මගේ බැංකු පොතේ මුදල් වලින් අවසන් කටයුතු කරන්න. මට උරුමයක් වෙතොත් ඒ සියල්ල මහරගම පිළිකා රෝහලට ලබාදෙන්න යැයි ලියා තැබූ අමාලි පසුගිය 16 වැනිදා සිය ජිවිතයෙන් සමුගත්තාය. ඇය පිළිකා රෝගයෙන් පෙලූණ කෙනෙක් යැයි ඇගේ ලිපිය කියවන විට  ඕනෑම කෙනෙකුට එක්වරම හැෙඟනු ඇත. එහෙත් ඇය පිළිකා රෝගයෙන් හෝ වෙනත් කිසිදු කායික රෝගයකින් පෙලෙන්නියක් නොවිණ.

  

2
ඇය සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යාවහාරික ගණිතය පීඨයේ සිසුවියකි.  ඇය මාඹුල්ගොඩ පන්නිපිටිය ලිපිනයේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා නමැති විසි තුන් හැවිරිදි තරුණියකි.


අමාලි එස්.එච්. ජිනදාසටත්, වසන්තා පද්මිණි ඇල්විටිගලටත් සිටි එකම දරුවාය. අමාලිට වයස අවුරුදු හය සම්පූර්ණ වෙද්දි එනම් ඇය යම්තම් අකුරෙන් අකුර අමුණන්නට පටන් ගත් අවදියේ ඇගේ මවත් පියාත් වෙන්වූහ. ඉන් පසු ඇයට සිටියේ මව පමණි. පියෙකුගේ සෙනෙහසේ අඩුව සපුරන්නට බැරි වුණත් ඇයට වෙනත් කිසිදු ආකාරයක අඩුවක් නොකර උගන්වා අනාගත මාර්ගය හෙළිපෙහෙළි කර දෙන්නට පෞද්ගලික රෝහලක හෙදියක වූ අමාලිගේ මව වසන්තා උත්්සාහ කළාය. එහි ප‍්‍රතිපලයක් ලෙස අමාලි සාමාන්‍ය පෙළ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් විශිෂ්ඨ සාමාර්ථ නවයක් සහිතව සමත් වූවාය. ඉන් පසු කොළඹ දේවි බාලිකාවට ඇතුළත් වීමට වරම් ලද ඇය උසස්පෙළ සමත්ව සබරගමුව විශ්ව විද්‍යලයට ඇතුළත් වූවාය. දැන් තම දුවගේ ජීවිතය නියම මගට වැටී ඇතැයිද, තමන්ගේ බලාපොරොත්තුව මුදුන් පත් වෙමින් පවතින්නේයැයිද කියා සතුටු වීමට අමාලිගේ මවට ඉඩක් ලැබුණේ නැත.


පසුගිය වසරේ මාර්තු මාසයේ විශ්ව විද්‍යාලයට ප‍්‍රවේශ වූ අමාලි මසකට පසු නිවසට ආවේ රෝගියෙකු ලෙසය. ඒ නවක වදය නිසා ඇතිවූ මානසික කම්පනය හේතුවෙනි. නිවසට පැමිණි ඇය මෙට්ටයට පොල්තෙල් වත් කරගෙන ගිනි තියා ගැනීමටද උත්සාහ කළාය. එයින්ද සුළු තුවාල ලබා සිටියදී බේරා ගැනීමට ඇගේ මවට හැකිවිය. පසුව කළුබෝවිල රෝහලේ මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ප‍්‍රතිකාර ලැබූ අමාලි සුව අතට හැරුණෙන් නැවත විශ්ව විද්‍යාලයට ගියාය. එහෙත් නැවතත් පැරණි තත්ත්වයටම මුහුණදීමට සිදුවීම නිසා ඇය අවස්ථා කිහිපයකදීම සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බව අමා

21-page-3-BB

අමාලි චතුරිකා

 

ලිගේ ඥාතියෙකු අප සමග පැවසූවේය. වරෙක නිදි පෙති බොමින්ද තවත් අවස්ථාවක විශ්ව විද්‍යාලයේ ඉහළ මහලකින් බිමට පනින්නට උත්සාහ කරමින්ද ඇයට කුරිරු යැයි දැනුණ ලෝකයෙන් සමුගන්නට උත්සාහ කර ඇත. ඒ නිසා තවදුරටත් ඇය විශ්ව විද්‍යාලයේ තැබීම සුදුසු නැතැයි තීරණය කළ අමාලිගේ මව ඇයව නිවසට ගෙනවිත් ප‍්‍රතිකාර කළාය. එතැන් සිට නිවසට වී මාස ගණනාවක් සිටි අමාලිට නැවත විශ්ව විද්‍යාලයට පැමිණීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නියම කර තිබුණේ ලබන මාර්තුවේය. එහෙත් එහි යාම අමාලි දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළාය. ඥාතීහු ඇගේ හිත දිරිමත් කරන්නට උත්සාහ කළහ. එහෙත් එහි අවසානයක් දකින්නට කැමති වු අමාලි සියල්ලට අවසන් තිත තබා පසු ගිය දහසය වැනිදා සිය නිවසේ සාලයේ බාල්කයක රැන්දූ රෙදි පටකට තම ජීවිතය බාර කළාය.


සිද්ධිය වූ දිනයේ අලූයම පහයි තිහට පමණ රැුකියාවට යාම සඳහා නිවසින් පිටත්වන වසන්තාට ඇගේ දියණිය අමාලි චතුරිකා වැඳ සමුදුන්නාය. රැුකියාවට ගිය පසු නිතර දියණිය ගැන සොයා බලන වසන්තා තමන්ට ආයතනයේ රැුස්වීමක් දවල් එකොළහට පමණ ආරම්භ කිරීමට නියමිත නිසා ඊට පෙර දියණියට කතාකර අවශ්‍යතාවයක් වුණොත් ඊට පසු කතා කරන්නැයි කියන්නට උත්සාහ කළාය. ඒ සඳහා දියණියගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තද එයට දියණියගේ ප‍්‍රතිචාරය ලැබුණේ නැත. ඒ නිසා අමාලිගේ පෙම්වතා වන තරින්දට ඇමතූ මව ඒ බව දැන්වූ විට තමන්ගේ ඇමතුමටද අමාලි ප‍්‍රතිචාර නොදැක්වූ බව ඔහු ද කියා තිබේ. කලබලයට පත් අමාලිගේ මව තමන්ගේ නැණා වන ලලිතා කුමාරිට කතා කර දියණිය ගැන බලන්නැයි කීවාය. ඉන්පසු ඇයට ලැබුණේ උසුලා ගත නොහැකි පිළිතුරකි. දියණියට කරදරයක් අක්කා ඉක්මණට එන්න යැයි නෑනා පැවසුවාය. කරදරය කුමක්දැයි කලබලයෙන් ඇය නිවෙසට පැමිණෙන විට දියණිය සිටියේ සාලය මැද බාල්කයක එල්ලීගෙනය. උදේ තමන්ට වැඳ රැුකියාවට යාමට සමුදුන් දියණිය ආපසු එන විට බාල්කයක එල්ලී සිටිනු දැකීම තරම් මවකට වේදනා ගෙනදෙන අන් දසුනක් තිබිය හැකිද?


විශ්ව විද්‍යාලයට යවපු මගේ දුවට නවක වදය නිසා විශ්ව විද්‍යාලය එපා වුණා. විශ්ව විද්‍යාලයට යන්න කියන අපිවත් එපා වුණා. අන්තිමේදී එයා විශ්ව විද්‍යාලයත් එක්කම අපිවත් දාලා යන්න ගියා. උදේ මම වැඩට යද්දි වැඳලා සමු දුන්න මගේ දුව දවල් මම එද්දී අපි සේරගෙන්ම සමු අරන් ගිහිල්ලා..... දෙයියනේ - මට හිටියේ මෙච්චරයි. දැන් ඉතිං මං කවුරු ගැනද බලාපොරොත්තු තියාගන්නේ? අමාලිගේ මව වසන්තා පද්මිණි ඇල්විටිගල මහත්මිය හඬා වැටෙන්නීය. ඈ කෑ ගසා නොවැළපුණද හඬාගන්නට නොහැකිව ගසන ඇගේ ඉකිය කාගෙත් සිත් සසළ කරන්නකි.


අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු තමන්ගේ දරුවෙකුට උගන්වලා විශ්ව විද්‍යාලයකට යවන්නේ මොන තරම් දුක් විඳලා, මොන තරම් බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන ද කියලා මේ මගේ දුවට නවක වදය දීපු දරුවොත් කවදා හරි දෙමාපියන් වුණ දවසකට තේරේවි. එදාට ඒ අයට තමන් කරපු වරදේ බරපතලකම දැනේවි. අන්න එදාට එයාලාගේ හිත එයාලටම දුක් දේවි. ඒක තමයි එයාලට ලැබෙන නියම ද`ඬුවම.


අමාලිගේ අම්මා එලෙස කියමින් හිත හදා ගන්නට උත්සාහ කළාය. ඇය කී දේ කවුරුත් අනුමත කරන්නා සේ හිස වනා බලා සිටිති.


රැග් කිරීම යන්නට සිංහල පදයක් තිබේ දැයි නොදන්නෙමු. ඒ තිබුණද එහි අදහස නවකවදය නම් නොවන බව පමණක් දනිමු. මන්ද විශ්ව විද්‍යාලයට රැුග් සමයක් පැමිණියේ විවිධ අධ්‍යාපන මට්ටම් වලින් විවිධ සමාජ තරාතිරම් වලින් පැමිණෙන සියලූ දෙනා සමානයන් බවට පත් කරමින් සුහදතාවය ඇතිකර ගැනීමේ අරමුණ ඇතිවය. එහිදි සිදු වූයේ කිසියම් කවට කමක් උසුළු විසුලූවක් කිරීමය. සමහර විට ගීත ගායනා කිරීමට, නැටුමක් නැටීමට, රංගනයක් ඉදිරිපත් කිරීමට, කුඩා කළ මෙන් හාවුන් පැනීමට, පාවහන් නොමැතිව බොරළු පොළොවේ ඇවිදීමට නවකයින්ට සිදුවිය. මේ සියල්ලෙන් පසු සාදයක් පවත්වා නවකයින් තමන්ගේ ගොඩට එක්කර ගත්හ. එහෙත් වත්මන් විශ්ව විද්‍යාල භූමිය තුළ මේ අවබෝධය සහිතව රැග් කරන්නන් අතරේ සිටින තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් එය නවක වදයක් බවට පත්කර ගත්තවුන් සුළු පිරිසක් නිසා විශ්ව විද්‍යාලය සමාජය තුළ අපුලක් ඇති කරන්නක් බවට පත්වෙමින් තිබේ. ඒ නිසා මේ සිසුවියට විශ්ව විද්‍යාලය අපායක් බවට පත්කළ අයට ඇගේ මව කියන්නා සේ කවදා හෝ තමන්ගේ හෘද සාක්ෂිය දඬුවම් දෙනු ඇත.

sgh

අමාලි සිය පාසල් මිතුරියන් සමග


සමහරු අමාලි මානසික රෝගියෙකු ලෙස හඳුන්වාදීමට උත්සාහ කරන බව ඇගේ ඥාතීහු පවසන්නේ මහත්වූ සිත් වේදනාවෙනි. එහෙත් ඇය එවැන්නියක නොවන බව පවසන්නේ ඇගේම මිතුරියක වන නදීරා විතාරණය. අමාලි සමඟම අධ්‍යාපනය ලබා වයඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක වූ නදීරා, අමාලි ගැන කියන්නේ මෙහෙමයි.


අමාලි වගේම මමත් දේවි බාලිකාවට ආවේ උසස් පෙළ හදාරන්නයි. එයයි මායි එකම පන්තියේ හිටියේ. අමාලි ගොඩක් මහන්සිවෙලා ඉගෙන ගත්ත කෙනෙක් වුණත් කිසිම දවසක කිසිම දෙයක් පීඩනයක් විදිහට දැක්කේ නැති හැම වෙලාවට අපිවත් හිනස්සන්න විහිලූ කරපු විනෝදෙන් හිටිය කෙනෙක්. බොහොම සමාජශීලි, ඉස්කෝලේ තියෙන පොදු වැඩ වලදී උනන්දුවෙන් සහය දීපු කෙනෙක්. එහෙම හිටපු අමාලිට මෙහෙම දෙයක් වුණා කිව්වාම ඇත්තටම අදහා ගන්න බැරි වුණා.


සමාජශීලි, හැම විටම පීඩනය දරාගත් බව කියන අමාලිට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතුමය. මන්ද මෙවැනි සිසුවියන් ජීවිතයෙන් සමුගැනීම් තවත් ඉදිරියට නොවිය යුතු බැවින් මෙන්ම විශ්ව විද්‍යාලය වධකාගාරයක් ලෙස සමාජය තුළ පට්ටා ගැසීම වළක්වා ගත යුතු බැවිනි. අමාලිට මේ තත්ත්වය ඇති කළේ ඇය සමගම එකම පාසලේ ඉහළ පන්තිවල ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ගිය අයෙකු බවටද ඥතීන් පවසයි. කෙසේ වුවද ඇගේ මව පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වරදකරුවන්ට දඬුවම් නොවේ මෙවැනි දෙයක් තවත් දරුවෙකුට සිදු නොවන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. සිසුන් ලෙස මේ තත්ත්වයන් තේරුම් ගෙන නවකයන්ට හතුරෙක් නොවී මිතුරෙක් වන ලෙසය.


සිදුවීම සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු බී. එච්. කේ. චින්තක උදය කුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේදී පසුගිය 17 වැනිදා දහවල් සිදු කරනු ලැබිණ. ඇගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය සුධීර සිරිවර්ධන මහතා විසින් සිදුකරනු ලැබිණ.      


මියගිය අමාලි විසින් ලියන ලද ඇගේ අවසන් කැමැත්ත සඳහන් කර තිබූ ලිපියේ තව දුරටත් මෙසේ සඳහන් විය.


මගේ මිනිය පුච්චන්න. පුළුවන්නම් අවසන් කටයුතු බොරැුල්ලේදී කරන්න. මම දේවි බාලිකාවට ආදරය කරන නිසා ඒ ආසන්නයේම වැළලෙන්නට ආසයි. මගේ පොත් පත් සියල්ල මිනියත් සමඟම පුච්චන්න. සබරගමුව විශ්ව විද්‍යාලයේ කිසිවෙකුට මගේ අවමඟුලට සහභාගී වෙන්න ඉඩ දෙන්න එපා.    


මෙලෙස ලියා තැබූ අමාලි ඊයේ (18) මාඹුල්ගොඩ පොදු සුසාන භූමියේදී සිය දෙමව්පියන්ගෙන් ඥාතීන්ගෙන් හා මිතුරු මිතුරියන්ගෙන් අවසන් වරට සමුගත්තාය.

m