1   5  

 

උතුරට යන  ඕනෑම අයෙකු පළමුවෙන්ම ප‍්‍රියකරන්නේ යාපනේ මිදි සහ මන්නාරම් කරවල මෙන්ම යාපනේ කරවල මිලට ගැනීමටය. ධීවර කර්මාන්තයේ තවත් එක් පැතිකඩක් වන්නේ් කරවල වෙළඳාමයි. මෙය මන්නාරමේවත් යාපනේවත් කරවලවල රසභාවය පිළිබඳව හෙළිදරව්වක් කිරීම නොව වෙළෙඳපොළේ දකින යාපනේ කරවලයා වේළෙන්නේ කෙසේද යන්න පිළිබඳව යම් විග‍්‍රහයක් කිරීමටය.ශ‍්‍රී ලංකාවේ ඉස්මුදුනින් පිහිටා තිබෙන්නේ යාපනය පේදුරුතුඩුවයි. පේදුරුතුඩුව යාපනය ජනතාවට නම් ප‍්‍රසිද්ධවී ඇත්තේ ධීවර කර්මාන්තය සඳහාය. එයිනුත් කරවල වෙළඳාම සඳහා පේදුරුතුඩුව මහත් ප‍්‍රසිද්ධියක් උසුලයි. නමුත් කරවලවලට එලෙස ප‍්‍රසිද්ධියක් ලැබුණ ද මුහුදෙන් අල්ලාගන්නා මත්ස්‍යයා කරවලයා බවට පත්වෙන්නේ කුමන වෙහෙසකට පසුවද යන නිදාන කතාව බොහෝදෙනකු නොදැන සිටිති.උතුරු කෙළවර වූ පේදුරුතුඩුව මුහුදු තීරයේ කරවල වෙළෙඳාම සිදුකරන ධීවරයින්ට සිය කරවල වෙළෙඳාම සිදුකිරීමේදී මෙන්ම මසුන් ඇල්ලීමේදී ගැටලූ රැසකට මුහුණපෑමට සිදුවීම නිසා තමන්ට ආර්ථික වශයෙන් මෙන්ම නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණපෑමට සිදුව ඇති බවට යාපනය පේදුරුතුඩුව කරවල ධීවරයෝ කියා සිටිති.

6


ඉන්දු - ශී‍්‍ර ලංකා ධීවර ගැටලූවට මේ වනතුරුත් දෙරටේම බලධාරීන් විධිමත් විසඳුමක් ගෙන නොමැති හෙයින් මෙරට ආර්ථිකයට පිටුවහලක් වන උතුරු ධීවර කර්මාන්තය මෙන්ම උතුරේ ධීවරයින් පත්ව ඇත්තේ දැඩි අවදානම් තත්ත්වයකටය.

යුද්ධයට පෙරත් සහ පසුවත් කරවල වෙළෙඳාම් කරන මේ වැසියන් සිය ජීවිකාව සිදුකරනු ලබන්නේ අනේකවිද වූ ගැටලූ සමුදායක් සමගය. ස්ථීර නිවසක් නොමැතිවීම, පිරිසිදු පානීය ජලය නොමැතිවීම, සිය ජීවිකාවවන කරවල වෙළෙඳාමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම හා මුහුදේ මසුන් ඇල්ලීමේදී සිදුවන බාධකයන් ප‍්‍රධාන ගැටලූවන අතර ඊට අමතරව එදිනෙදා ජීවිතයේ බොහෝ ගැටලූවලට මේ වැසියෝ මුහුණ දෙති.


පේදුරුතුඩුව කරවල වාඩියෙහි කට්ට අව්වෙහි කරවල වේළමින් සිටි කේ. බාලමුත්තු ධීවරයා කියා සිටියේ මෙවැන්නකි.

2
”අවුරුදු ගානක් තිස්සේ අපි ලංකාවේ අවසාන මුහුදු සීමාවේ ඉඳන් කරවල වේළනවා. නමුත් අපි හැමදාම එකම තැන. මේ වෙනකම් කිසිම දියුණුවක් නැහැ. එදා වේල හොයාගත්තු එක විතරයි වුණේ. අපි දවසකට වේළන කරවල තොගයේ හැටියට අපි මේ වෙනකොට හොඳ පෝසත් මිනිස්සු. නමුත් වේළන කරවල විකුණගන්න විදිහක් නෑ. ප‍්‍රවාහනය කරගන්න ක‍්‍රමයක් නෑ. දවස පුරා වේළන කරවල එක එක වෙළෙන්ඳන්ට කුණුකොල්ලෙට දෙන්න වෙලා. අපේ ජීවිතත් මෙහෙම කිසිම වටිනාකමක් නැතිවම වේළිලා යයි”


”යුද්දෙට පෙරත් අපි මෙහෙම ධීවර රස්සාව කළා. එතකොට අපිට අතමිට සරු නොවුනේ එල්.ටී.ඊ.එකේ කප්පම්කාරයෝ අපි අල්ලන මාලූන්ගේ අදායමින් 80%ක්ම ගත්ත නිසා. එදා ඉතින් අපි එදා වේල පිරිමහගත්තේ දහදුක් විඳලා. මොකද වැඩියෙන් මාලූ ඇල්ලූවේ නැත්තම් අපිට මාලූ නෑනේ. ඔක්කොම ටික අර අයට දෙන්න වෙනවානේ. මාලූ අල්ලලා විකුණන එකට වඩා කරවල වේළලා විකුණන එක ටිකක් ලාබ වුණා. මොකද මාලූ අල්ලන දවසෙම ඒ අයට කප්පම් දෙන්න  ඕනැ නෑනේ. කරවල වේළලා එ්කෙන් ලැබෙන මුදල්වලින් අපිට එදාට ජීවත්වෙන්න  ඕනැ මුදල් තියාගෙන අනිත් ඒවා දුන්නා. දරුවෙක් වෙනුවෙන්වත් කිිසිම ඉතුරුවක් නම් වුණේ නැහැ. එදා කරවල වේළන්න පුරුදුවෙච්ච එක තාම අවුරුදු 10කට වැඩිය මේකම තමයි. හැබැයි අපි තාමත් එකම තැන.”


”යුද්දේ ඉවරවුන එක අපිට ලොකු සතුටක් වුණා. මොකද අපිට නිදහසේ ධීවර රස්සාව කරගන්න පුලූවන් වුණ නිසා. බොරු කියන්නේ මොකටද, යුද්දෙට ඉස්සරවෙලත් මගේ ගෙදරනම් තාවකාලික ගෙදරක්. මොකද අපේ ගෙවල් මුහුද අයිනෙමනේ තියෙන්නේ. මේ ඉඩම්වත් අපි හිටියට අපිට අයිතියක් නෑනේ. කොයි වෙලේ මුහුදු රළින් මේ ගෙවල් විනාශවෙයි ද කියන බයත් එක්කයි අපි හිටියේ. යුද්දේ ඉවරවෙලා අපි මේ පළාතේ ආයෙත් ධීවර රස්සාව කරන්න එනකොට නම් අපේ තිබුණ ගෙවල්වල කොහොමටවත් ඉන්න බැරි තරමට ඒවා දිරලා තිබුණේ. ඉතින් අපි බොහොම අමාරුවෙන් පොල්අතු පැලක් අටවගත්තා. දැන් අවුරුදු 2කට වැඩියි. ජීවිතේ ගොඩදාගන්න විඳින්නේ නැති දුකක් නැහැ. දැන් අපිට අපේ ජීවිත දියුණු කරගන්න කාලයක් නැහැ. එත් අපේ ළමයින් වෙනුවෙන්වත් ඉන්න හිටින්න ස්ථීර නිවසක්වත් හදාගන්න  ඕනැ. ඒකට මේ වෙනකම් කිසිම කෙනෙකුගෙන්වත් උපකාරයක්වත් නැති නිසා අපි බොහෝම අසරණවෙලා ඉන්නේ.”

3

යාපනය පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ධීවර වෙළඳාමත් අනතුරුව කරවල වෙළඳාමත් සිදුකරන මේ ජනතාවගේ බොහෝ ගැටලූ තිබෙන බවට එහි ගියවිට දක්නට ලැබිණ. දවස පුරා මුහුදු රළත් සමග පොරබඳින මේ මිනිසුන් සිය නිවසට පැමිණි පසු ද නිදහසක් නොමැත. ඉන් අනතුරුව සිය බිරින්දෑවරුන් හා දරුවන් සමග ද අල්ලනු ලැබූ මාලූ අව්වෙහි දමා වේළීම සිදු කරති. කරවලූන් සමග වේළෙන මෙම ජීවිතය පිළිබඳව මීළඟට අදහස් කියා සිටියේ කරවල වාඩියේ සිටි සින්නතුරෙයි පෙරුමාල් විසිනි.


”යුද්දෙට පස්සේ අපි මුහුදු රස්සාව කරලා හොඳින් ජීවත්වෙන්න හිතන් තමයි අපි මේ රස්සාව අයෙත් පටන්ගත්තේ. නමුත් අපිට වෙන කරදර දෙයියො තමයි දන්නේ. කොහොමද කියනවනම් අපි පාන්දරම මුහුදු යන්නේ. එහෙම යනකොට බොහෝවිට ඉන්දීය ධීවරයො අපේ දැල් ඉරලා විනාශ කරලා. එහෙම නැත්තම් ඒ කට්ටිය එක පාරටම අපි ඉන්න පැත්තට ඇවිත් අපිට ගහලා අපේ මාලූත් අරන් යනවා. දැලක් විනාශ වුණාම අපිට දැලක් ගන්න තරම්වත් වත්කමක් නැහැ. දහඅතේ ණයවෙලා තමයි මාලූ දැලක් ගන්නෙත්. යුද්දෙට ඉස්සෙල්ලා මේ ප‍්‍රශ්න තිබුණේ නැහැ. මේ වෙනකම් ආණඩුවටත් බැරිවුනා මේ ප‍්‍රශ්නෙටවත් විසඳුමක් දෙන්න. මේක රටවල් දෙකක ප‍්‍රශ්නයක් වෙලත් ඇයි තමන්ගේ රටේ සීමාවට නීති දාන්න බයවෙන්නේ. ආණ්ඩුව ඉන්දියාවට බය නිසයි මෙහෙම වෙන්නෙ කියලයි අපි හිතන්නේ. දැන් අලූතෙන් පළාත් සභාව තිබ්බා ඒකෙන් පත්වෙච්ච අයවත් මේ ගැටලූවලට විසඳුමක් දෙයිද කියලා අපි බලන් ඉන්නවා. එහෙම දුක්විඳලා ගේන මාලූ වේළලා අපිට විකුණගන්න විදිහක් නෑ. ඒකත් කුණුකොල්ලෙට දෙන්න වෙලා. වේළගන්න කරවල ටික නගරෙට අරන් යන්න විදිහක් නෑ. මේ දවස්වල කරවල වෙළඳාම නම් හොඳයි. නමුත් ඒවා විකුණගන්න විදිහක් නැති එකයි ගැටලූව. අපේ ජීවිත මේ විදිහට වේළිලා යන්න නොදී අපිට විසඳුමක් ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.

4

 

මේ පිළිබඳව උතුරේ එක්සත් ධීවර සංගමයේ සභාපති එස්. එමිලියාස් පිල්ලේ මහතාගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ,


‘‘යාපනයේ නැවත පදිංචි වූ ධීවරයින්ට ඇතුළු සියලූම ධීවරයින්ට සිය ධීවර කටයුතුවලදි බොහෝ ගැටළු තිබෙනවා. ඒක පේදුරුතුඩුව ධීවරයින්ටම සීමාවුණු එකක් නෙමෙයි. පේදුරුතුඩුව ධීවරයින්ගේ මේ ගැටලූව ඇත්ත තමයි. නමුත් මේ ගැටළු පිළිබඳව ධීවර අමාත්‍යංශයේ අදාළ බලධාරීන්ට කිහිප අවස්ථාවකදීම ලිඛිතව පවා දැනුම් දීලා තියනවා. මට කරන්න පුලූවන් එපමණයි. එතනින් එහාට මේ ධීවරයින්ට විසඳුම් දෙන්න  ඕන රජයේ බලධාරීන්.


කරවලයා නම් දින කිහිපයක් වේළි අපේ අහාරයක් වෙයි. නමුත් ජීවිත කාලයම මුහුදේ සහ ගොඩඩබිමේ කට්ට අව්වේ වේළෙන මේ ධීවරයින්ගේ ජීවිත මිලක් ඇති කරවලයාට වඩා අසරණවී ඇත. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් කුමන අයුරකින් විසඳුම් දිය යුතුද යන්න අදාළ බළධාරීන් විසින් සිහියට ගත යුතුය.


m