යුරෝපා රටක පදිංචිවෙන්න උතුරේ මනාලියක අතගන්න

දෙමළ ඩයස්පෝරාවේ ආරම්භය 1983 කළු ජූලිය වුවද ඊට මූලික පදනම වැටෙන්නේ 1977 ජාතිවාදී කෝලාහලයයි. 1977 සිංහල, දෙමළ ජාතිවාදී කෝලාහල සමයේදී දෙමළ උගතුන් හා ව්‍යාපාරිකයින් සුළු පිරිසක් යුරෝපයට සංක්‍රමණය වී තිබුණි. නමුත් 1983 කළු ජූලියේදී දෙමළ ජනතාව ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එහිදී දෙමළ ජාතිකයන් 500 ක් පමණ ඝාතනයට ලක්වූ අතර ලක්ෂ ගණනක් අවතැන් වී දැවැන්ත දේපළ විනාශයක්ද සිදුවිය.

‘දෙමළ ඩයස්පෝරාව’ යැයි වර්තමානයේ කී විට ශ්‍රී ලංකාවේ නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. නමුත් මීට දශක කීපයකට පෙර රටේ බහුතරය කෙසේ වෙතත් උගතෙකුගෙන් වුවද ඩයස්පෝරාව යනු කවරෙක්දැයි විමසුවොත් පිළිතුරක් එක එල්ලේම නොලැබෙනු ඇත. බොහෝ විට ඔහුටද පිළිතුරක් දීමට සිදුවන්නේ ඉංග්‍රීසි ශබ්ද කෝෂය බැලීමෙන් පසුවය.    

කෙසේ නමුත් රටේ බහුතරය, විශේෂයෙන් සිංහල ජනතාව දෙමළ ඩයස්පෝරාව හඳුනාගෙන සිටින්නේ ශ්‍රී ලංකාව තුළ වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා සැදී පැහැදී සිටින, ඒ සඳහා නොමසුරුව ආධාර උපකාර කරනු ලබන විදේශගත දෙමළ ප්‍රජාවක් බවයි. එහි වරදක්ද නැත. ඒ මක්නිසාද යත් පසුගිය කාලය පුරා ඔවුහු ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ අරියාදු කළහ. ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්, ක්‍රිකට් කණ්ඩායම් යුරෝපයට ගිය අවස්ථාවලදී විරෝධය පෑමට කටයුතු කළහ. එමෙන්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වූහ. බහුතර ශ්‍රී ලාංකිකයන්ට දකින්නට ලැබී තිබුණේ එවැනි සිදුවීම්ය. නමුත් මේ දෙමළ ඩයස්පෝරාව සම්බන්ධව ඇති නොකී කතා සිදුවීම් බොහෝය.   
දෙමළ ඩයස්පෝරාවේ ආරම්භය 1983 කළු ජූලිය වුවද ඊට මූලික පදනම වැටෙන්නේ 1977 ජාතිවාදී කෝලාහලයයි. 1977 සිංහල, දෙමළ ජාතිවාදී කෝලාහල සමයේදී දෙමළ උගතුන් හා ව්‍යාපාරිකයින් සුළු පිරිසක් යුරෝපයට සංක්‍රමණය වී තිබුණි. නමුත් 1983 කළු ජූලියේදී දෙමළ ජනතාව ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එහිදී දෙමළ ජාතිකයන් 500 ක් පමණ ඝාතනයට ලක්වූ අතර ලක්ෂ ගණනක් අවතැන් වී දැවැන්ත දේපළ විනාශයක්ද සිදුවිය. එහිදී වැඩිම ප්‍රහාර එල්ල වී තිබුණේ ​කොළඹ පදිංචි දෙමළ ජනතාවටය. එම අවස්ථාවේදී අගනුවර පිහිටි විදේශ තානාපති කාර්යාල නිලධාරීන් ඉදිරිපිට දෙමළ ජාතිකයන් ඝාතනය වී තිබුණි. ඔවුහු එම සිදුවීම් ඇසින් දුටු හා ඡායාරූප සාක්ෂි සමග සිය මව්රට වෙත වාර්තා කළෝය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාව මහ ජාතිය වූ සිංහලයන්ගේ කෲර වධහිංසාවට, ජනසංහාරයට ලක්වූ පිරිසක් ලෙස ලෝකය පුරා ප්‍රචාරය වීමය. එහිදී යුරෝපයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන රැකවරණ දීමට ඉදිරිපත් විය. ඒ අනුව යමක් කමක් කරගත හැකි බොහෝ දෙමළ ජනතාව යුරෝපයට සංක්‍රමණය වූහ. ජැන්ඩියට හැඳපැළඳ සිනා මුහුණෙන් කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන්ගත වන මොවුන් යුරෝපයේ ගුවන්තොටුපලට ගොඩබැස්ස විගස ශ්‍රී ලංකාවෙන් පීඩාවට පත්ව පැමිණි සරණාගතයන් බවට පත්වූහ. 80 දශකයේදී ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වැඩිම පිරිසක් සංක්‍රමණය වූ රට වූයේ ජර්මනියේ බර්ලිනයයි. දෙමැනි ලෝක යුද්ධයේ දී ජර්මනිය නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය ලෙස බෙදුණි. රටවල් දෙක බෙදුනේ බර්ලින් තාප්පයෙනි. නැගෙනහිර ජර්මනිය රුසියානු ආශිර්වාදය සහිත කොමියුනිස්ට් පාලනයක් පැවැති අතර බටහිර ජර්මනිය පැවතියේ ඇමරිකාවේ ආශිර්වාදය සහිත ධනවාදී පාලනයකි. එකල පැවැති සීතල යුද්ධය නිසා නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය වෙත සරණාගතයන් ලෙස පලා එන වැසියන් සඳහා වරප්‍රසාද රැසක් බටහිර ජර්මනිය විසින් ලබා දෙන ලදි. ඒ සඳහා නීති අණපනත්ද සම්මත කර තිබුණි. එලෙස පැමිණෙන පිරිස් සඳහා නොමිලේ නවාතැන්, අධ්‍යාපනය. ප්‍රවාහනය ආදී මූල්‍ය ආධාර ආදී වරප්‍රසාද රැසක් හිමි විය. මෙම වරප්‍රසාද ‘සරණාගත’ ලේබලය යටතේ බටහිර ජර්මනිය විසින් ලබා දුන් බැවින් ශ්‍රී ලංකාවේ සිට බර්ලිනයට සංක්‍රමණය වූ දෙමළ ජනතාව ද එම සරණාගත ලේබලය යටතේම සියලුම වරප්‍රසාද සඳහා හිමිකම් කීවෝය. වර්තමානය වන විට ජර්මනිය. කැනඩාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, එංගලන්තය, ඇමෙරිකාව, නෝර්වේ, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ආදී රටවල ශ්‍රී ලාංකික දෙමළ ජනගහනය මිලියන දෙකක් පමණ වේ. ශ්‍රී ලංකා දෙමළ එසේත් නැතහොත් දෙමළ ඩයස්පෝරා වැඩිම පිරිසක් සිටින රාජ්‍යය වනුයේ කැනඩාවයි. එම සංඛ්‍යාව ලක්ෂ 07 ක් පමණ වේ.   

 

  • ඩයස්පෝරා පවුලකින් විවාහ වන මනාලයකුට දෑවැද්දට ලැබෙන්නේ යුරෝපයේ ස්ථීර පදිංචිය   
  • වව්නියාවේ පමණක් පීසා අවන්හල් පහක් තිබෙනවා
  • වවුනියාවේ කෝවිලක වෙන්දේසියකදී අඹගෙඩි තුනක් ලක්ෂ දහයකට මිලදී ගත්තේ ඩයස්පෝරා පවුලක්


කෙසේ නමුත් දෙමළ ඩයස්පෝරාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් උතුරු පළාත තුළ උපසංස්කෘතියක් බිහිකර තිබේ. ඊට ප්‍රධානම සාධකය වී ඇත්තේ දෙමළ ඩයස්පෝරාව වෙතින් රට තුළට ගලා එන විදේශ විනිමයයි. විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් පදිංචි වී සිටින රටවල් ලෝකයේ ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටවල් වීම මත මේ තත්ත්වය උදාවී ඇත. දෙමළ ඩයස්පෝරාව ප්‍රසිද්ධියේ කොතරම් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් පෙනී සිටිය ද අප්‍රසිද්ධියේ ඔවුන් කියනුයේ, ‘යුද්ධය නැති නිසා දේශපාලන රැකවරණ ගනිද්දි අපට පොඩි ගැටලුවක් වුණත් අපේ පොකැට් එකට හරි ගියේ එල්.ටී.ටී.ඊ එක නැති වුණාට පස්සේ යනුවෙනි. ඔවුන් එසේ පැවසුවේ වෙන කිසිවක් නිසා නොව යුද්ධය පැවැති සමයේදී එල්.ටී.ටී.ඊ ට අවි ආයුධ මිලදී ගැනීම ඇතුළු එල්.ටී.ටී.ඊ නඩත්තුව සඳහා විශාල ධනස්කන්ධයක් ආධාර ලෙස හා කප්පම් ලෙස කොටින්ට දීමට සිදුවිය. එසේම යුරෝපයේදී දෙමළ ජාතිකයා කරන වරදකට වන්දි ගෙවීමට සිදුවූයේ කොටි පාලනයේ පදිංචි ඔවුන්ගේ ඥාතීන්හටය. යුද සමයේදී පවුම් හෝ ඩොලර් 100, 200, 500 ආදී වශයෙන් තමන් උපයන මුදල් අනුව මාසිකව එල්.ටී.ටී.ඊ ට ගෙවීමට සිදුව තිබුණි. ඊට අමතරව යුරෝපයේ පිහිටි දෙමළ ජාතිකයන්ට අයත් සුපර් මාර්කට් වැනි ව්‍යාපාර ආයතන තුළ කොටි ලාංඡනය සහිත ආධාර කැට, කැෂියර් මේසය අසල තිබීම සාමාන්‍ය දර්ශනයක් විය. එහිදී බොහෝ පාරිභෝගිකයන් තමන්ට ලැබෙන ඉතිරි මුදල් ඊළාම් ආධාර කැටයට දැමීම පුරුද්දක් කරගෙන තිබුණි. වර්තමානය වන විට ඊළාම් ආධාර කැට නැත. එමෙන්ම යුරෝපය තුළ අවන්හල්, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙ​ෙළඳසැල්, මහල් නිවාස, ඔසුහල් වැනි නිත්‍යනුකූල ව්‍යාපාර මෙන්ම නීතිවිරෝධී කොකේන්, මත්කුඩු ජාවාරම් ද පවත්වා ගෙන යමින් සිය සංවිධානයට අවශ්‍ය මුදල් ලබාගන්නා ලදී. එල්.ටී.ටී.ඊ සංවිධානයේ විනාශයත් සමග කොටි මූල්‍ය ජාලය බිඳ වැටුණි. එහි ප්‍රතිඵලය වූයේ කොටින්ගේ ව්‍යාපාර එම ව්‍යාපාර පවත්වාගෙන යාමට භාරදී තිබුණ පුද්ගලයන්ගේ පෞද්ගලික දේපළ බවට පත්වීමයි. ලියුම්කරු සමග එක් දෙමළ ජාතිකයෙකු කීවේ, ප්‍රභාකරන් මැරුණ 2009 මැයි 19 දිනේට පස්සේ දවසේ (මැයි 20) නිකම් පඩියට වැඩ කරපු සේවකයෝ හිතන්න බැරි ගානක් කෝටිපති ව්‍යාපාරිකයෝ වුණා.’ යනුවෙනි. කෙසේ නමුත් මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ දෙමළ ඩයස්පෝරාව යනු ධන උල්පතක් වීමයි. මේ ධන උල්පත රටේ අංක එකේ පුරවැසියා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුටුවේය. ඒ නිසාම ඔහු සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ විගසම ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස දෙමළ ඩයස්පෝරාවට ආරාධනය කළේය. මේ ඩයස්පෝරා ධන උල්පතෙන් ගලා එන සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගලා එන අතර එයින්ද වැඩිම ප්‍රමාණයක් එන්නේ උතුරටයි. එලෙස ගලා එන්නේ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් උතුරේ සිටින සිය පවුලේ ඥාතීන්ගේ විය හියදම් සඳහා මුදල් එවීම හා විදේශයේ සිට නිවාඩුව ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විට මුදල් විය පැහැදම් කරන නිසාය. මේ තත්වය මත උතුරේ ඇතැම් ව්‍යාපාර මෙන්ම ජන ජීවිතය ද දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා සපිරෙන ලෙස සකස් වෙමින් පවතී. ඊට හොඳම උදාහරණය ලෙස පීසා අවන්හල් දැක්විය. මේ වන විට කොළඹ තිබෙනවාට වැඩි පීසා අවන්හල් ප්‍රමාණයක් යාපනයේ ඇත.

වව්නියාව නගරය තුළ පමණක් තිබෙන පීසා අවන්හල් සංඛ්‍යාව 05 කි. යාපනයේ තිබෙන තරම් අතිසුඛෝපභෝගී බස් රථ වෙනත් කිසිම නගරයක නැත. මේ සියලු බස් රථ ධාවනය කෙරෙනුයේ කොළඹ - යාපනය අතරය. රුපියල් 3000 - 4000 ක් වන මෙම බස්රථයක ටිකට්පත් අලෙවි වන්නේ උණු කැවුම් මෙනි. මේ ටිකට්පත් සඳහා ලැබෙන බොහෝ මුදල් ඩයස්පෝරා මුදල්ය. පසුගිය කාලයේදී රට තුළ පැවැති මූල්‍ය අර්බුදයත් සමග බොහෝ ප්‍රදේශවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩාවැටීම් සිදුවුවද යාපනයට එතරම් බලපෑමක් වූයේ නැත. වෙනදා ඩොලර් 1000 ක් එව්වම අපට ලැබුණේ රුපියල් ලක්ෂ දෙකයි. දැන් ලක්ෂ 04 කට කිට්ටු මුදලක් ලැබෙනවා. ඒ බඩු ගණන් ගිය එක අපට ප්‍රශ්නයක් නෙමෙයි. ඩයස්පෝරා මුදල් ලැබෙන පවුල් භාණ්ඩ මිල ඉහළ යෑම පිළිබඳව කීවේ එවැන්නකි. පහුගිය කාලයේදී දකුණේ සංචාරක හෝටල් වෙ​ෙළඳාම කෙතරම් පහළ බැස තිබුණ ද උතුරේ සංචාරක හෝටල් කාමර අමුත්තන්ගෙන් පිරී පැවතුණි. ඒ සියලු දේ අතර තිබුණේ ඩයස්පෝරා මුදල්ය. විශේෂයෙන් ම යුදහමුදාව විසින් පාලනය කෙරෙන යාපනය කන්කසන්තුරේ ‘තල් සෙවණ’ හෝටලය වසරේ ජූනි, ජූලි, අගෝස්තු මාසවල කාමර පිරී පවතින්නේ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ගෙනි. විදේශගත දෙමළ ඩයස්පෝරා මුල් පරම්පරාව ලංකාවට පැමිණි විට තමන් උපන් ගෙදර නවාතැන් ගැනීමට කැමැති වුවද ඔවුන්ගේ දෙවන පරම්පරාව ඊට කැමැති නැත. ඒ මක්නිසාද යත් දරුවන් යුරෝපයේ ඉපිද එම පරිසරයට හැඩ ගැසී ඇති බැවින් ලංකාවේ නිවාස තුළ පහසුකම් ප්‍රමාණවත් නැත. ඔවුන්ට යාබද නාන කාමර සහිත වායුසමීකරණය කරන ලද කාමර අවශ්‍ය වේ. ඒ නිසා බොහෝ ඩයස්පෝරා සාමාජිකයන් සිය පවුලේ සාමාජිකයන් සමග ලංකාවට පැමිණි විට දහවල් කාලය සිය උපන් ගෙදර ගතකර රාත්‍රිය ගත කිරීම සඳහා සංචාරක හෝටල් වෙත යති. මෙම පිරිස්වලට නවාතැන් සැපයීම සඳහා විදේශීය සංචාරකයන් ඉලක්ක කර දකුණේ තිබෙන Home Stay සංචාරක කර්මාන්තයට සමාන සංචාරක නවාතැන් සේවා ක්‍රමයක් උතුරේද මේ වන විට ක්‍රියාත්මකව පවතී. කෙටියෙන් කිවහොත් උතුරේ සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම රැඳී පවතින්නේ දෙමළ ඩයස්පෝරාවට සේවා සැපයීම මතය.  


ඉතිහාසයේ කිසිම දිනක දකුණේ මෙන් ඉඩම් කැබලිකර විකිණීමේ දේපළ වෙළෙඳ සමාගම් උතුරේ තිබුණේ නැත. උතුරේ ඉඩම් කොටස් කර අලෙවි වුවද එම අලෙවිය දන්නේ මිනින්දෝරුවා විකිණුම්කරු හා ගැනුම්කරු පමණි. නමුත් මේ වන විට දකුණේ මෙන් උතුරේද ද ​ඩෝසර් කර ලී කණු ගසා කට්ටි කර ඉඩම් කැබලි කර ප්‍රචාරය කර විකිණීම ද සිදුවේ. එලෙස විකුණනු ලබන්නේ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ඉලක්ක කරමිනි. දෙමළ ඩයස්පෝරාව උතුරේ ආර්ථිකය පමණක් නොව ආගම ද ආක්‍රමණය කර තිබේ. උතුරේ බොහෝ හින්දු කෝවිල්වල දායක සභාවේ ප්‍රධානත්වය හිමිව ඇත්තේ ඩයස්පෝරා සාමාජික පවුල්වලටය. හින්දු පූජක පක්ෂය එලෙස කටයුතු කරන්නේ ඔවුහු කෝවිල සංවර්ධනය සඳහා අත දිග හැර වියදම් කරන බැවිනි. පංසල්වල පවත්වන කඨින පිංකමට සමානව හින්දුන් විසින් පවත්වන ‘තිරුවිලා’ කෝවිල් උත්සවය පැවැත්වීමට දින තීරණය කරන්නේ ද ඩයස්පෝරා සාමාජිකයන් වැඩි පිරිසකට සහභාගි වීමට හැකි දිනයකදී. මීට මාස කීපයකට පෙර වව්නියාවේ කෝවිල් සල්පිලකදී අඹ ගෙඩි තුනක් රුපියල් ලක්ෂ 10 කට වෙන්දේසි වූ බව මාධ්‍ය තුළ ප්‍රචාරය විය. ලක්ෂ 10 කට අඹගෙඩි තුන මිලදී ගෙන තිබුණේ ඩයස්පෝරා පවුලක් විසිනි.  

 


ආවාහ විවාහයකදී දෑවැද්ද යනු දෙමළ සංස්කෘතිය සමගම බැඳී පවතින්නකි. වෘත්තීන් අනුව කම්කරුවාගේ සිට වෛද්‍ය, ඉංජිනේරුවා රුපියල් ලක්ෂ 05 සිට කෝටි 2 - 3 දක්වා දෑවැදි මිලක් නියම වී තිබේ. නමුත් මේ වන විට දෑවැද්දට ඩයස්පෝරාව මැදිහත් වී ඇත. මේ වන විට මනමාලයාට දෙනු ලබන දෑවැද්ද පැකේජයට යුරෝපා රටක පදිංචිය ද එක්ව තිබේ. මෙහිදී බොහෝ විට සිදුවන්නේ මනමාලිගේ පවුලේ සාමාජිකයන් ඩයස්පෝරා සාමාජිකයෙකු නම් මනමාලයාට දෙන පොරොන්දුව වන්නේ මනමාලිය සමග මනමාලයා යුරෝපයේ පදිංචියට ගෙන්වා රැකියාවක් ද සොයාදෙන බවයි. බොහෝ මනමාලයන් දෑවැද්දට වඩා මේ ක්‍රමයට කැමැතිය. මෙලෙස විවාහ වූ එක් පුද්ගලයෙකු ලියුම්කරු සමග කීවේ ඒ දෑවැද්දට මුදල් ගත්තේ නම් නොදැනීම වියදම් වන බවත් යුරෝපයේ පදිංචියට ගිය පසු තම පවුලේ සාමාජිකයන්ද ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.  
මේ ආකාරයට බූවල්ලෙකු මෙන් උතුරේ ජන ජීවිතය දෙමළ ඩයස්පෝරාව ග්‍රහණයට නතු වෙමින් පවතී. නමුත් ශ්‍රී ලාංකිකයන් ලෙස රටට වැදගත් වන්නේ මසකට ඔවුන් විසින් ලංකාවට ගෙන එනු ලබන ඩොලර් මිලියන ගණනක මුදල්ය. එලෙස රටට ලැබෙන මුදල් වැඩිකර ගැනීමට නිසි වැඩ පිළිවෙළක් රට තුළ සකස් වී නැත.  


මෙහිදී අවසාන වශයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය නම් මෙම ලිපිය මගින් උතුරේ පදිංචිකරුවන් සියලු දෙනා විදේශ මුදල් ලැබෙන ධනවතුන් ලෙස නොසිතිය යුතුය. උතුරේ ද අන්ත දුගී ජන කොට්ඨාසයන් ද ජීවත් වෙති.  

 

 

සටහන
ඕමන්ත ප්‍රියන්ත හේවගේ