ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින් මේ ප‍්‍රදේශයේ සේවය කර ඇවිද පළපුරුදු අයෙකි. පළමුව විජිතපුරයෙන් බැස එහි තොරතුරු සොයා බලා ඉන්පසු අව්කන ගොස් අව්කන පිළිමය බලා ආපසු නවාතැනට එනවිට දහවල් එකොළහ පමණ විය.මුළු පරිසරයම ගිනියම් අව්වෙන් පිළිස්සෙයි. කලා වැවේ වැව් බැම්ම දිගේ වාහන ඇදෙන විට වැව් දිය තෙමා ගත් සුළඟ වැදී ගත සිත නිවෙයි. සාගරයක් බඳු කලා වැවේ ජලය පිසගෙන එන සුළඟ සිරුරේ වෙහෙස උරා ගනියි. වැව් බැම්ම වටා උස්ව රූස්ස ලෙස වැඩුණු ගහකොළ යට ඇති හෙවණ ගිනි ගහන මද්දහන වෙලාවට අපමණ සුවයක් ලබාදෙයි. අපි කලා වැව බැම්මේ සිසිල් ගස් සෙවණක් යට ඉඳගෙන වැව දෙස බලා සිටියෙමු. ජයතිලක කතාවට මුලපුරයි. කලාවැව කිව්වට ඇත්තට මෙතැන වැව් දෙකක් තියෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ කරපු කලා වැවයි ඒ යාවම තියෙන බළලූ වැවයි. වැව් දෙකක් නැත්නම් කීපයක් එකට කරලා හදන එක ”බද්ධ වැව්” කියලා හඳුන්වනවා. වැව් දෙකක් එකතු කළාම ”ජෝඩු වැව්” කියනවා. පූජාවලිය කියන පොතේ මේ වැව හඳුන්වන්නේ කලා බළලූ වැව කියලා. වැව් දෙක වෙන්වෙන තැන පුංචි බිම් තීරුවක් දුපතක් වගේ තියෙනවා. පේනවද? අපි කලා වැව දෙස බැලූවෙමු. මුස්ලිම් ධීවර පිරිසක් මාළු අල්ලා ගත් ඔරු කීපයක් ගොඩට එති. ධාතුසේන රජ්ජුරුවෝ කරපු අන්තිම ඉල්ලීම තමා කලා වැවේ නාන්න ඉඩ දුන්නොත් තමා සඟවාගෙන ඉන්න වස්තුව පෙන්නනවා කියලා. නාන්න ඉස්සර ධතුසේන රජ්ජුරුවෝ විජිතපුර විහාරයට ගොස් තමන්ගේ නෑදෑවන හාමුදුරු නමකගෙන් බණ අහලා තමා කරපු කලා වැවට බැහැලා හොඳ හැටි දිය නාලා මා සතු එකම වස්තුව මෙපමණයි කියලා කලා වැවේ දිය දෝතක් අරන් කාශ්‍යපට පෙන්නුවාලූ. කාශ්‍යප කුමාරයා තදින් තරහ ගිහින් ධාතුසේන පිය රජ්ජුරුවෝ පණපිටින් බිත්තියකට තියලා මැටි ගහලා මරන්න නියම කළායි කියැවෙන්නේ. ඒකත් ධාතුසේන රජ්ජුරුවන්ට බලපාපු කර්ම විපාකයක් කියල කියනවා. කලාවැව බඳිද්දී එතැන භාවනායෝගීව හිටපු හිමි නමක් පස් කන්දට යට කරලා මැරෙව්වාලූ. ධාතුසේන රජ්ජුරුවන්ට පළදුන්නේ ඒකෙ විපාකෙලූ. මේ වැව බාරව හිටපු මුරකාරයා වැවට පැනලා මැරිලා යකෙක් වෙලා ඉපදිලා ඉන්න කතාවක් තියෙනවා නේද? මම විමසුවෙමි. ඔව් බිරිඳත් එක්ක අමනාප වෙච්ච මිනිහෙක් කාලයක් වනාන්තර ගතවෙලා සත්තුත් එක්ක ගැවසුණා. මේ පණිවිඩය වැද්දෙක් රජ්ජුරුවන්ට දැන්නුවා. ධාතුසේන රජ්ජුරුවෝ මේ මනුස්සයා කොටුකර අල්ලා ගත්තා. වනාන්තරයේ විස්තර අහලා. ස්වභාවික තැනිතලාවක ජල කඳක් රැඳිලා තියෙන බව ඔහු රජ්ජුරුවන්ට පෙන්වා දුන්නා. මේ ස්වභාවික ජලතලාව විශාල කර බැඳලා තමා කලාවැව හැදුවේ. රජ්ජුරුවෝ ඒ මනුස්සයාටම වැව බලාගන්න රාජකාරියත් පැවරුවා. විශේෂයෙන් ගංවතුර වෙලාවේ වැඩි වතුර පිටවෙන එක හෝදිසි කරන්න වැව් බැම්මේ උපකරණයක් හයිකරල තිබුණා. දවසක් අන්ධ හාමුදුරු නමක් වැව් බැම්ම දිගේ යනවිට හැරමිටිය වැදිලා වර්ෂා මාපක යන්ත‍්‍රය බිඳුණා. එදා රෑ වර්ෂාව වැඩිවෙලා වැව් බැම්ම කැඞී ගියා. තම වැරැද්දෙන් වැව් බැම්ම බිඳුණු බව දැනගෙන අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා. කලා වැවට අධිපති පනම්බණ්ඩාර කියලා දෙවි කෙනකුත් ඉන්නවා නේද? යි මම ඇසීමි. ඔව්... කලා වැවේ අඩවියේ පනම්බණ්ඩාර දෙවියෝ අදහනවා. රාත‍්‍රි කාලයේ පනම්බණ්ඩාර දෙවියෝ සුදු අශ්වයා පිට නැගලා කලා වැව දිගේ යනවා. මේ පැත්තේ අය අවුරුද්දකට සැරයක් පනම්බණ්ඩාර දෙවියන්ට දානයක් දෙනවා. දානය බෙදන්නේ නෙළුම් කොළවල. වතුර අඩුවුණාම කලාවැව බළලූ වැව හොඳට වෙන් වෙලා පේනවා. ඉස්සර මේ වැව් දෙක අතර බිම් තීරුවේ කුවේණිට කැපවුණු කෝවිලක් තිබිලා තියෙනවා. කුවේණි කෝවිලේ බලපෑම ගුප්තය. බලය තාම තියෙනවා. ඒ කීවේ? මම විමසුවෙමි අවුරුද්දකට සැරයක් නොවරද්දාම කුවේණි කෝවිලට බිල්ලක් ගන්නවා. සමහර වෙලාවට බිල්ලට ගත්තු අයගේ මිනිය හොයා ගන්නත් අමාරුයි. මේ ළඟදී සිද්ධ වුණු කතාවක් මම කියන්නම්. ඈත පළාතක ඉඳලා පෝසත් පවුලක් වන්දනාවේ ආවා. තරුණ සැමියයි බිරිඳයි පුංචි දරුවකුයි කාර් එක පාර අද්දර නවත්තලා කෑම බීම අරගෙන මේ බිම් තීරුවට ඒ අය ආවා. තද අව්ව වෙලාවේ ගස් යට ගොම්මනේ ඒ අය ඉටි රෙද්දක් එළාගෙන කෑම කෑවා. දරුවා මැද්දෙන් හාන්සි වුණා. තරුණ ජෝඩුවටත් සුළෙඟ් සනීපයට නින්ද ගියා. පැයක් පමණ නින්දේ හිටපු ගැහැණු කෙනා අවදි වෙලා බැලූවා. සැමියා නිදි දරුවා නෑ. වාහනයටත් ගිහින් බැලූවා. දරුවා වාහනයෙත් නෑ. වටපිට හොයලා දරුවා නැතිව ඒ අය විලාප දුන්නා. ළඟපාත අය ඇවිත් හෝදිසි කරන කොට දරුවගේ මළ සිරුර වැවේ වතුර යට. පැය ගණනක් මහන්සිවෙලයි ගොඩ ගත්තේ. කුවේණි කෝවිල ළඟ බිලිගන්න බව ඒ අය දැන සිටියේ නෑ. ජයතිලක කීවේය. ජයතිලකගේ කතාවෙන් මගේ හිත දැඩි ලෙස සසල විය.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන