හිරු ඇහැරේ... එහෙත් සුවහසක් සියොත් සමූහය ඇස් අරින්නේ හිරුටත් කලිනි. සතුන්ගේ විවිධ රිද්මායානුකූල සංගීත සංධීවනියෙන් මුළු වනාන්තරයම අවදි වන්නේ හිරු ඇහැරෙන්නට හෝරාවකට දෙකකට පමණ පෙරාතුවය. හිරු එළියක්වත් නොවැටෙන මහා ඝනඅන්ධකාරයේ අඳුරු ගුහාවට නෙත් යොමුකරන ගවේෂකයා තවමත් ගෙවුණු රාත‍්‍රියේදී ගස් දෙකක එල්ලාගත් හැමොකය මත සැතපුණ ගමන්මය. ඔහුට නින්ද ගියේ නැති තරම්ය. නිදි දෙව්දුව ඇමේසන් වනයට අධිපතිත්වය දරන්නේ නැතුවා විය යුතුය. ඇත්ත වශයෙන්ම මේ රාත‍්‍රිය පුරාවටම මුළු වනයම වනයේ වෙසෙන සතුන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් සිටියේ අවදියෙනි. සමහරෙක් නිශාචරයෙකි. උන්ගේ ගොදුරු ලොබ  නිසා දිවාචරයකුට වුව හිතේ සැනසිල්ලෙන් නිදාගන්නට හැකියාවක් නැති නිසාය.ගවේෂකයා පසෙක වූ විදුලි පන්දම ගෙන හාත්පසට එල්ල කළේය. එහි වූ තියුණු එළිය වනපෙතට එල්ලවිය. මදක් ඇතින් වූ මේ තුඹස අසල කිසියම් සතෙකි. ගෙවුණු හැන්දෑවේ මිනිසකු තරම් උස්ව බැඳුණු මේ තුඹස දෙස ඔහු බලා සිටියේ පුදුමයෙනි. ඒ තරම් උස වේ තුඹසක් ඔහු ඇමේසනයට පිටතදී දැක නොතිබූ බැවිනි. තුඹස මෙච්චර ලොකුනම් මේකෙ ඉන්න වේයො කොච්චර ලොකු ඇත්දැයි ඔහුට සිතිණි. තුඹස ඉදිරිපිට සිටගෙන සිටියේ සතෙකි. එහෙත් ඌ අමුතුම ආකාරයක සතෙක් බව ගවේෂකයාට බැලූ බැල්මටම පෙනී ගියේය. ඇත්ත වශයෙන්ම එය යක්‍ෂ අවතාරයක් වැන්න. කකුල් දෙකෙන් සිටගෙන අත් දෙකෙන් වේ තුඹස හාරමින් සිටි උගේ මුහුණ දිගටි එකකි. එවන් සත්ව මුහුණක් ඔහු ඊට පෙර දැක තිබුණේ නැත. එහෙත් ඇමේසන් වනයේ වෙසෙන අමුතු අමුතු සතුන් පිළිබඳව ඔහු බොහෝ තොරතුරු රැස් කළේය. යෝද කූඹි කන්නා ගැන ඔහුට කියවන්නට ලැබුණේ ඒ වෙලාවේය. ඇමේසන් වනයේ වැඩි වශයෙන්ට වාසය කරන මේ අමුතු සතාගේ කටෙහි දත් නැත. ඒ වෙනුවට ඇත්තේ දිගු දිවකි. මේ දිගු දිවෙහි ආධාරයෙන් කුඹින් හා වේයන්  තම කුස තුළට ගන්නා ඌ ඒ සමඟ කුසට ඇතුළු වන පස් කුසෙහි වෙනම කොටසක තැන්පත් කරගනී. හැබැයි ඒ පස් පසුව ක‍්‍රමයෙන් දියවී යන බැවින් ඌට ඒ පස් ගබඩාව හානිදායක වන්නේ නැත. කූඹිකන්නා නිශාචරයකු වන නමුත් ඇමේසන් වනයේදී නම් ඌ රාත‍්‍රියට පමණක් සීමා වන්නේ නැත. දවල් දවසේද ආහාර සොයාගෙන යන්නේය. ඒ අතරතුර හමුවන ගුහාවකට රිංග ගෙන වකුටු වී නිදාගන්නා ඌ සිය වලිගයෙහි ඇති ලොම් කබායෙන් මුළු ඇඟම වසා ගන්නේය. මීටරයක් පමණ දිග වලිගයේ සෙන්ටිමීටර් හැත්තෑවක් පමණ දිගට ලොම් කබායක් පිහිටා තිබෙන බැවින් ඌට තම සිරුර මේ වලිගයෙන් වසාගන්නට පුළුවන. හැබැයි මේ හාදයා නපුරෙකි. හුදෙකලාවේ ගමන් කරන ඌ ඉදිරියෙන් හමුවන  ඕනෑම ජගතෙකුට පහර දෙන්නේ වලසකු මෙන් කකුල් දෙකෙන් හිටගෙන අත් දෙකේ ඇති තියුණු නියපොතු ආධාර කරගෙනය. මේ නිය වලට මුහුණු මස් ඉරීයයි තුඹස බිඳ දැමු කූඹිකන්නා වේයන්ගේ කිරි රසය විඳ ගනිමින් සිටියි. ගවේෂකයා සිය විදුලි පන්දම පසෙකට යොමු කළේය. තවත් කොතරම් නම් අමුතු සතුන් මේ වනරජ දහනේ රජකම් කරනු ඇත්ද? ඔහුගේ නෙත් ගැටුණේ තම හැමොකය අසලටම පහත් වූ තුරු අතු පතරෙන් ඇලී ඉන්නා යෝධ මකුලූවා වෙතය. මුළු ඇඟම ලොම් කබායකින් වසාගත් මේ නපුරු මකුලූවාගේ සිරුරේ වර්ණය රතුය. තව වර්ගයක කළුය. එහෙත් මේ රාත‍්‍රියේ විදුලිය එළියට උගේ ඇෙඟ් පැහැය කළුද, රතුද යන්න පැහැදිලි ලෙස බලාගත නොහැකිය. මීට කලියෙන් ඇමේසන් වනයේ රහස් සොයා ආ එක්තරා ගවේෂකයෙකුගේ ඇස මේ මකුලූවා වෙත යොමුවන විට ඌ සිටියේ පැණි කුරුල්ලෙකුගේ මසෙහි රස බලමිනි. එදා පුදුමයෙනුත් පුදුමයට පත් මේ ගවේෂකයා ”කුරුලූ කන්නා” ලෙසින් මේ මකුලූවා බව්තීස්ම කළේය. ගවේෂක තෙමේ වඩාත් හරිබරි ගැහී කුරුලූ කන්නා දෙස බැලූවේය. ඒ මොහොතේ ඌ සිටියේ ආහාර ගනිමින් නොවේ. එහෙත් රාත‍්‍රියේදී නම් ඌට පහසුවෙන්ම කිරි වවුලෙක් අල්ලා ගන්නට පුළුවන. ඇතැම්විට රාත‍්‍රියේ කලින් හෝරාවක ඌ වවුලෙක් අල්ලාගෙන බඩ කට පුරවාගෙන සිටිනවා විය යුතුය. එසේනම් වවුල් තටු උගේ පාමුල බිම වැටී තිබෙනු ඇත. ”උදේට බලමු” ගවේෂකයා තමන්ටම කියා ගත්තේය. කුරුලූ කන්නා වූ කලි ඇමේසන් වනමැද වෙසෙන විශාලතම මකුලූ විශේෂයයි. බර ග‍්‍රෑම් 120 ක් පමණ වන උගේ කකුලක් සෙන්ටිමීටර් තිහක් පමණ දිගය. උගේ සිරුරේ දිග පළල සෙන්ටිමීටර් දහයක් තරම්ය. අවුරුදු විස්සක් තරම් කාලයක් ජීවත්වන්නට වරම් තිබෙන මෙම මකුලූ විශේෂයෙන්ද උපරිම ආයුෂ විඳින්නේ මැකිලිය පමණකි. මකුලූවෙකුට ඒ තරම්ම දීර්ඝායුෂ විඳිය යුතු නම් ඌ අනිවාර්යයෙන්ම අනගාරික විය යුතුය. මැකිලියගේ පේ‍්‍රම මායම් දැලෙහි පැටලූනොත් ඌට සිදුවන්නේ ”මංගල රාත‍්‍රියෙන්ම, අවමංගල ගමනද” යන්නටය. හේතුව තමන් සමඟ යහන් ගතවන  ඕනෑම වල්ලභයකුගේ මසෙහි රස බැලීමේ වියුරු ආශාවකින් මැකිලිය පෙලීමය. එහි ප‍්‍රතිඵලය වන්නේ මකුලූලොවේ පිරිමි සතුන්ගේ උපරිම ආයුෂ වසර හයකට සීමාවීමය. ඇය මකුලූවන් කා දැමුවත් ඒ වෙනුවට බොහෝ මකුලූවන්ට ජීවිතයද දෙන්නීය. ඒ වරකට මකුලූ පැටවුන් හාරසීයක් පමණ බිහිකරනුවස් බිත්තර තොගයක් දැමීමෙනි. මේ නිසා ඇය දිනපතාම රති සුවය වින්දත් ප‍්‍රශ්නයක් නැත. මකුලූවන්  ඕනෑතරමටත් වඩා වැඩිය. රාත‍්‍රිය ගෙවී ගොස්ය. හිරු ඇහැරී ඇති බවට ලකුණු මේ අඳුරු වනගහනය තුළ එල්ලෙන ඇඳක ගුලිවුණු ගවේෂකයාටද පෙනෙයි. සුවහසක් කුරුල්ලෝ අවදිව ගී ගයති. අත්තෙන් අත්තට පනින කුරුල්ලන් සේම ගස්මත වසා සිටින කුරුල්ලන්ද නිසාවෙනි. කොළම කොළපාට වන රජ දහනට පාට පාට දෙමින් මැකෝ ගිරවුන් තුරු අතුපතර පියාඹති. රතු, කහ, නිල් ඇතුළු විවිධ විචිත‍්‍ර වර්ණවලින් හැඩවුණු මැකෝ ගිරව් ඇත්තටම ඇමේසනයට ආභරණයකි. සෙන්ටිමීටර් අසූවක් පමණ දිග, හොඳින් වැඩුණු මැකෝ ගිරවකුගේ බර කිලෝග‍්‍රෑම් එකහමාරක් පමණ වේ. ඇමේසනයේ ඉදෙන පළතුරු වලින් බඩ කට පුරෝගන්නා මේ ලස්සන ගිරවකු අවුරුදු සියයක තරම් දීර්ඝායුෂ විඳින බවද කියති. මැකෝ විචිත‍්‍රවුවත් ඇමේසන් ගිරව් ලෙස හඳුන්වන සුවිසල් ගිරා විශේෂය නම් කොළ පාටය, මොවුන් සිටින්නේ රංචු වශයෙනි. ඇතැම් ගහක ඇති ගිරා ජනපදයක සාමාජිකයන් සංඛ්‍යාව දෙතුන් සීයද ඉක්මවයි. ඇමේසන් ගිරව් රෑනක් අහසට නැගුණවිට බලා ඉන්නකුට පෙනෙන්නේ කොළපාට වළාකුලක් අහසේ පාවී යන්නාක් ලෙසිනි. බොහෝ වේලාවක් ගිරා විසිතුරු බලාසිටි ගවේෂක හැමොකයෙන් බැස එය ගලවා ගත්තේය. ඇමේසන් රහස් සොයමින් යළිත් වනගත වීම පිණිස දැන් ඉතින් සූදානම් විය යුතුය. මේ සොඳුරු ගමනේදී තවත් අපුරු රහස් ගණනාවක් දැන කියා ගන්නට, දැක බලා ගන්නට ඔහුට හැකිවනු ඇත්තේය.ඒ ගමනේදී ඔහු ඉදිරියට හාපුරා කියා ආවේ විෂකුරු සර්ප රාජයෙකි. ඌට ඉඩදුන් ගවේෂක පැත්තකට වූයේ බියෙන් ගැහෙමිනි. දෙකකුුල ”බූට්” සපත්තු වලින් ආවරණය වී ඇති නිසා සර්ප දෂ්ඨයකින් වුව විස ශරීරගත වන්නේ නම් නැත. එහෙත් විෂගෝර සර්පයකු දුටුවිට ගත ලොමුදැහැ නොගැන්වෙන්නේ කෙසේද? අඩි විස්සක් පමණ දිග මේ සර්පයා දුටු විටම ගවේෂකයා පිටුපසට වූයේ ඌ ගැන දන්නා කියන නිසාය. එහෙත් සතුරු ඉව දැනුණු නිසාදෝ වහා නතරවුණු සර්පයා ස්වකීය පෙන ගොබය විහිදෙව්වේය. අඩි හතරක් පමණ විශාල මේ පෙනයත් සමඟ රජනයා දුටු විට ඔහුට සිතුනේ ඌ නම් රජනයකු නොව අධිරාජ නයකු කියාය. ඌ ඒ තරමටම දැවැන්තයෙකි. මොනයම් සතකු හමුවුනත් තරාතිරමක් නොබලා දෂ්ඨ කරන මේ සර්පයා මිනිස් ශරීරයකටනම් දෂ්ඨ කළ සැනෙකිින්ම මරණයෙන් කෙළවර වන තරමටම උග‍්‍ර විෂ සහිතය. රජ නයාගේ බිරිඳ කොළ අතුවලින් තනාගන්නා කැදැල්ලක බිත්තර හතළිහක් පමණ දමයි. දවස් හැටක් පමණ බිත්තර රැකීමෙන් අනතුරුව වනයට පිවිසෙන පැටවුන් සුදු හා කළු පාට වයිරම් සහිත විචිත‍්‍ර සතෙකි. එහෙත් ඒ පොඩිඑකා සතුවත් මහසතා සතු ප‍්‍රමාණයටම විෂ අන්තර්ගතය. පෙනය හකුලාගත් රජනයා හෙමින් සීරුවේ වනයට ගියේය. ඉනික්බිති ගවේෂකයා ද තවත් වනගත රහස් සොයමින් වන මැදින් ගමන පටන් ගත්තේය ඇමේසන් වන මැදින් යන ගමන ලෙහෙසි පහසු එකක් නම් නොවේ. විවිධ වර්ගවල ගස් කොළන්, කටු පඳුරු අස්සෙන් යන එක බොහෝ අමාරු වැඩක් වන නිසාය. ඇමේසන් ගවේෂක වනමැද තිබෙන දැඩි සීතල දඅරාගෙන තවත් ඉදිරියටම ගියේය. ඔහුට ඇසුනේ බියකරු හූ හඬක් බඳු හඬකි. වහා නැවතුණු ඔහු ගල් ගැසුනේය. මේ හූ හෙඬ් අයිතිකාරයා කවරකු විය හැකිදැයි ඔහුට කල්පනාවක් නැත. පොළෙවෙහි විෂකුරු සතුන්ය. තුරු කඳන්වලද තවත් එබඳුම නපුරන්ය. ගස් මත දෙපා සතුන්ය. ඇතැම්විට සිවුපාවුන්ය. හැම මොහොතක්ම මාරයාගේ දත් තිස් දෙකට කොටුවිය හැකි අන්දමේ බිහිසුණු තත්ත්පර වලින් පිරී තිබේ. ඊළඟ මොහොතේ ඔහු ඉදිරියට යමක් වැටිණි. ඒ ගසකින් වැටුණු ගෙඩියකි. ඔහු උඩ බැලූවේය. ඔහුට පෙනුණේ ඇමේසන් වඳුරෙකි. මොහොතකට පෙර කෑ ගැසුවේත් දැන් මේ ගෙඩියෙන් ගැසුවේත් අන්න ඒ වඳුරාම විය යුතුය. අළු පාටට හුරු මේ වඳුරා කලින් බෙරිහන් දුන්නේ මේ මිනිස් රුව දැකීම නිසා බව ගවේෂකයා වටහා ගත්තේය. ලබන සතියට...
ශාන්ත කුමාර විතාන