(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ - ධම්ම දිසානායක)

‘ජනවාරි වසන්තය’ ලංකාවට අත්පත් කරදී ඇත්තේ ‘අරාබි වසන්තය’ විසින් ඊජිප්තුවට, ඉරාකයට, ලිබියාවට සහ සිරියාවට අත්කර දෙන ලද ඉරණම ම ය. ලේ වැකි ‘අරාබි වසන්තය’ නිසා අද ඒ රටවල රාජ්‍යයක් සතුව පැවතිය යුතු කිසිදු අංගයකට නිරුපද්‍රිත පැවැත්මක් නැත. භුමිය අනතුරේය. ජනතාව මාරාන්තික අනතුරකය.

ඔවුන්ගේ පරම අභිප‍්‍රාය හුදු පණ නළ රැක ගැනීම පමණක්මය. රටේ පරමාධිපත්‍යය නොරට බලවතුන්ගේ ය. ආණ්ඩුවක් නැත. නමට පමණක් ආණ්ඩුවක් තිබුණද ඊට රට සහ ජනයා වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැත. නීතියක් නැත. පරිපාලනයක් නැත. කොටින්ම ඒ රටවල රාජ්‍යයක් නැත.

ආර්ථිකය, දේශපාලනය, සමාජ පිළිවෙළ සහ ජන ජීවිතය යන සියල්ල අසරණය, අස්ථාවර ය. ඇත්තේ ප‍්‍රචණ්ඩ රැලි ය. දිග්ගැස්සුණු සිවිල් යුද්ධ ය. කලාපීය සහ දේශීය අස්ථාවරතා ය. ආර්ථිකයේ  සහ ජන ජීවිතයේ කඩාවැටීම් ය. ආගමික ගැටුම් ය. එකම ආගමක් තුළ ඇති අති බිහිසුණු නිකාය ගැටුම් ය. අන්තවාදී ලේ වැකි සංග‍්‍රාම ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෙනෙන මානයකවත් නැත. ඒ නයින් බලන කළ අරාබි වසන්තය මැදපෙරදිගට දී ඇත්තේ භීෂණය, මරණය සහ සාගතය මිස වසන්තයේ මල් පල පිරි හරිත පැහැ තුරු ගොමු සහ ලා කහ පැහැති හිරු එළිය නොවේ. අහෝ වසන්තයක ප‍්‍රතිඵලය බිහිසුණු ගල් ගැසී සීතල වුණු ශීත ඍතුවක් නිර්මාණය වීමට හේතු වූ මහිමය?

මේ සියල්ල හුදු ඒ රටවල දේශීය අවුලක හෝ ගැටුමක පලයක්ම නොවේ. රාජ්‍ය තන්ත‍්‍ර විනාශකොට ආර්ථික, වෙළඳපොළ සහ විවිධ මූලෝපායික අරමුණු වෙනුවෙන් එම රටවල් පාවිච්චි කිරීමේ වුවමනාවෙන් සිටි ලෝකබල කල්ලි විසින් උපක‍්‍රමිකව එම අවුල් සහ ගැටුම් පාවිච්චි කිරීමේ ප‍්‍රතිඵලය. ඒ උපක‍්‍රම වලදී පාවිච්චි කෙරුණේ දේශීය, දේශපාලනිකව නොමේරූ, බලවාදී, ආණ්ඩු විරෝධී කල්ලි සහ පුද්ගලයන් ය. ඒ සාපරිදිම සිද්ධ වුණු ‘ජනවාරි වසන්තය’ ලංකාවට අත්පත් කර දුන්නේ රූපිකව එවැන්නක්ම නොවුණත් සාරාත්මක නැතහොත් හරයාත්මක වශයෙන් නම් එම තත්ත්වයමය. එනම් අරාබි වසන්තයට පසු උතුරු අප‍්‍රිකාව  සහ මැද පෙරදිග බොහෝ රටවලට අත්වූ ඉරණමය.

‘ජනවාරි වසන්තය’ ක්ෂණික මතුවීමක් හෝ අහම්බයක් නොවේ. එය ඓතිහාසික ක‍්‍රියාවලියක අනිවාර්ය ප‍්‍රතිඵලයකි. කවර තත්ත්ව මත වුවද නිදහසට පසු ශ‍්‍රී ලංකාව 1975 දක්වා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගත්තේය. ඒ 1953 හර්තාලය, 1959 අගමැති බණ්ඩාරනායක ඝාතනය, 1964 ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණය සහ 1971 ජවිපෙ සන්නද්ධ අරගලය වැනි බරපතළ අභියෝගවලට මුහුණ දෙමිනි.

1975 විසුරුවා හැරිය යුතු පාර්ලිමේන්තුව (ජාතික රාජ්‍ය සභාව) විවිධ නෛතික තර්ක ඉදිරිපත් කරමින් වසර දෙකක් එනම් 1977 දක්වා දීර්ඝ කිරීම නිසා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හිතුවක්කාර බල දේශපාලනයේ ගොදුරක් බවට පත්වීම ඇරඹුණි.

එතැන් සිට 1977 පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය, 1982 ජනමත විචාරණය (ලාම්පු කළගෙඩි සෙල්ලම, එවක සිටි මැතිවරණ කොමසාරිස්වරයාට අනුව ඒ දක්වා පැවති මැතිවරණ වලින් දුෂිතම මැතිවරණය) මගින් 1982 දී විසුරුවා හැරිය යුතු පාර්ලිමේන්තුව වසර හයකින් දීර්ඝ කිරීම, 1983 කළු ජූලිය සහ හයවැනි ව්‍යවස්ථා සංශෝධනය, 1988 ජනාධිපතිවරණය, 1989 පාර්ලිමේන්තු මැතිවරණය සහ ජවිපෙ විසින් පැනවූ ඡන්ද තහනම, කුප‍්‍රකට වයඹ පළාත් සභා මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සහ හඟුරන්කෙත මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, 1994 සිට 2015 දක්වා වූ කාලය තුළ මුදලට සහ බලයට හෝ ඒ දෙකම නිසා පාර්ලිමේන්තුව තුළ සිදුවූ පැති මාරුකිරීම් යනාදිය හරහා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දේශපාලකයන්  සහ මැති ඇමතීන් පිළිබඳ මහජන විශ්වාසය පණ අදින තත්ත්වයකට පත් විය.

රජයේ සියලූ ආයතන සහ ඉහළ නිලතල  කෙරෙහිද එවැනිම විශ්වාසය කඩවීමක් සිදුවිය. බොහෝ බලවත් නිලධාරීහු තම අංශවල සේවකයන්ගේ මර්දකයෝ බවට පත් වූහ. සභාපතිකම්, තානාපතිකම්, ආණ්ඩුකාරකම්, ලේකම්කම්, අධ්‍යක්‍ෂකම් දැරූ අය එහිදී ප‍්‍රධාන වූහ.

ඒ නිසා ආණ්ඩුවලට වඩා ඒ ආණ්ඩු විසින් පත්කරන ලද අනුවණ සහ ඒ නිසාම පීඩකයන් බවට පත්වූ නිලධාරීන්ගෙන් ගැලවීමේ මඟක් සෙවීම සේවකයන්ගේ දෛනික සාකච්ඡාවල මුල් තැනක් ගත්තේය. එහෙත් ඊට පිළියමක් ලෙස එජාප ආණ්ඩුවක් පත්කරගැනීම පිළිබඳ කාරණයේදී බොහෝ ජනයා පියවරක් පස්සට ගත්තේ මේ බොහෝ විපත්වල තිඹිරිගෙය 1977 ආණ්ඩුව නිසාය. එසේම 1994න් පසු පැවති ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආණ්ඩුවල ප‍්‍රබල නායකයන්ට අභියෝගයක් විය හැකි පුද්ගල දේශපාලන ප‍්‍රතිරූපයක් නොමැති නිසාය.

විශේෂයෙන්ම කොටි සංවිධානය පරාජය කිරීමත් සමඟ වඩාත් ස්ථාවර වූ මහින්ද රාජපක්ෂ දේශපාලන ප‍්‍රතිරූපය ට අභියෝග කළහැකි වෙනත් ප‍්‍රතිරූපයක් නොමැති වීම සුවිශේෂී විය. 2010 ජනාධිපතිවරණයේ දී එය වඩාත් තහවුරු විය. ජාත්‍යන්තර සහ දේශීය ඒකාබද්ධ පෙරමුණක් ලෙස ‘ජනවාරි වසන්තය’ට අදාළ සැලසුම් සැකසෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙස ය.

එහෙත් ඒ ජනවාරි වසන්තයට රාජපක්ෂ තන්ත‍්‍රයේ අධිකාරිවාදී සහ හිතුවක්කාරී හැසිරීම් ද ප‍්‍රබලව හේතු විය. සියල්ල සිදු වුයේ ඒ හේතු පාලනය කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇවැසි හැකියාව  ඕනෑවටත් වඩා තිබුණු පසුබිමක වීම ද සුවිශේෂී ය. කෙසේ හෝ ජනවාරි වසන්තය ආවේ ය.

අපි නැවත මදකට ‘අරාබි වසන්තය’ දෙසට යොමු වෙමු. දැවැන්ත විරෝධතා, මහා වැඩවර්ජන, මහා ගැටුම්, දහස් ගණනින් වූ මනුෂ්‍ය ඝාතන සහ සිවිල් යුද්ධ ලෙස විවිධාකාරයෙන් මතුවුණු අරාබි වසන්තය උතුරු අප‍්‍රිකාවේ සහ මැද පෙරදිග රටවල් ගණනාවක සිදු වූ එකකි.

ටියුනීසියාව, ඊජිප්තුව, ඉරාකය, ලිබියාව, යේමනය,  සිරියාව, බහරේන්, කුවේටය, ලෙබනනය,  ඕමානය, මොරොක්කෝව, ජෝර්දානය, සෞදි අරාබිය සහ සුඩානය ඒ අතර ප‍්‍රධාන ඒවාය. මේ රටවල ඊනියා වසන්තය මතු කෙරුණේ ඒකාධිපතිවාදය හෝ අධිකාරවාදය, දේශපාලන අවභාවිත සහ දුෂණ, මානව හිමිකම් උල්ලංඝනය, උද්ධමනය, රැකියා හිඟය, චෞරතන්ත‍්‍රවාදය සහ නිකායවාද යනාදියට එරෙහිවය.

අරමුණු වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමය. නිදහස් මැතිවරණ පැවැත්වීම ය. ආර්ථික නිදහස ලබා ගැනීමය. මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමය. රැකියා සුලබ කර ගැනීමය. උද්ධමනය අවම කර ගැනීමය. එසේම ඒකාධිපති හෝ අධිකාරිවාදීතන්ත‍්‍ර වෙනස් කර ගැනීමය. ඇත්තටම ඒ රටවල සාමාන්‍ය ජනයාගේ අරමුණු නිර්ව්‍යාජ ඒවා  ය. එහෙත් ඒ පසුපසින් සිටියෝ දේශීය සහ ජාත්‍යන්තර බලලෝභී බලවේගයෝ ය.

ඒ බලවේගවල උපායික කපටි වැඩ සටහන් මිස, වසන්තයෙන් පසු තම රටවල් ප‍්‍රගතිශීලී ලෙස ගොඩ නඟා ගැනීමේ කිසිදු තිරසාර වැඩපිළිවෙළක් ස්වදේශික ජනයාට නොවීය. තන්ත‍්‍ර වෙනස් කළා පමණක් ම වුයේ එහෙයිනි. අද දිනකට සිය ගණනින් ඝාතනය වන නිමා නොවන මරණීය ‘ශීත ඍතුවක්’ මේ රටවලට අත්වී ඇත්තේ ඒ නිසාය.

ලංකාවට ‘ජනවාරි වසන්තය’ ගෙන ආ වසන්තකරුවන්ගේ චෝදනා හෝ හේතු ලැයිස්තුවද ‘අරාබි වසන්තයේ’ ලැයිස්තුවට සමානය. අරමුණු ලැයිස්තුවද ඊට සමානය. ඉන් කියැවෙන්නේ බලලෝභී ජාත්‍යන්තර කල්ලි ‘අරාබි වසන්තයට’ සැකසූ පිටපතම තරමකින් වෙනස් කොට ලංකාවට ද ඉදිරිපත්කොට ඇති බව ය. එවැනි පසුබිමක අප අවධානය යොමු කළ යුත්තේ ‘ජනවාරි වසන්තයේ’ ප‍්‍රතිවිපාක ලැයිස්තුව දෙසට ය.

බහුතරයට නොව අතිශයින්ම සුළුතරයකට පාර්ලිමේන්තුවේ අගමැති ධුරය සහ ආණ්ඩු බලය හිමි විය. ඒ වසන්තයේ අග නොව මුලමය. සත් මසකින් මහ මැතිවරණයක් ආවේය. විපක්ෂයේ අතිශය සුළුතර කණඩායමකට විපක්ෂ නායකකම ලබා දුන්නේය. ඒ කණ්ඩායමටත් වඩා සුළු කණ්ඩායමකට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම ලබා දුන්නේය.

බහුතර විපක්ෂයට පාර්ලිමේන්තුවේ කතා දීම අවම කෙරුණි. ඒ මැතිවරණයේදී පරාජිත අපේක්ෂකයන් ට  ජාතික ලැයිස්තුව හරහා මැති ඇමැතිකම් ලබා දුණි. පත්කළ ස්වාධීන කොමිෂන් සභා  ස්වාධීන වූයේ පාලකයන්ගෙන් නොව පොදු ජනයාගෙන් පමණි. මැතිවරණ දිගින් දිගටම කල් දැමුණි. වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ නියෝජිතයන් නැති ප‍්‍රාදේශීය ආණ්ඩු ක‍්‍රමයක් වගා දිගා වුණි.

පළාත් සභා මැතිවරණ කල් දැමුණි. නීතිය සහ අධිකරණය ඉදිරියේ ඒ සියල්ල යුක්ති සහගත වුණි. මැතිවරණ කොමිසමත් ජනයාගෙන් ස්වාධීන වුණි. පැවැත්වීමට යන ප‍්‍රාදේශීය ආණ්ඩු මැතිවරණය පවා මුට්ටි දැමීමක් බවට පත්වුණි. ඒ සියල්ල සිදුවුයේ සහ සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, මානව නිදහස ආරක්ෂා කිරීම  සහ නිදහස් මැතිවරණ පැවත්වීම යනාදී වටිනාකම්වල නාමයෙනි.

මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් ඇරඹුණු සහ ඊට අනුබද්ධව බැංකු සහ මුල්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිවුණු අර්බුදය රටේ සියලූ ආර්ථික අර්බුදවලට හේතුව නොවන නමුත් රටේ සමස්ත ආර්ථිකයේ දුෂිත, අස්ථාවර, සහචර බවට නම් ප‍්‍රබල සාක්ෂියකි. භාණ්ඩ සහ සේවාවල නොකඩවා සිදුවන මිල ඉහළ යෑම්, භාණ්ඩවල විශේෂයෙන්ම දෛනික පරිභෝජන භාණ්ඩ සහ ඖෂධවල හිඟය සහ මිල ඉහළ යෑම් සහ සුභසාධන ක‍්‍රමවල කප්පාදු කිරීම් සහ දුර්වලතා නිසා පහළ මැද පාන්තිකයන්, අඩු ආදායම්ලාභීන්, දෛනික කුලීකරුවන් සහ කිසිදු ආදායම් මාර්ගයක් නැති ජනයා ගෙවා දමන්නේ ඉතා අසීරු ජීවිතය.

එසේම ආර්ථිකය නඩත්තු කිරීම සඳහා නීත්‍යනුකුල ක‍්‍රමවේද හරහා දේශීය සම්පත් සහ ව්‍යවසායන් විකුණා දැමීම හරහා පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය අනාථව අසරණව ඇද වැටී ඇති බවය (අප දේවල් විකුණන්නේ ‘නීත්‍යනුකුල ක‍්‍රමයකටය’ යනුවෙන් මෑතක දී පැවසුවේ මහින්ද සමරසිංහ මහතාය). මේ අනුව රටේ ආර්ථික අස්ථාවරභාවය, මුල්‍ය අස්ථාවරභාවය,  දේශපාලන අස්ථාවරත්වය, සමාජ අස්ථාවරභාවය සහ පීඩනය යනාදී සියල්ල, ‘අරාබි වසන්තයට’ පසු ඒ රටවල් මුහුණ දෙමින් සිටින තත්ත්වයට සමාන නොවන්නේ නම් ඒ ඉතා සුළුවෙනි.

‘ජනවාරි වසන්තය’ මගින් පාලන තන්ත‍්‍රයක් වෙනස් කළ බව ඇත්තකි. එහෙත් එහි ප‍්‍රතිඵලය යහපත් ද? වැටී ඇත්තේ කබලෙන් ළිපටය. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනාදී කිසිවක් ගැන විශ්වාසයක් නැති ජනයා දැන් සිතිය යුත්තේ ළිපෙන් එළියට පැනීම පමණක් නම් නොවේ.

අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිත පාලන තන්ත‍්‍ර වෙනසින් පසු යහපත් රටක් ගොඩනඟා ගැනීම සඳහාවූ සමාජ වැඩපිළිවෙළක්, න්‍යාය පත‍්‍රයක් සහ සංවිධානගතවීමක් සඳහා කටයුතු කිරීමය. යළි වැරදුණොත් මේ රට අමු සොහොනක් වීම නියත බව නම් වටහාගත යුතුමය.