4_RASA_P5

 

රොෂාන් වෛද්‍ය උපාධියට පාඩම් කරන කාලයේ සිටම වැඩි උනන්දුවක් යොමු කළේ තම වෘත්තිය ජීවිතයේ සාර්ථකත්වය වෙතටය. ඔහුගේ වෘත්තිය ස්ථාවර වීමත් සමඟ මව්පියන් විසින් යෝජනා කළ විවාහයක් ඔහුට කර දෙන ලද අතර හොඳ පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන විවාහ ජීවිතයට ඇතුළු නොවුවත් රොෂාන් තම බිරිඳ වෙනුවෙන් යුතුකම්, වගකීම් ඉටු කළේය. එහෙත් ඔහුගේ ආදර ලෝකයේ වෙනසකට පත්වන දවසක් උදාවේ යැයි ඔහු මෙන්ම බිරිඳද නොසිතන්නට ඇත.

 


මේ රොෂාන්ගේ සහ තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීමට තවත් අනියම් පේ‍්‍රම සබඳතාවක් බලපෑ ආකාරය පිළිබඳ කතාවක්.


‘‘මේ බෙහෙත් ටික ගන්න’’


බෙහෙත් වර්ග වල නම් ලියූ කොළය රෝගියා අත තබමින් රොෂාන් පැවසුවේය. උදේ සිට රෝගීන් බැලීම නිසා ඔහුගේ ගතටද තද වෙහෙසක් දැනිණි. ඔහු කැරකෙන පුටුව මතට වී විනාඩි කිහිපයක් දෑස් වසාගෙන සිටියේ තද වෙහෙස නිසාය.


දෙව්මිනි කාමරයට පැමිණෙන හඬ ඔහුට ඇසුණද ඔහු දෑස් පියාගෙන සිටියේ දැඩි  ඕනෑකමිනි.


ඩොක්ටර්......


ඔහු දෙනෙත් හැරියේ අසීරුවෙන් මෙනි.


‘‘ඩොක්ටර්ට මහන්සිද?’’


‘‘නෑ’’


රොෂාන් පැවසුවේ තරමක් බිඳුණු හඬකින් යුක්තවය. රොෂාන් පැවසුවේ මුසාවක් බව දෙව්මිනී දනී. ඇය ඔහු දෙසට නෙත් යොමු කළාය. ඔහුගේ මුහුණ ඝන කළු වළාවක් මෙන් අඳුරු වී ඇති බව ඇයට පෙනිණි.


‘‘ඩොක්ටර් මම තේ එකක් හදාගෙන එන්නද?’’


‘‘හ්ම්......’’ කියමින් දිගු සුසුමක් හෙළු රොෂාන් දෙව්මිනි සමඟ එකඟවෙමින් හිස සැලූවේය. ඇය තමාට කෙතරම් ලෙන්ගතුදැයි රොෂාන්ට දැනිණි. ඒ මොහොතේ රොෂාන්ගේ අඳුරු පැහැති මුහුණ ආලෝකවත් විය. ඇය එතැනින් පිටව ගිය පසු ඇගේ ලැසි ගමන දෙස රොෂාන් බලා සිටියේය. ඇගේ සුන්දරත්වය ඔහුගේ සිතට ගෙනදුන්නේ මහත් අස්වැසිල්ලකි.


රොෂාන්ගේ සිත බොහෝ ඈතට ගමන් කළේය. දෙව්මිනි හමුවූ පළමු දවස ඔහුගේ මතකයට නැගිණි. ඒ දෙව්මිනි අවුරුදු 23 පමණ තරුණියක්ව සිටි කාලයේදිය. බෙහෙත් ශාලාව ආරම්භ කරපු අලූත, බෙහෙත් තුණ්ඩු නිකුත් කිරීම හා බෙහෙත් ලබාදීම යන දෙකම සිදු කළේ ඔහු විසිනි. එහෙත් බෙහෙත් ගැනීමට දිනපතා විශාල පිරිසක් ඒ වෙත ඇදෙන්නට විය. ලෙඩුන් බැලීම හා බෙහෙත් දීම යන දෙකම එකවිට සිදු කිරීම දැඩි වෙහෙසකර කටයුත්තක් බව ඔහුටම වැටහිණි.


දිනක් ඔහු නිවසේ සිට බෙහෙත් ශාලාව වෙත යාමේදී ඒ අසල වෙළඳසැලක මෝටර් රථය නවතා එම වෙළඳසැලේ මුදලාලි සමඟ කතා බහකට එක්වූවේය.
ඔහු එසේ වෙළඳසල වෙත පියමැන්නේ බෙහෙත් ශාලාවට පැමිණෙන පිරිසට අවශ්‍ය බේත් හේත් ලබාදීමට කවුරුන් හෝ සොයා ගැනීම සඳහාය.


‘‘මුදලාලි නැද්ද මේ පැත්තෙන් ඉංගී‍්‍රසි ටිකක් දන්න හොඳ ගෑණු ළමයෙක්.....’’


‘‘ඒ මොකටද මහත්තයො හදිසියෙම ගෑණු ළමයි’’ මුදලාලි එසේ පැවසුවේ නළල රැලි ගන්වමිනි.


මගෙ බෙහෙත් දෙන තැනට දැන් වෙනදා වගේ බෙහෙත් දෙන වැඩ රාජකාරි තනියම කරන්න බැහැ. සෙනඟ වැඩියි.


ඊට දින කිහිපයකට පසු ඩොක්ටර් රොෂාන් මුදලාලි හමුවට ගියේ යම් හෝ බලාපොරොත්තුවක් පෙරදැරිවය. ඒ යනවිට ඔහු මිදුලේ සක්මන් කරමින් සිටියේ බුලත් විටක් සපමිනි.


‘‘ආ...... දොස්තර මහත්තයානෙ.....’’


රොෂාන් ඔහු අබියසට පැමිණියේ තෘප්තිමත් මඳ සිනාවක් දෙතොළඟ රඳවා ගනිමිනි.


‘‘මහත්තයො ගෑනු ළමයෙක් නම් හම්බවුණා.... මහත්මයම ටිකක් කතා කරලා බලන්නකෝ.’’


ඉන් දින දෙකකට පසු මුදලාලි දෙව්මිනීද සමඟ බෙහෙත් ශාලාවට ගියේ ඔහු මුණ ගැසීම සඳහාය.


කාමරය අසලට පැමිණ මුදලාලි රොෂාන් සමඟ කතා කළේය.


‘‘මෙන්න මම කියපු ගෑනු ළමයා....’


රොෂාන් ඇය දෙසට බැල්මක් හෙළුවේය. අනතුරුව ඔහු ඇය හා කතා කරන්නට විය.


එදින රොෂාන් නිවසට යනවිට රාතී‍්‍ර 10ත් පසුවී තිබිණි, ඔහු එනතෙක් ඔහුගේ බිරිඳ වන සඳනි සිටියේ රූපවාහිනිය නරඹමිනි.


‘‘ඔයා කාලාද ආවෙ?’’


‘‘නෑ.....’’ රොෂාන් එසේ පැවසුවේ තම කාමරය දෙසට ගමන් කරමිනි.


‘‘ඔයා ඇඟපත හෝදාගෙන එන්න... මම කෑම ලෑස්ති කරන්නම්.’’


එලෙසට කාලය ගතවීමත් සමඟ බෙහෙත් ශාලාවේ වැඩකටයුතු දෙව්මිනී සාර්ථක ලෙස කරගෙන යන්නට වූවාය.


ඒ අතරතුරදි ඔවුනොවුන් දැඩි සේ කුලූපග විය. ඇය කෙරෙහි ඔහු තුළ දැඩි සෙනෙහසක් ඇති වූයේ මේ කාලසීමාවේදීය. සඳනිගෙන් සිදුවන යම් යම් අඩුපාඩු නිසා ඔහු දෙව්මිනිට ටිකින් ටික ළංවෙන්නට පටන් ගත්තේ ඔහුටත් නොදැනීමය.


‘‘දෙව්මිනි.... මෙහෙට පොඞ්ඩක් එන්න....’’ රොෂාන්ගේ ආමන්ත‍්‍රණයට ඇය එතනට පැමිණියේ අඩියට දෙකටය.


‘‘මේ බෙහෙත් වර්ගය තියෙනවද බලන්න’’


‘‘සිට්රසින් නේද ඩොක්ටර්? මම හිතන්නෙ තිබුණා.’’


දෙව්මිනි බෙහෙත් ගබඩාව දෙස ඇදුණේ ඒ මොහොතේය. ඇය විනාඩියකින් පමණ එම බෙහෙත සොයාගෙන නැවත පැමිණියාය. ඇය ආසනය වෙත නෙත් යොමු කළාය. එහෙත් රොෂාන් එහි සිටියේ නැත. අනෙක් කාමරය වෙතට යනවිට රොෂාන් ජනෙල් කවුළුවෙන් පිටත බලා සිටිනු ඈ දුටුවාය.


‘‘ඩොක්ටර් අර බෙහෙත’’


‘‘හ්ම්... තව බෙහෙත් වට්ටෝරුවක් ඇති මගෙ මේසේ උඩ... ඒවා තියෙනවද බලන්න. නැත්නම් ගෙන්වන්න  ඕන’’


කාලය ගතව යන්නට විය. පසුගිය වසර දෙකක පමණ කාලසීමාව තුළදී රොෂාන් දෙව්මිනිට වඩාත් ලංවන්නට වූයේ දෙදෙනා වැඩි කාලයක් සමීපවම ඇසුරු කිරීමය.


‘‘දන්නවද දෙව්මිනි මම ඔයාට ගොඩක් කැමතියි.’’ එවිට දෙව්මිනි සිනාසුනා පමණි. කිසිවක් පැවසුවේ නැත. එවිට ඔහු ඇයගේ අතින් අල්ලා ගත්තේ ඇගේ දිගැටි සිහින් ඇඟිලි තම අතැඟිලි අතර සිර කර ගනිමිනි.


විවේකයක් ලද සෑම මොහොතකම ඔහු ඇය හා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. දෙව්මිනි සමඟ හැමදාම මෙහෙම ඉන්නට ඇත්නම් කොයිතරම් සතුටක්ද? ඔහුගේ සිත වරින් වර කීවේ එලෙසිනි. අපේ ගෙදරින් මට කසාදයක් කරලා දෙන්න යන්නෙ. දෙව්මිනි එසේ පැවසුවෙ රොෂාන් දෙස බලමිනි. ඇයගේ ඒ වදනින් රොෂාන්ගේ හදවත පසාරු වන්නට විය. ඔහු කිසිවක් නොකියාම ඇයගේ මුහුණදෙස බලා සිටියේ බලාපොරොත්තු සුන් වූ ලෙසින්ය.
දෙව්මිනිගේ මුහුණෙහි සතුටක් නැති බව ඔහුට යන්තම් පෙනිණි.


‘‘දැන් ඉතින් ඔයා ඒ කසාදෙට කැමතිද? ඔයා කැමතිවෙන්න. ඔයාටත් හොඳ ජීවිතයක් තියෙන්න  ඕනනෙ නේද?’’


රොෂාන් ඇයට එලෙස පැවසුවත් දෙව්මිනි ගැන බලාපොරොත්තුව ඔහුගේ සිතෙන් බිඳක්වත් අඩු නොවුණි.


‘‘මම තවම මොනවත් කීවෙ නෑ. ගෙදර අයගෙ කැමැත්තට ඉඩ දෙනවා.’’ රොෂාන් පැවසූ දෙයට දෙව්මිනිගේ පිළිතුර එය විය. ඒ වන විටත් ඇයටත් ඔහු ගැන හැඟුම් සමුදායක් ගොඩ නැගී තිබුණි.


තමා දින දෙක තුනක් නිවාඩු ගන්නා බවට දෙව්මිනි රොෂාන්ට පවසා සිටියේ බෙහෙත් ශාලාවට පැමිණි පෙර දිනයේය. ඒ ඇගේ විවාහ උත්සවයේ වැඩ කටයුතු ඉටු කර ගැනීම සඳහාය.


දෙව්මිනිගේ විවාහ උත්සවය පවුලේ සියලූම දෙනාගේම ආශිර්වාදය මැද පැවැත්වීම සඳහා සියලූ කටයුතු සුදානම්ව පැවතිණි. ඒ සඳහා පැමිණෙන්නැයි රොෂාන්ටද ඇරයුම් කර තිබිණි.


ඇයගේ විවාහය නිසා තදබල දුකක් ඔහුට දැනුණද දෙව්මිණි ඔහු සමීපයටවිත් ආරාධනා කළ පසු රොෂාන්ට එය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. ඔහු අකමැත්තෙන් වුවද ඊට සහභාගි වූයේ ඒ නිසාය.


එදින උඩරට මනාළියක සේ හැඩවී සිටි සුරංගනාවියක් මෙන් වූ සුන්දර මනාලිය දෙස රොෂාන් බලා සිටියේ ආදරය කැටි වූ දෙනෙතකිනි.


විවාහ උත්සවය අවසානයේ නිවසට ළඟා වූ රොෂාන්ට බැස යන හිරු මුවා කරමින් සිහින් මීදුමක් පැතිර යනු පෙනිණි. ඔහු මෝටර් රථය පැදවූයේ ලොවම අහිමි වූවාක් මෙන් ඉතා අසතුටකිනි.


නමුත් ඒ මොහොතේ ඔහු මෙසේ සිතුවේය. මම දිනකට හෝ දෙව්මිනි මා සතු කරගන්නෙමි. එසේ සිතා ඔහු නිවස බලා පිටත් විය.


ඊට පසු දිනයේ ඔහු බෙහෙත් ශාලාවට ගිය පසු යම් අඳුරු හිස් බවක් එහි අරක්ගෙන ඇති බව දැනෙන්නට විය. උදාසීන ලෙසින් වාඩි වී සිටි තැනින් නැගී සිටි ඔහුගේ දෙනෙතට දිස්වූයේ ගල්ගැසී බලා සිටින ගොඩනැගිලි සහ ගස්වැල් පමණකි.


විවාහයෙන් සතියකට පමණ පසු ඇය බෙහෙත්ශාලාවට පැමිණියේ සුපුරුදු රාජකාරි සඳහාය. එදින රොෂාන් ඇය සමඟ කතා බස් කළේ ඉතා අඩුවෙනි. ඔහුගේ ඒ වෙනස ඇයට තදින්ම දැනෙන්නට විය.


‘‘ඩොක්ටර් මාත් එක්ක තරහද?’’


‘‘නෑ.... මම මොකටද තරහ වෙන්නෙ.....’’ ඔහු එලෙස පැවසුවේ ඇය දෙස නොබලාමය.


දින කිහිපයක් ඒ වෙනස සිදුවූවත් නැවතත් පෙරමෙන් දෙව්මිනි සමඟ රොෂාන් කුලූපඟ වන්නට විය. ඇය විවාහයෙන් පසුව තව තවත් හැඩවී ඇතැයි ඔහුට සිතිණි.


එලෙසින් කල්ගත වීමත් සමඟම සිය සැමියා වන රුවන් අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බවත් ඉඳහිට ඇයට කරදර කරන බවත් දෙව්මිනී රොෂාන්ට කියා සිටියේ ජීවිතේ පිළිබඳ දැඩි කලකිරීමකිනි.


ඇගේ දෙනෙතින් කඳුළු බේරෙනු දුටු ඔහුගේ සිතට දුකක් ඇතිවූයේ ඒ නිසාය.


‘‘ඔයා අඬන්න එපා’’ එසේ කියමින් අසුනින් නැගී සිටි රොෂාන් ඇගේ දකුණතින් අල්ලාගෙන ඇය සනසවන්නට උත්සාහ දරන්නට වූවේය.


දෙව්මිනිගේ රෝස පැහැති කම්මුල් රත්පැහැ ගැන්වී තිබිණි. එවිට රොෂාන් ඇගේ කඳුළු පිස දැමුවේය. ඇය ඒ මොහොතේ රොෂාන් දෙස බැලූවේ අහිංසක බැල්මකින් යුතුවය. දෙව්මිනීත් එක්ක එකට ජීවත්වෙන්න බැරි වුණත් මේ විදියට එකම ඉරක් හදක් යට ඉන්න ලැබෙන එක කොච්චර වටිනවද? රොෂාන් තමාටම මුමුණා ගත්තේය. ඒ සියල්ල එසේ සිදුවෙද්දී ඔවුන් දෙදෙනා වැඩකරන අතරතුර ඉඩ පහසුවක් ලැබුණු සෑම විටකම දෙදෙනාට සමීපව ලොවට හොරා පෙම්වත්තු සේ හැසිරුණහ. රොෂාන් ඒ වනවිටත් දෙරු පියෙකි. නමුත් ඔහු ඇගේ ඇසුරට වඩ වඩාත් සමීප විය.


රොෂාන්ද කඩවසම් තරුණයෙකි. ඔහුගේ රූපයත්, කතා විලාසයත්, දෙව්මිනිගේ සිතේ කැමැත්තක් පැලපදියම් වීමට ගතවුණේද සුළු කාල සීමාවකි.

දෙව්මිනිත් රොෂානුත් අතර සම්බන්ධයක් පවතින බව ඇගේ සැමියා වන රුවන්ට වටින් ගොඩින් ආරංචි වී තිබිණි. ඇය බෙහෙත්ශාලාවට ගොස් පැමිණෙන එක් රාති‍්‍රයක රුවන් නිවසට පැමිණ සිටියේය. රුවන් ඇයගේ ඇඟට කඩා පැන්නේ ගොදුරකට කඩා පනින සිංහයෙකු මෙනි. ඔහු එකවරම කෑ ගසා කම්මුලට පහරක් ගැසුවේ කිසිවක් සිතාගන්නට පවා ඉඩක් නොතබමිනි.


සිදු වූ කිසිවක් අදහාගත නොහැකිව ඇය බලා සිටියේ වික්ෂිප්ත වූ මනසකිනි.


‘‘දැන් ඔය දොස්තරයා ළඟ බෙහෙත් දෙන්න යන එක නවත්තනවා. තමුන් ඌත් එක්ක නටන නාඩගම් මම දන්නෙ නෑ කියලද හිතන්නේ. උඹ හින්දා මට ඇඳුමක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න බෑ.....’’


රණ්ඩුව දුර දිග ගොස් දෙව්මිනිගේ බෙහෙත් ශාලාවට යන ගමනද නතර විය.


ඇය හදිසියේම එහි නොගියේ ඇයි දැයි රොෂාන් කල්පනා කරමින් සිටියේ ඒ අතරතුරය. දෙව්මිනි බෙහෙත් ශාලාවට දැනුම් දීමකින් තොරවම නොපැමිණිම නිසා ඔහු සිටියේ අදහාගත නොහැකිවය. ඔහු අහස පොළොව ගැටලන්නට මෙන් කල්පනා කළේ ඒ පිළිබඳවය. කැලඹුණ සිත සන්සුන් කර ගැනීමට ඔහු තදින් දෙනෙත පියා ගත්තේය.


තනිවම බෙහෙත් ශාලාවේ වැඩ සියල්ලම කරගැනීමට සිදු වූ නිසා ඔහු ඒ දිනවල සිටියේ තරමක තෙහෙට්ටුවකිනි. වෙනදාට වඩා කලින් එය වසා දමා නිවසට යෑම සඳහා බෙහෙත් ශාලාවෙන් එළියට පැමිණි රොෂාන්ට දැකගත හැකිවූයේ දෙව්මිනිගේ සැමියා වූ රුවන්ය.


රුවන් දෙසට පැමිණි රොෂාන් ඔහු සමඟ කතා කරන්නට වූවේය.


‘‘දෙව්මිනි ඇයි එන්නෙ නැත්තේ? දවස් දෙකකින්ම ආවෙ නෑ. දැනුම් දුන්නෙවත් නෑ. ඇයි ඒ?’’


‘‘එයාට අසනීපයි....’’ රුවන් එසේ පැවසුවේ ඇඟට පතට නොදැනීමය.


‘‘හ්ම්.... බෙහෙත් අරන් දුන්නද?’’


‘‘බෙහෙත්’’ රුවන් වියරු වැටුණේය. රොෂාන්ගේ කමිස කොලරයෙන් අල්ලා පහරවල් දෙක තුනක් එල්ල කළේය. පහර කෑමට ලක්වූ ඔහු පසෙක තිබූ ගසකද හැපී විසිවී ගියේය. එවිට රොෂාන්ද එතැනින් නැගිට රුවන්ට දැඩි ලෙස පහර දෙන්නට විය. රුවන් ඒ මොහොතේ බීමතින් සිටි බැවින් එම පහරවල් දරා ගැනීමට නොහැකිව අසළ තිබූ සිමෙන්ති කණුවක ඔළුව හැපී බිම ඇඳ වැටුණි.


ඔහු අතින් හිස අල්ලාගෙන කෑමොර දෙන්නට වුණේ දැඩි වේදනාවකිනි. අනතුරුව ඔහුගේ නාසයෙන්, කටෙන් ලේ ගලනු රොෂාන් දුටුවේය. අතිශය බියට පත්වූ ඔහු මෝටර් රථයට නැගී නිවස බලා පිටත් විය.


සිය සැමියා හදිසියේම රෝහල් ගත කර ඇතැයි දෙව්මිනිට දැනගන්නට ලැබිණි. ඇය ඒ මොහොතේම ලකලැහැස්ති වී රෝහලට යනවිටත් රුවන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි. සිය සැමියා මෙවන් අනතුරකට ගොදුරු වේයැයි ඇය කිසිවිටෙක නොසිතුවාය ඇය නිතර නිතර රෝහලට විත් රුවන්ගේ දුක සැප විමසා බලන්නට වූයේ සිතේ තෙරපුණු දුකත් සමඟිනි.


රොෂාන්ද රුවන්ට දරුණු ලෙස පහරදීම සම්බන්ධයෙන් සිරගත කෙරිණි.


ඉන් මාස පහ, හයකට පමණ පසු රුවන් රෝහලෙන් නිවසට රැගෙන ගියත් පලක් නොවුණි. ඒ වන විටත් ඔහුගේ සුශුම්නාව බිඳී ගොස් දැඩි ලෙසට රෝගීව සිටියේය. නමුත් දෙව්මිනී ඒ අනතුරෙන් පසුව ඔහු වෙනුවෙන්ම වෙහෙසුනාය. සාත්තු සප්පායම් කළාය.


රුවන් රජයේ ආයතනයක සේවය කළ නිසා ඔහුගේ මාසික වැටුප ඇයට ලැබිණි. එම මුදල ඔවුන් දෙදෙනාගේ වැඩකටයුතු සඳහා ප‍්‍රමාණවත් විය. සිදු වූ අයහපත් සිදුවීම් නිසා සිතේ දුක සේදී යනතෙක් හඬන්නට ඇයට අවැසි විය. ගත වූ කාලය පිළිබඳ නිසි අවබෝධයක් ඈ සතු නොවුණි.


රුවන් අසනීපයෙන් ලෙඩ ඇදේම කල්ගත කරද්දි රොෂාන් අවුරුදු ගණනාවකට සිරභාරයට නියම වූවේය. ඒ අතරතුර දෙව්මිනී රොෂාන් බැලීමට සිරගෙදරට ගියේ ඔහුගේ පවුලේ උදවියගේද දෑස් වසාය. ඇය තවමත් රොෂාන්ට පෙම් බදින්නේ කාටත් හොරාය.


දෙව්මිනි නිවසේ උළුවස්සට හේත්තු වී පාර දෙස බලාගෙන කල්පනා කරන්නට වූවාය. වෙනදාට බඩු මල්ලකුත් රැුගෙන ගෙදර එන රුවන්ගේ රූපය ඇයගේ ඇස් ඉදිරියේ මැවෙන්නට වුණේ ඒ මොහොතේය. ඇය කළ කී පෙර වැරදි ඇගේ මතකය දිගේ ගලා එන්නට වූයේ ඒ නිසාය. ඇගේ දෙනෙතින් කඳුළු බිඳු රූරා වැටී දෙකොපුල් දිගේ ගලා හැලෙන්නට විය. එහෙත් දැන් ඒ කිසිවක් සිතා ඵලක් නොමැත. සියල්ල අතීතයට එක් වී හමාරය. පේ‍්‍රමයට මුවා වී ඇය කළ වරදින් පවුල් දෙකක් විනාශයට පත්වූයේ බලා සිටිද්දීමය.


මේ ගැන සිතන හැම විටම ඇගේ සිත ගිනියම් වූයේ ඒ නිසාය. එසැණින් ආපසු හැරී නිදන කාමරයට ඇදුණු ඇය කොට්ටයක් මුවට හොවා කඳුළු දෝරේ ගලන තුරු හඬා වැලපෙන්නට වුණේ සිදු වූ සියල්ලටම ඇය වගකිව යුතු යැයි හැඟුණු බැවිනි.

m