මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා. රටට අවශ්‍ය කුමක්ද, එය කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ නීතිමය ගැටලු‍වක් මේ අවස්ථාවේ නැති බවත් ව්‍යවස්ථාපිතව සිදුවිය යුත්ත ඉතා පැහැදිලි බවත්, අවසාන වගකීම තිබෙන්නේ කා ළඟද යන්න ගැන සැකයක් නැති බව මම මේ අවස්ථාවේ සියලු‍ දෙනාටම මතක් කොට සිටිනවා“
කොරෝනා වයිරසය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගී වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් රූපවාහිනි නාලිකා ඔස්සේ ඊයේ (20) රාත්‍රියේ විකාශය විය. එම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් විරතුංග මහතා විසිනි. ඔහු ඇසු ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ඊට දුන් පිළිතුරු මෙසේය.
 
 
ප්‍රශ්නය:- ප්‍රථමයෙන්ම ජනාධිපතිතුමනි රජය මේ පසුගිය කාලය තුළ කොවිඩ් 19 වෛරසය මැඩ පැවැත්වීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ගැන ඔබතුමන් සැහීමට පත්වී සිටිනවාද යන්න, ඒ වගේම ඒ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ගැන ඔබතුමාට තිබෙන්නේ විශාල දැනීමක්. ඒ නිසාම මම ඉල්ලා සිටින්නේ මේ ගැන යම්කිසි විග්‍රහක් අපට ඉදිරිපත් කරන ලෙස.

පිළිතුර:- මෙය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශයේ පහළම කම්කරුවාගේ සිට මහජන සෞඛ්‍ය නිලධාරීන්, හෙදියන්, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් නිලධාරීන් විශාල සේවයක් කළා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශය නිරතුරුවම විශාල සේවයක් සිදුකරනු ලබනවා.

ඒ වගේම මේ කාලය තුළදී අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ සේවකයන් මනා කැපවීමකින් යුක්තව කටයුතු කරමින් යනවා.

මේ සෑම දෙනාගේම කැපවීම මත තමයි අද රට මේ උවදුරින් මුදවා ගැනීමට පාලනය කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙන්නේ. දුෂ්කරතා මධ්‍යයේ මේ තත්ත්වයට මුහුණ දුන්න රට වැසියන්ට මාගේ ස්තූතිය පුද කරනවා.

2019 දෙසැම්බර් මාසෙ තමයි කොරෝනා වෛරසය නැත්නම් කොවිඩ් 19 කියන නව වෛරසය චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම වාර්තා වුණේ. ජනවාරි මාසයේ මැද වන විට චීන රජය මේ වෛරසයේ අවදානම තේරුම් ගෙන ලෝකයේ අනික් රටවල් දැනුවත් කිරීමට කටයුතු කළා.

මේ වන විට චීනයේ වූහාන් නගරයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් හා ඔවුන්ගේ ළඟම ඥාතින් 34 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමේ අභියෝගය අපට ලැබුණා. ඒ අනුව විශේෂ ගුවන්යානයක් චීනයට යවා පෙබරවාරි මස 01 වෙනිදා අපි ඔවුන් ලංකාවට ගෙන ආවා. එහෙත් ඔවුන්ගෙන් කිසිදු ආකාරයකට රෝගය ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ඉතාමත්ම විධිමත් නිරෝධායන වැඩපිළිවෙළක් දියතලාව හමුදා කඳවුර භාවිතා කරමින් අපි සකස් කර තිබුණා.

රටේ ජනාධිපතිවරයා විධියටත් මමත්, මගේ රජයත් මෙම වසංගතයේ ඉදිරි අවදානම කලින්ම තේරුම්ගෙන එය පාලනය කිරීම සඳහා පියවර ගත්තා. ජනවාරි මාසේ 26 වැනිදාම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ‍ය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශ ඇතුළු අදාළ ක්ෂේත්‍රවල අය ඇතුලත් කොට විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළා. ඉන් මූලිකවම කළේ මේ වසංගතය පාලනය කිරීම සඳහා රජයට උපදෙස් ලබාදීමයි.

ජනවාරි 27 වැනිදා තමයි ලංකාවේ පළවෙනි කොරෝනා ආසාදිතයා විදියට චීන කාන්තාවක් හඳුනාගත්තේ.

මේ වන විටත් ශ්‍රී ලාංකිකය‍න් විශාල පිරිසක් සේවය කරන ඉතාලිය, කොරියාව වැනි රටවලටත් වසංගතය පැතිරිලා තිබුණා. අපට පෙනී ගියා මේ අවස්ථාවේ ඉතාලිය කොරියාව වැනි රටවලින් බොහෝ දෙනෙක් ආපසු ලංකාවට පැමිණෙමින් සිටින බව. ඒ අය හරහා ඒ වන විටත් රෝගය ලංකාවට ඇතුළත් වීමේ අවදානමක් තිබුණා.

ඒ අනුව පෙබරවාරි මස 10 වැනිදා තීරණය කළා ඉතාලිය, කොරියාව, ඉරානය වැනි අවදානම් සහගත රටවල්වල සිට ලංකාවට පැමිණෙන සෑම කෙනෙක්ම නිරෝධායනය මධ්‍යස්ථානවලට ඇතුළත් කළ යුතුයි යන්න. එහෙත් අපි දැඩි තිරණයක් ගත්තා අත්‍ය‍වශ්‍යයෙන්ම ඔවුන් නිරෝධායනය විය යුතුයි කියා.

ඒ අනුව පෙබරවාරි මාසයේ 16 දින වන විට අපි තීරණය කළා ලංකාවට පිටරට සිට පැමිණෙන සෑම කෙනෙක්ම නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන්න.

මාර්තු 12 වනදා වන විට අප මේ රටේ සියලු‍ම පාසල්, විශ්වවිද්‍යාල හා අධ්‍යාපනික ආයතනවලට නිවාඩු ලබා දුන්නා. එක ළමයෙකුට රෝගය ආසාදනය වුණා නම් එය බොහෝ දෙනෙකුට පැතිරීමේ අවදානම තිබුණා.

පාසල් විශ්වවිද්‍යාල වසා දැම්මා පමණක් නොව ඔවුන්ට දුරස්ථ අධ්‍යපනය හරහා අධ්‍යාපනය කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා.

මාර්තු මස 18 වන විට අපි තීරණයක් ගත්තා ලංකාවේ ගුවන් තොටුපොළට විදේශ රටවල සිට ගුවන් මගීන් පැමිණිම සම්පූර්ණයෙන්ම නතර කර දමන්න. ඒ වුණත් රජය ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගොස් සිටි වන්දනාකරුවන් 900 කගේ ප්‍රශ්නය ගැන සංවේදි වුණා. එනිසා ඉන්දියාවට විශේෂ ගුවන් යානා යවා ඒ අය ආපසු ගෙන්වා ගන්න, ඔවුන්ව නිරෝධායනයට ලක්කරන්නටත් අපි කටයුතු කළා. මාර්තු 20 වැනිදා සිට 27 වනදා දක්වා අපි ප්‍රථමයෙන් නිවසේ සිට වැඩ කරන සතියක් රාජ්‍ය සේවය සඳහා නම් කළා. එයට හේතුව අපි මාර්තු 20 වෙනිදා ඉඳලා ඇඳිරි නීතිය පනවපු නිසා.

ජනවාරි 27 වනදා අපට පළමුවෙන්ම හමු වූ චීන ජාතික කාන්තාව සුවවී පෙබරවාරි 19 වෙනිදා රටින් පිටව ගියාට පසු ලංකාව තුළ වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මුලින්ම හමුවුණේ මාර්තු 11 වෙනිදා. එම වෛරසය ආසාදනය වූ පුද්ගලයා IDH රෝහලට ඇතුළත් කළා. එදා සිට සෑම දවසකම වාගේ රෝගීන් හමුවුණා. විශේෂයෙන් මේ රෝගය පැතිරුණු අයගෙන් 38 දෙනෙක් කෙළින්ම පිටරට සිට ඇවිත් නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කළ අය.

ඉන්පසු අපි විවිධ අවස්ථාවන් හිදි නිරෝධායන මධ්‍යස්ථාවලට අතුළත් කළ අයගෙන් 79 දෙනෙකු රෝගින් ලෙස අපි හඳුනාගෙන තියෙනවා. විවිධ ආකාරයෙන් රෝගය අසාදනය වුණු අය පිටතින් අපි 136 දෙනෙක් අපි හඳුනාගෙන තියෙනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිතුමනි ඔබතුමා රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ හසළ දැනුමක් තිබෙන කෙනෙක්. ඔබතුමා බොහෝම පැහැදිලිව මුළු රටටම කියා සිටියා. මේ කොවිඩ් 19 වෛරසය ආසාදනය මැඩපැවැත්වීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ග දින වකවානු සහිතව. මෙයින් අපට පැහැදිලි වෙනවා මේ ගැන රජය ඉතා අවබෝධයෙන් කටයුතු කර ඇති බව. මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි රෝගියෙක් හඳුනාගත් විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විස්තරයක් ලබාදෙන්න.

පිළිතුර:- දිනපතා මට මේ පිළිබඳ විශාල දත්ත ප්‍රමාණයක් ලැබෙනවා. මේ අනුව තමයි මම නිවැරදිව තීරණ ගන්නේ. බුද්ධි අංශ ප්‍රධානියා මේ සම්බන්ධව මා සමග විශාල වැඩ කොටසක් කරනවා.

අපි කොරෝනා මර්දනය සඳහා මුල සිටම විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ නිසා හඳුනාගත් සෑම රෝගියෙක් සම්බන්ධයෙන්ම සියලු‍ විස්තර අපි සතුව තිබෙනවා. මේ පුද්ගලයාට රෝගය ආසාදනය වන්නට ඇත්තේ කෙලෙසද, ඔහු ආගිය තැන් මොනවාද, ආශ්‍රය කළ අය කවුද, පමණක් නොව ඔහු ඇසුරු කළ අය ආගිය තැනුත් ඔවුන් නිසා ආසාදනයට ලක්වීමේ අවදානම ඇති අයත් අපි කල් ඇතුව හඳුනාගන්නවා. ඒ නිසා බොහෝ දුරට මේ අයව කල්වේලා ඇතිව නිරෝධායනට යොමු කිරීමේ හැකියාව අපට තිබෙනවා.

මේ වැඩපිළිවෙළ පටන් ගන්න පෙරත් රෝගය ආසාදනය වුවන් එම රටවලින් ලංකාවට ඇතුළු වී ඇති බව නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් පසුව හමුවූ රෝගීන්ගෙන් පෙනී යනවා. ඒ වගේම මුල් කාලයේ අවධානයට යොමු නොවූ ඉන්දුනිසියාව වැනි රටවලිනුත් රෝග වාහකයන් රට තුළට ඇතුළු වී තිබුණා. ඒ අයව අපිට හඳුනාගැනිමේ අවස්ථාව ලැ‍බුණේ රෝග ලක්ෂණ මතුවී ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණි විටයි. යම් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ තිබෙනවා නම් අපි ඔවුන්ව IDH රෝහලට ඇතුල්කොට PCR කියන මේ සඳහා ලොව තිබෙන හොඳම පරීක්ෂණය කරනවා.

අපි එහෙම රෝගියෙක් හඳුනාගත්ත ගමන්ම ඒ රෝගියාගේ පවුලේ අයවත්, ඊළඟට එම රෝගියාව සමීපව ආශ්‍රය කළ අයත්, එම රෝගියා යම් කිසි ස්ථානයකට ගිහිල්ලා තිබුණානම් කාවහරි අශ්‍රය කරලා තිබුණානම් ඒ අය සියලු‍ දෙනාමත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනවා.

මේ සෑම පුද්ගලයෙකුටම ඒ පුද්ගලයාට රෝගය වැළඳුණේ කොහොමද / කාගෙන්ද කියන විස්තර සියල්ලක්ම අපි පරීක්ෂණයට භාජනය කරනවා. මේ ක්‍රියාදාමය අපි හඳුන්වනවා CONTACT TRACING (සම්බන්ධිතයින් හඳුනාගැනීම) කියලා. එහෙම CONTACT TRACING එකකින් හඳුනාගන්නා කණ්ඩායම කියන්නේ CLUSTER එකක්. (පොකුරක්). මේ සෑම රෝගියෙක්ම හඳුනාගැනීම රෝගියෙක්ම නම් ආරෝග්‍ය ශාලාවලට යොමු කිරීම ඒ රෝගියා ආශ්‍රයකරපු අය වෙන් කරලා නිරෝධායන මධ්‍යස්ථානයට යැවීම සිදු කරන්නේ. මීට අමතරව ඊට දුරස්ථව ඉන්න කොටසක් අපි ඒගොල්ලන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධානයනට ලක් කරනවා. මහජන සෞඛ්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන් ඒ පුද්ගලයන්ගේ නිවෙස්වලට ගිහිල්ලා ඔවුන්ගේ පරීක්ෂණයට භාජනය කරලා තියෙනවා.

ඒ අනුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ ස්වයං නිරෝධායනයට යොමු කරනවා. සමහර විට අපිට විශාල කණ්ඩායමක් ආසාදනයට ලක්වීමේ අවදානමක් තිබෙනවානම් ගම් පිටින් හුදකලා කරන්න සිදුවෙනවා. මේ වෙනකොට අපිට හමුවන වැඩි දෙනෙක් හමුවන්නේ‍ මෙසේ හඳුනාගත් කණ්ඩායම්වලින්. මේ වන විට සමාජය තුළ මේ රෝගය බෝවීම අපි අවම කරලා තියෙනවා. මොකද අපි වේලාසනින්ම අපි රෝගින් හඳුනාගෙන ඒ රෝගියා හා සම්බන්ධ සියලු‍ දෙනාම නිරෝධායනයට යොමු කරන නිසා සමාජය තුළ පැතිරීම පාලනය කරගන්න පුළුවන් වී තිබෙනවා.

මම ලිපිවල පළ කරලා තියෙනවා දැක්කා ලංකාවට මෙය ඉතා හොඳින් පාලනය කරගැනීමට පුළුවන් කම ලැබුණේ CONTACT TRACING හරහා බුද්ධි අංශ දක්ෂ ලෙස යොදා ගත්තු නිසා බව.

ප්‍රශ්නය:- ඔබතුමා මුළු රටටම හොඳින් පැහැදිලි කළා මුල් අවස්ථාවේදී ගත් ක්‍රියාමාර්ගත්, ඒවායේ ප්‍රතිඵලත් ගැන, ඒ වගේම ඔබතුමන් සෑහීමකට පත්වෙනවා කියලා. ඒ ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මකවන ආකාරය ගැන. ජනාධිපතිතුමනි, සමාජ දුරස්ථභාවය සහතික කිරීමට ඇඳිරි නීතිය පැනවීමෙන් ජනතාවට මේ භයානක රෝගය ආසාදනය වීම වැළකුණත්, ඔවුන්ට අනේකවිධ කරදරවලට මුහුණ පාන්න සිදු වුණු බැව් මතයක් ජනතාව අතර ප්‍රචලිත වුණා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ආදිය ලබාගැනීමට, බෙහෙත් හේත් ලබාගැනීමට ජනතාව ඇඳිරි නීතිය ඉවත් කළ විගස පොරකනු අප දුටුවා. මේ ගැන ඔබතුමන් සංවේදී වූ ආකාරය අප දුටුවා. රජයක් ලෙස ඔබතුමන් මේ ගැන දකින්නේ කොහොමද?

පිළිතුර:- ඇඳිරි නීතිය නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් වෙන බව අප කවුරුත් දන්නවා. ඒ වුණත්, අපට නොපෙනෙන සතුරෙක් සමග සටනකටයි අපට රටක් හැටියට, ජනතාවක් හැටියට යන්නට වුණේ.

අපි දැනගෙන සිටියා ඇඳිරි නීතිය පැනවූ විට ජනතාවට ආහාර එකතු කොට තබා ගැනීමේ අවශ්‍යතාව පැනනගින බව. ඒ නිසා ජනතාව වෙනුවෙන් රජය තීන්දු කිහිපයක්ම ගත්තා. විශේෂයෙන්ම ඇඳිරි නීතිය පනවන්නට පෙරම බොහෝ දෙනෙක් පරිභෝජනයට ගන්නා කල්තබා ගතහැකි ආහාර වන පරිප්පු හා සැමන් මිල විශාල වශයෙන් අඩු කරන්න කටයුතු කළා. අපි දැනගෙන හිටියා ඇඳිරි නීතිය පනවන්නට වෙනවා කියලා.

ඇඳිරි නීතිය පැනෙව්වත් කෘෂිකර්මාන්තය වැනි ජනතාවගේ මූලික අවශ්‍යතාවලට බලපාන ක්ෂේත්‍ර දිගටම පවත්වාගෙන යාමට රජය හැකිතරම් උත්සහ කළා. එනිසා තමයි පොලොන්නරුව, අනුරාධපුරය, අම්පාර වැනි කෘෂිකාර්මික ප්‍රදේශවල යල කන්නයේ වී ගොවිතැනේ යෙදෙන ගොවීන්ට ගොයම් කපා නැවත කුඹුරු සකස් කරගන්නට අවශ්‍ය නිසා ඇඳිරි නීති කාලය තුළ තමන්ගේ වෘත්තිය කරගෙන යාමට ඒ අයට අවසරය ලබාදුන්නා.

අපි දන්නවා මේ හේතුව නිසා විශාල වශයෙන් එදිනෙදා වේතනයක් ලබපු අය, ඒ වගේම කර්මාන්තශාලාවල වැඩකළ අය, ස්වයංරැකියා කරන අය, ත්‍රිවීල් රියදුරන්ට මිලියන 1.5ක් පමණ සිටින ස්වයං රැකියාවලට පහරක් ඇතිවුණා. තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙනයාමට අපහසුතාවක් පැන නැගුණා ඒ නිසා ජනතාවට හැකි පමණින් සහන ලබාදෙන්නට රජය කටයුතු කොට තිබෙනවා. විවිධ නිර්නායක යටතේ ලක්ෂ සංඛ්‍යාත පවුල්වලට මේ ඇඳිරි නීති කාලය තුළ තමුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීමට පවා රජය කටයුතු කර තිබෙනවා.

ඇඳිරි නීතිය බලපවත්නා කාලය තුළ ජනතාවට අවශ්‍ය කරන සේවා ගැන සොය බලා අවශ්‍ය පිළියම් ලබා දීමට අපි විශේෂ කාර්ය සාධක බළකායක් පවා පිහිටෙව්වා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන්. මං හිතන්නේ මේ කාර්යය සාධක බළකාය සෑම ක්ෂේත්‍රයක් දිහාම බලලා විශාල සේවයක් කළා. ඒ වගේම රජය ක්‍රියාමාර්ග රැසක් ගත්තා සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට. මාසිකව පඩි ලැබෙන අයට, විශ්‍රාමිකයන්ට කලට වේලාවට ඒ මුදල් ලබා දුන්නා. ඒ අයගේ ණය වාරික ආදිය අය කිරීම නැවැත්වූවා. එදිනෙදා රැකියාව කරලා හම්බ කරන් කන බොන අයට තවත් පහසුකම් රැසක් ලබා දුන්නා. ඒ ගැන මුළු රටම මේ වන කොට හොඳින් දන්නවා.

ත්‍රිරෝද රථවලින් දෛනික ආදායමක් උපයන අයට, පාසල් වෑන් රථ, බස් රථ ආදිය තිබෙන අයට ලීසිං ගෙවීම ආදියෙන් විශාල පහසුකම් ලබාදී තිබෙනවා. සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාර වලට ද අපි සහන ලබාදීලා තියෙනවා. මේ වගේ සහන රාශියක් ආර්ථික අපහසුතා තියෙන ජනතාව වෙනුවෙන් මේ කාර්යය සිද්ධ කරා.

යම් යම් අපහසුතා සිද්ධ වෙලා තියෙනවා. ඒ අපහසුතා මධ්‍යයේ අපි මේ කාර්යයන් සිදු කරනවා. මේ අපහසුතා වෙන වෙන අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමට භාවිතා කරන්නට එපා කියලා මම ඉල්ලා සිටිනවා.

මම විශ්වාස කරනවා බොහෝ වේලාවට රාජ්‍ය සේවය පිළිබඳ දෝෂාරෝපණ විවේචනයට ලක් වුණත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයට ඇති හැකියාව නිසා.

ප්‍රශ්නය:- දැන් අපේ ආර්ථිකය ගැන ඔබතුමන්ට අලු‍තින් හිතන්නට වෙලා. ඔබතුමා ඉදිරිපත් කළා මේ රටේ සෞභාග්‍යයේ දැක්ම එහි තිබුණා බොහෝම පැහැදිලිව ආර්ථික උපායමාර්ග. දැන් ඒ උපායමාර්ග කරගෙන ගියා නම් අපිට යම් කිසි තැනටක එන්නට තිබුණා. අපිට අලු‍තින්ම හිතන්නට වෙලා තියෙනවා මේ උපායමාර්ග ගැන. ඔබතුමා ගිය ගමන් මාර්ගය වෙනස් කරන්න. දැන් මුළු රටම බලාගෙන ඉන්නවා මොකක්ද මේ ජනාධිපතිතුමා ප්‍රධාන රජය කරන්න යන්නේ. මේ අපේ සහෝදර ජනතාවගේ ජීවනෝපාය ගැනත් තදින්ම බලපාන කරුණක්. ඔබතුමාගේ දර්ශනය කුමක්ද මේ ගැන.

පිළිතුර:- විශේෂයෙන්ම ක්ෂේත්‍ර කිහිපයකට විශාල පහරක් ලැබුණා අපේ ආර්ථිකයෙන්. දැන් මාසෙකට පමණ කාලයකට පස්සේ අපිට හිතන්නට වෙලා තියෙනවා අපේ ආර්ථිකය පණගන්වන්නේ කොහොමද කියන කාරණය. අපිට විදේශ විනිමය, රැකියා උත්පාදනය වූ සංචාරක ක්ෂේත්‍රය, ස්වයං රැකියා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇඟලු‍ම් කර්මාන්තය හා අනෙකුත් අපනයන.

ක්ෂේත්‍රවලට විශාල පසුබෑමක් සිද්ධ වී තිබෙනවා මේ කොරෝනා වෛරසය නිසා. මේක හොඳම අවස්ථාව ආර්ථික සැලැස්මේ වෙනසක් කරලා දේශීය ආර්ථික සැලැස්මකට යොමු වීමට. පසුගිය කාලයේ අපේ රටේ නිපදවන්න පුළුවන් දේත් පිටරටින් ගෙනාවා. අපිට කෘෂිකර්මාන්තය අතින් ස්වයං පෝෂිත වෙනවා විතරක් නොවෙයි අපේ රටේ නිපදවන දේවල් පිටරටවලට යවන්නත් අවස්ථාව උදා කරගන්න පුළුවන්.

ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථිකය කඩා වැටෙනකොට අපේ ආර්ථිකයත් කඩා වැටෙනවා. අපි බොහොම ක්‍රමානුකූලව අපේ ආර්ථිකය යම් තත්ත්වයකට පත් කළත් මුළු ලෝකයේම ආර්ථිකය යථා තත්ත්වයකට පත් නූනොත් අපට අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති වෙනවා.

උදාහරණයක් ලෙස අපේ සංචාරක ක්ෂේත්‍රය ගනිමු. සංචාරකයන් විශේෂයෙන් පැමිණෙන යුරෝපයෙන් අපට හිතන්න බෑ කවදාද මේ සංචාරකයන්ට එන්නට පුළුවන් වෙන්නේ කියලා. අපිට හොඳ අවස්ථාවක් නැවත හිතන්නට මොන රටවල් ද මේ උවදුරෙන් ඉක්මනින්ම ගොඩ එන්නේ. ඒ ගොඩ එන රටවල්වලින් අපි මේ සංචාරකයෝ ගෙන්න ගන්නට පුළුවන් වෙන්නේ කියන කාරණයට අපි හිත යොමු කරන්නට වෙනවා.

ඒ වගේම අපනයන ක්ෂේත්‍රය අලුත් වෙළදපොළවල් සොයා ගන්නට අපට සිදුවේවි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් මේවා නිෂ්පාදනය කරන්නට හොඳ අවස්ථාවක්.

තොරතුරු තාක්ෂණය සෑම රටකටම බාධාවකින් තොරව කරගෙන යන්නට පුළුවන් ක්ෂේත්‍රයක්. තුන් ගුණයකින් පමණ ඉතිරිය ලැබෙන අපනයන ආදායම වැඩි කරගන්න ඒ වගේම රට තුළ රැකියා උත්පාදනය කරගන්නට හොඳ අවස්ථාවක් කියලා.
 
ආහාර සුරක්ෂිතභාවය කියන එක ඉතාමත් වැදගත්. අපිට පමණක් නෙමෙයි මුළු ලෝකයම ආහාර සුරක්ෂිතභාවය සහතික කරගනී දියුණු රටවල්. අප ස්වයංපෝෂිත වීම පමණක් නොවෙයි ආහාර අපනයනය කරන්නට අපනයනය ක්ෂේත්‍රයට අපි යොමු වෙන්නට හොඳ අවස්ථාවක්.

ඒ වගේම ගොවියාගේ ආදායම වැඩි කරන්නේ කොහොමද කියන කාරණය. මේක හොඳම අවස්ථාවක්. එකක් ගොවියාගේ තාක්ෂණය ඔහුට හඳුන්වා දෙන්න. නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දී මේ ක්ෂේත්‍රය දියුණු කරගන්නට අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තාක්ෂණය ගෙනල්ලා අපි කෘෂිකර්මාන්තය තරුණයන් පවා ඒකට යොමු කරලා තාක්ෂණය ගෙනල්ලා කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කර්මාන්ත ඇති කරලා මේක ඉතාමත්ම වැදගත්. දේශීය ආර්ථිකය අපි ගොඩනගන්න.
 
මේක හොඳ වේලාවක් සෑම දිනක්ම වගා කරන්නට. ඒ වගේම රජයට අයත් විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා මේ රාජ්‍ය සමාගම්වලට. හැබැයි මේවා පාඩු ලබනවා. මේවා ලාභ තත්ත්වයකට ගෙන්න ඕන. ඒ වගේම තේ වතු තියෙනවා. පාඩු ලබනවා. මේවා අපි ලාභ ලබන වගාවන් බවට පත් කරන්නට ඕන. මේවා කාර්යක්ෂම කර ලාභ ලබන තත්ත්වයට පත් කර යටි වගාවන් ඇති කර සෑම මුඩු බිමක්ම පවා වගා කරන්න ඕනි.

අපි සතුටු වෙන්න ඕන තේ මණ්ඩලය ඉතිහාසයේ පළවෙනි වතාවට තාක්ෂණය භාවිතා කරලා දුරස්ථව තේ වෙන්දේසියක් තිබ්බා. මේ වගේ දේශීය ආර්ථිකය ආර්ථික මොඩලය අපේ සැලැස්ම අපි වෙනස් කරගන්නට ඕන. ඒවට නව වෙළඳපළවල් හොයාගෙන දියුණු කරගන්න ඕන.

ප්‍රශ්නය:- විදේශ රටවලින් ගුවන් යානා එන්නේ නැහැ ගුවන්තොටුපොළ වසාදමා තියෙනවා. මේ රටවල් ගණනාවක එනම්, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බෙලරූස් වගේ විශාල රටවල් ගණනාවක විවිධ වර්ගයේ පුද්ගලයන් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ එන්න ඉන්න අය ගැන ගන්න පියවර කුමක්ද ?

පිළිතුර:- ඒකට සැලැස්මක් යොදලා තියෙනවා. මුලින්ම විවිධ වර්ගයේ ලංකාවට එන්න බලාපොරොත්තු වන අය ප්‍රමුඛත්වයක් මත ලංකාවට ගෙන එන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. මූලික ප්‍රමුඛත්වය අනුව ශිෂ්‍යයන් ගෙන්වීමට කටයුතු කරනවා. ඔවුන් ගෙන්වීමේදි ක්‍රමවේදයක් යොදලා තිබෙනවා. ඔවුන්ට ගුවන් තොටුෙපාළේදීම PCR පරීක්ෂණය කරන්න කටයුතු කරනවා.

PCR පරීක්ෂාවෙන් පසු ඔවුන් කෙලින්ම නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීමටත් ඒ වගේම අනිකුත් අයට එම වෛසරය බෝ වීම වැළැක්වීමටත් අපි සියලු‍ කටයුතු මුල් අවස්ථාවේ සිටම අවසාන අවස්ථාව තෙක්ම සැලසුම් කර තිබෙනවා. අපිට ගෙන එන්නට පුළුවන් වෙන්නේ දවසකට සීමිත සංඛ්‍යාවක්. ඒ අනුව අපි ප්‍රමුඛත්වය දීලා තියෙනවා අපි විවිධ හේතූ බලලා. ඒ අයගෙන් දැනටමත් අපි ඒ රටවල්වලින් අවසර ඉල්ලලා තියෙනවා මොකද ඒ රටවල්වලත් වහලා තියෙන්නේ. ඒ නිසා රටවලින් දැනටමත් අපි අවසර ඉල්ලලා තිබෙනවා අපේ ගුවන්යානයකට එන්නට. ඒ අවසරය ලැබුණු වහාම දැනටමත් අපි මේ කාර්ය ආරම්භ කරලා තිබෙන්නේ. ලැබුණු වහාම අපි ඒ අයව ගේන්නට කටයුතු කරනවා.

ප්‍රශ්නය:- රටේ ආර්ථිකය බිඳ නොවැටී පවත්වාගෙන යාමත්, ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳවත්, ඔබතුමන් සෑමවිටම උනන්දුවක් දැක්වූවා. මේ පිළිබඳව කුමන ආකාරයේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ?

පිළිතුර:- ආර්ථික පැත්තෙන් සහ සමාජීය පැත්තෙන් ජනතාවට ඇඳිරි නීතියක් දාලා ගෙවල්වලට හිරකරලා තිබුණම තියෙන ප්‍රශ්න මේ සියලු‍ම දේවල් කල්පනා කරලා තමයි අපි විවිධ තීරණ අරගත්තේ. මේ පිළිබඳව ආර්ථික විශේෂඥයන් වන මහා බැංකුවේ උසස් නිලධාරින් සමග සාකච්ඡා කළා. රටේ ඉන්න ව්‍යාපාරිකයන්ගෙන් ආර්ථිකය ගැන දන්නා පාර්ශ්වවලින් මේ ප්‍රශ්නය සාකච්ඡා කළා. විශේෂයෙන්ම වෛරසය සම්බන්ධව ඇතිවෙලා තියන අවශ්‍යතාවයන් ඒ වගේම රට විවෘත කළාම තියෙන අවශ්‍යතාවයනුත් දෙක එකතු කරලා යම් පාලනයක් ඇතිව රටට යම් විවෘත කිරීමක් ඇති කිරීමට තමයි අපි ඒ තීරණය ගත්තේ.
 
අපි සැලකිල්ලට භාජන කළා මොන ප්‍රදේශවලද ආසාදිතයන් ඉන්නේ කියලා. අපි ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේදී පුත්තලම, ගම්පහ, කොළඹ, කළුතර යන ප්‍රදේශවල ඇඳිරී නිතිය ඉවත් කළේම නැහැ. අපි බැලු‍වා මොන කුඩා ප්‍රදේශවලටද මේ අය සීමා කරන්න පුළුවන් කියලා. අපි බැලු‍වා පොලිස් වසම් හැටියට මේ අය සීමා කරන්න පුළුවන්ද කියලා. ඒ වැඩිදෙනෙක් ඉන්න පොලිස් වසම් කිසිසේත්ම විවෘත කරන්න බැරි නිසා මේ ඇඳිරී නීතිය හා පාලන ක්‍රම ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා.
 
සමහර දිස්ත්‍රික්කවල කිසිම කෙනෙක් නැත. සමහර දිස්ත්‍රික්කවල එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. ඒ අයත් ඒ ප්‍රදේශයේ ඉඳල නෙවෙයි පිටරට ගිහින් හැදිලා ආව අය. මේ වගේ දිස්ත්‍රික්ක අපිට පහසුවෙන් විවෘත කරන්න පුළුවන් එම නිසයි තහංචි ඇතුළත විවෘත කිරීමට ක්‍රම‍වේදයක් අපි තීරණය කළේ.‍ මේ තීරණය අපි හුදෙක්ම ගත්තේ ව්‍යාපාරවලට අවස්ථාවක් ලබාදෙන්න කර්මාන්තවලට අවස්ථාවක් ලබාදෙන්න රට තුළ නිපදවෙන එළවළු වැනි භාණ්ඩවලට රට තුළට එන්නට අවස්ථාවක් ලබාදෙන්න. රාජ්‍ය සේවය දැන් මාසයකට පමණ කාලයක් වහලා ති‍බෙන්නේ . රාජ්‍ය සේවයේ යම්කිසි සේවාවක් ජනතාවට ලබාදෙන්න ඕන. විශාල වගකීමක් ජනතාව වෙත පැවරෙනවා. අපි මෙය විවෘත කළත් අනවශ්‍ය ගමන් යන්නට නොවෙයි මේ විවෘත කරන්නේ. අපි රජයක් හැටියට සෞඛ්‍ය දෙපාරත්මේන්තුවෙන් වේවා පොලිසියෙන් වේවා ත්‍රිවිධ හමුදාවෙන් වේවා මේ කරන සෑම දෙයක්ම වඩාත් වැඩි ප්‍රතිඵලයක් ලබාගන්නට පුළුවන් වෙන්නේ ජනතාව වගකීමෙන් යුක්තව කටයුතු කළොත් පමණයි. අපි ප්‍රවෘත්තිවල දකිනවා විශාල ප්‍රමාණයක් ඇඳිරී නිතිය කඩකරලා.

වාහන අත්අඩංගුවට අරගෙන පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන මම ඉල්ලීමක් කරනවා වගකීමෙන් යුක්තව මේ වගේ සෞඛ්‍ය අංශය නියම කරලා තිබෙන පිළිපැදීම්වලින් පිටතට යන්න එපා. මේ වෛරසය නිසා තිබෙන තර්ජනය ඉවර වෙලා නැහැ. අපි පාලනය කරලා කළමනාකරණය කරලා තියෙනවා. ඒක අපි ඒ විදියටම ඉදිරියට ගෙනයන්නට අපිට අපි ජනතාවගේ සහයෝගය ඉතාමත් වැදගත් වෙනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිතුමනි, අප මෙතෙක් සාකච්ඡා කළේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට ගත් ක්‍රියාමාර්ග ඒ වගේම ඒවායින් ලද ප්‍රතිඵලයත්, ඒ එක්කම කොරෝනා වසංගතය නිසා ජන ජීවිතයට වුණු බාධාවත්, ආර්ථික කඩා වැටීමත් එයට යෙදිය හැකි කෙටිකාලීන පිළියමුත් ගැන. සමහර අය කියනවා ඇයි මේක තව ටිකක් ප්‍රමාද කරන්න බැරි

පිළිතුර:- බස්නාහිර පළාත තමයි අපේ ආර්ථිකය් සියයට 50කටත් වඩා දායකත්වයක් තියෙන්නේ. මේ අයට මේ අවස්ථාව ලැබෙන්නේ නැත්නම් තවත් ප්‍රමාද කළොත් අපි ආර්ථිකයේ විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්නට වෙනවා කියන එක තමයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස. එපමණක් නෙවෙයි සාමාජීය වශයෙන් එදිනෙදා වේතනයක් ලබපු ඒ අයට තමයි විශාල ප්‍රශ්නයක් ඇතිවුණේ. ඒ හින්දා තමයි යම්කිසි ප්‍රමාණයක ආර්ථික උපකාරයක් කරන්නට තීරණය කළේ. අපිට තව මාසයක් වහලා තියන්න පුළුවන් නම් මම කැමතියි නමුත් අපිට ඉතා බැරෑරුම් තීරණයක් ගන්න සිද්ධ වුණා මේ අවස්ථාවේ. සාමාන්‍ය වශයෙන් මාසයක් රටක් වහලා තිබුණොත් මොකද තත්ත්වේ.
මේ විවෘත කිරීම නිසා යම්කිසි කෙනෙකුට යම්කිසි සැකයක් ඇතිවෙනවා නම් ඒ සැකය දුරුකරන්න පුළුවන් වෙන්නේ ජනතාවට ඇයි අපි වහලා තියන්නේ. ඇයි අපි ඇඳිරි නීතිය දාන්නේ. මේ මිනිසුන් එකට ගැවසීම මේ දුරස්ථතාවය තියාගැනීමට මෙන්න මේ හේතූ නිසා තමයි මේක නවත්තන්න බැරි. අපි ජනතාවක් හැටියට වගකීමකින් යුක්තව මේවයින් වැළකිලා ඉන්නවා නම් අපිට මේ ප්‍රශ්නය මුහුණපාන්ට වෙන්නේ නෑ. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ කොටසක් යොදවනවා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මම් කාර්ය පාලනය කරගන්නට. පසුගිය කාලයේ ඒ අය සෑම තැනකම විසිරිලා හිටියා නමුත් මම ආරක්ෂක ලේකම්තුමාට දැනුම් දුන්නා මේ ප්‍රදේශය යුද කාලයේ තිබුණා වගේ පාලනයක් ඇතිකරලා විනයක් ඇතුව හික්මීමක් ඇතුව අනවශ්‍ය ගමන් යන්නේ නැතුව මේ කාලය තුළ මේ ප්‍රදේශය පාලනය කරන්නට.

ප්‍රශ්නය:- ජනාධිපතිතුමනි, මේ වසංගතයෙන් වගේම ජනතාවට තවත් වැදගත් කරුණක් තිබෙනවා. දිගුකාලීනව බැලු‍වම ස්ථාවර රජයක් තිබිය යුතුයි. මේ සියලු‍ ක්‍රියාමාර්ගයන් සාර්ථක කරගැනීමට ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත ව තිබුණත්, එය එදිනම පැවැත්වීමට හැකියාවක් නැති බවයි, මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ. මේ ගැන ඔබතුමන් දරන අදහස කුමක්ද?

පිළිතුර:- 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මා ජයග්‍රහණය කළේ 69 ලක්ෂයක පැහැදිලි ජන වරමකින්. මම ජනතාවට සෞභාග්‍යයේ දැක්ම නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණා. මේ රටේ බහුතර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදිව තම ජනාධිපතිවරයා පත්කර ගත්තේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා ජනතාව අනුමැතිය ලබා දී තිබුණත් මට සිදුවූයේ 2015 අ‍ගෝස්තු මාසේ තෝරා පත්කර ගනු ලැබු පාර්ලිමේන්තුවක් සමග කටයුතු කිරීමටයි. එම පාර්ලිමේන්තුව නියෝජනය කළේ වර්තමාන ජනමතය නොවෙයි. පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොතිබුණ නිසා මට සිදුවුණා සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්නට.

මා ජනාධිපතිවරයා වශයෙන් බලයට පත්වන විට පාර්ලිමේන්තුව විසින් 2020 වසර සඳහා අයවැයක් සම්මත කොට තිබුණේ නැහැ. පසුගිය රජය රට පාලනය කරමින් සිටියේ අතුරු සම්මත ගිණුමක් හරහායි. ඒ වන විටත් රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබුණා.

ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් නව අයවැයක් හෝ අතුරු අයවැයක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍යව තිබුණා. අප පොරොන්දු වූ ආකාරයට අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට, තාක්ෂණික හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට, කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමට රජයට මූල්‍ය පාලන හැකියාව තිබිය යුතුයි.

මේ නිසා තමයි ව්‍යවස්ථාවට අනුව මට ලැබුණු පළවැනි අවස්ථාවේදීම මාර්තු මස 02 දින තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැර සැබෑ ජනමතය නියෝජනය වන නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමටත් නව පාර්ලිමේන්තුව මැයි මස 14 දා කැඳවීමටත් මම තීරණය කළේ. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍යවන සම්පූර්ණ නිදහස හා බලය ඒ අනුව මැතිවරණ කොමිසමට පැවරුණා. මගේත් මැතිවරණ කොමිෂන් සභාවෙත් ප්‍රමුඛ යුතුකම හා වගකීම වන්නේ ඡන්දයකින් තම නියෝජිතයන් පත් කරගැනීම සඳහා වූ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රිය අයිතියට ගරු කොට නිසි කලට මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීමයි.