විවිධ පෘෂ්ට

හෙළ බොදු සිතුවම් විවිධ තල නොහොත් පෘෂ්ට මත ඇඳ තිබේ. ගල්තලා හැරුනු විට විහාර මෙන්ම ආරණ්‍ය බිත්ති සහ වියන් පුරා කලාත්මක බොදු සිතුවම් නිමකර තිබේ. මේ හැර දොර ජනෙල් කුලූනු සහ වෙනත් දැව තල මතුපිට ද පිළිම සහ මකර තොරණ වැනි වෙනත් විහාරාශ‍්‍රිත ත‍්‍රිමාන ලක්‍ෂණ මත ද වර්ණ රේඛා මගින් විචිත‍්‍රවත් කර ඇත. දළදා මාලිගයේ හේවිසි මන්දිරයේ ඇති දැව තලයන්හි සිතුවම් සුන්දරත්වයෙන් ඉතා උසස් වූ කලා නිර්මාණ වේ. අස්ගිරි විහාරයේ දැකුම්කලූ මෝස්තරයන්ගෙන් අලංකාර කර ඇති දැව රාජ්‍ය ආසනය ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ දී බිහිවූවකි. වර්ණවත් ලෙස මෝස්තරයෙන් නිමකර ඇති මහනුවර කාලයේ දෝලාවක් රත්නපුර කෞතුකාගාරයේ ඇත. දකුණු ලංකාවේ පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමයේ දැව තල මත දැකුම්කලූ ආකාරයට චිත‍්‍රගත කර තිබේ. මේ හැර, පුස්කොළ පොත්හි දැව කවර මනස්කාන්ත මෝස්තර සිතුවමින් අලංකාර කර ඇත. මේවා විශේෂයෙන් දඹදෙනිය, කෝට්ටේ, මහනුවර රාජධානී ආශ‍්‍රිත කාලයේ දී පුළුල් ලෙස බිහිවිය. සමහර දැවතල මත විශේෂයෙන් වියන් තලයන්හි මැටි බදාම යොදා ඒ මත අලංකාර සිතුවම් ඇඳ තිබේ. දැවතල මත ඇඳි වර්ණවත් විසිතුරු වූ මෝස්තර සිතුවම් සැලකීමේ දී දකුණු ලංකාවේ පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමය, මාතර හිත්තැටිය රජමහා විහාරය වැනි විහාර කිහිපයක දැකිය හැකි පිරිත් මණ්ඩප සහ පෙට්ටගම් විශේෂ සැළකිල්ලට යොමුවිය යුතුවේ. මනස්කාන්ත මෝස්තර සිතුවමින් සැරසුණු මෙම පිරිත් මණ්ඩප සම්ප‍්‍රදාය දකුණටම සීමාවූ එකක් බව පෙනේ. මේ හැර පැතිකඩ නමින් හඳුන්වනු ලබන රෙදිමත ඇඳි විසිතුරු සිතුවම් ද වේ. ඉතා පැරණි කාලයක සිට පැතිකඩ සිතුවම් අඳිනු ලැබූ බවට ලිඛිත සාක්‍ෂි තිබේ. සමහර විහාරයන්හි බිත්ති බදාම කිහිපයක් දැකිය හැක. එක් කාලයක දී ඇඳි චිත‍්‍ර රැගත් තලය මත පසු කලක දී නව බදාම යොදා නව චිත‍්‍ර නගා ඇති ආකාරය සමහර පැරණි විහාරයන්හි දැකිය හැකිය. දඹුල්ල, හිඳහල හා දළදා මැදුරේ චිත‍්‍ර රැගත් බිත්ති තල ගණනාවක් ඇත. විවිධාකාර මැටි බඳුන් පැරණි කාලයේ සිට රජ මැදුරු, විහාර ආරාම සහ ප‍්‍රභූන් භාවිත කරනු ලැබීය. මේවා බොහෝවිට විචිත‍්‍රවත් වූ වර්ණ මෝස්තරයන්ගෙන් අලංකාර කර තිබිණි. පරසතුරු උවදුරුවලට ලක්වීම නිසා මෙම මැටි බඳුන් බොහෝ සෙයින් විනාශයට ගොදුරු විය. මහනුවර රාජධානි කාලයට අයත් ඉතා මනරම් වූ මෝස්තරයන්ගෙන් හෙබි මැටි බඳුන් ගණනාවක් මහනුවර කෞතුකාගාරයේ දැකිය හැක. මේවා දැකුම්කලූ අන්දමට හංසපූට්ටු, ලියවැල්, නාරිලතා මෙන්ම සංකීර්ණ වූ පලාපෙති මෝස්තර රටාවලින් විචිත‍්‍රවත් කර ඇත.

 

පුස්කොළ පොත් කවර සිතුවම්

මහනුවර කාලයේ දී බිහිවුණ විසිතුරු වූ පුස්කොළ පොත් දැව කවර නැතහොත් කම්බාවන්හි කලාත්මක මෝස්තර සිතුවම්කරණය දැකිය හැක. මින් සමහරක් දකුණු ලංකා විහාරයන්හි පොත්ගුල්වල ද එකතු වී තිබේ. මෙම සිතුවම්වල ශෛලිය මහනුවර සම්ප‍්‍රදායට අනුකූලය. පොත් කම්බාවල සහ පුස්කොළ පොත්වල ඇඳි රූ සටහන් දෙවර්ගයකි. කැටයම් රහිත පොත් කම්බාවන්හි විසිතුරු මල්, ලියකම්, වෘක්ෂලතා සහ ජ්‍යාමිතික මෝස්තරවලින් අලංකාර කර තිබේ. මෙලෙස සිතුවම් කළ පුස්කොළ පොත් දහස් ගණනක් කොළඹ කෞතුකාගාරයේ, ජාතික ලේඛණාගාරයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ, දළදා මාලිගා කෞතුකාගාරයේ, අස්ගිරි සහ මල්වතු විහාරවල, පැල්මඩුල්ල විහාරයේ, ගල්ලෙන්ගොල්ල පොත්ගුල් විහාරයේ, හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ මෙන්ම මහනුවර ප‍්‍රවීණ පුස්තකාලය සහ වෙනත් විහාර ගණනාවක ඇත. පොත් කම්බායේ ඇතුළු පැත්ත ද සිතුවම්කර ඇති අවස්ථා ද තිබේ. මේවාහි බුද්ධ චරිතය, අටමස්ථාන, සොලොස්මස්ථාන, ජාතක කතා, රජුන්ගේ රූපයන් සිතුවම්ගත කර ඇත. පුස්කොළවල රේඛා සිතුවම් ඇඳීම දක්‍ෂම ශිල්පීන් විසින් පන්හිඳෙන් කරනු ලැබ ඇත. මේවා ඉතා සූක්‍ෂ්ම අන්දමින් කර ඇති රේඛා සිතුවම් නිර්මාණ වේ.

 

වියන් සිතුවම්

විහාරයන්හි වියන් සිතුවම් ඉතා මනස්කාන්ත ලෙස නිමකර තිබේ. බොහෝවිට නෙළුම් මල පදනම්කරගත් විවිධ වූ මෝස්තර භාවිතය වියන් සිතුවම්හි නෙළුම් මල් මෝස්තර මෙන්ම වෙනත් විවිධ පුෂ්ප සහ වෙනත් ලතා උපයෝගී කරගත් විවිධාකාර වියන් මෝස්තර පද්ධතියන් දැකිය හැක. ජ්‍යාමිතික රටා මෙන්ම ජ්‍යොතිෂ සහ තාරකා විද්‍යාත්මක සංකේත පදනම් කරගත් විසිතුරු වූ මෝස්තර දකුණු ලංකාවේ සමහර විහාරයන්හි වියන් සඳහා යොදාගෙන තිබේ. පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමය, මිරිස්ස සමුද්‍රගිරි රාජමහා විහාරය, වැලිගම පොල්වත්ත ගංගාරාමය වැනි විහාරයන්හි විසිතුරු වූ වියන් සිතුවම් මෝස්තර ඇත.

 

පැතිකඩ සිතුවම්

රෙදිවල අඳින ලද පෙතිකඩ නමින් හඳුන්වන මෙම චිත‍්‍ර පුරාණයේ සිට පැවැති බවට සාක්‍ෂි තිබේ. දැනට ඉතිරිව ඇති පෙතිකඩ චිත‍්‍ර රාශියකම වාගේ මහනුවර චිත‍්‍ර ශෛලිය මනාව පිළිබිඹු වේ. මින් සමහරක් කොළඹ කෞතුකාගාරයේ දැකිය හැක. පෙතිකඩ චිත‍්‍ර සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන විහාර අතර මාතලේ දැඹව, මහනුවර අසල පිහිටි හඟුරන්කෙත පිහිටි අරත්තන, බදුල්ලේ මුතියංගනය සහ මහනුවර දළදා මාලිගාව වැදගත් වේ. මෙම චිත‍්‍ර ධජ පතාක ලෙස පෙරහරවල ගෙනයනු ලැබීය. වියන් මත බදාම ආලේප කර රෙදි අලවා කළ සිතුවම් දෙගල්දොරුව, බඹරගල සහ දඹුල්ල වැනි ස්ථානයන්හි හමුවී තිබේ.

 

මහනුවර කාලයේ දී සිත්තරුන්

මහනුවර කාලයේ දී ප‍්‍රචලිත අය වන්නේ දෙවරගම්පළ සිල්වත්තැන, හිරිආලේ නයිදේ, දේවින්ද්‍ර මූලාචාරි, දෙවුන්දර අන්දිරිස් සිත්තරා, කටුවාන හිමි, නිලගම පටබැන්ද, හීමප්පු සිත්තරා. මහනුවර කාලයේ දී දකුණු ලංකාවේ විහාරාශ‍්‍රිත චිත‍්‍ර ඇඳීමේ දී මුල් වූ චිත‍්‍ර ශිල්පීන් අතර කටුවාන හිමිගේ ශිෂ්‍යයන් ගණනාවක් ද විය. දකුණු චිත‍්‍ර සම්ප‍්‍රදාය හා සම්බන්ධ වෙනත් සිත්තරු අතර වෑත්තෑවේ හිමි, හේරත්ගම රතනපාල හිමි, අහංගම ඩිංගිරන්අප්පු සහ වැලිතර හීන්අප්පු වෙති. මාතර ප‍්‍රදේශයේ සිතුවම් සම්බන්ධයෙන් ඩිංගිරන්අප්පු සහ හීන්අප්පු ප‍්‍රසිද්ධය.

 

දකුණේ සිතුවම්හි විශේෂතා

රටපුරා විහාරස්ථාන රාශියක මහනුවර සම්ප‍්‍රදාය දක්වන සිතුවම් ඇත. 19 වැනි සියවසේ මැද හා අවසන් කාලයේ දී දකුණු සහ බටහිර ලංකා සිතුවම් සම්ප‍්‍රදාය විකාශනය වෙමින් පැවතින. දිවයිනෙහි දකුණු සහ වෙරළාසන්න පහතරට ප‍්‍රදේශයන්හි එකල බිහි වූ චිත‍්‍රවල මහනුවර සිතුවම් සම්ප‍්‍රදායේ මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වී තිබුණ ද සිතුවම්හි විස්තර ලක්‍ෂණයන් සැලකීමේ දී පැහැදිලි වෙනසක් පෙනෙයි. දීප්තිමත් වර්ණ භාවිතය මේවාහි විශේෂ ලක්‍ෂණයකි. මේ කාලයේ දී බහුල වශයෙන් නිමකර ඇති මකර තොරණ සහ දේව රූපවල මෙම ලක්‍ෂණය විශේෂයෙන් පෙනේ. ඒ හැර සිතුවම් වඩාත් විස්තරාත්මකව දැක්වීමට ද දකුණේ චිත‍්‍ර ශිල්පීන් පෙළඹී ඇත. මෙහි විශේෂ ලක්‍ෂණ කිහිපයක් ඇත. විස්තර තොරතුරු කෙරෙහි දක්වනු ලැබූ දැඩි අවධානය ඉන් එකකි. මහනුවර යුගයේ උඩරට සබරගමු සහ වයඹ ලංකාවේ දියුණු වූ බිතුසිතුවම්වල මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වුව ද දකුණු නොහොත් පහතරට ලංකාවේ විකාශනය වූ සිතුවම් වෙන්කරගත හැක්කේ ඒවාහි පෙනෙන විස්තර ලක්‍ෂණ නිසාය. ඒ හැර සිතුවම්හි හිස්තැන් නෙළුම් මල්, ඉර හඳ, ගංගා, වලාකුළු සහ වෙනත් පාරිසරික ලක්‍ෂණයන්ගෙන් පිරවීම ද දකුණු සිතුවම්වල විශේෂ ලක්‍ෂණයක් විය. බටහිර නැතහොත් අපරදිග සිතුවම් සම්ප‍්‍රදායන්හි බලපෑම් දකුණු ලංකා බොදු සිතුවම්වල පැහැදිලිව දැකිය හැක. පෘතුගීසි,  ඕලන්ද සහ බි‍්‍රතාන්‍ය සංස්කෘතික ලක්‍ෂණ සිංහල ජන ජීවිතවලට ඇතුළත් වූ ආකාරය දකුණේ සිතුවම්වල දැකිය හැක. විශේෂයෙන්ම චිත‍්‍රවල දැකිය හැකි මුහුණුවල ස්වරූප ඇඳුම්, පැළඳුම්, ආභරණ, ගොඩනැගිලි, ගේදොර, බඩුමුට්ටු යුරෝපීය ලක්‍ෂණ දරයි. අවට පරිසර ලක්‍ෂණ වන ගස් කොලන්, පුෂ්ප, ලතා, සතුන් සහ පක්ෂීන් චිත‍්‍රවලට එකතුකිරීම ද දකුණේ සිදුවී තිබේ. විවිධ පුෂ්ප රෝස, පිච්ච මල් මෝස්තර සිතුවම් සම්බන්ධයෙන් යොදාගෙන තිබේ. මෙය වඩාත් දැකිය හැක්කේ දකුණු විහාරයන්හි දැකුම්කලූ අන්දමින් නිමකර ඇති වියන් සිතුවම් සහ දැවතල මත ඇදි සිතුවම්වලය. රතු, සුදු, කළු, කහ, නිල් වැනි සාම්ප‍්‍රදායික වර්ණ හැරනුවිට දකුණේ චිත‍්‍රයන්හි විවිධ වූ වර්ණ සංකීර්ණයක් යොදාගෙන ඇති ආකාරය පෙනේ. මේ අතර රෝස පැහැය, දම් පැහැය, දුඹුරු පැහැය දැක්විය හැකිය. ඒ හැර මූලික වර්ණයන්ගේ මිශ‍්‍රණයෙන් සාදාගත් විවිධ වර්ණ චමත්කාර ලෙස සම්බන්ධීකරණය කොට ඇති ආකාරය ප‍්‍රශංසනීයයි.

 

දකුණු සම්ප‍්‍රදාය දැක්වෙන විහාර

මහනුවර යුගයේ දී දකුණු ලංකාවේ ව්‍යාප්ත වූ සුවිශේෂී වූ චිත‍්‍ර සම්ප‍්‍රදාය දැක්වෙන විහාර රාශියක් ඇත. ඒ අතර විශේෂ වූ චිත‍්‍ර ප‍්‍රවේශ, ප‍්‍රභේද, ශිල්පීය ක‍්‍රම සහ ආභාස දැක්වෙන සිතුවම් සහිත විහාරස්ථාන අතර වඩාත් ප‍්‍රසිද්ධියක් ලබා ඇති තැන් ලෙස දැක්විය හැක්කේ මුල්ගිරිගල, දොඩංදුවේ ශෛලබිම්බාරාමය, කතළුව පූර්වාරාමය, තොටගමුවේ තෙල්වත්ත, මිරිස්සේ සමුද්‍රගිරි විහාරය, අළුත්ගම කන්දේ විහාරය, කුමාරකන්ද රජමහා විහාරය, කරගම්පිටියේ සුබෝධාරාමය, මාතර වෙහෙරගම්පිට විහාරය, මාතර ගොඩපිටිය ජේතවනාරාමය, මාතර කොටිකාගොඩවත්ත පුරාණ රාජමහා විහාරය සහ මාතර හිත්තැටිය විහාරය, ගලපාත විහාරය, කසාගල විහාරය, යටගල විහාරය, අම්බලන්ගොඩ සුනන්දාරාමය, වළල්ගොඩ විහාරය, කෝට්ටේ සහ කැලණි රාජමහා විහාරයන්ය. මුලිගිරිගල රජමහා විහාරය දකුණු ලංකාවේ දක්නට ලැබෙන ප‍්‍රතාපවත් පැරණි බෞද්ධ ගල්ලෙන් විහාරයකි. මුල්ගිරිගල කලා රසිකයන් අතර ප‍්‍රකට වන්නේ එහි දක්නට ලැබෙන විසිතුරු වූ සිතුවම් නිසාය. ජනප‍්‍රවාදයට අනුව මෙම විහාරය වලගම්භා රජු කාලයේ දී කරන ලද්දකි. නමුත් මෙහි ඇති බිතු සිතුවම් සහ වියන් සිතුවම් 18 වැනි සියවසෙහි නැතහොත් මහනුවර යුගයේ දී නිමවූ ඒවාය. මේවා මහනුවර කාලයේ උඩරට චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන නමුත් ඊට වඩා පැහැදිලි වෙනස් ලක්‍ෂණයන්ගෙන් යුක්තයි. චිත‍්‍රවල ආකෘතිය සහ ශිල්පීය ක‍්‍රම මුල්ගිරිගලටම සුවිශේෂි වන බවට කලා විචාරකයන්ගේ අදහසයි. මෙම චිත‍්‍රවල පොදුවේ උසස් සෞන්දර්යාත්මක ගුණයක් ඇත. කොළ පැහැය සහ දුඹුරු පැහැය භාවිත කිරීමෙන් උඩරට දකින මහනුවර සිතුවම් සම්ප‍්‍රදායෙන් බැහැරවීමක් මෙම චිත‍්‍රවලින් පෙනේ. එය යුරෝපීය කලා සම්ප‍්‍රදායේ ආභාසයක් ලෙස සැලකිය හැකිය. මානව රූපය ඇඳීමේ දී පවා ශෛලගත ක‍්‍රමයට වෙනස් වූ ක‍්‍රමයක් අනුගමනය කර ඇත. මානව රූප වඩාත් ස්වාභාවිත අන්දමින් දක්වා ඇත. එමෙන්ම වෘක්ෂලතා නිරූපණය කිරීමේ දී මෙය කැපී පෙනේ. මහනුවර කාලයේ උඩරට සිතුවම්වල මෙන් නොව මුල්ගිරිගල මෙම චිත‍්‍රවල පසුබිම් විචිත‍්‍ර ලෙස සවිස්තරාත්මක ලෙස දක්වා තිබීම විශේෂත්වයකි. මුල්ගිරිගල චිත‍්‍රයන්හි තේමාව ප‍්‍රධාන වශයෙන් ජාතක කතාය. වෙස්සන්තර සහ තේලපත්ත ජාතකය සවිස්තරාත්මකව නිරූපණය කර තිබේ. මුල්ගිරිගල චිත‍්‍ර අතර සුවිශේෂි වූ චිත‍්‍රයක් ලෙස සලකනු ලබන්නේ කාන්තාවක් විසින් සංගීත භාණ්ඩ විශේෂයෙන් පහතරට වාද්‍ය භාණ්ඩයක් වන යක්බෙරය වාදනය කරන අයුරු දැක්වෙන අලංකාර වූ සිතුවමයි. දොඩන්දුවේ ශෛලබිම්බාරාමය දර්ශනීය බෞද්ධ විහාරය පුරාණයේ දී වැදගත් ස්ථානයක් ඉසිලීය. බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේ දී සුප‍්‍රකට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වැඩ විසූ ස්ථානය වශයෙන් ද මෙම විහාරය ප‍්‍රසිද්ධය. මෙහි බුදුගෙයි දක්නට ලැබෙන සිතුවම් අතිශය පියකරු වේ. දකුණු සම්ප‍්‍රදායේ මහඟු නිදසුනක් වශයෙන් මෙම චිත‍්‍ර සැලකේ. මේවායින් බොහෝමයක් දැනට විනාශවෙමින් පවතී. මතු සම්බන්ධයි...
ආචාර්ය  දයා හේවාපතිරණ
දකුණු ලංකාවේ විහාර සිතුවම් කලාව - 01 බිතුසිතුවමක් මණ්ඩප සිතුවමක් වියන් සිතුවමක්