ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ටෙනිසන් සියල්ල අතඇරලා සමුගත්තා. ඒ ලියපු, කියපු හැමදේකින්ම තේරුම් යන්නෙ ටෙනිසන් කතාබහට ලක්වෙන වැඩක් කරපු මිනිහෙක් කියන එක.

ඉතාම පැහැදිලිව මෑත කාලෙ සිනමාව තුළ ටෙනිසන්ගේ භූමිකාව තීරණාත්මක එකක්. මොන විවේචන ඔහුගේ රඟපෑම් සම්බන්ධයෙන් මතුවුණත් ඒ මැදිහත්වීම මඟහැර යා නොහැකි එකක්. ඇතැම් රඟපෑම් පිළිබඳව අපිටත් විවේචන තියෙනවා. ඒත් ඔහු මේ තරම් …ඉහළට යන්නේ කොහොමද කියන එක නිරීක්ෂණය කරල බලන එක වැදගත් තාක්ෂණයක්.

අපේ සිනමාවේ ප්‍රහසන නළුවන් ඕන තරම් හිටියා. ඉතා ඉහළ රඟපෑම් තිබුණු අය ඒ අතර හිටියා. එහෙම නළුවන්ගේ ලැයිස්තුව අද වෙද්දි තියෙන තැන නම් තියෙන්නෙ කනගාටුවක්. අද ප්‍රහසන නළුවන්ගෙ බරපතළ හිඟයක් තියෙනවා. අපේ සිනමාව තුළ ඉන්න බොහෝ දෙනා විකාරකාරයො මිසක් ප්‍රහසන නළුවො නෙවෙයි. ඒ ලැයිස්තුවෙ තීරණාත්මක නම් දෙකක් විදියට බන්දු-ටෙනී හිටියා. ෆිල්ම් දුවවන්න හැම නළුවට නිළියටම බැහැ. වීරයට කොල්ලට කෙල්ලට රඟපාපු නළු නිළියො චිත්‍රපට දුවවපු ඉතිහාසයක් අපේ සිනමාවෙ තිබුණා. ඊට අමතරව චිත්‍රපට දුවවන්න පුළුවන් මට්ටමේ නළුවෙක් වෙනව කියන්නේ තරමක් සැලකිය යුතු වැඩක්.

රෝයි ද සිල්වා මුණගැහුණු වෙලාවක එයා කියපු කතාවක් මට මතක් වෙනවා. මේ වෙලාවෙ ‘‘රෑ ඩැනියෙල් දවල් මිගෙල්’’ පළමුවැනි චිත්‍රපටය බොක්ස් ඔෆිස් රෙකෝඩ් කිව්වම ඒකෙ දෙවෙනි, තුන්වැනි කොටස් චිත්‍රපටි හදන්න බය නැතුව අත තිබ්බෙම බන්දු - ටෙනී දෙන්න නිසා කියල රෝයි කිව්වෙ. එහෙම විශ්වාසය තියල චිත්‍රපටි හදන්න නළුවො දැන් නම් නැති තරම්.

ටෙනී නිකම්ම නළුවෙක් විතරක් නෙවෙයි. මිනිහා තිර රචකයෙක් විදියට අවස්ථා කීපයකදී අපේ සිනමාවට හවුල් වෙනවා. ඒවයි දෙබස් එහෙම බැලුවම පේනවා ටෙනී විහිළු කාරයෙක්ම නෙවෙයි කියල. ඒ වගේම සමාජ, දේශපාලන කාරණා හාස්‍යයට ලක් කරන ආකාරයේ දෙබස් ටෙනිසන්ගේ වේදිකා නාට්‍යවලත් තිබුණා. ඒ නාට්‍ය ඔක්කොම වගෙ රචනා කළේ ටෙනී. ඒ නාට්‍ය මිනිස්සු පොර කකා බැලුවෙ ඔය ප්‍රසිද්ධම විවේචනය වන දෙපිට කැපෙන වචන නිසාම නෙවෙයි. ටෙනී රැල්ලක් හදපු නාට්‍යකාරයෙක්. ඒ රැල්ල ගැන විවේචන තිබුණා. ඒක එදිරිවීර සරච්චන්ද්‍රගෙ වේදිකා නාට්‍ය විලාසය නෙවෙයි. ඒක ටෙනිසන් කුරේගෙ විලාසය. ටෙනිසන් වේදිකා නාට්‍යවලට එෆ්.එම්. මයික් පාවිච්චි කරද්දී බොහෝ අය ටෙනිසන්ට බැන්නේ නාට්‍ය කලාවේ ගුණය විනාශ කරනව කියලා. ඒත් ඒ බැණ බැණ ගියපු අයම පස්සෙ වේදිකා නාට්‍යවලට එෆ්.එම්. මයික් පාවිච්චි කළා. ඔහොම තමයි අද ටෙනිසන්ව විවේචනය කරන අය තව අවුරුදු කීපයකට පස්සේ ටෙනිසන්ගෙ ගුණ සැමරුම්වලට ඇවිත් මිනිහව හඳේ කියල කතා කළොත් පුදුම වෙන්න දෙයක් නෑ.

බන්දු - ටෙනී ගැන එක වෙලාවක මම මේ සටහනේම විවේචනයක් ලිව්වා. ඒ ගැන එයාල කරපු ටෙලිවිෂන් වැඩසටහන්ද මාව විවේචනය කළා. ඒත් අපි අතරෙ කිසිම පුද්ගලික ආරෝවක් තිබුණෙ නෑ. අමරදේවගෙ අවමඟුල වෙලාවෙ ටොරින්ටන් එකේදි ටෙනිසන් කුරේයි, මායි කතාබහක ඉන්න අතරෙ ආපු ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් ඇහුවෙ ඔයාලගෙ රණ්ඩුව ඉවරද දැන් කියලා. ටෙනිසන් තමයි ඒකට හොඳම උත්තරේ දුන්නේ.

‘‘මොන රණ්ඩුද මෙයා. අපිට මේ ගොල්ලො ගහනවා වගේ නෙවෙයි වැඩේ කොරන්න ගියාම. අපි කොරනව වගේ නෙවෙයි මේ ගොල්ලො බලන්න ගියාම. ඔය හැප්පිල්ල නැත්තං වැඩකුත් නෑ. ඒකෙනෙ අපි දැනුත් මේ හොඳට කතාකරන්නේ’’

මේක කලාකරුවෙකුගෙන් මම අහපු මාර කතාවක්. මොන විවේචන ආවත් ටෙනිසන්ල තමන්ගෙ වැඩේ කරගෙන ගියා. සමහර විවේචන හිතට ගන්නත් ඇති. සමහර ඒවා නොසලකාම ඉන්නත් ඇති. ඒ කොහොම වුණත් ටෙනිසන්ගෙ වියෝවත් එක්ක මේ තරම් සමාජ කතාබහක් ඇති වෙන එකෙන්ම පේනව ටෙනිසන්ගෙ තරම. ටෙනිසන් කියන්නෙ ටෙනිසන්. එච්චරයි.

(*** ප්‍රියන්ත කොඩිප්පිලි)