”මතක තියාගන්න මම විධායකයයි ව්‍යවස්ථාදායකයයි පටලවා ගන්නේ නැහැ. ඇමැති කෙනෙක් විදියට විධායකයට අවනත වෙනවා. ත් මම අද මෙතන කතා කරන්නේ කෝප් කමිටුවේ සභාපති විදියටයි. ආණ්ඩුවේ ඇමැති කෙනෙක් විදියට නොවෙයි.” කෝප් වාර්තාව පිළිබඳ විවාදයේ සමාප්ති කතාව කරමින් එසේ පැවසුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියු ගුණසේකරය. ඩියු කියන්නේ ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයාය. මේ ලේකම්වරයා වනාහී සමහර පක්ෂවල මෙන් නායකයාගේ ලේකම්වරයා නොවේය. පක්ෂයේද නායකයාය. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා, ලේකම්වරයා, පමණක් නොව එම පක්ෂයේ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයා වන්නේද ඩියු ගුණසේකර ය. ආචාර්ය ඇන්. ඇම්. කොල්වින්, පිලිප් ගුණවර්ධන, එස්. ඒ. වික‍්‍රමසිංහ ආදී ශී‍්‍ර ලංකාවේ වාමාංශික නායක පරපුරේ අවසාන පුරුක් කීපය අතුරින් අද සකී‍්‍රයව සිටින්නා ඩියු යැයි සඳහන් කළොත් එය නිවැරදිය. සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමත් සමඟම තුන්වැනි ලෝකයේ රටවල කොමියුනිස්ට් පක්ෂ නන්නත්තාර විය. එය න්‍යායේ නොව භාවිතාවේ වැරදි නිසාය. අඩු දියුණු රටවලින් සමාජවාදී රාජ්‍ය බිහිවනු ඇතැයි කාල්මාක්ස් විශ්වාස කළේ නැත. එහෙත් සමහරු හදිස්සිය නිසා සමාජවාදී ජයග‍්‍රහණ ”පෙනල්ටි කික්” (දඬුවම් පහර) වලින් ලබාගත හැකි යැයි විශ්වාස කිරීමට ගොස් හොට බිම ඇනගත්තෝය. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ද සමහරු විශ්වාස කළේ සෝවියට් හමුදා අල්ලා ගැනීමෙන් බිහි වූ රතු ඇෆ්ගනිස්තානයෙන් පසු ඉන්දියාව රෝසපාට වී ශී‍්‍ර ලංකාව ඉබේම රතුවේය කියලාය. එහෙත් ඩියු ගුණසේකරලා එසේ විශ්වාස කළේ නැත. නූතන සමාජවාදී ක‍්‍රමය අර්බුදයකට යෑමෙන් පසු ධනපති ආණ්ඩුවලට මුක්කු ගසා ඇමැති කට්ටක් දෙකක් ලබාගෙන එය සූප්පු කරනවා හැරෙන්ට මේ රටේ වාමාංශිකයනට වෙන අතක් නැතැයි ඊට එරෙහි වූවෝ සිතූහ. යහපාලනය, නාස්තිය දූෂණයට එරෙහිව සටන් වැදීම, ජාතින් අතර සහෝදරත්වය, ගොඩනැඟීම ජනවාර්ගික ප‍්‍රශ්න සම්බන්ධයෙන් ධනපති ක‍්‍රමයක් යටතේ වුව ද ගෙන එනු ලබන දේශපාලන විසඳුම්වලට සහායවීම අද වාමාංශිකයන් සතු කාර්යභාරයක් යැයි සමහර කොමියුනිස්ට්වාදීහු කල්පනා නොකරති. එහෙත් ඩියු ගුණසේකර වැනි වමේ නායකයන් එය නිවැරදිව කල්පනාකර තිබෙන බව පෙනේ. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වතාවට මෙතරම් සාර්ථක සකී‍්‍රය කෝප් වාර්තාවක් නිකුත් වන්නේ, ඒ වමේ දැක්මේ ද සම්මිශ‍්‍රණයකිනි. මේ රටේ කෝප් සභාපතිලා කොතෙකුත් සිටියෝය. වාර්තා ද නිකුත් වී ඇත. එහෙත් ඩියු ගුණසේකර වැනි වමේ නායකයෙක් එහි මුල් පුටුවට පත්වීමත් සමඟම එහි සමස්ත ව්‍යුහයම වෙනස් වී තිබේ. සමස්තයක් වශයෙන් නිලධාරිවාදය රජයන රටක සමහර තැනක දූෂිතව ගඳගහන ආයතනගත කි‍්‍රයාවලියක ඩියුගේ කෝප් කමිටුව ගොස් ඇති දුර විස්මය ජනකය. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වතාවට රාජ්‍ය ආයතන 249න් 229ක් නිරීක්‍ෂණය කිරීමට එම කමිටුවට හැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ හා ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් උපකමිටුවලට බෙදී කටයුතු කළ ආකාරය අනෙක් කාරණා සම්බන්ධයෙන් ද සිදුවන්නේ නම් ජාතික වශයෙන් වැදගත් වන සමහර කාරණා මෙතරම් අමිහිරි වන්නේ නැත. ඇදි ඇදී ඉබාගාතේ ඉදිරියට ඇදෙන්නේ ද නැත. නටන්න බැරි මිනිහාට පොළොව ඇද සේ පෙනේ. බලය නිවැරදිව හඳුනාගෙන දර්ශනයක් සහිතව කටයුතු කරන්නේ නම් සමහරුන්ට දී තිබෙන බලතල හා ඇමැති පට්ටම් වුවද ඉහටත් වැඩිය. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර සමහරු හැඳින්වූයේ මහලූ මඩමක ‘මදනැති’ බලයක් නැති පදවි ලෙසය. එහෙත් අද ඩියු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ලෙස කැපී පෙනෙන කාර්යයක් ඉටුකරන්නකු බවට පත්ව සිටී. ඊට රාජ්‍ය නායකත්‍වයෙන් ද බාධාවක් නැත. ”17 වැනි සංශෝධනය අකර්මන්‍ය කර 18 වැනි සංශෝධනය ගෙනා නිසා විධායකයේ බලය වර්ධනය වුණා. නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය තියෙන්නේ විධායක ජනාධිපතිවරයා යටතේ. නිර්දේශ දෙන්න පුළුවන්, වැරදි පෙන්වා දෙන්න පුළුවන්, ඒවා සම්බන්ධයෙන් කි‍්‍රයාකරන්න ඔබට බෑ.” කෝප් වාර්තාව පිළිබඳ විවාදයේ දී ලක්ෂ්මන් කිරිඇල්ල මන්තී‍්‍රවරයා නැඟූ ප‍්‍රශ්නයට න්‍යායික මෙන්ම ප‍්‍රායෝගික පිළිතුරක් දීමට ද කෝප් විවාදයේ දී ඩියු ගුණසේකර සභාපතිවරයා අමතක කළේ නැත. ”අවුරුදු 8 ක් සොයාගන්න බැරි වූ වාහනයක් දින 8 කින් සොයාගන්න අදාළ අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කළා. ඔබට බැරි නම් රහස් පොලීසියට බාරදෙන්න කියල මා කිව්වා. රහස් පොලීසිය එය සොයාගත්තා. මේ එක උදාහරණයක්. අපේ නිර්දේශ නිසා ජනාධිපතිවරයා සභාපතිවරුන් හයක් ඉවත් කළා. තවත් එක් උදාහරණයක්. පුද්ගලයන් නොවෙයි. අපි ප‍්‍රතිපත්තියක් යටතේ විවාද කරමු.” ”එතකොට රහස් පොලිසිය හෝ අල්ලස් හා දූෂණ වංචා සොයා බැලීමේ කොමිෂමේ ප‍්‍රධානීන් කෝප් නිර්දේශ කි‍්‍රයාත්මක නොකළොත් මොකද වෙන්නෙ.” ඊට ද ඩියු ට පිළිතුරක් විය. ”එහෙම වුණොත් මතක තියා ගන්න සී.අයි.ඞී. එකේ ලොක්කයි අල්ලස් හා දූෂණ කොමිසමේ ලොක්කයි දෙන්නම පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවනවා. මෙතැන මම කි‍්‍රයාකරන්නේ ව්‍යවස්ථාදායකයට යටත්ව. අපට පුළුවන් එහෙම කටයුතු කරන්න.” පාර්ලිමේන්තුව රු. 50,000ට වඩා වැටුප් ලබන පුද්ගලයන්ට ආදායම් බද්දක් පනවන විට රටේ සියල්ලෝම ඊට යටත්ය. නීති පොතේ ඇත්තේ එහෙමය. එහෙත් සමහර රාජ්‍ය ආයතන එම පුද්ගල බද්ද අදාළ ආයතනය මඟින් ගෙවා ඇත. මෙම වැරදි කි‍්‍රයාව රාජ්‍ය බැංකු පමණක් නොව රටේ සමස්ත මූල්‍ය ක‍්‍රමයටම උපදෙස් දෙන එහි ලොකු තාත්තා වන ශී‍්‍ර ලංකා මහ බැංකුව ද කර ඇති බව රටට හෙළි වූයේ මෙවර කෝප් වාර්තාවෙන්ය. මේ නිසා 2009 රජයට අහිමි වූ මුදල රුපියල් දස ලක්‍ෂ 1244කි. 2010 දස ලක්‍ෂ 2900කි. 2011 තවම සොයාගෙන තිබෙන කොටස් රුපියල් දස ලක්‍ෂ 1400කි. මේ කි‍්‍රයාවලිය නිසා වාර්ෂිකව රජයට අහිමි වන රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 5 ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. මෙහි අසාධාරණය එක් පුරවැසි කාණ්ඩයක ආදායම් බදු ඔවුන්ගේ ආදායම්වලින් නිසි පරිදි ගෙවා දමන අතරේ ඒ හා සමාන කොටසකගේ බද්ද ජනතාවගේ මුදලින් ගෙවා දැමීමය. මෙය රටේ මූලික අයිතීන්ට ද පටහැනිය. එසේම එළිපිටම ගිනිදවල් මානව අයිතීන් උල්ලංඝනය කිරීමකි. ඒ අතින් නම් මේක පුදුම රාජ්‍ය සේවයක්ය. මේ සම්බන්ධයෙන් ඍජු තීන්දුවක් ගෙන රටට හෙළි කිරීම වුවද කෝප් කමිටුවේ වපසරිය තුළ  ප‍්‍රමාණවත්ය. මෙවන් එඩිතර තීරණවලට යෑමට ඩියු ගුණසේකරට පිහිට වී තිබෙන්නේ වාමාංශික දේශපාලන දර්ශනය බවට විවාදයක් නැත. දේශපාලන වශයෙන් මොනවා කීවත් ආචාර්ය ඇන්.ඇම්., කොල්වින්, පිලිප් ගුණවර්ධන, එස්. ඒ. වික‍්‍රමසිංහ ආදීන්ට අක‍්‍රමිකතා, වංචා දූෂණ චෝදනා නැත. ඔවුහු පිරිසිදු දේශපාලනඥයෝ වෙති. ඔවුන් එ් අතින් හෙට දේශපාලනයට එන නවකයන්ට වුවද ආදර්ශවත්ය. මුදල් ඇමැති ලෙස විදේශ සංචාරවල යෙදෙන ආචාර්ය ඇන්. ඇම්. තමන්ට හිමි වරප‍්‍රසාදවල ප‍්‍රයෝජනයවත් ලබා ගන්නේ නැත. ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණ ගුවන් තොටුපළින් පිටවීමට පෙර රේගු නිලධාරීන්ට අණ කරන්නේ තමන්ගේ ගමන්මලූ පරීක්‍ෂාකරන මෙන්ය. ”නෑ. සර්ල වී. අයි. පී. නේ.....” ”වී. අයි. පී. ප‍්‍රශ්නයක් මෙතන නෑ. පරීක්‍ෂා කරන්න.”  ආචාර්ය ඇන්. ඇම්. ගේ ගාම්භීර ස්වරයට රේගු නිලධාරියාට කි‍්‍රයා කිරීමට සිදුවේ. අද කොමියුනිස්ට් පක්ෂයේ කාර්යාලය පවත්වාගෙන යන්නේ දොස්තර ඇස්. ඒ. වික‍්‍රමසිංහයන්ට අයත් පෞද්ගලික දේපළකය. ඔහු කොමියුනිස්ට් පක්ෂයට අනේපිඬු කෙනෙක් වාගේය. බොරළුගොඩ වලව්වලට අයත් වතු යායේ වපසරිය පිලිප් ගුණවර්ධනගේ දේශපාලනය නිසා කුඩා වූ බව කියැවේ. ඩඞ්ලි සේනානායක රජයේ කර්මාන්ත ඇමැති ලෙස ඔහු දේශපාලනයෙන් සමුගත්තේ තඹ දොයිතුවක වරප‍්‍රසාදයක් හෝ අයුතු ධනයක් නොමැතිවය. ඩියු ගුණසේකර අයත් වන්නේද මේ පරපුරට ය. අප දන්නා පරිදි ඔහුට රටට දිනා දිය යුතු දෙයක් හැරෙන්නට වෙනත් අයට මෙන් පරම්පරා ගණනකට සරිලනසේ ලබා ගතයුතු දෙයක් නැත. සමස්තයක් වශයෙන් ගත්කල මේ රටේ දේශපාලනය පොදුවේ රටටම තිත්ත වෙලාය. ”එහෙනම් ජනතාව ඡන්දයක් ආවම පැනල ඡුන්දෙ දෙන්නෙ ඇයි?” එ් ජනතාවටත් වෙන කරන්න දෙයක් නැති කමටය. දරුවන් නොසන්ඩාල උණහපුළුවන් වුනත් දෙමව්පියන්ට උන් මැණික්ය. ඔවුනට පිටුපාන්න බැරිය. මේ රටේ ජනතාව දේශපාලනය කරන සමහර අය ගැනත් එසේ කල්පනා කරනවා විය හැකිය. එහෙත් එවන් කල්පනාවලින් රටට නම් වැඩක් වන්නේ නැත.  මෙවන් දේශපාලන ක්ෂේත‍්‍රයක සමහර බුද්ධිමතුන් යැයි ප‍්‍රකට අය වුව ද තම පැවැත්ම වෙනුවෙන් අංශක 45ක් 90ක් නොව 360ක්ම කැරකී ප‍්‍රතිපත්ති වෙනස් කර ගනිති. පසුගිය සමයේ සාමය වෙනුවෙන් පෙනී සිටි අය හිටිහැටියේම යුද්ධයට මාරු වූයේ ඊට ඇති කැමැත්තට වඩා අවස්ථාවාදී දේශපාලනය නිසාය. මෙහෙව් රටේ ඩියු ගුණසේකර වැනි අය කොමියුනිස්ට් පක්ෂයට හා වාමාංශික ව්‍යාපාරයට පමණක් නොව රටටම තාරකාවක්සේ බැබලීම කෝප් කමිටුවේ බැබළීමට ද හේතු වී තිබේ. කෝප් කමිටුවට මේ තරම් පුළුල් පරාසයක හෙළිදරව්වකට ඉඩදීම හරහා ආණ්ඩුව තම රාජ්‍ය ආයතන පද්ධතිය පිරිසුදු කිරීමට සුදානම් බව පෙන්වා තිබේ. එය ජනතාවගේ පැත්තෙන් මහජන ධනය විනිවිද භාවයකින් යුතුව වියදම් කිරීමට ප‍්‍රබල පෙළඹවීමක් වනු ඇත. එසේම මහජන මුදල් ගසා කා මුල්‍ය සමාගම් විනාශ කළ අය විවිධ මාර්ගවලින් සමහර රාජ්‍ය මුල්‍ය ආයතනවල පදවිවලට ඇතුළු වී ඇතැයි විපක්ෂය නඟන චෝදනා ගැන ඉදිරියේ දී සෙවීමට හැකි හයියක් මෙම කෝප් කමිටුවට ඇතැයි යන විශ්වාසයක් ද දැන් ඇති වෙමින් පවතී. රේගු නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක් වූ ඩියු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධියක් හදාරා දේශපාලනයට එක් වූ අයෙකි. මේ නිසා දේශපාලනිකව පමණක් නොව වෘත්තිමය වශයෙන් ද හෙතෙම වැඬේට ගැළපේ. ජීවිතේ සැඳෑ සමය ගතකරන මහත් වූ අත්දැකීම් සම්භාරයක් උරුම කරගත්, ඩියු ගුණසේකරලා, ආර්. සම්බන්ධන්ලා, රත්නසිරි වික‍්‍රමනායක, ආචාර්ය තිස්ස විතාරනලා වැනි අය අපෙන් සමුගැනීමට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් මේ ගඳගසා  ඕජස් ගලන සමස්ත ක‍්‍රමයේ මූලික වෙනසකට යෑමට හොඳම යුගය දැන් උදා වී තිබේ. එවන් මූලික වෙනසක් කළ හැකි වන්නේ නම් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු කි‍්‍රයාවලිය වුව ද මෙතරම් වෙහෙසකර වන්නේ නැත.
වසන්තප‍්‍රිය රාමනායක