අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය හා ඉසුරුමුණිය අතර කුරුණෑගල පාරේ දකුණු පසට වන්නට දක්‍ෂිණ ථූපය පිහිටා ඇත. මෙය එළාර සොහොන ලෙස ප‍්‍රසිද්ධ වී ඇතත් එච්.සී.පී බෙල් මහතා කරුණු දැක්වූයේ මෙය දක්‍ෂිණ විහාරයේ දාගබ විය යුතු බවටයි. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා කළ කැණීම්වලදී හමුවූ ශිලා ලේඛණයක සඳහන් වූයේ මෙය දක්‍ෂිණ විහාරයේ චෛත්‍ය බවයි. බෙල් මහතාගේ අදහස එයින් තහවුරු විය. ආචාර්ය පරණවිතාන මහතා කළ වැඩිදුර පරීක්‍ෂණ වලින් පසුව ඔහුගේ විශ්වාසය වූයේ දක්‍ෂිණ ථූපය දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ ඉදිකරන ලද්දක් බව සහ ඒ අනුව එය දුටුගැමුණ සොහොන මිස ප‍්‍රාදේශීය ජනප‍්‍රවාදයේ ලෙස එළාර සොහොන නොවන බවයි. (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්තා 1948, 67 සහ 68 පිටු). ඇත්ත වශයෙන්ම අද වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සකස් කළ නාම පුවරුවේ මෙම ස්ථානය දැක්වෙන්නේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය වශයෙනි. මෙම මතය තහවුරු කිරීම සඳහා පරණවිතාන මහතා ඉදිරිපත් කළ සාක්‍ෂි වන්නේ (I) දක්‍ෂිණ ථූපය ආදාහනයක් කළ ස්ථානයක බොහෝවිට දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකොට ඇතිබව දැක්වෙන සාක්‍ෂි සහ (II) දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය හා දක්‍ෂිණ ථූපය ඇති ස්ථානය එකක් බව ලිපි ලේඛන මගින් හඳුනාගැනීමයි.

 

විවාදය

දැන් අපි මෙම එක් එක් තර්කය ගෙනහැර බලමු. දක්‍ෂිණ විහාරය ඉදිකරන ලද්දේ වට්ට ගාමිණී අභය රජුගේ දොළොස් මසක පාලනය (දෙවන වාරය) කාලයේදීය. එනම් දුටුගැමුණු රජුගේ අභාවයෙන් වසර පනහකටත් වැඩි කාලයක් ගතවූ පසුවය. එබැවින් දක්‍ෂිණ විහාරයේ චෛත්‍යද ඉදිකරන්නට ඇත්තේ දුටුගැමුණු රජු ආදාහනයෙන් වසර පනහකට වැඩි කාලයක් ගතවූ පසුවය. දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ මෙම අතරමැදි කාලයේ යම් සිහිවටනයක් තුබුනේද? පරණවිතාන මහතා කියන්නේ මෙම ශ්‍රේෂ්ඨ රජතුමාගේ ආදාහනයෙන් පසුව එම ස්ථානයේ කුඩා සිහිවටනයක් ඉදිකර තිබෙන්නට ඇති බවයි. (පුරාවිද්‍යා වාර්තාව, 1948 පිට 73). එය එසේ නම් (දුටුගැමුණු රජතුමාට එවැන්නක් ඉදිකිරීමේ විශේෂිත වුවමනාවක් නොවූ බව සටහන් කළ යුතුය) එවැන්නක් ඉදිකළ බව මහාවංශයේ සඳහන් නොවීම අස්වාභාවිකය. පරණවිතාන මහතා කියන්නේ මහාවංශය ‘‘ඓතිහාසික සම්ප‍්‍රදාය තුළ සැලකිය යුතු නිරවද්‍යතාවකින් යුතුවන’’ බවයි. (1948 වාර්තාව 48 පිටුව) දක්‍ෂිණ ථූපය තුබූ ස්ථානයේ කුඩා හෝ සිහිවටනයක් තුබූ බවට වෙනත් කිසිදු සාක්‍ෂියක් හමුවී නැත. නිධන් හාරන්නන් විසින් පැත්තකින් කපා තිබුණු දාගබේ මැද හරහා යන කැපුමෙන් ලැබෙන සාක්‍ෂි එහි පෙර තුබූ සිහිවටනයක් වේ නම් ඒ ගැන දැනගැනීමට  ඕනෑතරම් ප‍්‍රමාණවත්ය. එසේ වුවද එවැනි සාක්‍ෂි කිසිවක් හමුවී නැත. 1948 වසරේද  දක්‍ෂිණ ථූපයේ කළ කැණීම්වලදී අඟුරු කෑලි සහ මැටි ගුලි හමුවී තිබේ. මේවා බොහෝ තැන්වල හමුවිය හැකි දේවල් නිසා ඉතිහාසය ගැන නැවත සොයාබලන පුරා විද්‍යාඥයකුට එයින් එතරම් ප‍්‍රයෝජනයක් නැත. අපරාධයක් ගැන දැනගැනීම තොරතුරු තුබූ පමණින් සිදු නොවන බව කියති. පරීක්‍ෂකයා වැඩකට නැති තොරතුරක් ලෙස පෙනෙන දෙයක් වැදගත් සාක්‍ෂියක් බවට පත්කර ගනිමින් අපරාධය සිදුවූ ආකාරය එයින් සොයාගන්නට හැකියාව ඇත. එලෙසම පුරාවිද්‍යාඥයකුද කළයුතු වන්නේ තමන් සතු තොරතුරු විද්‍යාත්මක ලෙස සලකා බලා එයින් අතීතය පිළිබඳව සැබෑ චිත‍්‍රයක් ගෙඩනගා ගැනීමයි. පරණවිතාන මහතා ඉහත කී තොරතුරු ගෙන කියන්නේ එයින් එම ස්ථානයේ ආදාහනයක දී ඇතිවන ආකාරයේ මහා ගින්නක් ඇතිවූ බවට සාක්‍ෂි වන බවයි.

 

සාක්‍ෂි

අඟුරු හමුවීමේ සාක්‍ෂිය ගැන අපි සලකා බලමු. කොතරම් අඟුරු ප‍්‍රමාණයක් හමුවූවාද එම තට්ටුවේ ඝනකම කුමක්ද යන කාරණා ගැන අපට දැනගන්නට නැත. සොයාගත් දෑ විස්තර කොට ඇත්තේ ‘‘පරිපීඩිත අඟුරු තට්ටුවක කොටස් රාශියක්’’ වශයෙනි. එහි පරණවිතාන මහතා වැඩිදුරටත් කියන්නේ ‘‘ආවාටය හෑරූ පසුව එතරම් ගැඹුරු ස්ථානයක ගින්නක් අවුළුවා ගැනීමට වෙනත් සිතාගත හැකි හේතුවක් නැත’’ යනුවෙනි. එහි තේරුම නම් මෙම ආවාටය නිධන් හොරුන් විසින් හාරා ඇති බවයි. මා කියන්නේ නිසැකවම රාත‍්‍රී කාලයේ සිදුකළ නිධන් සෙවීමකදී ආලෝකය ලබාගැනීම සඳහා මෙම ගින්න අවුළුවාගෙන ඇති බවයි. පරණවිතාන මහතා අවධාරණය කරන්නේ හානි වී නැති ගඩොල් තට්ටුවලට පහත ස්ථානයකින් අඟුරු හමුවූ බවයි. එයින් අපට නිගමනය කරන්නට යොමුවන්නේ මෙම අඟුරු නිධන් හොරුන් විසින් දමාගිය ඒවා නොවන බවයි. කෙසේ වෙතත් මා අවධාරණය කරන්නේ මෙම අඟුරු හමුවී ඇත්තේ හානිවී නැති ගඩොල් තට්ටුවලට යන්තම් පහත ස්ථානයකින් නොවන බවත් හානි වූ ගඩොල් තට්ටුවලට යටින් තවත් ගැඹුරු ස්ථානයකින් බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් කරන ලද්දේ පැරණි කැනීමක් අනුගමනය කරමින් වන නිසා එම පැරණි කැනීම් සිදුකළ අය අඟුරු දමා යාමේ හැකියාවක් ඇත. සිහිවටනය ඉදිකරන්නට පෙර ගින්න (ආදාහනයේ ගින්න) ඇතිවූ බව විශ්වාස කරන පරණවිතාන මහතා කියන්නේ දාගැබ ඉදිකළ පසුව ගින්නක් ඇතිවූවා නම් එයින් දාගැබේ බිත්තිවලටද බලපෑම් විය යුතු බවයි. එබඳු කිසිදු ලකුණක් නැති බව ඔහු කියයි. එසේ වුවද අඟුරු හමුවී තිබෙන්නේ දාගැබේ හානි නොවූ ගඩොල් බිත්තිවල පහතම තට්ටුවට වඩා අඩි විසිපහක් පහත ස්ථානයකින්ය. (දක්‍ෂිණ ථූපයේ කැණීම්වල සැලැස්ම) මෙම හානි නොවූ ගඩොල් බිත්තිවලට යට ස්ථානයක විශාල ගින්නක් ඇතිව තිබීමේ හේතුව කුමක්ද? එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ කැණීමේ මුදුනේදී එහි පළල අඩි දහසයක් වූ අතර අඟුරු හමුවූ ගැඹුරු ස්ථානයට යනවිට එහි පළල අඩි අටක් හෝ ඊට අඩු වීය. මෙම කැණීමේ වටේ බිත්ති ඊට පෙර නිධන් හොරුන් විසින් කරන ලද විශාල කැණීම පිරීම නිසා සකස් වූ එතරම් සවිමත් නැති පස් තට්ටුවලින් සැකසී තිබිය හැකිය. යම්කිසි ගින්නක් අවුළුවා තුබුණද මෙම තත්ත්වය මත මෙම කුඩා කැණීමේ පැති බිත්තිවලින් එබඳු ගින්නක් පිළිබඳ සලකුණු ලැබේයැයි පරණවිතාන මහතාට අපේක්‍ෂා කළ හැක්කේ කෙසේද? ඒ කෙසේ වෙතත් නිෂ්පාදනයේදී එක් වරක් පිළිස්සී ඇති ගඩොල් තවත් ගින්නකින් තවත් වරක් පිළිස්සෙන්නේ කෙළෙසකද?

 

මැටි ගැන

දැන් අපි මැටි කුට්ටි පිළිබඳව බලමු. හමුවූ දෙය විස්තර කර ඇත්තේ ‘‘ගඩොල්වල වැඩියෙන් පිළිස්සුණු කැබලි වැනි යබොර ආකාරයට දැවුණු මැටි කුට්ටි’’ වශයෙනි. මෙම ස්ථානයේ ප‍්‍රබල ගින්නක් ඇතිවූ බවට පරණවිතාන මහතා නිගමනය කිරීමට මෙම සොයාගැනීමද හේතුවකි. සාමාන්‍ය පාඨකයාගේ දැනගැනීම සඳහා කිව යුත්තේ මැටි වියළි තත්ත්වයේදී සවිමත් හා අතිශයින් සවිමත් විය හැකි ද්‍රව්‍යයක් වන අතර කුට්ටි සෑදෙන බවයි. එසේ වුවත් තෙත් වනවිට එය නම්‍යශීලී තත්ත්වයට පත්වෙයි. එසේ වූත් මැටි පිළිස්සුණු විට එහි ගුණය වෙනස් වෙයි. හිරු එළියෙන් වියළී ගිය මැටි හා උඳුනක දැමීමෙන් හෝ ගින්නකින් දැවීමෙන් සවිමත්වූ මැටි වෙන්කර හඳුනාගැනීම ඇතැම් භෞතික, රසායනික සහ පාෂාණ විද්‍යා පරීක්‍ෂණ කිහිපයක් මගින් කළ හැකිය. පුරා විද්‍යාඥයන් අතර ප‍්‍රචලිතව ඇත්තේ සරලම ක‍්‍රමයකි. වැඩියෙන් පිළිස්සුණු විට තද වර්ණයට හැරුණද පිළිස්සුණු හා නොපිළිස්සුණු මැටි හඳුනාගැනීම වර්ණය මගින් සිදුකළ නොහැකිය. නොපිළිස්සුණු වියළි මැටි ඉතා සවිමත් විය හැකිය. වියැළී ගිය කුඹුරක හෝ වැවක හෝ පාවහන් රහිතව ඇවිද ගිය අයකුට එහි අපහසුව විඳගත හැකිය. පිළිස්සුණු හා නොපිළිස්සුණු මැටි වෙන්කර හඳුනාගැනීම සඳහා දෘඩ බව යොදාගත නොහැකිය. එය පිටුපස ඇති න්‍යාය ගැන කීමට වෙහෙසෙන්නේ නැතිව කිව හැක්කේ පුරාවිද්‍යාඥයන් මේ සඳහා යොදාගන්නේ සරලම ක‍්‍රමයක් බවයි. ක්‍ෂේත‍්‍රයේදී පවා කළ හැකි එය නම් එය වතුරට දමා බැලීමයි. නොපිළිස්සුණු මැටි සිනිඳු කුඩක් බවට වෙන්වන අතර පිළිස්සුණු මැටිවල වෙනසක් සිදුවන්නේ නැත. ඒවා පෙඟී යන නමුත් කුඩු බවට පත්නොවී පවතියි. මෙම දුඹුරු පාට මැටි ජලයට දමනු ලැබීය. ඒවා ඉතා ඉක්මණින් සිනිඳු කුඩු බවට පත්වීය. එහි එක් සාම්පලයක් ගෑස් දැල්ලක් මගින් ටික වේලාවක් රත්කරනු ලැබීය. එහි පාට සාමාන්‍ය ගඩොල් පාටට හැරුණි. ජලයේ ගිලූණු සාම්පලයේ පාට වෙනසක් වූයේ නැත. එයින් පෙනී ගියේ මෙම මැටි කුට්ටි නොපිළිස්සුණු මැටි බවයි. දක්‍ෂිණ ථූපයෙන් ලැබුණු මැටි කුට්ටි නොපිළිස්සුණු මැටි වලින් සමන්විතය. එම ස්ථානයේ ප‍්‍රබල ගින්නක් ඇතිවූ බවට කිසිදු සාක්‍ෂියක් නැත. මෙයින් දැන් පෙනී යන්නේ නිදන් හොරුන් විසින් අඟුරු දමා ගිය බව (ඔවුන්ගේ ආලෝක දැල්වීම් මගින්) ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි බවයි. ඇත්තෙන්ම මෙය විය හැකිම දෙයකි.

 

අඟුරු ගැන

මෙම ස්මාරකය ආදාහනයක් සිදුවූ ස්ථානයක ඉදිකරන ලද්දක්ය යන නිගමනය සම්බන්ධයෙන් ගත්විට අඟුරු හමුවීම පිළිබඳ සාක්‍ෂිය හොඳින් පරීක්‍ෂාවට ලක් කිරීම අවශ්‍යය. අඟුරු හමුවූයේ දාගැබේ වේදිකාව මට්ටමේ සිට අඩි දහතුනක් යටින් බවද මතක තබාගත යුතුය. දාගැබ ගොඩනගා ඇති පදනමෙහි ඉහළම මතුපිට වන්නේ දාගැබේ වේදිකාවයි. ඒ වනවිට පොළොවේ මට්ටමේ සිට මෙයට උස ගණනය කිරීම අපහසුය. අඟුරු හමුවූ ස්ථානයද දාගැබ ගොඩනගා ඇති පදනමෙන් සහ අත්තිවාරමෙන් ද එතරම්ම ගැඹුරුය. දාගැබ ඉදිකිරීමේදී බිම් මට්ටමෙන් යම් තරමක් යට සිට එය පටන්ගත යුතු බවද පැහැදිලිය. මෙය දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූ ස්ථානය නම් එම කටයුත්ත සිදුව තිබෙන්නේ දක්‍ෂිණ සෑයේ අත්තිවාරම පටන්ගන්නා ස්ථානය තරම් වූ කැණීමක පතුලෙහිය. එය පුදුමයට හේතුවන කරුණකි. දැන් අපි වෙනත් ආකාරයකට කල්පනා කරමින් පවතින ලිඛිත තොරතුරු හා භූගෝලීය සාක්‍ෂි සලකා බැලීමට උත්සාහ දරමු. දුටුගැමුණු රජතුමාගේ අවසන් ප‍්‍රකාශ පිළිබඳව මහාවංශයේ සඳහන් කොටසේ පරිවර්ථනයට පරණවිතාන මහතා දෙන අර්ථ දැක්වීම මෙහිදී ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන න්‍යාය කෙරෙහි ඉතා වැදගත් බලපෑමක් ඇති කරයි. ගිල්ගර්ගේ පරිවර්තනයට අනුව සඳහන් වන්නේ ‘‘විසිහත් වසරක් තිස්සේ මම සහෝදරත්වයට අනුශාසක වශයෙන් සිටියෙමි. එමෙන්ම මගේ දේහයද සහෝදරත්වයේ අනුශාසක වශයෙන් පවතිනු ඇත.’’ ඉන්පසුව රජතුමාගේ උපදේශය වන්නේ සංඝයා වහන්සේගේ චාරිත‍්‍රානුකූල කටයුතු කරන මාලකයේ දී ආදාහනය කරන ලෙසටය. මෙම ප‍්‍රකාශයෙන් තේරුම් ගතයුතු වන්නේ තමන්ගේ මරණයෙන් පසුව සංඝයා වහන්සේ සමඟ සම මට්ටමෙන් සැලකිලි ලබන්නට දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූ බව සහ සංඝයා වහන්සේගේ ආදාහන කටයුතු සිදුවූ ස්ථානයේදී ආදාහනය කිරීමට එතුමාට අවශ්‍ය වූ බවයි. රජතුමාගේ වචනය අනුව එම අවමංගල්‍යය කළ බව පැහැදිලි හෙයින් එම ස්ථානය සොයාගැනීමට භූගෝලීය තොරතුරු විමසා බැලිය හැකිය. තමා ආදාහනය කළ ස්ථානයේ හෝ භෂ්මාවශේෂ නිදන්කොට හෝ දාගබැක් ඉදිකරවන්නට රජතුමාට අවශ්‍ය වූ බව හෝ එවැන්නක් ඉදිවූ බව මහා වංශයේ කිසිදු ස්ථානයක හෝ වෙනත් තැනක හෝ සඳහන් වන්නේ නැත.

 

සිහිවටනය

මහාවංශයේ ඉහත කී ෙඡ්දය ආචාර්ය පරණවිතාන මහතා විසින් පරිවර්ථනය කරනු ලබන්නේ ‘‘වසර විසි හතරක් තිස්සේ මම සංඝයා වහන්සේට සහයෝගය දැක්වූවෙමි. මගේ (අජීවී) සිරුර ද සංඝයාට සහයෝගයක් වන්නට ඉඩ හරින්න. සංඝයාගේ සේවකයා වන මාගේ දේහය මහා ථූපය පෙනෙන ස්ථානයක ඇති සංඝයාගේ කම්ම මාලකයේදී දැවීමට කටයුතු කරන්න’’ වශයෙනි. මෙහිදී පාලියේහි එන ‘‘සංඝස්ස උපකාරකෝ’’ යන්න ‘‘සංඝයා වහන්සේගේ අනුග‍්‍රාහකයා’’ ලෙස (ගෙල්ගර් සහ විජේසිංහගේ පරිවර්ථනය) හෝ සංඝයාගේ උදව්කරුවකු ලෙස හෝ පරිවර්ථනය කර නැති අතර නැවත නැවත සඳහන් කරන්නේ සංඝයාට සහයෝගය දැක්වූ බවයි. එයින් අපට සිදුවන්නේ පළමුවනුව එය රූපකය වශයෙන් තේරුම් ගැනීමටත් දෙවනුව සහ ස්වභාවිකවම එය භෞතික වශයෙන් තේරුම් ගැනීමටත්ය.එමගින් අප යොමුකරනු ලබන්නේ තමන්ගේ භෂ්මාවශේෂ මත දාගැබක් හෝ සිහිවටනයක් ඉදිකිරීම මහරජතුමාට අවශ්‍ය වූ බවටය. ආචාර්ය පරණවිතාන මහතා කියන්නේ ‘‘රජතුමා මිය යන මොහොතේ දුන් මෙම උපදෙස් පිළිපදින්නට ඇති බවට සැකයක් නැති’’ බවයි. මා කියන්නේ රජතුමාගේ එකී අවසන් ඉල්ලීමක් වන බව හා එනම් සංඝයා වහන්සේ සඳහා වෙන්වූ මළුවේ තමාගේ ආදාහනය සිදුකරන ලෙස බවයි. මෙම ඉල්ලීම නිසැකවම ඉටුකළ බව පැහැදිලිය. රජතුමාගේ ඉල්ලීමට අනුව එතුමාගේ ආදාහන කටයුතු සිදුකළ යුතුව තුබුණේ මහා ථූපය පෙනෙන ස්ථානයකය. එනම් මහා ථූපය දැකගත හැකි ස්ථානයකය. දක්‍ෂිණ ථූපය ඇත්තේ මහා ථූපයට දකුණේ සැලකිය යුතු දුරකින් වන අතරම මහා විහාරයේ සීමාවෙන්ද පිටතය. පරණවිතාන මහතා කියන පරිදි අද මෙම ස්ථානයට පෙනෙන්නේ මහාථූපයේ පැත්තක් පමණකි. දුටුගැමුණු රජුගේ කාලයේ මහාමේඝ වනය සාරවත්ව වැඞී තිබියදී එහි සෙවන සහිත ගස් වැවී තිබියදී උතුරු ප‍්‍රදේශය දැක ගැනීමට මීට බාධක තිබෙන්නට ඇත. එනම් මහාථූපය දිශාවේ බොහෝ බාධක තිබෙන්නට ඇත. එමෙන්ම දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූයේ මහින්ද හිමියන් විසින් සංඝයාට කැප කරන ලද තමxමාලකයේ නම් එහි සිට මහා ථූපය පෙනෙන්නට ඉඩක් නැත්තේ එයට උතුරු පැත්තෙන් ආසන්නයේම දේවානම් පියතිස්ස රජතුමාගේ මාළිගය පිහිටා තිබිය යුතු නිසාය. (මහාවංශය) පරණවිතාන මහතා කියන පරිදි දුටුගැමුණු රජතුමාගේ කාලය වනවිට මෙම මාලිගය නටබුන් වී තුබූ බව පිළිගැනීම අසීරුය. එබැවින් දක්‍ෂිණ සෑය ඇති ස්ථානයේ සිට මහා ථූපය සම්පූර්ණයෙන් දකින්නට දුටුගැමුණු රජ සමයේදී හැකිවීමට ඉඩක් නැත.

 

සීමා

එබැවින් දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූයේ සංඝයා වහන්සේගේ කම්ම මාලකයේ දී නම් එතුමාගේ ආදාහනය සිදුවී තිබෙන්නේ මහා විහාර සීමාව ඇතුළත විය යුතුයි. පරණවිතාන මහතාට අවශ්‍ය ආකාරයට කුමන විහාරයේ මාලකයේද යන්න මහා වශයෙන් සඳහන් නොවේ. කෙසේ වෙතත් සෙල්ලිපිවල සඳහන් වන්නේ එයට සීමාවක් නොමැතිව හෝ සීමාවෙන් පිටත පිහිටි බවයි. (නිශ්ශංකමල්ල). කුමන සීමාවෙන් පිටතද? එය පැහැදිලිව දක්වා නැත. ගෙල්ගර් කියන්නේ ‘‘ආශ‍්‍රමයේ’’ බව හා උපුටාගත් කොටස එලෙස තේරුම් ගතයුතු බවයි. එය එසේ නම් මෙහි දැක්වෙන ආශ‍්‍රමය විය යුත්තේ දුටුගැමුණු රජතුමාට තදින්ම බැඳී සිටි මහාථූපය වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මේ සඳහන ඒ ගැන බවට සැක නැත. කෙටියෙන් කිවහොත් මෙම ස්ථානය පිහිටියේ මහාථූපයේ ඉදිකිරීම් සීමාවට පිටතින් මිස මහා විහාර සීමාවට පිටතින් නොවේ. එබැවින් දක්‍ෂිණ සෑය පසුව ඉදිකරන ලද්දේ දුටුගැමුණු රජතුමා ආදාහනය කරන ලද කම්ම මාලකය පිහිටි ස්ථානයේ බව පිළිගැනීමට හේතු නැත. වෙනත් වචන වලින් කියන්නේ නම් දුටුගැමුණු රජුගේ සංඝයා වහන්සේගේ කම්ම මාලකය දක්‍ෂිණ සෑයේ මහපුලි-ලා-මළුව ලෙස පිළිගත නොහැකි අතර 14වැනි සියවසේ ලියැවුණු සද්ධර්මාලංකාරයේ සඳහන් හා පරණවිතාන මහතා උපුටා දක්වන දක්‍ෂිණ සෑය මහපුල්ලා මළුව පිහිටි ස්ථානයේ ඉදිකළ බවට වන සඳහන සැක සහිතය. එබැවින් දක්‍ෂිණ සෑය ඉදිකොට තිබෙන්නේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ බව පිළිගැනීම සඳහා ප‍්‍රමාණවත් ඓතිහාසික සාක්‍ෂි නොමැත. පරණවිතාන මහතා විසින් ඉදිරිපත් කරනු ලබන සාක්‍ෂි දක්‍ෂිණ සෑය දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකොට ඇතැයි යන ඒ මහතාගේ න්‍යාය තහවුරු කිරීමට ආධාර වන්නේ නැත. (1957 අපේ‍්‍රල් 4 දා සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ පළවූ ලිපියකි)

පුරාවිද්‍යා සහකාර කොමසාරිස් ආර්.එච්.ඞී.සිල්වා

පරිවර්තනය - සී.ජේ. අමරතුංග