ලොව අගනා මැණික් වර්ග රාශියක් ජනිත වූ භූමියක් ලෙස ශ්‍රී ලංකාව දුරාතීතයේ පටන් ප්‍රසිද්ධියට පත්ව ඇත. රත්නපුරයේ මඩ ගොහොරැවකින් හෝ ගං ඉවුරක ඉල්ලම් පසෙන් හමුවන දිදුලන කුඩා ගලක ගැබ්ව ඇති මූල්‍යමය වටිනාකම නිශ්චිතව නිර්ණය කරගැනීම, විශේෂ අධ්‍යාපනයක්,   දැනුමක් හා පළපුරුද්දක් නිබඳවම පැවතිය යුතු තත්ත්වයකි.

 

වටිනා මිණිවල අනන්‍යතාවය නිවැරදිව හඳුනා ගැනීම සඳහා වසර ගණනාවක් පුරා අත්හදා බැලීම් හා පර්යේෂණවල නිරත වූ ශ්‍රී ලාංකික මැණික් විද්‍යාඥයෙකු වන මිලින්ද එදිරිසිංහ, අද වන විට මැණික් හඳුනා ගැනීමේ නව මෙවලමක් නිර්මාණය කරමින් ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. මැණික් ගලක සැඟවුණු කතාව විද්‍යාත්මකව කියවා ගැනීමට උපකාරී වන මෙම නිර්මාණය, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ මැණික් කර්මාන්තයට නව මාවතක් විවර කරනු ඇත.

 

නවීන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කළ නව මෙවලමක් නිර්මාණය කිරීමට හෙතෙම සමත් වී ඇත. අවශෝෂක වර්ණ(Absorption Colors) පදනම් කරගෙන ඉතා පැහැදිලි වර්ණාවලි රූප ලබාගත හැකි මෙම උපකරණය, මැණික් ගලක සැබෑ අනන්‍යතාවය ඉහළ නිරවද්‍යතාවයකින් හඳුනා ගැනීමට උපකාරී වේ. පරීක්ෂා කරන මැණිකේ නියැදි දත්ත කෘත්‍රිම බුද්ධි පද්ධතියකට ඇතුළත් කිරීමෙන්, එම මැණිකට අදාළ පුළුල් තොරතුරු මිනිත්තු කීපයක් තුළ ලබාගත හැකිය. එසේම කෝණ අටකින් ලබාගන්නා ඡායාරූප සහ එමගින් නිර්මාණය කරගන්නා වර්ණාවලි ඇල්ගෝරිතම (Spectrum Algorithm) විශ්ලේෂණය කිරීම හරහා මැණික් ගල පිළිබඳ වඩාත් නිවැරදි හා විශ්වාසදායක දත්ත රැසක් අනාවරණය කරගැනීමේ හැකියාවද මෙම නව නිර්මාණයට ඇත. මෙතෙක් කාලයක් මැණික් හඳුනා ගැනීම ප්‍රධාන වශයෙන් සිදු වූයේ මැණික්වේදීන්ගේ හෝ මැණික් විශේෂඥයින්ගේ දෘශ්‍ය පරීක්ෂාව සහ සීමිත තාක්ෂණික උපකරණ මත පදනම්ව වුවද, මෙම නව මෙවලම එම ක්‍රමවලට වඩා ඉහළ නිරවද්‍යතාවයක් සහිත විද්‍යාත්මක විසඳුමක් ලෙස සැලකේ.

 

“මැණික් විද්‍යාගාරවල සේවය කරන මැණික්වේදීන් (Gemologists) ට මෙම උපකරණය භාවිතා කරමින් අදාළ මැණික් ගල සුදුසු ලෙස තබා එයින් අවශ්‍ය වර්ණාවලි දත්ත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.මෙම පද්ධතිය මගින් මැණික් සම්බන්ධ සියලුම තොරතුරු නිවැරදිව ලබා ගත හැකි අතර, මැණික්වේදියෙකු ඇසින් පරීක්ෂා කිරීමේදී සිදුවිය හැකි යම් වෙනස්කම් හෝ දෝෂ මෙහිදී සිදුවන්නේ නැහැ. ඒ අනුව මෙම උපකරණය මගින් දෝෂ අනුපාතය සියයට 0යි. Digital Spectrum Analysing Syetem නම් මෙම තාක්ෂණික උපකරණය සහ ක්‍රමවේදය භාවිතයෙන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව නිවැරදි දත්ත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම උපකරණය පහසුවෙන් ඕනෑම ස්ථානයකට රැගෙන යාමට හැකි අතර, ඒ සඳහා අවශ්‍ය වන්නේ එම විශේෂිත උපකරණය සහ අදාළ යෙදුම (app) ජංගම දුරකථනයට බාගත කරගෙන තිබීම පමණයි.” මිලින්ද එදිරිසිංහ“ඉරිදා ලංකාදීපය”ට පැවසීය.

 

මැණික් හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණික මෙවලමක් නිර්මාණය කළ ශ්‍රී ලාංකීය විද්‍යාඥ මිලින්ද එදිරිසිංහගේ නිර්මාණශීලී ගමන අද ආරම්භ වූවක් නොවේ. ඔහුගේ පළමු නව නිපැයුම වාර්තා වන්නේ 2009 වසරේදීය. එම වසරේදී ඔහු "Cool Eye Mask" නම් ඇස් සඳහා සහනදායී ආවරණයක් නිර්මාණය කළේය. විශේෂ ජෙලි ද්‍රව්‍යයකින් පිරවූ මෙම ආවරණය ඇස මත පැළඳීමෙන් ඇස්වල වෙහෙස, උණුසුම සහ අපහසුතාව අවම කර ගැනීමට හැකියාව ලැබේ. බොහෝ දෙනා සාම්ප්‍රදායිකව පිපිඤ්ඤා පෙති ඇස් මත තබා ගැනීමෙන් අපේක්ෂා කරන සිසිලසට වඩා දිගුකාලීන හා ප්‍රායෝගික සහනයක් මෙම නිර්මාණය මගින් ලබා දෙන බව ඔහු පවසයි. විශේෂත්වය වන්නේ මෙම ආවරණය ශීතකරණයේ තබා නැවත නැවත භාවිත කළ හැකි වීමයි. ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ජංගම දුරකථන, පරිගණක හෝ ටෙලිවිෂන ආදිය දීර්ඝ කාලයක් පරිහරණය නිසා ඇති වන ඇස් දැවිල්ල, ඇස් වියළීමේ ප්‍රශ්න(Dry eye problems) වැනි අසමතුලිතතාවයන්ට මෙම cool eye mask පැළදීම ඉතා හොඳ ප්‍රතිකර්මයකි. එම නිර්මාණය ඔහුගේ පර්යේෂණශීලී සිතුවිලිවල ආරම්භය සනිටුහන් කළ අතර, අද වන විට කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් මැණික් හඳුනාගැනීමේ ඉතා සංකීර්ණ නව තාක්ෂණයක් දක්වා ඔහුගේ නිර්මාණාත්මක ගමන දිග හැරී ඇත.

 

     "මට මුණගැහෙන හැම සිදුවීමක්ම මම වෙනස් කෝණයකින් බලන්න උත්සාහ කරනවා. මිනිසුන්ගේ කාර්යයන් තිබෙන තත්වයෙන් වඩාත් පහසු කරන්නේ කොහොමද කියලා නිතරම හිතනවා."

 

"මෙම නව උපකරණය මගින් මැණික් ගලක වර්ණාවලි දත්ත මෘදුකාංගය මගින් ඇල්ගොරිතමයන් බවට පෙරළමින් මැණික් ගල පිළිබඳව බොහෝ කරුණු අප වෙත හෙළි කරනවා. ඒ වගේම දැනට ලෝකයේ හඳුනාගෙන ඇති විවිධ මැණික් නියැදිවල දත්ත විශාල ප්‍රමාණයක් අපි පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා."

 

"උදාහරණයක් ලෙස ස්වාභාවික නිල් මැණිකක් ගැන ගත්තොත්, එහි වර්ණය, ව්‍යුහය, ආලෝක ගුණාංග සහ අනෙකුත් විශේෂතා සම්බන්ධ දත්ත රැසක් පද්ධතිය තුළ ගබඩා කර තිබෙනවා. අලුත් නිල් මැණිකක් පරීක්ෂා කිරීම සඳහා එහි දත්ත ඇතුළත් කළ විට, එය පෙර නියැදිවල දත්ත සමඟ සසඳා බලනවා. ඒ අනුව ගලපමින් අපගේ පද්ධතිය නව නියැදියේ ස්වභාවය තේරුම් ගන්නවා."

 

"එම දත්ත සියයට සියයක් පමණ ගැලපෙවා නම්, එය ස්වාභාවික නිල් මැණිකක් බවට තහවුරු කළ හැකියි. යම් වෙනස්කමක් හඳුනාගතහොත්, එම මැණික සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කළ යුතු බව පද්ධතිය දැනුම් දෙනවා."

 

"මේ තාක්ෂණය හරහා ව්‍යාජ මැණික්, රසායනිකව ප්‍රතිකාර කළ මැණික් හෝ වෙනත් ආකාරයකින් වෙනස් කළ මැණික් හඳුනාගැනීම වඩාත් පහසු වෙනවා. මැණික් කර්මාන්තයේ විශ්වසනීයත්වය ඉහළ නැංවීමටත්, නිවැරදි තොරතුරු මත තීරණ ගැනීමටත් මෙය විශාල පිටුවහලක් වේවි කියලා මම විශ්වාස කරනවා. මේ ක්‍රමවේදය ගැන ඉතා සරල පැහැදිලි කිරීමක් තමයි මම මේ කළේ. මොකද අපේ පාඨකයන් හැමෝම මැණික් විද්‍යාව ගැඹුරෙන් හදාරපු අය නෙවෙයිනේ." යැයි මිලින්ද එදිරිසිංහ පැවසීය.

 

ශ්‍රී ලංකාව ලෝකයේ තේ, රබර්, පොල් සහ මැණික් සඳහා ප්‍රසිද්ධියට පත් රටකි. ඒ අතරින් මැණික් යනු අපේ රටට ලෝකය තුළ සුවිශේෂී අනන්‍යතාවයක් ගෙන දුන් සම්පතකි. ශ්‍රී ලංකාවේ පොළොවෙන් හමුවන උසස් තත්ත්වයේ මැණික් ගල්, ලෝකයේ බොහෝ රටවලට නොලැබෙන අගනා ස්වභාවික දායාදයකි. එබැවින් ශ්‍රී ලාංකීය මැණික්වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දිගු කලක් පුරා විශාල ඉල්ලුමක් සහ ගෞරවයක් පවතිනවා.

 

එහෙත් මෑත කාලයේදී විදේශීය ගැනුම්කරුවන්ගේ පැමිණීම සහ විශ්වාසය ඉතා සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ක්ෂේත්‍රයේ නිරතවූවෝ පෙන්වා දෙති. ඒ සඳහා හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මැණික්වල ගුණාත්මකභාවය හෝ වටිනාකම අඩුවීම නොව, වෙළෙඳපොළට ව්‍යාජ හෝ විවිධ ආකාරයෙන් වෙනස් කළ මැණික් ඇතුළුවීම නිසා ඇතිවූ විශ්වාසභංගයයි. මෙම තත්ත්වය නිවැරදි කරමින් ශ්‍රී ලාංකීය මැණික් පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගීම සඳහා නවීන තාක්ෂණික විසඳුම් සහ ක්‍රමවේද අවශ්‍ය බව මැණික් විද්‍යාඥය මිලින්ද එදිරිසිංහ විශ්වාස කරයි.

 

මැණික් ක්ෂේත්‍රය සමග ඔහුගේ බැඳීමද අහම්බයක් නොවේ. කුඩා කල සිටම මැණික් ආශ්‍රිත පරිසරයක හැදී වැඩුණු මිලින්ද, මැණික් ගල් පිළිබඳ කුතුහලය සහ අවබෝධය පවුල් පරිසරයෙන්ම ලබාගත්තෙකි. එම අත්දැකීම් සහ වසර ගණනාවක පර්යේෂණාත්මක ගමනක ප්‍රතිඵලයක් ලෙස අද ඔහු කෘත්‍රිම බුද්ධිය යොදාගත් මැණික් හඳුනාගැනීමේ නව තාක්ෂණයක් ලොවට හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටී.

      

මීට වසර විස්සකට පමණ පෙර මිලින්ද එදිරිසිංහ තම ව්‍යාපාරික ගමන ආරම්භ කළේ තායිලන්තය කේන්ද්‍ර කරගනිමිනි. එවකට ශ්‍රී ලංකාවටද විදේශීය මැණික් ගැනුම්කරුවන් විශාල ලෙස පැමිණියද, ජාත්‍යන්තර මැණික් වෙළඳාමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රමයෙන් තායිලන්තය ක්‍රියාත්මක වන බව ඔහු ඉක්මනින්ම අවබෝධ කරගත්තේය.

 

ලොව විවිධ රටවලින් පැමිණෙන ගැනුම්කරුවන් විශාල පිරිසක් තායිලන්තය වෙත එක්රැස් වීම, එරට තුළ පවතින නිවැරදි මැණික් පරීක්ෂා කිරීමේ ක්‍රමවේද, තාක්ෂණික පහසුකම්, මැණික් සැකසුම් කර්මාන්තය සහ ජාත්‍යන්තර වෙළඳජාලය හේතුවෙන් බව මිලින්ද නිරීක්ෂණය කළේය. එම අත්දැකීම් ඔහුට මැණික් කර්මාන්තය පිළිබඳ පුළුල් දැක්මක් ලබා දුන් අතර, ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයද නවීන තාක්ෂණය සමග ඉදිරියට ගෙන යා යුතු බවට වූ අදහස ඔහු තුළ ක්‍රමයෙන් වර්ධනය විය.

 

      "මම තායිලන්තයේ මැණික් ව්‍යාපාරය ආරම්භ කළ කාලයේදී විදේශීය ගැනුම්කරුවන් කීපදෙනෙක් මට වැදගත් කාරණාවක් කිව්වා. ඔවුන් කිව්වේ, ‘ශ්‍රී ලංකාවේ හොඳ මැණික් ගල් තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි අද වන විට අපට ලංකාවේ මැණික් ඉතා අඩු මිලකට තායිලන්තයේ ඉදලා මිලදී ගන්න පුළුවන්. අපි තවමත් ශ්‍රී ලංකාවෙන් අලුත් සහ වටිනා ගල් සොයනවා. නමුත් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදවල තිබෙන අඩුපාඩු නිසා සමහර අවස්ථාවල අපි ලංකාවට මිලදී ගැනීම සඳහා ඒම ගැන දෙවරක් සිතනවා' යනුවෙන්."

 

"ඒ කතාව මට ගොඩක් හිතට වැදුණා. මොකද ප්‍රශ්නය තිබුණේ අපේ මැණික්වල ගුණාත්මකභාවයේ නෙවෙයි ගැණුම්කරුවන්ට ඒවා සහතික කරන ක්‍රමවේදවල විශ්වසනීයත්වය පිළිබඳවයි. මැණික් වේදීන් බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් මනුෂ්‍යයකුගේ ඇස, අත්දැකීම් සහ ඔවුන් සතු දැනුම මත පදනම් වන ඕනෑම පරීක්ෂණයක වැරදීමේ හෝ යම් දෙයක් මඟ හැරීමේ ඉඩක් තියෙනවා. ඒ වගේම අනික් භයානකම කාරණය තමයි සමහර මැණික් සහතික නිකුත් කිරීමේ ආයතන අතලොස්සක් වූ වංචනික වෙළදුන්ගේ ඉල්ලීම් මත වංචනික මැණික් සහතික නිකුත් කිරීම."

 

"අපේ රටේ සියයට95 කට වැඩිය මැණික් පරීක්ෂා කිරීම් සහ සහතික කිරීම් වල යෙදී සිටින්නේ මැණික් පරීක්ෂා කිරීමේ ක්‍රමවේද පිළිබඳ ඩිප්ලෝමාවක් පමණක් සම්පූර්ණ කරන ලද මැණික්වේදීන්. ඔවුන්ට ගලක විද්‍යාත්මක පසුබිම පිළිබඳව තියෙන්නේ බොහෝම අල්ප දැනුමක්. නමුත් මා දකින විදිහට මැණික් පරීක්ෂකවරයෙකු වීමේ නිවැරදි ක්‍රමවේදය තමයි උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරා එතනින් ඔබ්බට mineral processing හෝ Geology පිළිබඳ විශ්වවිද්‍යාල උපාධියක් ලබාගෙන එතනින් එහාට මැණික් විද්‍යාව හදාරන්න ඕනේ. හරි විද්‍යාත්මක පසුබිමක් නැති කෙනෙක්ට මැණික් හෝ කිසියම් ඛණිජයක් තුළ පැන නැගෙන ප්‍රශ්න විසද ගන්න තේරෙන්නේ නැහැ." කියමින් අපගේ කතානායක මැණික් විද්‍යාඥ මිලින්ද එදිරිසිංහ ගැඹුරු සුසුමක් හෙළුවේ එහි ඇති බරපතළකම විදහා පාමිණි. විද්‍යාඥයෙකුගේ ඒ ගැඹුරු සුසුම අපහට ඇඟවූයේ ප්‍රශ්න ගත තවත් බොහෝ දේ ඇති බවය.

 

 ඔහු විසින් නිර්මාණය කළ මෙම නව තාක්ෂණික මෙවලම හරහා මැණික් ගලක ස්වභාවය, ගුණාත්මකභාවය සහ අනන්‍යතාවය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. ඔහුගේ අදහස වන්නේ, මෙවැනි ක්‍රමවේදයන් පුළුල් වශයෙන් භාවිතයට පැමිණියහොත් ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය යළි තහවුරු වන අතර, මෙරට මැණික් සඳහා ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇති බවයි. එමෙන්ම අපේ මැණික් වලට නිසි මිලක් අපට පැනවිය හැකි බවයි.

 

මැණික් ගලක තත්ත්ව සහතිකය නිකුත් කිරීමේදී අවශ්‍ය වන දත්ත විද්‍යාත්මකව සහ නිරවද්‍යව තහවුරු කිරීමට මෙම ක්‍රමය උපකාරී වේ. දැනට ලෝකයේ භාවිත වන බොහෝ උසස් මට්ටමේ මැණික් පරීක්ෂණ උපකරණ ඉතා අධික මිලක් ගන්නා අතර, ඒවා සෑම පරීක්ෂණාගාරයකටම හෝ මැණික් විශේෂඥයකුටම ලබාගැනීම පහසු නොවේ. එහෙත් තමන් නිර්මාණය කළ පද්ධතිය වඩාත් දැරිය හැකි පිරිවැයකින් භාවිතයට ගත හැකි වන ලෙස සැලසුම් කර ඇති බව මිලින්ද පවසයි.

 

මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ, වර්ණ හඳුනාගැනීමේ අපහසුතා හෝ වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පුද්ගලයකු වුවද මෙම යෙදුම සහ දත්ත පද්ධතිය භාවිත කරමින් මැණික් ගලක නිවැරදිභාවය පිළිබඳ විශ්වාසදායක තොරතුරු ලබාගත හැකි වීමයි. වසර ගණනාවක් පුරා මිනිස් ඇස මත රඳා පැවති මැණික් පරීක්ෂා කිරීම කෘත්‍රිම බුද්ධියේ සහායෙන් නව යුගයකට ගෙන යාමට ශ්‍රී ලාංකීක විද්‍යාඥයෙකු දියුණු වන ලෝකයක් සමග සමත් වී ඇත.

දිශානි ජයමාලි කරුණාරත්න