෙවැනිම ආකාරයේ ක‍්‍රියා පිළිවෙතක් අනුගමනය කරමිනි. කලින් දිනයේ (17 වැනිදා) කෞතුකාගාර ගොඩනැගිල්ල තුළම රැුඳී සිටි සොර කල්ලිය රාත‍්‍රි කාලයේ සොරකම සිදුකොට වහලයට ගැට ගැසූ කඹවල ආධාරයෙන් පැලාගොස් ඇත. අඟල් හයක් පමණ උස රන් තහඩු ඔබ්බවන ලද දුර්ලභ ගණයේ බුදු පිළිම දෙකක් මෙසේ පැහැරගෙන ගොස් තිබූ අතර මෙම බුදු පිළිම දෙක 1993 වසරට පෙර වසර ගණනාවකට ඉහතදී පඬුවස්නුවර ප‍්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී සොයාගත් පොළොන්නරු යුගයට අයත් ඒවා විය. මෙම බුදු පිළිම දෙක තක්සේරු කළ නොහැකි තරම් වටිනාකමින් යුත් දුර්ලභ ගණයේ කෞතුක භාණ්ඩ දෙකකි. වසර 19 ක පමණ කාලයක් ගතවී ඇතත් ඉහළ කෞතුක වටිනාකමක් ඇති මෙම බුදු පිළිම දෙක අද වන තෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. බුදු පිළිම දෙක සමග සොරාගෙන ගිය පැරණි රන් සුරය, රන් පංචායුධය හා වීඩියෝ ඩෙක් යන්ත‍්‍රය ද මේ වන තෙක් සොයා ගැනීමට හැකිවී නොමැත. අපේ ජාතික උරුමයන් සොරාගත් ඒ අපරාධකරුවන් ද වසර 19ක පමණ කාලයක සිට තවමත් සිටින්නේ නිදැල්ලේය. කොළඹ ජාතික කෞතුකාගාරය දෙවැනි වරටත් කඩා මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ සොරාගෙන ගිය කල්ලියද තවමත් සිටින්නේ නිදැල්ලේය. සොරකම් දෙකම සිදුකර ඇත්තේ එකම ආකාරයක වීම මෙහි ඇති විශේෂත්වයක් බව කෞතුකාගාරයේ නිලධාරින් කිහිප දෙනෙක් පැවසූහ. 1993 වසරේ සිට කෞතුක භාණ්ඩ සොරකම සිදුවන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ තනතුර දරා ඇත්තේ තෙල්මා ගුණවර්ධන මහත්මියයි. එදා සිට එහි සේවකයන් පිරිසක් කියා සිටියේ කෞතුකාගාරයේ ආරක්ෂාව පෞද්ගලික අංශයට පැවරීමෙන් පසු ප‍්‍රශ්න රාශියක් හටගත් බවය. කෞතුකාගාරයේ තිබූ බුදු පිළිම දෙක සහ අනෙකුත් කෞතුක භාණ්ඩ සොරා ගැනීමට එහි සේවකයන් කිහිප දෙනකුගේ සම්බන්ධතාව ඇති බවට සැක කළ පොලිසිය ඒ සැකය ඔස්සේ පරීක්ෂණ එදා පවත්වනු ලැබූවත් කිසිදු ප‍්‍රතිඵලයක් අත්වූයේ නොමැත. කොළඹ ජාතික කෞතුකාගාරයේ තවත් අපූරු සිදුවීමක් සිදුවී ඇත. ඒ 1991 වසරේදී පමණය. නිදන් ගැන තොරතුරු ඇතුළත් ඉපැරණි පුස්කොළ පොතක් ජාතික කෞතුකාගාරයේ තිබේ. නිදන් වදුල නමැති මෙම පොත ජාතික කෞතුකාගාරයේ පුස්තකාලයේ තිබෙන අතර අවශ්‍ය අයකුට පර්යේෂණ සඳහා එය ඉල්ලාගෙන කියවා බැලීමට පහසුකම් සලසා ඇත. මීට වසර 26 කට පමණ පෙර නිදන් වදුල නමැති මෙම පොත ඉල්ලාගෙන පැමිණි අයෙක් එය කියවන අතර වාරයේ එහි පිටු සූක්ෂම අන්දමින් කපන අන්දම සේවකයකු දැක අවසානයේ ඒ තැනැත්තා කොටුකර ගෙන ඇත. නිදන් වදුලේ තිබූ වැදගත් පිටු කපාගෙන ගොස් එහි ඇති තොරතුරු අධ්‍යනය කර නිධන් හෑරීම මේ කියන පුද්ගලයාගේ අරමුණ වී තිබුණු බව පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළිවී තිබූ බව කියති. ජාතියේ උරුමය සහ ප්‍රෞඪත්වය මේ යැයි කියන සංකේතවත් කරන අතිශය පෞරාණික කෞතුක වස්තූ තැන්පත් කර ඇති ජාතික කෞතුකාගාරයට යොදවා ඇති ආරක්ෂාවේ බරපතළ හිදැසක් ඒ කාලයේ සිටම තිබී ඇති බව මෙවැනි සිදුවීම් හරහා මනාව ඔප්පු වෙන කරුණකි. මිල කළ නොහැකි බුදු පිළිම දෙකක් රන් සුරයක් හා රන් පංචායුධයක් සොරා ගැනීම (1993 වසරේ) සිදු වූ කාලවකවානුවේම විධිමත් ආරක්ෂක ක‍්‍රමවේදයක් ආරම්භ කර එය පවත්වාගෙන ආවේ නම් මිල කළ නොහැකි කෞතුක වස්තුන් තොගයක් ජාතියට අහිිමිවීමට තිබූ ඉඩකඩ ඇහිරීයාමට බොහෝ දුරට ඉඩ තිබූ බව කරුණු කාරනා දන්නා බොහෝ දෙනෙකුගේ අදහස වී පවතී. එදා සිදු වූ දෙයින් පාඩමක් වගකිව යුත්තෝ ඉගෙන ගත්තා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නැහැ.මින් ඉදිරියට වත් මේවගේ ජාතික අපරාධයක් සිදුවෙන්න කලින් අවශ්‍ය පියවර බලධාරීන් ගතයුතුයි. එහෙම නැත්නම් තවත් දිනක මෙවැනි සොරකමක් සිදු නොවන බවට සහතිකයක් කාටවත් දිය නොහැකියි. ජාතික කෞතුකාගාරයේ සේවක සේවිකාවන් ගණනාවක් පැවසුවේ එවැනි කතාවකි. ජාතියේ උරුමය ප්‍රෞඪත්වය සොරාගත් මහා අපරාධකාරයන් ගැන කිසියම් හෝ හෝඩුවාවක් දන්නේ නම් සපයන ලෙස රහස් පොලිසිය ජාතියේ නාමයෙන් ඉල්ලීමක් කර සිටී. පුරාවස්තු සොරකම සිදු වූ දිනයේ කොළඹ කෞතුකාගාරයේ අදාළ මැදිරිය තුළ සේවය කළ නිලධාරීන්ගේ සහ මුරකරුවන්ගේ සේවය පරීක්ෂණ අවසන් වන තෙක් මේවන විටත් අත්හිටුවා ඇති අතර ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කමිටුවක්ද පත්කර තිබේ. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේද ජාතික කෞතුකාගාරයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටියෙමි. ආචාර්ය බාලසූරිය මහතා දැක්වූ අදහස් මෙසේය. යම්කිසි අමාත්‍යාංශයක දුෂණයක් වංචාවක් අක‍්‍රමිකතාවයක් හෝ හොරකමක් සිදුවුවහොත් එහි වගකීම අදාළ අමාත්‍යාංශය බාර අමාත්‍යවරයා බාර ගත යුතුයි. මේ සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඒ අනුව මම බාර ගන්නවා. ලෝකයේ කොයි රටක වුණත් සම්ප‍්‍රදාය එයයි. මේ සොරකමේ වගකීම මම බාර ගන්නා අතරම මින් ඉදිරියට මේවගේ සොරකම් සිදු නොවීමට ගතහැකි සෑම ආකාරයකම පියවර ගන්නවා. දැනටමත් ඒ සඳහා විධිමත් පියවර රැසක් ගෙන ඇති බවද ඇමැතිවරයා පවසයි. විධිමත් ආරක්ෂක පද්ධතියක් කෞතුකාගාරයේ ක‍්‍රියාත්මක කරනවා. නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතියක් සවිකරන්න දැනටමත් සැලසුම් සකස් කර තිබෙනවා. රක්නා ලංකා වැනි ආරක්ෂක සේවයක සේවය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. අත තබන විට නාද දෙන සීනු ආකාරයේ සීනු පද්ධතියක් සවිකිරීමට පියවර ගෙන තිබෙනවා යැයිද ඔහු සඳහන් කරයි. ජාතික කෞතුකාගාරයේ පමණක් නොව ජාතික ලේඛනාගාරයේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් උපදෙස් ලබාදීම සඳහා හමුදාවෙන් හෝ පොලිසියෙන් විශ‍්‍රාම ලබාගෙන සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පත් කිරීමට කඩිනමින් කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා පවසයි. කෙසේ වෙතත් කොයිකාගේත් අපේක්ෂාව මින් මතු මෙවැනි ජාතික අපරාධ සිදු නොවන තැනට වගකිව යුත්තන් වග බලා ගනීවි යැයි යන්නය.
සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය