ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක පහක තිස් ලක්ෂයක් පමණ පොදු ජනතාව නියගයෙන් පිඩාවට පත්ව ඇති බව පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කළේය. ගොවිතැන් විනාශ වෙමින් තිබේ. ගොවීහු වතුර ඉල්ලා පාරට බැස ඇත. අනවසරයෙන් වැව් තාවලූ කපා ගොවිතැනට දිය සපයාගන්නට දරන උත්සාහ ගැන ද වාර්තා වෙමින් තිබේ. මෙම ප‍්‍රදේශ ද ඇතුළත්ව රට පුරා ජීවත්වන පොදු ජනතාව ඉහළ නගින ජීවන වියදම දරා ගත නොහැකිව සිටිති. අතට ලැබෙන ආදායම වැඩි නොවන අතර දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ හමුවේ ඔවුහු මහත් අසරණ තත්ත්වයට පත්ව සිටිති. මෙකී දුක්ඛාන්ත අතර අනාවරණය වන විස්මිත පුවතක් ද වෙයි. 2011 වසරේ දී ශ‍්‍රි ලාකිකයන්, සමාගම් හෝ සංවිධාන ස්විට්සර්ලන්තයේ රහස්‍ය බැංකු ගිණුම්වල ස්විස් ප‍්‍රෑන්ක් (franc)මිලියන 111 කට වැඩි ධනයක් තැන්පත් කර ඇති බවය. ලෝකයේ ඒක පුද්ගල ආදායම අතින් ධනවත්ම රාජ්‍ය  අතරින් සේ සැලකෙන ස්ව්ට්සර්ලන්තයේ ප‍්‍රෑන්ක් එකක් ඇමෙරිකානු ඩොලර් 1.04 ක් පමණ වන අතර මෙම මුදල මෙරට වටිනා කමෙන් රුපියල් බිලියන 15 ක් පමණ වෙයි. තිස් වසරක දරුණු ත‍්‍රස්තවාදයකින් දුක් වි`දිමින් සිටි රටක වැසියන්ගෙන් කොටසක් ස්විස් රහස් බැංකු වල ධනය තැන්පත් කරන්නට තරම් පොහොසත්වී ඇත්තේ කවර ආශ්චර්යයකින්ද?. ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම රටවල් ලැයිස්තුවේ අටවැනි තැන සිටී. 2011 වසරේ දී ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 81,161 ක් වෙයි. ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,399 කි. සුරිච් හා ජිනීවා ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගර ලැයිස්තුවේ දෙවැනි හා අටවැනි තැන ගෙන තිබේ.  සාමාන්‍ය බැංකු පද්ධතියට වෙනස් ආකාරයකට ස්විස් බැංකු හැසිරෙන්නට හේතුවක් එවකට තිබිණ. 1930 ගණන් වලදී දරුණු පාලකයන් ගේ නොයෙක් තර්ජන හමුවේ ලෝකයට වැඩදායක මිනිස්සු  අසරණ වූහ. ඔවුන් උපයාගත් ධනය ආරක්ෂා කරදෙන්නට ස්විස් බැංකු ඉදිරිපත් විය. නමක් ගමක් නොවිමසා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමට බාරදෙන මුදල් වෙනුවෙන් නිකුත් කළේ රහස්‍ය අංකයක් පමණකි. මෙම රහස් අංකය ඇති ලියැවිල්ල ඉදිරිපත් කරන පුද්ගලයා බැංකුවේ තැන්පත් ධනයට හිමිකම් කියන අතර ඔහු කවර රටක, කවර පසුබිමක කෙබදු ආකාරයට ධනය උපයන ලද අයෙක් දැයි සැලකිල්ලට ගත්තේ නැත. යහපතට සැකසුන මග ප‍්‍රයෝජනයට ගත්තේ දුෂිත අන්දමින් මුදල් රැස්කළ පිරිසයි. නොයෙක් වංචනික ආකාරයට උපයන ලද ධනය අනාවරණය කිරීම දඩුවම් විදින්නට සිදුවන වරදක් බව වැටහෙන විට මෙම ධනය ස්විස් ගිණුම්වල තැන්පත් විය.  ඕනෑම ආකාරයකින් ධනය උපයාගත් පසු එම වත්කම් වලට ආණ්ඩු අයකරන බදු වලින් ගැළවීමට ව්‍යාපාරිකයන් තෝරා ගත්තේ ධනය මෙම බැංකු වල තැන්පත් කිරීමයි. දුප්පතා ගෙන් බදු අයකරන ආණ්ඩුවලට ස්විස් බැංකු ගිණුමක ප‍්‍රෑන්ක් ලක්ෂයකට අඩුවෙන් බාර නොගන්නා ගිණුමක තැන්පත් කර ඇති මුදල වෙනුවෙන් කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයට පත්වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1996 දී ගණන් බැලූ ආකාරයට ලොව පුරා ඇති අනාවරණය නොකරන අතිවිශාල ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 600 ක සිට ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.5 දක්වා විශාල විය හැකිය. මෙය ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5 කි. ලෝකය පුරා කෙරෙන වෙළෙ`දාමෙන් සියයට 6-8 අතර ප‍්‍රමාණයක් අනාවරණය නොවී රහසිගතව බැංකු පද්ධතියේ තැන්පත් වෙතැයි ද සැලකේ. ශ‍්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 59 ක් වන විට මෙම ලෝකයේ රහසිගත මුදල් කන්දරාවේ තරම වටහා ගත හැකිය. ස්විට්සර්ලන්තය විශෙෂිත බැංකු ක‍්‍රමයක් මගින් රහසිගතව මෙම හෙළි නොකරන ධනස්කන්ධය එකතුකර ගන්නා විට ලෝකයේ තවත් රටවල් ද පසුව එම ක‍්‍රමයට අවතීර්ණ විය. සිංගප්පූරුව, ලක්සම්බර්ග් හා පිලිපීනය ඒ අතරය. ශ‍්‍රි ලංකාවේ ද කෙටි කාලයක් මෙම රහසිගත බැංකු සේවාව පැවති නමුත් පසුව අහෝසි කර තිබේ. ස්විස් ගිනුම්වල ධනය තැන්පත් කර ඇති අය ලෙස බෙහෙවින් චෝදනා ලබන්නේ දේශපාලනඥයෝය. සංවර්ධන යෝජනා ක‍්‍රම වලදී හුවමාරු වන අරමුදල් වලින් උපයා ගන්නා විශාල ධනයෙන් දේශපාලනඥයෝ ඉක්මනින් ධනවත් වෙති. මෙම ධනය මැතිවරණ වලදී වියදම් කරන්නට අවශ්‍යය. බලය පවත්වාගෙන යන්නට වුවමනා මුදල උපයා ගන්නේ නීති විරෝධී ආකාරයටය. නොයෙකුත් දුෂිත හා අක‍්‍රමිකතා වලින් උපයා ගන්නා මුදල් තමන්ගේ නමින් හෝ ඥාතියකුගේ නමින් පිළිගත් බැංකුවක තැන්පත් කරන්නට නොහැකි අවස්ථාවේ දී ඔවුහු ස්විස් රහස්‍ය බැංකු සොයා ඇදෙති. අනෙක් පිරිස ව්‍යාපාරිකයෝය. ගනුදෙනුවලදී හරි හම්බ කරන ධනය නිසි ලෙස හෙළි කළහොත් ආණ්ඩුවට ගෙවන්නට සිදුවන බදු අසීමිතය. මෙම බදු ගෙවීම වළකාගත හැක්කේ විදේශ වෙළෙදාමෙන් උපයන ධනයෙන් යම් කොටසක් රටට ගෙන්වා ගැනීම වළකා රහසිගත බැංකුවල තැන්පත් කිරීමයි. නීතිඥයන්, වෛද්‍යවරුන්, නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් තමන් උපයන ධනය ප‍්‍රසිද්ධ කිරීමෙන් වළකා ගැනීමට ස්විස් ගිණුම් අරඹන බව ප‍්‍රකට රහසකි. ඔවුන්ගේ පැත්තෙන් නගන තර්කය වී ඇත්තේ තමන් උපයන ධනය අණ පණත් ඉදිරිපත් කර ආණ්ඩුව පැහැර ගැනීම අයුක්ති සහගත බව යන්නයි. මැර කණ්ඩායම් හා වංචනිකයන් උපයා ගන්නා ධනය උපායශීලී අන්දමට මෙම බැංකුවල තැන්පත් කරන ලද බවටද තොරතුරු හෙළිවෙයි. විශෙෂයෙන් ආයුධ සහ මත් ද්‍රව්‍ය වෙළෙදාම ලෝකය පුරා තහනම් නමුත් එය අති විශාල අන්දමින් පැතිරුණ එකකි. එයින් නිපදවෙන ධනය සිතා ගැනීමට පවා නොහැකිය. මෙම ධනය සම්ප‍්‍රදායික බැංකුවල තැන්පත් කරන විට පරීක්ෂණවලදී අනාවරණය වෙයි. එය ප‍්‍රශ්න සහගතය. මෑත කාලයේ දී ත‍්‍රස්තවාදී කණ්ඩායම් හා රාජ්‍ය විරෝධී සංවිධාන මෙම රහස්‍ය ගිණුම් පාවිච්චි කරන ලද බවට තොරතුර පැතිර ගියේය. ආයුධ මිලදී ගැනීම, සන්නද්ධ කල්ලි වෙනුවෙන් වියදම් කිරීම ස`දහා පරියෝජනයට ගන්නා තෙක් මුදල් තැන්පත් කෙරුණේ ස්විස් ගිණුම් වලය. කාලීන අවශ්‍යතාවක් උදෙසා ඇරඹුණ රහස්‍ය බැංකු සේවාව අවසානයේ දී වංචනිකයන්, ත‍්‍රස්තවාදීන් හා කුමන්ත‍්‍රණ කරුවන්ගේ ධනය සුරකින ව්‍යාපාරයක් බවට පත්වීම ඛේදවාචකයකි. දත්ත දක්වන අන්දමට ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත් කරන ලද ධනයෙන් තුනෙන් එකකට ආසන්න ප‍්‍රමාණයක් ලෝකයේ නොයෙකුත්  රටවල බදු වලින් නිදහස් වීමේ අරමුණෙන් තැන්පත් වූ ඒවා බව ඔප්පුවිය. දුෂිත ධනය උපයන්නන්ට ස්විස් බැංකු ක‍්‍රමය සුරපුරක් බවට පත්විය. ක‍්‍රමයෙන් එම පරිවර්තනය සිදුවන විට සම්මත සමාජයෙන් එන පීඩනය වළකා ගැනීම පහසු එකක් නොවීය. ස්විස් බැංකු කරුවන්ට එහි පීඩනය දැනෙන්ට පටන් ගත්තේය. ජී 20 කණ්ඩායම, යුරෝපීය රටවල් තිස් හතරක එකමුතුවෙන් සකස් වූ ආර්ථික සහයෝගීතා සංවිධානය ස්විස් ක‍්‍රමයෙන්  පුද්ගලයන්ගේ තොරතුරු හෙළි කෙරෙන ඉලක්කම් වලට මුදල් තැන්පත් කරන ක‍්‍රමයට එරෙහිව මතයක් ගොඩනගාගැනීය. එය මෑත කාලීනව විශාල න්දෝලනයකට තුඩුදුන් එකකි. පසුව ඇමෙරිකානු පාර්ලිමේන්තුව 2010 ජුනි 17 වැනිදා විශේෂ පණතක් සම්මත කරමින් තම පුරවැසියන් පන්දහසකට ආසන්න පිරිසකගේ බැංකු ගිණුම්වල විස්තර කෙළින්ම ගෙන්වා ගත්තේය. විශේෂයෙන් අල් කයිඩා ත‍්‍රස්තවාදය උත්සන්නව ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල වන විට මෙම ත‍්‍රස්තවාදීන් මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළෙදාමෙන් මුදල් උපයා ඒවා රහසිගත බැංකුවල තැන්පත් කරන ආකාරය අනාවරණය වන්නට පටන් ගත්තේය. ඇමෙරිකාව එයට එරෙහිව නීති සකස් කළ අතර ජාත්‍යන්තරව එයට යහපත් ප‍්‍රතිචාර ඇතිවිය. පසුව ස්විස් බැංකු 11 ක් ඇමෙරිකානුවන්ගේ ගිණුම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 780 ක් පමණ බදු නොගෙවීමට එරෙහිව දඩ වශයෙන් ගෙවන ලද බව සදහන්ය. විකී ලීක්ස් නිර්මාතෘ ජුලියස් ඇසෙන්ජර් ද රහස්‍ය බැංකු ගිණුම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළේය. ඔහුට අනුව විශ‍්‍රාම ගිය ස්ව්ස් බැංකු නිලධාරියකු ලෝකයේ දේශපාලනඥයන් 2000 කගේ බැංකු ගිණුම් සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු ඔහුට බාර දී ඇත. එම තොරතුරු සපයා ඇත්තේ දත්ත සහිත සී. ඞී. දෙකකින් බව ප‍්‍රකාශවන නමුත් මෙම පුද්ගලයන් කවුදැයි මෙතෙක් නිල වශයෙන් හෙළිදරව් වී නොමැත. 2011 වසරේ දී ශ්‍රී ලාකිකයන්, සමාගම් හෝ සංවිධාන ස්විට්සර්ලන්තයේ රහස්‍ය බැංකු ගිණුම්වල ස්විස් ප‍්‍රෑන්ක් රේබජ මිලියන 111 කට වැඩි ධනයක් තැන්පත් කර ඇති බව මේ අතරවාරයේ දීය. ස්විස් ජාතික බැංකුවේ වාර්ෂික වාර්තාව මෙම ලේඛනය ඉදිරිපත් කරන ලද බව ෘ්සකහ ත්‍ඔ පුවත්පත කතුවැකියක් ද ලියමින් අනාවරණය කළේය. තවත් මාධ්‍ය මෙම තොරතුරු මෙයට වඩා අඩු වැඩි දත්ත සහිතව ඉදිරිපත් කරයි. නමුත් සත්‍ය දන්නා පිරිස අතලොස්සකි. මේ රටේ දුගී දුප්පත් ජනතාව මෙම ස්විස් බැංකු හෝ ඒවායේ අතිවිශාල ධනයක් තැන්පත්කර ඇති අදිසි මිනිසුන් ගැන නොදනිති. ශ‍්‍රී ලංකාවේ පවතින ක‍්‍රමය අනුව මුදල් උපයන්නට වුවමනා තරම් මාර්ග ඇත. ඒවා වළකන නීති ඇත්තේ අසරණයන් වෙනුවෙන් පමණකි. දන්නා කාලයේ දී යතුරු පැදියක් පවා නොතිබුණ දේශපාලනඥයන් බලයට පත්ව අවුරුදු පහ හයක් ගතවන විට ඔවුන් ගත කරන ජීවිතය පුදුමාකර එකක් බවට පත්වෙයි. මෙම මුදල් උපයා ගත්තේ කෙසේදැයි දන්නා කෙනකු නැත. සුළු ව්‍යාපාරයක් අවුරුද්දක් දෙකක් ඇතුළත මහා විශාල ධනස්කන්ධයක් හිමි ව්‍යාපාර ජාලයක් බවට පත්වෙයි. ඉන්පසු මෙම ව්‍යාපාර හිමිකරුවන් පිවිසෙන්නේ දේශපාලනයටය. මෙම ධනය හිමිවූ ආකාරය ගැන ප‍්‍රශ්න කරන සියල්ලන් නිහ`ඩය. මහජනතාව සීනි කිලෝවකින්, පරිප්පු කිලෝවකින් ආණ්ඩුවට බදු ගෙවමින් රට දියුණු කරන්නට කැපවන අතර මහා මන්දිර තනා පාවෙන මාලිගාවල සැරිසරන වංචනිකයෝ කිසිදු හිරිකිතයකින් තොරව ස්විස් ගිණුම් පවත්වාගෙන යාම අරුමයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය අනුව මෙවැනි දේ සිදුවෙමින් පවතී. ප‍්‍රශ්න කිරීම වරදකි. බලය ඇති තැන ධනය ද එකතු වන අතර ධනය ආරක්ෂා කර ගැනීමට ද ක‍්‍රමය සැකසෙයි. ආණ්ඩු වංචා දැල එළන්නේ මහ පාරේ දඩ කොළයක් වෙනුවට රුපියල් පණහක් ඉල්ලන පොලිස් රාළහාමිටය. කැලේ ගහක් කපා ගන්නට කීයක් හෝ අත මිට මොලවා ගන්නා ග‍්‍රාම නිලධාරියාටය. දරුවකු පාසලට ඇතුළත් කර ගන්නට පීරිසි කුට්ටමක් ඉල්ලන විදුහල්පතිවරයාටය. ස්විස් ගිණුම් හිමිකරුවන් කවුදැයි සොයා බැලීමේ වගකීමක් රටට තිබේ. මෙම ගිණුම්වල එකතු වී ඇත්තේ ජාතික ධනයයි. රටට බදු නොගෙවා වංචනික ක‍්‍රමවලින් උපයන ලද මුදල බව නිසැකය. අල්කයිඩා මුවාවෙන් ස්විස් බැංකු ගිණුම් වල තොරතුරු ගන්නට ඇමෙරිකාවට හැකියාව ලැබුණු ආකාරයට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය මර්දනය කළ ආණ්ඩුවකට ශ‍්‍රී ලංකාවට සම්බන්ධ ස්විස් ගිණුම් ගැන තොරතුරු අනාවරණය කර ගැනීම අපහසු විය නොහැකිය. අවශ්‍ය ක‍්‍රමවේදයක් පමණකි. නමුත් යමකු මෙවැනි අපරාධයක කොටස්කරුවන්වී සිටින්නේ නම් එවැනි පුද්ගලයන් රටට වැදගත්වන ජාතික කර්තව්‍යයකට යොමු කරවා ගැනීම පහසු නැත.
සාරා කන්දෙගොඩ