(විනීතා ගමගේ විසිනි)

තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලිඛීත අවසරය ලැබී ඇත. එකී අවසරයත් සමඟ ඉකුත් සෙනසුරාදා (17) වැවේ රොන්මඩ හා පස් ඉවත් කිරීම සිදුවෙමින් පවතී. 

රොන්මඩ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මකවන කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු නිරන්තර එහි සිටිය යුතුය යන කොන්දේසිය ඇතුළු කොන්දේසි 40 කට පමණ එකඟ වී මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට නියමිතය.

තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම පසුගිය මාසයේ ඇරඹි අතර එහි සේවය කළ චීන ජාතිකයන් ඇඳසිටි චීන හමුදාවන් ගේ නිල ඇදුමට සමාන ඇදුම් පිළිබඳව මහත් ආන්දෝලනයක් රට තුළ ඇතිවිය. ඊට අමතරව එකී ව්‍යාපෘතියට පුරාවිද්‍යාවේ අවසර ලබා නොතිබු බව ද හෙළිවිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එම ව්‍යාපෘතිය නවතාලනු ලැබුයේ ඒ් අනුවය.

වර්තමානයේ අක්කර 652 ක් පුරා විහිද තිබුණත් ක්‍රිස්තුවර්ෂ 1800 වන තෙක්ම එහි අක්කර 1100 පුරා විහිද තිබු මහා වැවක් බව පුරාවිද්‍යාඥයින්ගේ මතයවේ.

මාගමට වාරි ජලය සැපයූ මේ මහා වැව පෘතුගීසීන් විසින් විනාශ කරන ලදැයි සැළකෙන අතර ශ්‍රී ලංකාව ඉංග්‍රිසින්ගේ යටත්විජිතයක් වූ පසු වේපතඉර සුමන හිමියන්  වන්දනාවේ යද්දී වැවක් බව හඳුනාගෙන බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු කරවීමෙන් පසු වාාරි ඉංජිනේරු හෙන්රි පාකර් මහතා විසින් යළි ගොඩනගා ඇතැයි සඳහන් වේ. 1871 දීය. එහි පදිංචියට ජනතාව පැමිණීමත් ගොවිතැනට හුරුවීමත් සිදුවුයේ ඉන්පසුව බව පැවැසේ.

මහාචාාර්ය රාජ් සෝමදේවයන්ට අනුව තිස්ස වැව ඉදිකිරීමෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා කාලය තුළ රජවරුන් විසින් පස් වතාවක දී තිස්ස වැවේ රොන් මඩ, පස් ඉවත් ඉවත් කොට ජල ධාරිතාව සුරක්ෂිත කර තිබේ.

කෙසේ වෙතත් තිස්ස වැව ඉදිවන්නේ ම තිස්සමහාරාම නගරයට අවශ්‍ය ජල අවශ්‍යතා සහ ගොවිතැන් වෙනුවෙනි.

දැනට මෙහි ජල රැදවුම් ධාරිතාවය තුනෙන් එකක් වීම නිසා කන්න දෙක එකක් බවට පත්වීමත් රොන් මඩ සහ පස් ඉවත් කිරීමත් කාලයක් තිස්සේ ගොවින් ගේ ඉල්ලීමකි.

රටේ පවතින මහ වැව්  හා ජලාශ සියල්ල පාහේ මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිත්. එහෙත් ජලය සිඳුණු අවස්ථාවක හැර රොන් මඩ ඉවත් කිරීමේ තාක්ෂණයක් රට තුළ නැත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මුහුණ දී සිටියේ මෙම ප්‍රශ්නයට වුවත් ඊටත් වඩා ප්‍රශ්නයක් ව පැවැතියේ පවතින මුල්‍ය හිඟයය.

ගජ හෝල්ඩින්ග්ස් ආයතනය රොන්මඩ හා පස් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුයේ මේ අතරය. ඒ් අනුව රොන් මඩ හා පස් ඉවත් කිරීම සමාගම මගින් සිදුකරනු ලබන අතර එසේ ඉවත් කරන රොන්මඩ හා පස් රජය විසින් අලෙවි කළ යුතුය. එයින් ලබන ලාභයෙන් සියයට ප්‍රමාණයක් සමාගමට ලබා දිය යුතු අතර සමාගමේ ලාභය වන්නේ එම මුදලයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ යෝජනාවට එකඟතාව පළ කළ අතර එය ක්‍රියාත්මක කිරීමට පෙර සමාගම රට පුරා වැව් පද්ධතියේ තෝරාගත් වැව් කිහිපයක අධ්‍යයනයක් ද කළේය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ගජ හෝල්ඩින්ග්ස්  සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරි ගයත් ජයසිංහ මහතා මෙසෙ‌් කීවේය.

“රට පුරා වැව් 33000 ක් තියෙනවා කියල කිව්වාට ජීවි වැව් තියෙන්නේ ඊට අඩු ප්‍රමාණයක්. මේ වැව්වල රොන් මඩ හා පස් තැන්පත් වෙලා තියෙන ඒ්වා ජලය පවතිද්දිම එළියට ගන්නා ක්‍රමයක් ගැන හිතුවේ. වැව් පතුල (Hard Bed) ට කිසිදු හානියක් නොවෙන්න ඒක කරන්නත් ඔ්න.

අපට ප්‍රශ්නයක්ව තිබුණේ වතුර තියෙද්දිම මේ ටික කරන්නේ කොහොමද කියන එකයි. ඒ සඳහා චීනයේ භාවිතා කරන ක්‍රමය අපි අධ්‍යයනය කළා. එහෙන් ඇණවුම් කළ යන්ත්‍රය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ.

මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න දන්න අය ලංකාවේ නැහැ. ඒ නිසා කාර්මිකයන් හය දෙනෙක් යන්ත්‍රය සමග එවා තිබෙනවා. මේ වැඩ කරන්නේ ඒ අයයි. ඔවුන් අවුරුදු 60 ට වැඩි වයසැති කාර්මිකයන්. හමුදා නිලධාරින් නොවෙයි. අපි නියමු ව්‍යාපෘතියක් ලෙස කුරුණෑගල පැත්තේ වැවක් තෝරාගන්න හැදුවා. නමුත් වාරිමාර්ග අමාත්‍යවරයා ඉල්ලීමක් කළා නියමු ව්‍යාපෘතිය ලෙස තිස්ස වැවේ ඉක්මණින් මඩ ඉවත්කර දෙන්න කියා.

ඔහු තිස්ස වැව් තාවුල්ලේ දී එකී යන්ත්‍රය ක්‍රියාත්මක වන අන්දම මාධ්‍යයට පෙන්වමින් අදහස් දක්වද්දී පුරා විද්‍යා අවසරය නොගැනීම පිළිබඳව හා රටේ ජනතාව දැනුවත් නොකර මෙම ව්‍යාපෘතිය ඇරඹීම සම්බන්ධව ජනතාව ගෙන් සමාව ඉල්ලා සිටියේය. සියයට සියයක් දේශීය සමාගමක් වන තම සමාගම කිසිසේත්ම ජනතා විරෝධී කිසිදු කටයුත්තකට අත නොගසන බවද හෙතෙම කියා සි‌ටියේය.

වැවේ රොන් මඩ ඉවත් කරන ක්‍රමවේදය වන්නේ වැව් පතුල කලතා රොන් මඩ හා මැටි සමග ජලය පිටතට ඇදීමයි. එහි දී කළතනු ලබන මඩ අදින්නේ අඟල් හතරක බටයක් ඔස්සේය. මැටි කිරිමැටි හා වැලි බටය ඔස්සේ ඇදී ගොඩබිමට එද්දී මුලින්ම වදින්නේ කුඩා සිදුරු සහිත දැලකය. එහිදී මැටි සියල්ල දැලේ වැදී බිමට වැටේ. වැලි සහිත මඩ පස් මැද පිහිටි චේම්බරයකට වැටී රබර් පටයක් ඔස්සේ ඉදිරියට ගොස් බිමට වැටේ. ජලය යළි වැවට හරවා තිබිණි.

“ මේ වැවෙන් වැලි කියුබ් ලක්ෂ තුනක් හතරක් අතර ප්‍රමාණ්‍යක් ගත හැකි බව ගණන් බලා තිබෙනවා. අපි කියන්නේ රජය යම් ආයතනයක් හරහා මේවා අලෙවි කළ යුතුයි. ආදායමෙන් අපටත් කොටසක් ලබා දිය යුතුයි.

ඉදිකිරීම් කර්මාන්තයේ අත්‍යවශ්‍ය වැලි හා පස්වලට විශාල වියදමක් යනවා. වැලි හා පස් ඉතා මිල අධික වන්නේ ඒ්වා දුර පළාත්වලින් ප්‍රවාහනය කරන නිසා ඒ් වෙනුවෙන් යන විශාල වියදම හේතුවෙන්. වැලි පස්වලට යන වියදමෙන් සියයට තිහක් ඉතිරි කර ගත හැකි ක්‍රමයක් තමයි මේ වැලි මේ ප්‍රදේශයේම අලෙවි කිරිම. අපි අනෙක් වැව් වල රොන්මඩ ඉවත් කරද්දි ඒ් ඒ් ප්‍රදේශයේ වැලි පස් ඒ් ප්‍රදේශයේ ම අලෙවි කළ හැකියි. මෙය පාරිසරිකවත් හිතකාමි වැඩක්. ” ජයසිංහ මහතා කියයි.

චීන ජාතිකයන් ආපසු යන්නේ කවදාදැයි කළ විමසුමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ හය දෙනාගෙන් සිව් දෙනෙක් දෙසැම්බරයේ ආපසු යන බවකි. අනෙක් දෙදෙනා යන්ත්‍රයේ අලුත්වැඩියා හා කාර්මික දෝෂ සැකසීම සදහා සිටින බවකි. ඔවුන් හතර දෙනා ගිය පසු තවත් දෙදෙනෙක් ලංකාවට පැමිණෙනු ඇති බවත් ඔවුන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණයන්ට මෙම යන්ත්‍ර ක්‍රීයා කරවීම උගන්වනු ඇති බවත් ඔහු කීවේය.

“ අපේ රටේ සාමන්‍ය පෙල ෆේල් වෙන දරුවො ගැන කිසි අවධානයක් නැහැ. මගේ අදහස ලංකාව පුරාම එවැනි තරුණ පිරිසක් තෝරාගෙන මේ වැඩේ උගන්වන්න. එතකොට මේ යන්ත්‍ර ලංකාවේ හදාගත්තොත් අපට පිටරටකට අතපාන්න ඔ්න නැහැ. කවුරු හරි මේ යන්ත්‍ර හදන කම්හලක් පටන් ගත්තතොත් මම ඒ්කට උදව් කරනවා.”

පුරාවස්තු විනාශ නොවෙන්න මොනවද  ඔබේ වැඩ පිළිවෙල?

ගල්කණු හෝ එවැනි ගලින් කළ දේවල් නම් මේ මඩ අදිද්දි එන්නේ නැහැ. නමුත් කුඩා යම් දෙයක් අවොත් මඩ එක්ක ඉදිරියේ පස් ගොඩට වැටෙනවා. සෙන්ටිමීටරයකට වඩා ලොකු ‌දෙයක්‌ මේ  දැලෙන් එහාට යන්නේ නැහැ. පුරා විද්‍යා නිලධාරියෙක් ඉන්න නිසා ඔහු ඒ්වා ගැන පරික්ෂාවෙන් ඉන්නවා ඇති. කොහොම වුණත් එවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දෙයක් ලැබු‌ණොත් එදාම ව්‍යාපෘතිය නතර කරල අපි ඉවත් විය යුතුයි.