ලංකාව, රටට අවශ්‍ය එල්.පී. ගෑස් වලින් සියයට 99 ක්ම ආනයනය කරන රටකි. මෙරට පිරිපහදුවේ සියයට එකක් පමණ ගෑස් නිපදවේ. දළ වශයෙන් මේ රටේ වාර්ෂික එල්.පී. ගෑස් පරිභෝජනයට ටොන් ලක්ෂ හයක් හතක් අතර ගණනකි. පවත්නා සංවර්ධනයත් සමග ඉදිරියේදී මෙම ගණන ටොන් ලක්ෂ දහයක් පමණ වනු ඇතැයි මේ වනවිට ගණනය කර තිබේ.  


මෙරට එල්.පී. ගෑස් අවශ්‍යතාව සපුරාලන්නේ ප්‍රධාන සමාගම් දෙකකිනි. වෙනත් ආකාරයකට කියන්නේ නම් මෙරට ගෑස් වෙළෙඳපොළේ සිටින්නේ සමාගම් දෙකකි. රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම එයින් එකකි. ගෑස් වෙළෙඳපොළෙන් සියයට 70 ක පමණ වෙළෙඳපොළ කොටසක් එම සමාගම සතුය. අනෙක් සමාගම මෙරට ගෑස් වෙළෙඳපොළේ සිටින එකම පෞද්ගලික සමාගම වන ලාෆ්ස් ගෑස් සමාගමය. එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමකි. එම සමාගම සතු වෙළෙඳපොළ කොටස සියයට 30 ක් පමණය.  

කෙරවලපිටියට ද?  හම්බන්තොටට ද?


කොරෝනා වසංගතයත් සමග අනාගතය සම්බන්ධව ඇත්තේ දැඩි අවිනිශ්චිතතාවකි. ඒ නිසා බොහෝ රටවල් ආහාර, බලශක්ති ආදී බොහෝ දේ සම්බන්ධව ආරක්ෂිත තොග රැස්කර තබාගැනීමට අවධානය යොමුකර තිබේ. ඒ අනුව බලන විට සියයට 99 ක්ම මෙරටට ආනයනය කරන ද්‍රව්‍යයක් වන එල්.පී. ගෑස් සම්බන්ධව අපේ දැඩි අවධානය යොමුවිය යුතුය. මෙරට ප්‍රධානතම ගෑස් අලෙවි සමාගමට ඇත්තේ දින තුනකට හෝ හතරකට අවශ්‍ය ගෑස් ගබඩාකර තබාගැනීමේ පහසුකම්ය. ලාෆ්ස් ගෑස් සමාගම ටොන් 30,000 ක ගබඩා පර්යන්තයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකර තිබේ. මාසයකට අවශ්‍ය ගෑස් තොග මේ ගබඩා පර්යන්තයේ අවම වශයෙන් පවත්වා ගත හැකිය.  


ඒ වගේම කෙරවලපිටියට ලොකු නැව් ගෙන්වීමට හැකියාවක් ලිට්‍රෝ සමාගමට නැත. ටොන් 2500 සිට ටොන් 4000 ක් පමණ ගෙනයාහැකි නැව් කෙරවලපිටියට ගෙන්වීමට හැකිය. එහෙත් හම්බන්තොට වරාය ගැඹුරින් වැඩිවීම නිසා සහ විශාල පර්යන්තයක් ඉදිකර තිබීම හේතුවෙන් එකවර ටොන් 40,000 ක් පමණ ආනයනය කළ හැකිය. හම්බන්තොටට ගෑස් ආනයනය කරන්නේ නම් විශාල පිරිවැය ඉතිරියක් කරගත හැකි බව ඒ අනුව පැහැදිලිවන කාරණාවකි. කරුණු අධ්‍යයනයකින් පසුව ආණ්ඩුවද මේ කාරණය වටහාගෙන තිබේ.  


කෙරවලපිටියට එන ගෑස් ටොන් එකක් ඩොලර් 105 යි හම්බන්තොටට ඩොලර් 35 යි 


කෙරවලපිටියට ගෑස් ටොන් එකක් ගෙන්වීමට ලිට්‍රෝ ගෑස් සමාගම මේ වනවිට දරන වියදම ඩොලර් 105.4 කි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල හැරුණු විට ප්‍රවාහන ගාස්තු වශයෙන් මේ මුදල ගෙවන බව පැහැදිලිය. එහෙත් ලාෆ්ස් සමාගම ගෑස් ටොන් එකක් හම්බන්තොට වරායට ගෙන්වීමේදී ප්‍රවාහන ගාස්තුව වශයෙන් ගෙවන්නේ ඩොලර් 35 කි. ලිට්‍රෝ සමාගම ගෙවන පර්යන්ත ගාස්තුවද එකතුව ගත්විට ටොන් එකකට ප්‍රවාහන ගාස්තුව ඩොලර් 107.8 කි. ​ එහෙත් ලාෆ්ස් ගෑස් සමාගමට වැය වන මුළු ප්‍රවාහන වියදම ඩොලර් 53 කි. මේ අනුව බලනවිට කවරුන් හෝ තිබෙන පිළිවෙළටම හම්බන්තොට වරායට ගෑස් ආනයනය කරන්නේ නම් ඩොලර් 70 ක 80 ක වාසියක් ලැබෙන බව පෙනෙන්නට තිබේ. යම් අයකු හම්බන්තොට ගෑස් ආනයනයකර ඉන්පසු යළි කොළඹට ප්‍රවාහනය කළොත් තවත් ඩොලර් 30 ක් පමණ වැය විය හැකිය. ඒ අනුව බැලුවිට ගෑස් ටොන් එකක ප්‍රවාහන වියදම ඩොලර් 83 කි. මෙම තත්ත්වය අනුව බලන විට ලිට්‍රෝ සමාගම හම්බන්තොට ගෑස් ආනයනය කළොත් ටොන් එකකට ඩොලර් 54 ක පමණ ඉතිරියක් කර ගැනීමට පුළුවන. ලිට්‍රෝ සමාගම දැනට මාසයකට ආනයනය කරන ගැස් ප්‍රමාණය ටොන් 4,20,000 ක් පමණය. මේ අනුව බලන විට ලිට්‍රෝ සමාගම හම්බන්තොට වරායට ගෑස් ආනයනය කරන්නේ නම් වසරකට අවම වශයෙන් ඩොලර් මිලියන 22.7 ක් ඉතිරි කරගත හැකිය. එනම් රුපියල් බිලියන 4.5 ක් රටට ඉතිරි කිරීමේ හැකියාව තිබේ. මහා භාණ්ඩාගාරය ඇතුළු පිරිස ගෑස් ආනයනය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සකස් කළ වාර්තාවෙන් පවා මේ කරුණු අනාවරණය කර තිබේ.  

එකට එක්වුණොත් අවුරුද්දකට ඩොලර් මිලියන 30 ක් ඉතිරියි


කුමන හෝ පදනමක් යටතේ ලිට්‍රෝ සමාගමත් ලාෆ්ස් සමාගමත් එක්ව ගෑස් ආනයනය කරන්නේ නම් ටොන් එකකට තවත් ඩොලර් 20 ක පමණ ඉතිරියක් කරගත හැකිය. එනම් වාර්ෂිකව තවත් ඩොලර් මිලියන 9.6 කි. මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් වාර්ෂිකව ඩොලර් මිලියන 30 ක් පමණ රටට ඉතිරි කරගත හැකිය.  
ගෑස් සම්බන්ධ​ මේ කාරණා ජනාධිපතිවරයාට සැළවීමෙන් පසුව තත්ත්වය තවත් අධ්‍යනය කිරීමට කමිටුවක් පත්කිරීමට පියවරගත්තේය. ජනාධිපති ලේකම්, මහා භාණ්ඩාගාර ලේකම්, ආයෝජන මණ්ඩලයේ සභාපති, පොදු ව්‍යවසායක අධ්‍යක්ෂ, ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නියෝජිතවරු, ගෑස් සමාගම් දෙකේ සභාපතිවරුන් එම කමිටුවට අයත්වූහ. එම කමිටුව කරුණු අධ්‍යයනය කර ආණ්ඩුවට යෝජනා කළේ ලාෆ්ස් ගෑස් සමාගමට ගෑස් ආනයනය කරනු ලබන ලාෆ්ස් ටර්මිනල් සමාගමේ කොටස් සියයට 40 ක් පමණ ලිට්‍රෝ ගෑස් සමාගමට මිලදීගෙන ගෑස් ආනයනය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) වශයෙන් ක්‍රියාත්මක වුවොත් රටට විශාල ධනස්කන්ධයක් ඉතිරිකරගත හැකි බවය. එපමණක් නොව පවතින මිල ගණන් යටතේ දිගුකාලීනව පාරිභෝගිකයන්ට ගෑස් ලබාදිය හැකි බවද​ මේ කමිටුව පෙන්වා දී තිබුණි. නිරන්තරයෙන් ආරක්ෂණ තොගයක් රටේ පැවතීම නිසා වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩක් නැති බවද මේ කමිටුව පෙන්නාදී තිබූ තවත් කරුණකි.  


කැබිනට් අනුමැතිය නැත්තේ ඇයි ?


2020 අප්‍රේල් මාසයේ ලෝක වෙළෙඳපොළේ ගෑස් ටොන් එකක් ඇ. ඩොලර් 340 ක් පමණය. 2021 අප්‍රේල් වනවිට එම ගණන ඩොලර් 550 ඉක්මවා ගියේය. සියයට 200 ක පමණ මිල ඉහළ යාමකි. එහෙත් ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ ලැබුණේ නැත. ඒ අනුව ගෑස් සිලින්ඩරයකින් රුපියල් 600 ක පමණ පාඩුවක් දරා ගැනීමට ගෑස් සමාගම්වලට සිදුවිය. එම තත්ත්වයට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ සමාගම් එක්වී පිරිවැය අඩුකරගැනීමේ ක්‍රමයකට අවධානය යොමුකළ යුතු බවය. ඒ අනුව ඉහත කමිටුවේ යෝජනාද ඇතුළත්ව අගමැතිවරයා සහ වෙළෙඳ ඇමැතිවරයා ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් ඇමැතිමණ්ඩලයට ඉදිරිපත් කළේ මීට සති තුනකට පමණ පෙරදීය. එහෙත් මේ දක්වා එයට අනුමැතිය හිමිව නැත. රටක් හැටියට ප්‍රතිලාබ ලබාගත හැකි ජනතාවට සහන ලබාදිය හැකි යෝජනාවකට අනුමැතියක් හිමි නොවීම එක් පැත්තකින් බෙහෙවින්ම කනගාටුදායකය.  


බලශක්ති වෙළෙඳාමේ කොමිස් කාරයෝ සහ ඩීල් කාරයෝ බොහෝ වෙති. ගෑස් මෙට්‍රික් ටොන් එකක් ප්‍රවාහනයට ඩොලර් 105 කට වැඩි මුදලක් ලබා ගන්නෝ ඉහත කී යෝජනාවට වැඩ පිළිවෙළකට අකුල් හෙළති. බාල්දි පෙරළති. රටට ජනතාවට කුමක් වුවත් ඔවුන්ට කමක් නැත. මේ කොමිස් කාක්කන්ට අවශ්‍ය තම මඩිය තරකර ගැනීමට පමණි. ඇමැති මණ්ඩලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට යම් යම් නිරීක්ෂණ අවශ්‍ය බව කියමින් එය සම්මතවීම දිනෙන් දින ප්‍රමාද කරන්නේ මේ කොමිස් කාක්කන්ගේ සෙවණැලි දැයි අපි නොදනිමු. රටක් වශයෙන් ප්‍රතිලාභ ලබාගත හැකි වැඩ පිළිවෙළක් ජාතික වශයෙන් වැදගත් වැඩපිළිවෙළක් කඩා කප්පල් කිරීමට අසත්‍ය තොරතුරු පතුරුවමින් කටයුතු කරන අයද සිටිති. එනිසා මේවා හරිහැටි තෝරා බේරාගෙන කටයුතු කළ යුතුය.  


යෝජනා වී ඇති ක්‍රමවේදය අනුව සමාගම් දෙක එක්ව මිලදී ගන්නේ නම් පොදු ටෙන්ඩර් ක්‍රමයක් ඔස්සේ කටයුතු කළ හැකිය. වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා විට අඩු මිලක් යටතේ මිලදී ගත හැකිය. එවිට අතරමැදියන්ට අවස්ථාවක් නැත. කොමිස් කාක්කන්ට ඉඩක් නැත. ඇතැම් විට රටවල් දෙකක් අතර කෙරෙන ගනුදෙනුවක ආකාරයෙන් මෙම මිලදී ගැනීම් කිරීමට පවා අවකාශය නව ක්‍රමවේදයෙන් උදාකරගත හැකිය. එනිසා කොමිස්කාරයන්ට ඉඩ නොතබා තීන්දු තීරණ ගත යුතුය.


සටහන - චමින්ද මුණසිංහ