IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


එයාර් ඉන්දියා ගුවන් යානය කඩාවැටුණේ නියමු වරදින්ද?

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි. 171 බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් මගී ගුවන් යානය, පසුගිය ජූනි 12 වැනිදා කඩා වැටුණේ, ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සර්දාර් වල්ලභබායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවෙද්දීය.

අනතුරට පත් වෙද්දී යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 242 කි. යානය එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට නියමිතව තිබුණි. යානයේ සිටි එක් මගියෙක් හාස්කමකින් දිවි ගලවා ගත්තේය. යානය කඩා වැටුණේ වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාරයක් මතටය. බිම සිටි බොහෝ දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වුණු අතර මරණ 260 පසු කළේය. මෙය මෑත කාලයේ සිදුවුණු බිහිසුණු ගුවන් අනතුරක් ලෙස සැලකෙයි.

ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ සුමිත් සබර්වාල්ය. සහාය නියමුවා වූයේ ක්ලීව් කුන්දර් ය. දෙදෙනාම පළපුරුදු ගුවන් නියමුවන් බව පැවැසෙයි. සාමාන්‍යයෙන් ගුවන් ගමනක් ආරම්භයේදී, ප්‍රධාන නියමුවාත් සහාය නියමුවාත් ගුවන් යානයේ නියමු කුටියට පැමිණ අසුන් ගැනීමෙන් පසු, යානය පියාසර කිරීම සම්බන්ධයෙන් කතාබහක නියැළෙති. යානය පිටත් වීමට පෙර, නියමු කුටියේ දී, නියමුවන් දෙදෙනා මුලික පරීක්ෂණ කීපයක් සිදු කරන්නේ යානයේ ක්‍රියාකාරීත්වය හොඳින්දැයි සැකහැර දැන ගැනීමටය. පළමුවෙන් දෙදෙනා නියමු කුටියේ මෙහෙයුම් පැනලයේ ඇති 500 ආසන්න ස්විච ඉතා ඉක්මනින් ක්‍රියාත්මකදැයි බලති. පාලක මැදිරිය හා සම්බන්ධ වී සිටින නියමුවෝ, යානයේ ඉන්ධන ගමනට ප්‍රමාණවත්දැයි බලති. යානයට ලබා දී ඇති ඉන්ධන ප්‍රමාණය සහ යානයේ ඒ වන විට ඇති ඉන්ධනවල කිසියම් හෝ වෙනසක් දකින්න ලැබුණොත්, ගුවන් ගමන ආරම්භ නොකිරීමට නියමුවෝ වගබලා ගනිති.

එදා එනම් ජුනි 12 වැනිදා, එයාර් ඉන්දියා ඒ.අයි. 171 බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් මගී ගුවන් යානය, ගුවන්ගත වූයේ මේ සියලු‍ පරීක්ෂණ සම්පුර්ණ කිරීමෙන් පසුවය. යානයේ අනතුර සිදුවී, මාසයක පමණ කාලයක් ගතවෙද්දී, එම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් පිටු 15 කින් සමන්විත මූලික විමර්ශන වාර්තාවක් පෙරේදා (12) ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබුණි. එම මුලික විමර්ශන වාර්තාවට අනුව, යානය කඩා වැටී ඇත්තේ එය ගුවන්ගත වූ විගස, එහි ඇන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු කරන ස්විච ක්‍රියා විරහිත වී තිබීම නිසා යැයි පැවැසෙයි. එම ස්විච තිබිය යුත්තේ ක්‍රියාකාරීවය. ස්විච ක්‍රියා විරහිත වී, ඇන්ජින්වලට ඉන්ධන සැපයීම නැවතීම හේතුවෙන්, යානයේ ඇන්ජින් ද්විත්වය අක්‍රිය විය. එවිට යානය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී ගොස් කඩා වැටුණි.

විමර්ශකයන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ, යානයේ කළු පෙට්ටියෙන් ලබා ගත් දත්ත අනුවය. කළු පෙට්ටිය යනු ගුවන් යානයක පියසැරි දත්ත අඩංගු උපාංගයයි. මෙය කොටස් දෙකකින් යුක්තය. කළු පෙට්ටිය යැයි කීවත් මෙම උපාංගය කළු පැහැයක් ගන්නේ නැත. උපාංගය දීප්තිමත් රතු හෝ තැඹිලි පැහැයක් ගනී. ගුවන් යානා අනතුරකින් පසු, පිපිරීමකින් හෝ ගිනිගැනීමකින් හෝ පසු, පහසුවෙන් සොයාගැනීම සඳහා, මෙම උපාංගය දීප්තිමත් එසේ තැඹිලි පාටින් හෝ රතු පාටින් වර්ණ ගන්වා ඇත. ගුවන් යානයක් අනතුරට පත්වූ විට, එය එසේ වූයේ ඇයිදැයි දැන ගැනීමට උදවු වන්නේ මෙම කළු පෙට්ටියයි. කළු පෙට්ටියේ කොටස් දෙක වන්නේ, පියසැරි දත්ත රෙකෝඩරය සහ කොක්පිට් හෙවත් නියමු කුටියේ හඬ රෙකෝඩරයයි.

පියාසැරි දත්ත රෙකෝඩරයේ පටිගත වෙන්නේ ගුවන් යානයේ ක්‍රියාකාරීත්වයයි. යානයේ වේගය, උන්නතාංශය, දිශාව, ඇන්ජින් ක්‍රියාකාරීත්වය, ගුවන් යානයේ පිහිටීම, පියාපත්වල ක්‍රියාකාරීත්වය ආදිය සම්බන්ධයෙන් දත්ත මෙහි අඛණ්ඩව සටහන් වෙයි. මෙම දත්ත, පැය 25 ක් දක්වා ගබඩා කර තබා ගත හැකිය. නියමු කුටියේ සිදුවන සියලු‍ම ශබ්ද සහ කතාබහ පටිගත කෙරෙන්නේ නියමු කුටියේ හඬ රෙකෝඩරයේය. නියමුවන් අතර, නියමුවන් සහ ගුවන් ගමන් පාලක මැදිරිය අතර සිදුවන කතාබහ මෙන්ම, ඇන්ජින් ශබ්ද, අනතුරු ඇඟවීමේ ශබ්ද ආදී සියල්ල මෙහි පටිගත වෙයි.

එයාර් ඉන්දියා ඒ.අයි. 171 බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය කඩා වැටීමට හේතුව, යානයේ ඉන්ධන පාලන ස්විචය ක්‍රියා විරහිත වී තිබීම බව තහවුරු වී ඇත්තේ නියමුවන් දෙදෙනා අතරේ පැවැති කතාබහෙනි. ඉන්ධන සැපයුම විසන්ධි කිරීම සම්බන්ධයෙන් එක් නියමුවකු අනෙක් නියමුවාගෙන් විමසන අයුරු නියමු හඬ පටවල අඩංගු වෙයි. මා එවැන්නක් සිදු නොකළ බව එම නියමුවා පිළිතුරු දෙයි. ඉන්ධන සැපයුම විසන්ධි කිරීම කළේ ප්‍රධාන නියමුවා ද සහාය නියමුවා ද යන්න සම්බන්ධයෙන් පැහැදිලිව හඳුනා ගැනීමක් මෙතෙක් සිදුවී නැත. විමර්ශන වාර්තාවට අනුව, විසන්ධි කළ ඉන්ධන සැපයුම තත්පර කීපයක් ඇතුළත යථා තත්ත්වයට පත් කළ ද යානයේ පණ ගැන්වී ඇත්තේ ඇන්ජින් දෙකෙන් එක් ඇන්ජිමක් පමණි.

ගුවන් යානයක ඇන්ජින් දෙකම ක්‍රියා විරහිත වන අවස්ථාවක, ඒවා පණ ගැන්වීමට බලය සැපයීම සිදුවන කුඩා ටර්බයිනය ‘රැට්’ යන නමින් හැඳින්වෙයි. එම ටර්බයිනය ද ක්‍රියාත්මක වී තිබුණු බව ද විමර්ශන වාර්තාවේ සඳහන් වෙයි. කෙසේ නමුත් ඒ වන විට යානය ඉතා පහළින් පියාසර කරමින් තිබුණු බැවින්, එය එකවර ඉහළට එසවීමට ගුවන් නියමුවන්ට ප්‍රමාණවත් කාලයක් ලැබී නැති බවද විමර්ශන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි. නියමුවන් යානයට අනතුරක් සිදුවන බව සර්දාර් වල්ලභබායි පාටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පාලක මැදිරියට දැනුම් දී ඇත. ඒත් ඒ සමඟම යානය කඩා වැටුණි. ගුවන් යානා සම්බන්ධ විශේෂඥයන්ට අනුව, ගුවන් යානයක ඉන්ධන සැපයුම විසන්ධි කිරීමක් කරන්නේ යානය ගමනාන්තය කරා යෑමෙන් පසු හෝ ඇන්ජින්වල ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවකදී පමණි. යානයේ සුන්බුන් පරීක්ෂා කරද්දී, ඒවායේ ඉන්ධන සැපයුම් ස්විච ක්‍රියාත්මක කර තිබී හමුවුණු බව ද අදාළ විමර්ශන වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර, මූලික විමර්ශන වාර්තාව එළිදැක්වීමත් සමඟ අනතුර සම්බන්ධයෙන් වඩා විනිවිද භාවයකින් යුත් විමර්ශනයක් අවශ්‍ය බව, ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමය පවසයි. අදාළ විමර්ශන කටයුතු හසුරුවන ආකාරය පිළිබඳව තම සංගමය කනස්සල්ල පළ කර ඇත්තේ ගුවන් නියමුවකුගේ වරදින් අනතුර සිදුවූ බවට අනුමාන කෙරෙන දිශාවකට විමර්ශන යොමුවීම සම්බන්ධයෙන් බව ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමයේ සභාපති සෑම් තෝමස් පවසා ඇත්තේ, විමර්ශන සඳහා සුදුසුකම් ලත් පිරිස් සහභාගී වී ඇත්ත ද යන්න පිළිබඳව ගැටලු‍ මතුවන බැවිනි. විමර්ශන කටයුතු සිදුවන්නේ ඉන්දීය බලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. ඇමෙරිකන් මෙන්ම බ්‍රිතාන්‍ය විමර්ශකයන් ද ඉන්දීය විමර්ශකයන්ගේ සහායට පැමිණ සිටින බව පැවැසෙයි.

 

(***)
ලු‍සිත ජයමාන්න
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි



අදහස් (0)

එයාර් ඉන්දියා ගුවන් යානය කඩාවැටුණේ නියමු වරදින්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site