මෑතක දී මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයත් ජෝර්දාන රජ මාළිගයේ සිදු වූ කුමන්ත්‍රණ උත්සාහයත් අතීතයේ විශේෂයෙන් අප්‍රිකා, ලතින් ඇමෙරිකා හා අග්නිදිග ආසියානු ප්‍රදේශවල අතීතයේ සිදු වූ හමුදා කැරලි රාශියක් කරා අපේ අවධානය යොමු කරවයි.

අවම වශයෙන් එක් දේශපාලන නායකයකු හෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අමතන අතරතුර දී බලයෙන් පහ කරනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන අතර තුර තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයාට මෙම ඉරණම අත්විඳින්නට සිදුවීය.

මහා මණ්ඩල රැස්වීම අමතා හමාර වන විට ඔහු ඉන්නට ගෙයක් දොරක් නැති යන්නට රටක් නැති තැනැත්තකු බවට පත්වූයෙන් මැද පෙරදිග රටක දේශපාලන රැකවරණ සොයන්නට ඔහුට සිදුවිය. එම රට බලයේ සිට ලෝක නායකයන් කිහිප දෙනෙකුටම අමාරුවේ වැටුණ විට පිළිගන්නා රටක් බවට පරසිදු විය ‘බලයෙන් පහකරන ලෝක නායකයන් උදෙසා’ යනුවෙන් පුවරුවක් එම රටේ ගුවන්තොටුපොළේ සවිකොට ලෝකනායකයන් කඩිමුඩියේ රට තුළට වෙනම ගන්නා අයුරු දැක්වෙන පුවත් පත් කාටුනයක් ද එකල පළ වූයේය.

එක්සත් ජාතීන්ගේ සැසිය පැවැත්වෙන අතරතුර අගමැතිවරුන් හමුදා කුමන්ත්‍රණවලින් බලයෙන් එළවා දමන නිසා සැසිය සඳහා රටින් පිටව එද්දි රාජ්‍ය නායකයන් තම ගමන් මළු වල නාවික, ගුවන් හා පාබල යන ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානීන් ඔබාගෙන එන්නට හැකිනම් මැනවැයිද, සිදුවිය හැකි හමුදා කුමන්ත්‍රණ වළක්වා ලිය හැක්කේ එසේ කිරීමෙනැයි ද එක් නිලධාරියෙක් උපහාස මුඛයෙන් කීවේය.

කනගාටුවට කාරණය නම් හමුදා කුමන්ත්‍රණ නිසා බොහෝ සෙයින් ජීවිත හානි සිදු වීමයි. මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම පවසන පරිදි පෙබරවාරි පළමු වැනිදා හමුදාව විසින් පාලනය භාර ගැනීමෙන් පසු දිගින් දිගටම ජීවිත අහිමිවීම් සිදුවීම අතිශය ශෝකජනකය.

මියන්මාරයේ පසුගිය සතියේ පමණක් අත්අඩංගුවේ පසුවූ අය ඇතුළුව ආරක්‍ෂක හමුදා අතින් පුරවැසියන් අවම වශයෙන් 224 දෙනෙකු මරු මුවට පත්ව ඇත. එහෙත් සැබෑ සංඛ්‍යාව 250 පවා ඉක්මවා යා හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන පරිදි කාන්තාවන් සහ ළමයින් සිය ගණනක් තුවාල ලබා ඇත.

මියන්මාරයේ හැරුණු කොට තවත් ලේ හැලීමකින් තොර කුමන්ත්‍රණ උත්සාහයන් දෙකක් මේ වසරේ පෙබරවාරියේ සිදුවීය. ඉන් එකක් හයිටි රාජ්‍යයේය. අනෙක ආර්මේනියාවේය. එහෙත් ඒවා සාර්ථක වූයේ නැත.

ප්‍රජාතන්ත්‍රිය නොවන මාර්ග ඔස්සේ හෝ හමුදා කුමන්ත්‍රණ හරහා බලයට පැමිණි දේශපාලන නායකයන් හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ වේදිකාවේ දී සමාජික රටවලට ද එසේ කරන ලෙස අභියෝග එල්ල කළ එකම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා (1997- 2006 ධුරය ඉසුලු) කොෆි අනන් පමණකි.

දැන් තිබෙන අප්‍රිකානු සංගමයට පෙර පැවති අප්‍රිකානු එකමුතු සංවිධානයේ (Organization of african Unity OAU) 2004 දී කුමන්ත්‍රණ මගින් බලයට එන නායකයන්ට අප්‍රිකානු සමුළු නියෝජනය කිරීම තහනම් කරනු ලැබීය. ලෝපුරා හමුදා අඥාදායකයන්ට අනාගතයේ දිය හැකි ආදර්ශමත් වූ දඬුවම නියම කළ එකම තැනැත්තා කොෆී අනාන් පමණකි.

අනාන් එක් පියවරක් ඉදිරියට තබමින් කියා සිටියේ යම් දවසක ප්‍රතිපත්ති සම්පාදන කරන විශාලතම ආයතනය වූ මහා මණ්ඩලය (OAU හි) අප්‍රිකානු එකමුතුවේ අඩිපාරේ යමින් හමුදා රජයක් නියෝජනය කරන නායකයන් හට මහා මණ්ඩලය ඇමතීමේ තහංචි පැනවිය යුතුය, යනුවෙනි.

ආනාන්ගේ යෝජනාව ඓතිහාසික යෝජනාවකි. එහෙත් එය ක්‍රියාත්මක නොවුයේ සංවිධානය තුළ පාලනය ගෙන යන්නේ සාමාජික රටවල් විනා මහ ලේකම්වරයා නොවීම නිසාය. එහෙත් හමුදා නායකයකු මෙහෙයවන රටක නියෝජිතවරයකු තමන් අතරට පැමිණි විටෙක සාමාජික රටවලට නැවත එම තීරණය ගන්නට සිදු වනු ඇත.

ඝානා ජාතිකයකු වූ කිවයුත්ත නොවලහා කියන කොෆි අනාන් වරෙක මෙසේ කීවේය. ‘ඇතැම් අප්‍රිකානු නායකයන් විසින් මහජන මුදල් ඩොලර් බිලියන ගණන් යටිමඩි ගසා ගැනීම සිදුවන අතර තුර එම රටවල පාරවල් කැඩී බිඳී යයි. සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය වේ. පාසල් සිසුන්ට පොත්පත් මේස හෝ ගුරුවරුන් නොමැතිව ලතැවෙන්නට සිදුවේ. දුරකථන පවා ක්‍රියා විරහිතව පවතී.
හමුදා කුමන්ත්‍රණ මගින් ප්‍රජාතාන්ත්‍රීය නායකයන් බලයෙන් පහකර දමා බලය ඩැහැගන්නා අප්‍රිකානු නායකයන්ට ද අනාන් හොඳ හැටි දෙහි කැපුවේය.

එක්සත් ජාතීන් දයාන්විත අඥාදායකයන් හා දයාවිරහිත අඥාදායකයන් අතර වෙනසක් නොදකින බව අමුතුවෙන් කිවයුතු නැත.

එහෙත් බහුපාක්‍ෂිත ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් මැතිවරණ ඉහළින් පිළිගන්නා අන්තර් ජාතික සංවිධානයක් ලෙස එක්සත් ජාතීන් තවමත් මිලිටරි නායකයන්ට කතා කරන්නට වේදිකාවක් පිරිනමා ඔවුන් පිළිගනිමින් මහා මණ්ඩල සැසිවල දී ඔවුන් සමග ඛාද්‍ය භෝද්‍යයෙන් සංග්‍රහ විඳීම සිදු කෙරේ.

මේ අතර එක්සත් ජාතීන් ඇමතූ හමුදා නායකයන් අතර කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ ලිබියාවේ කර්නල් මුවමං අල් ගඩාෆි, මාලි රාජ්‍යයේ අමදෝව් ටෞරේ (1991 කුමන්ත්‍රණයකින් පසුව බලයට පැමිණ පසුව ප්‍රජාතන්ත්‍රීය ලෙස ජනාධිපතිවරයා ලෙස පත්විය.) සහ ඝානාවේ ජෙරී රෝලිංග්ස් (1979 දී බලය ඩැහැගෙන හිටපු රාජ්‍ය නායකයන් ඝාතනය කළේය. එහෙත් පසුව මැතිවරණයකින් මහජන ඡන්දය ලබා ජනාධිපති පදවියට පත්විය) යන අය සිටියහ.

අත්තර්ජාතික හෙරාල්ඩ් ට්‍රිබියුඩ් නම් ආයතනය කලකට පෙර පෙන්වා දුන් පරිදි බහුපාක්‍ෂික මැතිවරණයකින් තම නායකයා තෝරා ගන්නට ඉඩදුන් පළමු අප්‍රිකානු මිලිටරි නායකයා රෝලිංග්ස් විය.

අතිශය දෝෂ සහගත වූ ගඩාෆි 2009 සැප්තැම්බර් මාසයේ   දී එක්සත් ජාතීන් වෙත ඓතිහාසික ප්‍රවේශය සිදුකළේය. ලන්ඩන් ගාර්ඩියන් සඟරාව ඒ පිළිබඳ වාර්ථා කරමින් කියා හිටියේ නිව්යෝක්හි එ.ජා. ගොඩනැගිල්ලේදි විනාඩි 15 ක් කාලය ඔහු ඩැහැගත් බවයි. එම අවස්ථාව ඩැහැගෙන පැයකුත් විනාඩි 40 ක් තිස්සේ ඔහු කතාවේ එල්බ ගෙන සිටියේ ඔහුට වෙන් කළ කාලය මෙන් 6 ගුණයක් කාලය භාවිත කරමිනි. එ. ජාතීන්ගේ සංවිධායකවරුන්ගේ දැඩි කනස්සල්ලට එය හේතු වූයේය.

ගාර්ඩියන් සඟරාව පවසන පරිදි ගඩාෆි එහිදී කතා කළේ ඒ කෙරෙහි ඇතිවන ප්‍රසාදය හෝ අප්‍රසාදය තඹයකට නොතකා අනවශ්‍ය බොහෝ දෑ කියමින් වාචාලකමින් විකාර රූපී ලෙස හා කුරිරු මානසිකත්වයෙන් යුතුවය. ඔහු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ …පිටපතක් සභාව ඉදිරියේ ඉරා දැමුවිට රටරටවල නියෝජිතවරු වෙව්ලා ගියේය. අල්කයිඩා වැනි ත්‍රස්තවාදියකු සේ හෙතෙම ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ට හා එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර්ට ඉරාක යුද්ධය උදෙසා නඩු පැවරිය යුතු බවට යෝජනා කළේය. අප්‍රිකාවේ යටත්විජිතවාදය පතුරුවා වනසා දැමීම්වලට වන්දි ලෙස ඩොලර් ට්‍රිලියන 7.7 ක් ඉල්ලා සිටියේය.

සූකර උණ මිලිටරි විද්‍යාගාරයක නිර්මාණය කළ ජීව විද්‍යාත්මක අවියක් දැයි විමසා සිටියේය.

අවම වශයෙන් අප්‍රිකානු මහජන නායකයන් 10 ක්වත් බලයෙන් ඉවත් නොවී ව්‍යවස්ථාව වෙනස් කරනු වෙනුවට තුන්වැනි හෝ හතරවැනි වතාවටත් තම ජීවිත කාලය තුළ බලය අත් නොහැර ඉන්නා බව නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව 2020 ඔක්තොම්බර් මාසයේ වාර්තා කළේය.

මෙම නායකයන් අතර ගිනියාවේ ජනාධිපතිවරයා (තුන්වැනි වතාවටත් බලයේ රැඳී සිටිමත්) සහ කෝටේ ඩි අයිවරි, උගැන්ඩා, බෙනින්, බර්කිනා, ෆැසිකෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ඝානා සහ සී ෂෙල්ස් රටවල ජනාධිපතිවරුද වෙති. බලයේ සිටි ජනාධිපතිවරයා බලයෙන් ඉවත් වූයේ නයිජර් රටේ පමණකි.

ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ කියු වදනක් උපුටා දක්වමින් සියලු හමුදා කුමන්ත්‍රණ හෙළා දකින ටයිම්ස් සඟරාව තුන්වැනි වතාවටත් බලයේ හිඳීම ද ගණන් ගැනෙන්නේ කුමන්ත්‍රණයක් ලෙසම බැව් කියා සිටියේය.

ටයිම්ස් සඟරාව පවසන්නේ බොහෝ අග්නිදිග ආසියානු රටවල පවතින ආණ්ඩු කිහිපයක්ම හමුදා බලාධිකාරි ආණ්ඩුවල ලක්‍ෂණ පැහැදිලිව පෙන්නුම් කරන බවයි. තායිලන්තයේ අවසන වශයෙන් සිදුවූ කුමන්ත්‍රණයෙන් බලයට පැමිණි ප්‍රායුත් චාන් ඕ.චා තායි හමුදාවේ හිටපු ප්‍රධානියාය. දේශපාලන වශයෙන් ප්‍රචණ්ඩත්වයට පත් එම රටේ තවමත් ජනාධිපතිවරයා ඔහුය. කාම්බෝජයේ හුන් සෙන් ආසියාවේ වැඩිපුරම කාලයක් බලයේ සිටි පාලකයා ලෙස හැඳින්වේ. ඔහු මේ වන විට දේශපාලන පෙළපතක් සුදානම් කරගෙන සිටී.

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගූ ඩ්‍යුටරේට් ජනාධිපති පදවියට පත් වූයේ දහස් ගණනකට නඩු විභාගවලින් තොරව මරණ දඬුවම හිමිකරදීමෙන් අනතුරුවයි. ඇමෙරිකානු එක්සත් ජනපදය නිල වශයෙන් තීරණය කර ඇත්තේ චීනයේ බලයේ ඉන්නා රජය උයිඝූර් මුස්ලිම්වරුනට සහ වෙනත් සුළුතර ආගමික කණ්ඩායම්වලට එරෙහිව මානව සංහාරයක් දියත් කරන බවයි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තමන්ට තවත් ජනාධිපති ධුරකාල දෙකක් පිරි නැමෙන නීතියකට අත්සන් තබා ඇත. CNN වාර්තා කරන අන්දමට ඒ අනුව ඔහුගේ බල කාලය 2036 දක්වා දීර්ඝ වේ.

අප්‍රේල් මස මුල දී සෝමාලි පාර්ලිමේන්තුවේ (ලෝවර් හවුස්) ජනාධිපතිවයාගේ නිල කාලය තවත් අවුරුදු 2 කින් දීර්ඝ කරනු ලැබුවේය. සෝමාලි පාර්ලිමේන්තුවේ (ඉහළ චේම්බරය) ඉහළ අංශය කියා සිටින්නේ එය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එය විසඳීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතු බවත්ය.

මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාෂක ස්ටෙෆාන් දුජාරිකගේ අදහස් විමසුවිට ඔහු පසුගිය සතියේ වාර්තාකරුවන්ට කියා සිටියේ දැනට මතුවී ඇති තත්ත්වය අප දුටුවා සෝමාලියාවේ සිදුවෙන් දේ ගැන අප දැඩි කනස්සල්ලෙන් පසුවෙන බවයි. ඔබට කිව හැක්කේ ගෙන ඇති තීරණය පිළිබඳව හා එහි බලපෑම පිළිබඳව අප නිශ්චිත ඇගයුමක් කරමින් පසු වෙනවා.

අග්නිදිග ආසියානු ජාතීන් පිළිබඳ සංගමය (ASEAN) මියන්මාරය සම්බන්ධව පවත්වනු ලබන රැස්වීම ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ අප සියලු දෙනාට අවශ්‍ය අරමුණ කරා ළඟා වීමේ දී (ASEAN) සංගමයට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා. සාමාන්‍ය ජනතාව වෙත මියන්මාරයේ පාලනය පැවරීම එම අරමුණයි.

මෙය එක්සත් ජාතීන්ගේ කටයුතු සම්බන්ධව අලුතෙන්ම පළවී ඇති ''No comment and Don't Quote me on that'' පොතෙන් උපුටා ගත් කොටස්වලින් සැකසූ ලිපියකි.

එහි කතුවරුවන්නේ. Thalif Deen සහ IPS හි ජ්‍යෙෂ්ඨ කතුවරයාය.


(***)
තාලිෆ් ඩීන්
2021 අප්‍රේල් 25 වැනිදා සන්ඩේ ටයිම්ස් හි පළවූ තාලිෆ් ඩීන් ලියු
For Democracy's Sake,
should Military leades be ostracised
and barred from the UN?
ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ