මේ වනවිට රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස පෙනෙන්නේ පාර්ලිමේන්තුවේ ආසන 40ක් ඇති සමගි ජන බලවේගය නොව ආසන 3ක් පමණක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කිරීමෙන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන් මහජන මුදලින් නඩත්තු කිරීම නතර කිරීමට පියවර ගැනීමත් සමග ඇතිවූ තත්වය මෑතකදී අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නට යොදා ගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබීමෙන් පසු ඇති වූ තත්වයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙම වාසිදායක තත්වය හිමිකර දී ඇත.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කිරීමෙන් මහජන මුදලින් නඩත්තු වීමේ අවස්ථාව අහිමි වූයේ පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොවේ. චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන අයට හා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියටද එම අවස්ථාව අහිමිව ගියේය.
එහෙත් මෙය ප්‍රශ්නයක් කරගත්තේ පොදුජන පෙරමුණ පමණි. එමගින් එය එම පෙරමුණ හා ජාතික ජන බලවේගය ආණ්ඩුව අතර ගැටුමක් බවට පත්විය. මත්ද්‍රව්‍ය වැටළීමත් සමග එම මත්ද්‍රව්‍ය හා පොදුජන පෙරමුණ අතර සමීප සබඳතාවක් ඇතැයි යන හැඟීමක්ද ගොඩ නැගෙමින් තිබේ.
ඒ ප්‍රශ්නය සමග රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය අතර සබඳතාවක් ඇති බවද පොලීසිය පවසයි. මේ නිසාත් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් කලෙක පටන් ගොඩනැගී ඇති යම් යම් මත නිසාත් පොදුජන පෙරමුණ හා ආණ්ඩුව අතර ගැටුම තීව්‍ර වී එම පෙරමුණ වෙතට දැඩි මහජන අවධානය යොමු වීමත් සමගම සජබ යටපත් කරගෙන ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත් වී ඇත.
අනෙක් අතට සෑම විරුද්ධ පක්ෂයක්ම උත්සාහ කරන්නේ පවතින ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳින්නටය. එහෙත් ඒ කාරණයේදී සජබ බොහෝ විට ඒ සඳහා යොදාගෙන අත්තේ සාමාන්‍ය ජනතාවට එතරම් නොදැනෙන ප්‍රශ්නයයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ සැණින් ජනාවට දැඩි ලෙස දැනෙන ප්‍රශ්න ගණනාවක් ඇති විය. මුලින්ම ඇති වූයේ දැඩි සහල් හිඟයක් හා විශාල වශයෙන් සහල් මිල ඉහළ යාමයි. සහල් හිඟය පිළිබඳ මුල්ම ප්‍රවෘත්තිය ලංකාදීප පුවත්පතේ පළ වූයේ ජාජබ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වී හරියටම සතියකිනි. ඉන් පසු රටේ බිත්තර හිඟයක් හා බිත්තර මිල ඉහළ යාමක් ඇති විය. අනතුරුව පොල් හිඟයක් හා පොල් මිල ඉහළ යාමක් ඇති විය. විපක්ෂය මේවා ගැන ආණ්ඩුවට චෝදනා කළ ද මේවා පසුගිය ආණ්ඩු ගත් ක්‍රියාමාර්ගවලට ප්‍රතිඵල යැයි ජාජබ නායකයන් කළ ප්‍රකාශ ජනතාව පිළිගත් බවක් පෙනෙන්නට තිබිණි.
මේ අතර විපක්ෂය ජාජබ ආණ්ඩුවේ ප්‍රථම කතානායක අශෝක රංවල මහතාගේ නමේ මුලට තිබූ ආචාර්ය පට්ටම අභියෝගයට ලක් කළේය. එය සාර්ථක විය. තමන්ට ආචාර්ය උපාධියක් ඇති බව ඔප්පු කරන්නට රංවල මහතාට නොහැකි විය. එහෙත් ජාජබ එය ද තම වාසියට හරවා ගත්තේ ජනාධිපතිවරයා රංවල මහතාට කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට උපදෙස් දීමෙනි. කෙසේ වෙතත් ඉන් එම පක්ෂයට ඇති වූ කැළල මුළුමනින්ම මකා දැමීමට ඊට නොහැකි විය. එසේ වුව ද එම ප්‍රශ්නය මෙරට සාමාන්‍ය ජනතාවට කොතෙක් වැදගත් වුයේද යන්නද ප්‍රශ්නයකි.
ඉන්පසු සජබ ඉකුත් අගෝස්තු මාසයේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමැති, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන්නේය.
එම විශ්වාසභංග යෝජනාවේ හරය වූයේ 2019 පාස්කු ඉරිදා කිතුනු ජනතාව ඉලක්ක කර ගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන විට යුද හමුදාවේ නැගෙනහිර පළාත් බාර ආඥාපතිව සිටි ජයසේකර මහතා එදා තම රාජකාරිය හරි හැටි ඉටු නොකළේය යන්න හා ඔහු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් දැනට එම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණවල බලපෑම් කළ හැකිය යන්නය.
එහෙත් මෙම යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයකට ඉඩ දිය හැකිද යන කාරණය පිළිබඳ තම තීරණය කතා නායකවරයා සති ගණනාවක් ප්‍රමාද කළේය. අවසානයේ දී ඔහුගේ තීරණය වූයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්ප්‍රදාය විරෝධී වන නිසාත් වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරුන්ට නිශ්චිත වගකීම් පවරනු ලැබ නැති නිසාත් එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවය.
මෙහිදී දෙපාර්ශ්වයම පක්ෂ දේශපාලන ඇසින් ප්‍රශ්නය දෙස බැලුවා විනා ජනතා යහපත ඔවුන්ගේ අරමුණ නොවීය. ජාජබට කතානායකවරයා හැර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 158 දෙනකුගේ සහාය ලැබෙන තත්වය යටතේ මෙම විශ්වාසභංග යෝජනාව පරාජය වීම අනිවාර්යය. එහෙත් සජබ උත්සාහ කළේ එම යෝජනාව මුල් කරගෙන පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් ආණ්ඩුවට එරෙහිව සාධාරණ මෙන්ම අභූත චෝදනා එල්ල කරමින් පාර්ලිමේන්තුව දේශපාලන වේදිකාවක් කර ගන්නටය.
ජයසේකර මහතාට එරෙහිව සජබ එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් කිසිදු මහජන උද් යෝගයක්ද ඇති වූයේ නැත. ඒ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා ජනාධිපතිවරුන් විසින් පත් කරන ලද කොමිෂන් සභා සහ කමිටු කිසිවකින් එවැනි චෝදනාවක් එල්ල නොවූ නිසා විය යුතුය.
අනෙක් අතට පාස්කු ඉරිදා ප්‍රහාර ප්‍රධාන වශයෙන්ම එල්ල වූ බස්නාහිර පළාතේ සංචාරක හෝටල්වලට හා කිතුනු දෙවස්ථානවලටය. එමෙන්ම එම ප්‍රහාරවලට සම්බන්ධ සිදුවීම් ගණනාවක් මධ්‍යම පළාතේ නුවරඑළිය හා සබරගමුව පළාතේ මාවනැල්ල යන ප්‍රදේශවලටත් වයඹ පළාතේ ඒ සියල්ලටම හමුදා බුද්ධි අංශයේ දුර්වලතා හේතු වී යැයි ද කෙනකු චෝදනා කළ හැකිය. ඒ අනුව එම පළාත්වල හමුදා ඇමැතිවරුන්ට හා විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශයට ද චෝදනා කළ හැකිය. එසේ තිබිය දී නැගෙනහිර පළාත් විශේෂත්වයක් කර සැලකීම තේරුම් ගත නොහැකිය.
එසේ කළ හැකිදැයි සජබ නායකයන් පසුගිය වසරේ තම පක්ෂයට බැඳුණ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ සමයේ හමුදාපති වූ විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය යුතුව තිබිණි. හමුදා බුද්ධි අංශය සෘජුවම වග කියන්නේ හමුදාපතිවරයාටය.
කෙසේ වෙතත් මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පිළිගත නොහැකිය. ආණ්ඩුවට හා ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව පමණක් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණේ නම් ඒ 1981 ට පෙරය. එම වසරේදී එවක ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව එවක විපක්ෂ නායකයා වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරමින් එම සම්ප්‍රදාය බිඳ දැමීය.
කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමැතිවරයකු වශයෙන් ජයසේකර මහතාට නිශ්චිත නිල වගකීම් පැවරි නැති හෙයින් ඔහුට පරීක්ෂණවලට බලපෑම් කරන්නට හැකියාවක් නැතැයි යන්න තර්කානුකූල වේ. එහෙත් එහිදී මතුවන අනෙක් ප්‍රශ්නය නම් ඉටු කරන්නට වගකීම් නැති නම් වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරුන් එම ධුරයට හිමි දීමනා, වැටුප් හා කාර්යාල පහසුකම් වැනි පහසුකම් ලබා ගන්නේ ද යන්නය. මෙහිදී ආණ්ඩුව කළේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් සජබ ඉදිරිපත් කරන්නට ගිය විශ්වාස භංග යෝජනාව බලය යොදා යටපත් කිරීමය.
එසේ වුවද මහජනතාවට සෘජුව බලපාන්නේ නැති වුවද නිසි පරීක්ෂාවකින් තොරව පසුගිය ජනවාරි මාසයේ දී බහාලුම් 323ක් වරායෙන් නිදහස් කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි විරුද්ධ පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනාවේ යම් වටිනාකමක් ඇත. ඊට එම වටිනාකම දී ඇත්තේ ද ආණ්ඩුවය. ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත්කර ඒ අනුව ගත යුතු නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග නොගැනීම නිසාය.
ආණ්ඩුව මෙම කමිටු වාර්තාව ප්‍රකාශයට පත් නොකළද එය ලබා ගැනීමට දැනටමත් සජබ මන්ත්‍රීවරුන් සමත් වී ඇත. සජබ මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා සති කීපයකට පෙර එම වාර්තාව උපුටා දක්වමින් එම බහාලුම් නිදහස් කිරීමේ දී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි කීමෙන් ඒ බව පෙනේ.
එහිදී සජබ මන්ත්‍රීවරුන් වෙත ඇත්තේ වැරැදි වාර්තාවකැයි ආණ්ඩුවේ ඇමැතිවරු නොකීහ. ඔවුන් පැවැසුවේ සජබ උපුටා දක්වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක වාර්තාවක් විනා සජබ නායකයන් සොයා ගත් කරුණු නොවන බවය. එසේ ජනාධිතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව විපක්ෂය අතට පත් වූ බව ආණ්ඩුව පිළිගත්තේ නම් ඔවුන් කළ යුත්තේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ගත හැකි නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමය.
කෙසේ වෙත් එම වාර්තාව තමන් අතට පත්වී තිබියදීත් එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට ආණ්ඩුවට බල නොකර එම සිද්ධිය ගැන මාස ගණන් දිග්ගැස්සෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පරීක්ෂණයක් ඉල්ලා සිටීමෙන් විපක්ෂය කරන්නේ මහජන මුදලින් ප්‍රචාරක වාසියක් ලබා ගන්නට උත්සාහ කිරීමය.
එම වාර්තාව පිළිබඳ ලිපියක් ඩේලි මිරර් පුවත්පතේ ද පසුගියදා පළවිය. ඒ අනුව මතභේදයට තුඩු දී ඇත්තේ බහාලුම් 323 ක් නොව 309කි. ඒවා අතර භෞතික පරීක්ෂාවකට ලක් කළ යුතු රතු ලේබල් සහිත බහාලුම් ද තිබී ඇත.
වඩා වැදගත් කාරණය නම් මෙම බහාලුම් මේ ආකාරයට නිදහස් කරනු ලැබ ඇත්තේ 2024 ජුලි මාසයේ දී ශ්‍රී ලංකා රේගුව විසින් ගන්නා ලද තීරණයක් අනුවය. එම තීරණය අනුව මීට පෙර ද 13 වතාවක් මෙසේ බහාලුම් නිදහස් කරනු ලැබ ඇත. ඩේලි මිරර් වාර්තාව අනුව එසේ නිදහස් කරන ලද සමස්ත බහාලුම් සංඛ්‍යාව 2215ක් බව ද ඒවා අතර රතු ලේබල් සහිත බහාලුම් 999 ක් ද තිබී ඇත. එම 13 වතාවේ දී නිදහස් කරන ලද බහාලුම් පිළිබඳව කතා නොකර වත්මන් ආණ්ඩුව යටතේ නිදහස් කෙරුණ බහාලුම් ගැන පමණක් කතා කිරීමෙන් විපක්ෂය මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කර ඇති බව මනාව පෙනේ.
එසේම මුලදී මෙම බහාලුම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර සානිෆ් යුසුෆ් මහතාට අයත් යැයි විපක්ෂය කියා සිටීමෙන්ද පසුව මෙම බහාලුම් හා මිද්දෙණියේ දී හමුවූ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අමුද්‍රවය ඇතුළත් බහාලුම් අතර සම්බන්ධයක් ඇතැයි පැවසීමෙන්ද ඔවුන් කළේ එයමය. කළ යුත්තේ ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් කර එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බල කිරීමය.
(*** එම්.එස්.එම්.අයුබ්)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘උඩපන්දු‘ අත්හරින විපක්ෂය